
පරම අමර ගුරු අමරදේව උතුමා ගායන අඹරේ දිලි තරුපති සේමා සුදිලේ බැබළේ සක්විති රජු සේමා... දෙසට බසට කළ මෙහෙවර බෝමා මහ වෙහෙරට වට මල් වැසි සේමා සිරිමා බෝමැඬ රන් වැට සේමා අමරස දන් දුන් වෙසතුරු සේමා... අමරසරින් පිරි ගී ගඟුලැල්ලේ රාවය රැව් දේ සදමිණි ඇල්ලේ දෙසවන් සනහා දහම් කොදෙව්වේ වැසියන් තුටුවේ සසර දනව්වේ... පද රචනය - රඹුකන සිද්ධාර්ථ හිමි සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ ගායනය - සුනීර සුමංග
ඉකුත් දිනෙක සන්ධ්‍යාවේ ගුවන්විදුලියට ගියේ එහි වෙනත් රාජකාරියක් සදහාය. ඒ ගිය ගමනේදි හමු වූ අපට ගුරු වූ තිලකරත්න කුරුවිට බණ්ඩාරයන් හමු වී කතා කරමින් සිටින අතර අහම්බෙන් මෙන් මා සන්තකව තිබූ ගීතයක් අසන්නට දුන්නෙමි. ඔහුත් මමත් ඒ අසල හුන් තරුණයෙකුත් බොහෝ සාවධානව ගීතය අසා සිටියෙමු.
“අමරදේවයන් කියන්නේ සන්නාමයක්. අමරදේවයන්ට තනුවක් නිර්මාණය කිරීමේදී ක්ලැරන්ස් විජේවර්ධන හෝ වේවා වෙනත් තනු නිර්මාණශිල්පියකු එය කරද්දි අමරදේව කියන සන්නාමය තේරුම් ගෙන තමයි ඒ නිර්මාණය කරන්නේ. එතුමා වෙනුවෙන් ගීතයක් නිර්මාණය කිරීමේදිත් ගී රචකයා ඒ දේ කරන්නේ එසේමයි. මම මෙහෙම කියන්නේ එතුමා වෙනුවෙන් ලියැවුණ මේ ගීතයේ තිබෙන අපූරු බව දැනෙන නිසයි. අපේ රඹුකන සිද්ධාර්ථ හිමියන් අමරදේව වෙනුවෙන් මේ පද ගළපා ඇත්තේ අමරදේව කියන සන්නාමය හොඳින් අවබෝධ කරගෙන. ඒ වගේම තමයි රෝහණ වීරසිංහයන් ඒ පද මාලාවට තනුව නිර්මාණය කර ඇත්තේ එවැනිම අවාබෝධයකින්. තරුණ ගායන ශිල්පියෙක් වුණත් සුනීර සුමංග යෞවනයා බොහෝම වුමනාවෙන් අමරදේව ලකුණ තේරුම් ගෙන මේ ගීතය ගායනා කර තිබෙනවා යන්න මගේ හැඟීමයි.”
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාරයන් බොහෝ අවධාරණයෙන් මේ අදහස ගෙනහැරපෑවේ අමරදේවයන් වෙනුවෙන් ගැයුණ උපහාර ගීතය අසා අවසානයේය.
පණ්ඩිත් අමරදේව සූරීන්ගේ තුන්වන ගුණසමරු උත්සවය නිමිත්තෙන් වැඩසටහන් කිහිපයක්ම ඉදිරියේදී පැවැත්වේ. ඒ වෙනුවෙන්ම නොවුණත් අමරදේවයන් වෙනුවෙන් මේ උපහාර ගීතය නිම වන්නේ පුදුමාකාර විදිහටය. සුනීර සුමංග යනු අමරදේවයන්ගේ ඌරුවට ගී ගයන යෞවනයෙකි. ඔහු ගීත ක්ෂේත්රයට පිවිසෙන්නේ රියැලිටි තරුවක් ලෙසිනි. නමුදු පෑයූ තරු කඩා වැටී නැති වී යන යුගයක සුනීර යනු නව මාවතක් එළිපෙහෙළි කරගනිමින් ගමනක් යන්නෙකි.
