
“පොත් ලිවීමත් මුද්‍රණය කිරීමත් අනෙක් බොහෝ කාර්යන්ට වඩා වෙහෙස මහන්සියෙන් කළ යුතු කාරියක්. රන්කරුවෙකු දැලිපොත්තක අරුංගලයක අච්චුවක් හරිගස්සනවා. හයි වුණ ඒ අරුංගල් තහඩුව ගෙන දවස් ගණනක් ටිකෙන් ටික පීරිගගා අරුංගලේට වඩා හොඳ ස්වරූපයක් දෙනවා. අනතුරුව අරුංගලේ කෙවෙනිවල මුතු ඇට හා රතු කැට අල්ලනවා. ඊට පසු පලිප්පු දමනවා. පොත් ලිවීමත් අච්චු ගැසීමත් ඒ වගේ ම මහන්සියෙන් කරන්ට ඕනෑ සියුම් කාරියක්.”
මේ ප්‍රකාශය මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතා කළේ මීට වසර හැටකට පමණ පෙර 1960 වසරේ පේරාදෙණියේ ‘සමන් පොත් දැක්ම’ විවෘත කරමින් සභාව අමතා කළ කතාවක ය. 1955 වසරේ ආරම්භ කළ මහරගම ‘සමන් ප්‍රකාශන සමාගම’ විසින් ‘සාහිත්‍ය දිනය’ නිමිත්තෙන් අඩු මිලට පොත් විකිණීමේ ව්‍යාපෘතිය ආරම්භ විය. එදා මාර්ටින් වික්‍රමසිංහ මහතා හොඳින් නිපදවෙන සමන් පොත් ගැන මෙසේ ද සඳහන් කර ඇත.
“මම හිතන්නේ නෑ මේ පොත් ප්‍රදර්ශනය මා අතින් විවෘත කිරීම නිසා සමහර පොත් වඩ වඩා විකිණේ ය කියා. එහෙත් මේ පොත් ප්‍රදර්ශනය විවෘත කිරීමෙන් මම සන්තෝෂයක් ලබනවා. ඒ සන්තෝෂයට ප්‍රධාන හේතුව සමන් පොත්වල ප්‍රියංකර මුද්‍රණයයි. පෙනුම ඇති පොතක් දැකීමත් අතගෑමත් පොත්වලට ආසා කරන කාගේත් සන්තෝෂයට හේතුවක්. සමන් පොත් පිටස්තර පෙනුමෙන් පමණක් නොවෙයි එහි ඇතුළත් දෙයෙනුත් හොඳයි. මම මෙහෙම කියන්නේ සමන් පොත් අතර මගේ පොත් තිබෙන නිසා නොවෙයි. මගේ පොත් අතර වැඩියෙන් තිබෙන්නෙ හොඳ නැති පොත් බව මම දන්නවා. අනෙක් සමන් පොත් අතර හොඳ පොත් වැඩිය නරක පොත් අඩුය කියා මම හිතනවා.”
1960 වසර සිංහල සාහිත්‍යයේ සුවිශේෂී වසරක් වූයේ හෙළදිව මහා පොත්හල ලෙස ප්‍රකටව තිබූ ඇම්.ඩී. ගුණසේන සමාගම විසින් පාඨකයාට අඩු මිලකට ලබාගත හැකි (මිල රුපියලයි ශත 50 කට) ලිහිණි පොත් මාලාවක් හඳුන්වා දීමය. එහි පිටකවරයේ චිත්‍රයක් ඇතුළත් නොවීය. 1953 ජනවාරි 05 වැනිදා ‘දිනමිණ’ පුවත්පතේ මුල් පිටුවේ පළ වූ මැය වූයේ ‘පෙන්ගුවින්’ පොත් සිංහල යන්න ය. ඒ ප්‍රවෘත්තිය මෙසේ ය.
