හතළිහ පැන්නත් හතරදෙනාම සූරයෝ | සිළුමිණ

හතළිහ පැන්නත් හතරදෙනාම සූරයෝ

හතරදෙනාම සූරයෝ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සිදුකරනු ලැබුවේ නීල් රූපසිංහ විසිනි. ඔහුගේ දෙවැනි සිනමාපටය වූ හතරදෙනාම සූරයෝ, ධර්මසිරි ගමගේ විසින් රචනා කරන ලද අතර එහි තිර රචනය සකස් කළේ නීල් රූපසිංහ සමඟ ලෙනින් මොරායස් ය.

චිත්‍රපටය දිවෙන්නේ චරිත හතරක් මතයි. එනම් පොඩ්ඩේ, විජේ, ජගිරිස් හා ලින්ටන්ය. පොඩ්ඩේ ලෙසින් රංගනයෙන් සම්බන්ධ වූයේ ලාංකේය සිනමාවේ වීර භූමිකාවට වෙනමම ආකාරයකට ජවයක් දුන් ගාමිණී ෆොන්සේකාය. චිත්‍රපටයේ රැකියාවක් හිමි එකම පුද්ගලයා වූවේ ද පොඩ්ඩේය. විජේ(විජය), ලින්කන්( සේනාධීර රූපසිංහ ), ජගිරිස්(ඇන්තනි සී. පෙරේරා) යන පොඩ්ඩේගේ මිතුරන් තිදෙනාටම රැකියාවක් නොමැති හෙයින් අතේ පනමක් නොවීය.

විජය-මාලනී රඟ පෑ චිත්‍රපට අතුරින් මුලින්ම තිරගත වූයේ හතර දෙනාම සූරයෝ චිත්‍රපටයයි. නීල් රූපසිංහ විසින් විජයව මෙම චිත්‍රපටය සඳහා තෝරා ගනු ලැබුවේ ඔහු විසින් හන්තාන කතාව චිත්‍රපටයේදී විජයගේ හැකියාවන් දැකීමෙන් බව වරක් පවසා තිබුණි. මේ චිත්‍රපටය සම්බන්ධයෙන් වරක් කරුණු කියාපෑ සුනිල් මිහිඳුකුල මහතාගේ අදහස වූයේ හතරදෙනාම සූරයෝ චිත්‍රපටය බටහිර සිනමා ශෛලියට නිර්මාණය වූවක් බවත් එහිදී ගාමිණී ෆොන්සේකාගේ හා ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දුගේ සටන් ජවනිකාවන් ඉංග්‍රීසි චිත්‍රපටයකට නොදෙවෙනි ආකාරයට තිබූ බවත්ය.

හතරදෙනාම සූරයෝ චිත්‍රපටය මෙතෙක් වාණිජ සිනමාවේ බිහි වූ චිත්‍රපට අතුරින් සාර්ථක වූ නිර්මාණයක් බව පෙනී යන්නේ වසර 40ක් ඉක්ම ගියද එහි ජනප්‍රියත්වය තවමත් අඩු නොවී පැවතීමයි. නීල් රෑපසිංහගේ හතරදෙනාම සූරයෝ චිත්‍රපටය නිමවූවායිින් පසුව වසන්ත ඔබේසේකර වල්මත්වූවෝ නමින් චිත්‍රපටයක් නිර්මාණය කළේය. ඒ සම්බන්ධයෙන් නීල් රූපසිංහ අදහස් දක්වමින් කියා සිටියේ වල්මත්වූවෝ, හතරදෙනාම සූරයෝ චිත්‍රපටයේ අනුකරණයක් බවයි. තවදුරටත් අදහස් දැක්වූ නීල් රෑපසිංහ ප්‍රකාශ කළේ තමාගේ චිත්‍රපටය දින 100ක් පසු කළද 'වල්මත්වූවෝ' දින දෙකෙන් තුනෙන් සිනමාහල් වලින් ගැලවී ගිය බවයි. එ් හතරදෙනාම සූරයෝ ගැන කියනාවිට මතුවුණු අතුරු කතාවකි. එය ඒ ආකාරයෙන් සිදුවන විට එහි අනෙක් හැඩය වන්නේ මෙකී සූරයන් සිව් දෙනා⁣ගේම පෙම්වතියන් සිනමාපටයේ ඔවුන් දෙඩූ පෙම්බස්වලට කන්දෙමින් තවමත් ජීවතුන් අතර සිටීමයි. නමුත් කිසිදු දිනක ඔවුන් තම පෙම්වතියන් සොයා එන්නේනම් නැත.