“මම අමරදේව සර්ට හරිම ආදරෙයි. එතුමන්ගේ ගීත කියලා තමයි මම මේ ක්ෂේත්රයට ආවේ. අපේ රටේ වගේම ලෝකයේ වෙනත් රටවල වෙසෙන රසිකයෝ මට ආදරය කරන්න පටන් ගත්තා. ඔවුන් නිසයි අද මම මෙහෙම ඉන්නේ. මට වුවමනා වුණා අමරදේව සර් වෙනුවෙන් උපහාර ගීතයක් ගයන්නට. ඒත් ඒ දේ කරගන්න මට ආර්ථික ශක්තියක් තිබුණේ නැහැ. ඔය අතර තමයි සිද්ධාර්ථ හාමුදුරුවෝ අමරදේව සර් ගැන උපහාර ගීතය ලියන්න ඉදිරිපත් වුණේ. සිද්ධාර්ථ හාමුදුරුවන් ලියූ ගීතයක් ගැයීම මට හීනයක් වගේ. උන් වහන්සේ බොහෝම ලස්සනට ගී පද රචනා කර තිබෙනවා. ඒ වගේම රෝහණ වීරසිංහ සර් අමරදේව සර් වඩාත් ප්‍රිය කළ රාගයකින් තමයි මේ සඳහා තනුව නිර්මාණය කර තිබෙන්නේ. එංගලන්තයේ වෙසෙන සන්ධ්‍යා සේනාරත්න මහත්මියත්, ඇමරිකාවේ වෙසෙන දිනිති සේනාධීර මහත්මියත් නොසිටින්න මගේ හීනය හැමදාමත් හීනයක් විතරයි. දිනිති සේනාධීර මහත්මිය තමයි මේ ගීතය සඳහා වියදම් දැරුවේ. සන්ධ්‍යා මහත්මිය මගේ අම්මා වගේම මාව උනන්දු කරමින්, දිරිමත් කරමින් මේ ගමන යන්නට මට දිරිදෙනවා. මම අමරදේව සර්ව හමු වෙලා කතා කරන්න ලැබිලා නැහැ. මම පුංචි කාලේ ඉඳලා හර්ෂණ දිසානායක අයියාගේ සින්දුවලට ආසයි. හර්ෂණ අයියාගේ තුන්වන සීඩි පටය නිකුත් වුණේ මගේ උපන්දිනයක් දවසේ. එදා මම මගේ උපන්දින තැග්ග හැටියට ඉල්ලුවේ මේ ප්‍රසංගය බලන්න ජෝන් ද සිල්වා එකට එක්ක එක්ක ගෙන යන්න කියලා. එදා මම ප්‍රසංගය බලන්න ගියා. ඒ උත්සවයේ ප්‍රධාන අමුත්තා වුණේ අමරදේව සර්. මට ඒ දවස තාමත් මතකයි. විමලා අමරදේව මැතිනිය, රන්ජන අමරදේව මහතා ප්‍රියංවදා අමරදේව මහත්මිය මට බොහෝම ආදරෙයි. ඔවුන් ගෙන ලැබෙන දිරිය අපමණයි. අමරදේව සර් වෙනුවෙන් මේ ගීතය ගයන්න ලැබුණ එක ගැන මට පුදුමාකාර ලෙස සතුටුයි.”
සුනීර පවසන්නේ සීහිනයක් සැබෑ වීමේ සතුටය. සැබැවින්ම අද යුගයේ හැටියට මෙය වූ අරුමයකි. ගුරුවරු වෙනුවෙන් මවුපියන් වෙනුවෙන් ගරු බුහුමන් නොදක්වන ඇතැමුන් සිටින රටක, විදෙස්ගතව සිටියද සිය ආදරණීය ගායන ශිල්පියා වෙනුවෙන්, මහා ගායන ශිල්පි අමරදේවයන් වෙනුවෙන් උපහාර දැක්වීමට රසිකාවන් දෙදෙනකු ඉදිරිපත් වීම සැබැවින්ම ගරුකළ යුත්තකි.
“මට මේ ගීතය ලියන්න කියලා ආරාධනය ලැබුණාම මට අප්‍රමාණ සතුටක් දැනුණා. වෙලාවකට මට හිතුණා මෙය සාර්ථකව නිම කර ගන්න පුළුවන්ද කියලා. නමුත් මම හිතපු නැති ඉක්මනට මේ ගීතය ලියැවුණා. මම මේ ගීතයේ සංගීත නිර්මාණය කිරීම සඳහා රෝහණව තෝරා ගත්තේ ඔහු ගැන බොහෝ විශ්වාසයෙන්. ඔහු එය උපරිමයෙන් රැක්කා. සුනීර තරුණයා බොහෝම භක්ත්‍යාදරයෙන් මේ ගීතය ගායනා කර තිබෙනවා. මේ ගීතය පටිගත කරන්නට එක් වූ හැම දෙනාම ඔවුන්ගේ කාර්යය උපරිමයෙන් ඉටුකර තිබෙනවා. විශේෂයෙන්ම කිවයුත්ත තමයි එංගලන්තයේ වෙසෙන සන්ධ්‍යානි සේනාරත්න හා ඇමරිකාවේ වෙසෙන දිනිති ශාන්තා සේනාධිර යන අමරදේව මහත්මයාගේ රසිකයෝ මෙවැනි සත්කාර්යයකට සම්බන්ධ වීම. කලාවට ආදරය කරන මෙවැනි අය නිසයි මේ ක්ෂේත්රය තවමත් රැඳී තිබෙන්නේ. අලුත් නිර්මාණකරුවන් බිහි වෙන්නේ. අමරදේව නම් වූ යුග පුරුෂයා වෙනුවෙන් තුඩින් තුඩ රැව්දෙන ගීතයක් නිර්මාණය කරන්න පුළුවන් වුණාය කියන සතුට අද මට තිබෙනවා.”