“අධික මිල නැති පොත් ප්‍රසිද්ධ කරන ‘පෙන්ගුවින්’ PENGUIN පොත් සමාගම ආරම්භ කොට එහි සභාපති ධුරය උසුලන සර් ඇලන් ලේන් මහතා ‘පෙන්ගුවින්’ ගණයට ඇතුළත් පොත් සිංහලෙන් ප්‍රසිද්ධ කිරීමට මෙරට සුප්‍රසිද්ධ ප්‍රකාශන සමාගමක් (ගුණසේන) සමඟ සාකච්ඡා කරගෙන යයි. අයන් මෑන් - ද මෝටර් කාර් - ප්‍රින්ටිං වැනි ළමයින් සඳහා වූ ‘පෂින්’ ගණයට ඇතුළත් පොත් සිංහලෙන් පළ කිරීමට යෝජනා කරයි. මේ වන විට සිංහලෙන් ළමයින්ට අවශ්‍ය පොත් අතින් පවත්නා දුෂ්කරතා එමගින් මඟ හැර ගත හැකි ය.”
ඉංග්‍රීසි සාහිත්‍යයට අයත් පොතක් නම් එය අනිවාර්යයෙන් ම ‘පෙන්ගුවින්’ පොතක් ලෙස සැලකීමට ලෝකය පුරා සිටින පාඨකයෝ සෑදී පැහැදී සිටියෝ ය. එංගලන්තයේ 1934 ආරම්භ වූ ‘පෙන්ගුවින්’ සමාගමේ ආදි කර්තෘන් වූයේ සර් ඇලන් ලේන් සහ වී.කේ. ක්‍රිෂ්ණ මෙලන් ය. එය ලෝකයේ වෙනත් රටවල්හි ප්‍රකාශන ලෙස ව්‍යාප්ත විය. පෙන්ගුවින් සමාගම මුලින් ම ප්‍රකාශයට පත්කර ඇත්තේ ඩී. එම්.ලෝරන්ස් ගේ ලේඩි චැටර්ලිස් ලවර් නවකතාවට එංගලන්තයේ වාරණ නීති අනුව නඩු පවරා ඇතත් ‘පෙන්ගුවින්’ සමාගම එයින් ජයගෙන ඇත. මේ නිසා මේ පොත ඉක්මනින් අලෙවි වී ඇත. මාර්ටින් වික්‍රමසිංහයන් 1960 වසරේ බත්තරමුල්ල - තලංගම නගර සභා පුස්තකාලය විවෘත කරමින් කළ දේශනයක දී ‘පෙන්ගුවින්’ පොත් ගැන ද සඳහන් කර තිබිණි.
“හොඳ පුස්තකාලය විශ්වවිද්‍යාලයක් වැන්නක් ය යන හැඟීම එංගලන්තයේ පවා පැතිරුණේ මීට අවුරුදු හැට හැත්තෑවකට (1960 දී) උඩදී ය. ගෙදර විශ්වවිද්‍යාලය, ගෙදර අධ්‍යාපන විශ්වවිද්‍යාලය, හචින්සන් විශ්වවිද්‍යාලයීය පුස්තකාලය, මහජන පුස්තකාලය යන නම්වලින් නවීන විෂයයන් පිළිබඳ ග්‍රන්ථ මාලා එංගලන්තයේ පළ කරන්ට පටන් ගන්නා ලද්දේ මෑතකදී. පෙන්ගුවින් - පැලිකන් ඉංගිරිසි පොත් පළ කරනු ලැබීම මේ ගෙදර විශ්වවිද්‍යාය පුස්තකාලය පිළිබඳ අදහසෙහි ශ්‍රේෂ්ඨ ඵලයකි. රුපියල් තිහ හතළිහ බැගින් විකුණනු පිණිස පළ කරන ලද උසස් සාහිත්‍යයික විද්‍යාත්මක දර්ශනාත්මක ග්‍රන්ථ පැලිකන්, පැන්ගුවින් ප්‍රකාශකයෝ ඉතාම අඩු මිලට දෙනු පිණිස ප්‍රකාශ කරන්ට පටන් ගත්තා. මෙය බුද්ධි විප්ලවයකට තුඩු දුන් ව්‍යාපාරයක් විය.”