ගාමිණීගේ පෙම්වතිය ශ්‍රියානිය. ඇය අද ජීවතුන් අතර සිටිය ද ගාමිණී නොඑන ගමන් ගොස් කලක් ගතවෙලාය. විජයගේ හැමදාමත් පෙම්වතිය වූයේ මාලනී ය. මාලනිය ඇති මුත් විජය මෙලොව හැරගොස් බොහෝ කල්ය. අග්‍රා සජීවනීගේ පෙම්වතා ලෙසින් රඟපෑ සේනාධීර රෑපසිංහ ද අද ජීවතුන් අතර නැත. ඇන්තනී සීගේ පෙම්වතිය බාබරාය. ඇයටද වසර 40ක් ඉක්මගිය තැන චිත්‍රපටයේ පෙමිවතා අහිමිවී ඇත.

කොඩි ගහ යට මම උපන්නේ

නම ගිය තැනකි රටේ ..

කොළඹය කියලයි කියන්නේ

මුළු ලෝකය හතර වටේ

හැඩට වැඩට අපි සූරයෝ

අපිත් කොළඹ කොල්ලෝ..

මෙහෙම කියන්න පුළුවන් එහෙමත් කොල්ලා ටිකකට මිසක් නිකමට නිකන් ඉන්න මිනිස්සු ටිකකට නම් නෙවෙයි. හැබැයි ඒ විදියට නෙවෙයි කොහොම කිව්වත් මේ ගීතය ගායනා කරල දැන් අවුරුදු 40කටත් වැඩියි. මේ ගීතය තිබුණුු චිත්‍රපටය තමයි 'හතරදෙනාම සූරයෝ'. ඔවුන් හතරදෙනා ද සූරයෝය. නමුත් සූරයන් හතරදෙනාම දැන් ජීවතුන් අතර නැත. සූරකම් අප වෙත තබා ඔවුන් මෙලොව හැරගොස් කාලයක්ම ඉක්ම ගොස් අවසන්ය. ඒ ඉක්ම ගිය කාලය තුළම එවන් සූරයන් ලාංකේය සිනමාවට බිහිවූයේද නැත. බිහිවන හැඩයක් පෙනෙන්නටද නැත.

එවක ලාංකේය සිනමාවට බිහිවන සිනමාපට අතුරින් බොහෝවිට ඒවා ප්‍රදර්ශනය කරනු ලබන සිනමාශාලාවක් වූයේ මරදාන ගාමිණී සිනමාහලයි. හතරදෙනාම සූරයෝ චිත්‍රපටය ගාමිණී සිනමා ශාලාවේ දින 100ක් පුරාවට ප්‍රදර්ශනය වූ අතර ඒ සඳහා එක් ⁣හේතුවක් වූයේ චිත්‍රපටය පුරා දිවෙන ගීතාවලියයි.

කාලාන්තරයක් තිස්සේ ලාංකේය සිනමාවට බිහිවූ හොඳම පෙම් යුවල, කටට හුරුම පෙම් යුවල විජය - මාලනීයයි. මාලනිය සමඟ වෙරළේ දුව පැන අැවිදිමින් ජෝතිපාලයන්ගේ හඬට විජය රංගනයෙන් එක්වෙමින් කියන්නේ ප්‍රේමයේ ස්වරයයි..