අලුත් පරපුර වෙනුවෙන් සුභාවිත ගී ලියන කිසිදු දිනෙක මුදලට නිර්මාණකරණයේ නොයෙදෙන සිද්ධාර්ථ ස්වාමින් වහන්සේ පවසන්නේ සතුටිනි.
සුනීර විසින් ගයන අමරදේව උපහාර ගීතය මේ මස අටවැනිදා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අමරදේව මැදිරියේදි පැවැත්වෙන උපහාර උත්සවයේදි ඔබට පළමු වතාවට ශ්‍රවණය කරන්න ලැබෙනු ඇත.
අමරදේව උපහාර උත්සවය වෙනුවෙන් ගුවන් විදුලි මහගෙදර සිදු වන්නේ කුමක්ද? අප මේ පිළිබඳ විමසුවේ ගුවන්විදුලි සංස්ථාවේ අධ්යක්ෂ ජනරාල් ඒරානන්ද හෙට්ටිආරච්චි මහත්මයාගෙනි.
දිනෙක අමරදේව පුතු රන්ජන අමරදේවයන් අප හා කතා කළා. ඒ කතා බහේ ප්‍රතිඵලයක් තමයි මේ අමරදේවයන් වෙනුවෙන් ඉහළම උපහාරය දක්වන්න අපට පුළුවන්. නොවැම්බර් මස 8 වැනිදා සවස 2.30 අමරදේව මැදිරිය ඉදිරිපිට එතුමාගේ පිළිරුව නිරාවරණය. ඉන්පසුව එතුමා වෙනුවෙන් ප්‍රවීණ හා නවක ශිල්පින්ගේ සහභාගීත්වයෙන් ගීත ප්‍රසංගයක් උපහාර උත්සවයක් පැවැත්වෙනවා. අප හැමවිටම එතුමාගේ නිර්මාණ සඳහා සැබෑ ගෞරවය දක්වනවා. මට අමරදේවයන් පිළිබඳ තියෙන්නේ බොහෝම සුන්දර මතකයක්. අප හමු වී හැම විටෙකම කතා කළේ සාහිත්‍ය භාෂාව ගීතය ගැන පමණක් නොව බොහෝ විෂය කරුණු කතා කර තිබෙනවා. එතුමා දැනුම් ගබඩාවක්. කොයි මොහොතක කතා කළත් එතුමාගෙන් ඉගෙන ගන්න දෙයක් තිබුණා. එතුමාට පුදුමාකාර භාෂා ඥානයක් තිබුණා. යම් වචනයක් ගැන ඇහුවාම ඔහු බොහෝම හොඳින් එය තේරුම් කර දෙනවා. පාලි සංස්තෘත වලින් පමණක් නොවෙයි ඉංග්‍රීසි භාෂාවෙන්, වෙනත් භාෂාවක ඒ වචනය කියැවෙනවා නම් ඒ ගැනත් කියා දෙනවා. එතුමා බොහෝ ඇසුපිරූ තැන් ඇත්තෙක්. අපට තවත් වසර ගණනාවක් යනතුරුත් එතුමා නැති අඩුව පිරිමසා ගන්න බැරි වෙනවා. ගුවන්විදුලිය හැම විටම එතුමා වෙනුවෙන් දක්වන්නට පුළුවන් උපරිම උපහාරය දක්වනවා. අප එතුමාගේ රසිකයන්ට ආරාධනය කරනවා එන්න ඔක්තෝබර් අට වැනිදාට ගුවන්විදුලි මහගෙදරට එතුමා වෙනුවෙන් ඔබේ උපහාර දක්වන්න. එතුමාගේ නිර්මාණ රසවිඳින්නට කියලා.
ඡායාරූප - සාලිය රූපසිංහ