වික්‍රමසිංහයන්ගේ කතා ඇතුළත් “පොත් ලිවීමෙන් ලද ඇස්වසුම” කෘතියේ ය.
පෙන්ගුවින් පොත් පූර්වාදේශ කොට ගුණසේන සමාගම මගින් ‘ලිහිණි පොත්’ උපන්නේ 1953 ඔක්තෝබර් මස 10 වැනිදා ය. ලිහිණි පොත් උපදින විට සිංහල භාෂාව ගැන එතෙක් අසන්නට ලැබුණේ මෙවැනි කතා ය.
“සිංහල භාෂාව බොහෝම දුප්පත් ය. සිංහල භාෂාවෙන් කියවන්නට පොත් නෑ.”
1953 වසරේ රජයේ සියලු කටයුතු ඉංග්‍රීසියෙනි. ඒ නිසා වැඩි දෙනා ඉංගිරිසි පත් පොත්මයි කියවන්නට සිදු වූයේ. සිංහල පොත් කියවන අය නැති නිසා සිංහල පොත් මුද්‍රණය වූයේත් නැත. කවුරුත් කීවේ සිංහල භාෂාවෙන් ලියැවුණු හොඳ පොත් නැති බව ය. මේ මැසිවිලි, දුක් ගැනවිලි නැඟෙන කාලයක පරලෝසැපත් ඇම්.ඩී. ගුණසේන මහතා ලිහිණි පොත් ගැන කල්පනා කරන්නට විය. ඒ මහතා මේ රටේ සිටින සිය ගණනක් ලියන්නට පුරුදු පුහුණු වෙමින් සිටි තරුණයන් ගැනත් කල්පනා කරන්නට විය.
‘ලිහිණි පොත්’ සාහිත්‍යයේ විප්ලවයක් කළේ ය. මේ අනුව අලුත් ලේඛක පරපුරක් බිහි විය.
“බතේ අරුම තේරෙන්නේ හාමතේදී” යැයි කතාවක් තිබේ.
එසේ නම් ‘ලිහිණි පොත්වල’ අරුමය තේරෙන්නේ මොළේ හාමත් වන්නට ඉඩ හැරියොත් ය. ගුණසේන මහතාගේ මේ සංකල්පය ක්‍රියාත්මක කළේ ඒ මහතා බාල සොහොයුරු ඇම්.ඩී. සිරිසේන මහතා ය. 1953 සිට 1960 දක්වා ලිහිණි පොත් 175 ක් නිකුත් වීම සිංහල සාහිත්‍යයේත් පාඨකයාගේත් වාසනාවකි. එදා දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා විහිදී සිටි සිංහල කියවන්නන් අතට ලිහිණි පොත් පත් විනි.