අහ..අහ..ආදරණීය

සිනා ඔබේ

අහ..අහ ..ආදරණීය සිනා

මේ චිත්‍රපටයේ මාලනියගේ නම නිල්මිණිය. නිදහසේ ප්‍රේම කරන්නට හැක්කේ විජේටත්, මාලනියටත් පමණි. සුවසේ ප්‍රේම කරන්නට ඇති නිදහස නිසාවෙන්ම තවත් ගීතයකට පදනම වැටෙන්නේ උපන්දින සාදයේදීය.

 

මේ දෑස මගේ පින්වන්තයි

තේරුනේ දැන් තමයි.

රන් රූපෙ ඔබේ පින්වන්තයි

තේරුනේ දැන් තමයි

 

එසේ විජය, මාලනී යුගයක ඇරඹුම සිදුවන විට කතාන්දරය දිවෙන්නේ මෙසේය.

මේ චිත්‍රපටය දිවෙන්නේ ⁣තරුණයන් හතර දෙනාගේ ප්‍රේම කතාවන් හතරක් ද සමගිනි. විජයගේ පෙම්වතිය වූ මාලනීව විජය හාද කරගන්නේ ඇන්තනී සී විසින් කරනු ලබන අභියෝගයකට පිලිතුරක් ලෙසටය.

විජේ- නිල්මිණි ප්‍රේමයේ ගීත ගයන ව්ට පොඩ්ඩේ ප්‍රේම කරන්නේ සෝමාටය. පොඩ්ඩේට සෝමා හමුවන්නට අවස්ථාව ලැබෙන්නේ සෝමා බත් අමිමාට එළවළු ගෙනෙන්නට එලියට බහිනා විටය. බත් අම්මා, සෝමාගේ අම්මාය. පොඩ්ඩෙටත් සෝමෙටත් වි⁣පේ- නිල්මිණිට මෙන් නටමින් ගයමින් රඟන්නට නම් අවස්ථාවක් ලැබෙන්නේ නැැත. ඒත් ජගිරියාට නම් ඇත්තේ විකාර ප්‍රේමයකි. ඒ මැද්දේ සිහින ලෝකයකදී ද ඔහු ගීයක් ගයයි.

 

රත්තරනින් රන් කිරිල්ලියේ

එන්න පියාඹා

සේද වලාකුළු අතරින්

එන්න පියාඹා

ඉන්න බැහැ මට

ඉන්න බැහැ තනිවීලා.

ලින්කන් කපටිකම්වලින් අගතැන්පත්ය. මුලදී එහෙන් මෙහෙන් වංගු දමන ලින්කන් පස්සෙ කාලයකදී සුමනාගේ බහට නැවී හැදෙන්නට පටන්ගනී.නමුත් ඒ ප්‍රේමය තුළත් විජේ- නිල්මිණිට මෙන් නැටුම් ගැයුම් වැයුම් නම් ඇත්තේම නැත.

මේ චිත්‍රපටය ප්‍රදර්ශනය වන්නට පටන් ගන්නේ 1971 ජුලි මාස⁣යේ 29 වනදාය. එදා පටන් මරදානේ ගාමිණී සිනමාහලේ දින 100ක් තිරගත වූ හතරදෙනාම සූරයෝ චිත්‍රපටය ඉන් වසර 37 කට පසුව නවක ශිල්පීන් යොදාගනිමින් ප්‍රතිනිර්මාණය කළද ඔවුන් 70දශකයේ සූරයන් තරමට සූරකම් දැක්වීමට නම් සමත්වූයේ නැත. කෙසේ වෙතත් චිත්‍රපටය ප්‍රදර්ශනය වී වසර 47ක් ඉක්ම ගියද පැරණි සූරයන් තවමත් වීරයන් වී ජනතාවගේ සිත් සතන් තුළ නිදන්ගතව හිඳීම නම් ⁣ෙනාරහසකි

රජිත බස්නායක

 

Comments