1960 සැප්තැම්බර් මාසයේ ‘ලංකාදීප’ ජාතික පුවත්පතක ‘ලිහිණි පොතේ විත්තිය’ නමින් ලිපියක් ‘ලිහිණි’ නමින් ලියා තිබුණි. ඒ අනුව ලිහිණි පොත්වල මූලාරම්භයේ ‘සැඟවුණු මැණික’ හා ලේ මිසරාබ් ලේ’ නමැති වික්ටර් හියුගෝ ගේ රසබර නවකතා දීන දුක නමින් ප්‍රකාශයට පත් වී ඇත. ලිහිණි පොත් අතර මුල් යුගයේ බිහිවුණු පොත් අතර පරමාණුවක වගතුය (එම්.එච්. අබේපිටිය), රට කිරීම (නිව්ටන් පින්තු), ධර්මාශෝක රජතුමා (සද්ධාමංගල කරුණාරත්න), අපේ යටගියාව (රැ. තෙන්නකෝන්) විනෝදය හා විචාරය (ගුණදාස අමරසේකර), ලෙයට ලෙය (එස්. පියසේන), ජූලියස් සීසර් (කේ.එස්. සේනානායක), සහෝදරියෝ (ජිනදාස ලෙල්වල), සීනය (පී.ඩී. ලියනගේ), ඇති තතු (ආර්. ප්‍රේමදාස), කලිසමේ වැරැද්ද (වික්ටර් ලියනගේ) බටහිර සමාජය (තෙන්නකෝන් විමලානන්ද), හොල්මන් කතා (විමල් වීරසිංහ), වඳින්න ගිය දේවාලේ (එදිරිවීර සරච්චන්ද්‍ර), ඇයි (ධර්මපාල වෙත්තසිංහ), රේඩියෝ නාට්‍ය කලාව (පී. වැලිකල), බුරුම රට (සී.ඒ. විෙජ්සේකර), අමර රැජින (කීර්ති කලහේ), බඩපිස්සී (සිරිසේන කුලතිලක/ ලීලී අනුරුද්ධිකා කුලතිලක), දිමුතු මුතු (කීර්ති කලහේ), දුප්පත් කෙල්ල (රණවක පතිරණ) ගිය කල (රැ. තෙන්නකෝන්), යටගිය නිධානය (ඩී.ඩබ්ලිව්. සේනාධීර) සරස්වතී දුප්පත්වීම (ඩේවිඩ් කරුණාරත්න) බටහිර ශ්‍රේෂ්ඨ කෙටිකතා (ආර්.ඇන්.එච්. පෙරේරා) සමාජ රීතිය (කේ.ඩී.පී. වික්‍රමසිංහ) බුදු හිනාව, රුබයාට් (මඩවල එස්. රත්නායක), මේ මිනිස්සු (ලාල් ප්‍රේමනාත් ද මැල්), මාරක හොර ගුහාව (එස්. පියසේන) හොරේෂස් කාව්‍යය (මුල්ලපිටියේ කේ.එච්. ද සිල්වා) ජගත් ලේඛකයෝ - බේකන්, ටෝස්ටෝයි, වඩ්ස්වත් (ඩේවිඩ් කරුණාරත්න) දීන දුක( උඩකැන්දවල සරණංකර හිමි) දෙහි කැපිල්ල (විමලසිරි පෙරේරා), ඔහුගේ කතාව (සයිමන් නවගත්තේගම) සකලසේන (හේමපාල මුනිදාස) අමරමිහිර (හියුබත් දිසානායක)
ලිහිණි පොත් අතර නවකතා, පරිවර්තන, කෙටිකතා, කාව්‍ය මෙන් ම මාරක කතා ද නිකුත්ව ඇත.
‘ලිහිණි’ පොතේ විත්තිය නම් ලිපියේ ලිහිණි කියා ඇත්තේ මේ කතාව ය.
“වෙනත් පොත් මෙන් මම (ලිහිණි) මහා පණ්ඩිතයන්ට පමණක් සීමා නොවුණෙමි. සාමාන්‍ය කියවන අයගේ දැනීම දියුණු කිරීම මගේ අදහස ය. පස්වැනි පන්තියේ ඉගෙන ගන්නා ළමයාට මෙන් ම කම්හලේ වැඩ කරන කම්කරුවාටත්, ගොවිපළේ සේවය කරන ගොවියාටත්, කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරමින් මොළය වෙහෙසෙන නීතිඥයාටත්, විනෝදය කැමැති රසිකයාටත් ඔරොත්තු දෙන අන්දමේ විවිධත්වය මා තුළ ඇත. මේ හැම කෙනෙක්ම විවේකය විනෝදවත් කර ගන්නට නම් මා අතට ගත යුතු ය.”
ගාල්ලේ ගුණසේන සමාගමේ ගාල්ලේ ශාඛාවේ කළමනාකාර ධුරය දැරූ ලාල් ප්‍රේමනාත් ද මැල් මහතා 1960 සැප්තැම්බර් මස 10 වැනිදා අනුරාධපුර මධ්‍යම විද්‍යාලයේ පැවැති පොත් ප්‍රදර්ශනයක් ද ශ්‍රී ලංකා සාහිත්‍ය දින උත්සවය නිමිත්තෙන් ලිහිණි පොත් අඩු මිලට (30% වට්ටමක්) විකිණීමට පුරෝගාමී වී ඇත. එපමණක් නොව ද මැල් මහතා ලිහිණි පොත් ප්‍රදර්ශනයක් ද ගාලු පළාතේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ පොත් පෙරහරක් ද සංවිධානය කළේ ය. පොත් අතින් ගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පෙරහරින් ගාලු නගරයේ සංචාරය කරන ඡායාරූපයක් ද ගුණසේන සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ඇම්.ඩී. සිරිසේන මහතා ගාලු මහ දිසාපති සී.ජේ. සේරසිංහ මහතාට ලිහිණි පොත් පාර්සලයක් පිළිගන්වන ඡායාරූපයක් ‘ලංකාදීප’ පත්‍රයේ (1960 සැප්තැම්බර් 12 සඳුදා) පළ වී තිබුණි. මේ පොත් ප්‍රදර්ශන උත්සවයේ දී ලාල් ප්‍රේමනාත් ද මැල් මහතා උත්සවයේ පරමාර්ථය විස්තර කරමින් ගාල්ලේ ජනතාව සාහිත්‍යයේ ආලෝකයෙන් පිබිදී සිටින ආකාරය මෙම උත්සවයෙන් පැහැදිලි වන බව ද මිනිසාගේ බුද්ධි වර්ධනය උදෙසා කෙරෙන මේ ව්‍යාපාරයට ගාලු ජනතාව දක්වන සැලකිල්ල අනාගතය පිළිබඳ හොඳ පෙර නිමිත්තකැයි ද කියා තිබුණි.
මේ පොත් ප්‍රදර්ශනයේ දී සාහිත්‍ය තරගවලින් ජය ලැබූ වැඩිම ලකුණු හිමි කර ගත් ශ්‍රී හෘද කන්‍යාරාම විද්‍යාලයට ද, වල්පොල ගුණතිලක විද්‍යාලයේ ආරියසිරි රත්නායක ශිෂ්‍යයාට රන් පදක්කම ද පිරිනමා ඇත. නාග කන්‍යා නැටුම, කිඳුරු නැටුම, පූජා නැටුම, උඩරට නැටුම, ආදියෙන් යුතු මේ කලා උලෙළේ අයිවෝ ඩෙනිස් ගීත ගයා ඇත. කේ.ජී. පෙරේරා, රැයිපියෙල් තෙන්නකෝන්, මහතුන් ද කතා පැවැත්වූ මේ පොත් ප්‍රදර්ශනය හා කලා උලෙළ සාහිත්‍ය දියුණුවට කළ මහඟු සේවයක් ලෙස ගාලු පුරවරයේ පමණක් නොව මුළු රටේම කැපී පෙනුණ අවස්ථාවක් ලෙස ඉතිහාසගතව ඇත.
ලිහිණි පොත් කියන විට මේ ලියුම්කරුට අතීත සිද්ධියක් මතක් වෙයි. කොළඹ ආමර් වීදියේ ජේතවනාරාම විහාරස්ථානයේ මෙයට වසර හැට දෙකකට පමණ පෙර වැඩ සිටි කොළඹ පියතිස්ස හිමි සතුව ලිහිණි පොත් සියල්ලම මිලදී වටිනා වීදුරු අල්මාරියක පරෙස්සමට තබා තිබුණි. සෑම ලිහිණි පොතකට ම උන්වහන්සේ පාට පාට තෙල් කඩදාසිවලින් කවරයක් දමා තිබූ අතර කාටවත් පරිහරණයට නුදුන් ඒ ලිහිණි පොත් රාශියක් කියවීමේ භාග්‍ය මට උදා විය. පොත තිබූ තත්ත්වයෙන් ම නැවත බාර දීම මගේ පරිශ්‍රමය විය. පියතිස්ස හිමි තරුණ වියේදී අපවත් වීම නිසා ඉතුරු ලිහිණි පොත් කියවීමේ අවස්ථාව මට අහිමි විය. පාට පාට තෙල් කඩදාසිවලින් පිටකවර දැමූ ඒ වීදුරු පොත් අල්මාරිය මට කෙදිනකවත් අමතක නොවේ.
ලිහිණි පොත් මීට වසර 65 පමණ පෙර ආරම්භ කරන විට ඒවා සමීක්ෂණය කිරීම සඳහා වී.ඩී. ද ලැනරෝල්, ලයනල් ලොකුලියන, කීර්ති කළහේ, ආර්.එන්.එච්. පෙරේරා මහතුන් කටයුතු කළ බව පැවසේ. මෙහිදී ප්‍රවීණ ලේඛකයන්ට මෙන් ම නැගී එන කුසලතා ඇති ලේඛකයන්ට ද අත හිත ලැබිණි.
ලිහිණි පොතකින් තම මුල් ම කෙටිකතා සංග්‍රහයක් නිකුත් කළ පාසල් ශිෂ්‍යයකු ගැන කේ. ජයතිලක විසින් ලියන ලද ‘පුංචි පැළේ ගස වෙනා’ කෘතියේ සඳහන් වෙයි. වරක් ජයතිලකයන්ට කෙටිකතා කිහිපයක් සහිත ලිපියක් ලැබී ඇත.
“මම ශිෂ්‍යත්වයක් පිට අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ පන්තියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක්මි. මගේ ගම අනුරාධපුරයෙන් හැතැප්ම හතළිහක් පමණ ඈත වන මෑ පිහිටියකි. මුළු ගමෙන් ම ඇස්.ඇස්.සී. සමත් වූවෙකු හැටියට ඉන්නේ මා පමණකි. මා ලියූ කෙටිකතා කිහිපයක් ඇත. මේ කතා කිහිපයක් කියවා ඔබගේ අදහස් දක්වන්නේ නම් කෘතඥ වෙමි. මේ පිළිබඳව දිවයිනේ ප්‍රවීණ ලේඛකයන් කිහිපදෙනෙකුට ලියා යැවූ නමුත් ඔවුන්ගෙන් පිළිතුරක් පවා ලැබුණේ නැත.”
මේ කෙටිකතා කියවූ ජයතිලකයන් තම කෘතියේ මෙසේ ය.
“ඔහු එවූ කතා කියවූ මම පුදුමයට පත් වීමි. එතරම් දුෂ්කර පෙදෙසක ළමයකුට මෙවැනි කතා නිර්මාණය කළ හැකි ද? ඒවා පරිවර්තන ද විය නොහැකි ය. එහෙයින් ඔහුට හොඳ ප්‍රතිභා ශක්තියක් තිබිය යුතු ය. කෝකටත් ඒවා පරිවර්තන හෝ අනුවර්තන නොවේ නම් ඔහුට නිර්මාණ ශක්තියක් ඇති බව මම ලියා යැවීමි. තම කතා පරිවර්තන නොවන බවට සහතිකයක් දුන් ඔහු මගෙන් ඉල්ලීමක් කෙළේ ය. එනම් ඒවා පළ කර ගන්නට ක්‍රමයක් සලසා දෙන ලෙස ය.
මෙය ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලීමක් විය. මගේ පොතක් පළ කර ගැනීමට තිබූ දුෂ්කරතා එමට ය. මම ඔහු කොළඹ ගෙන්වාගෙන ලියුමක් දී වී.ඩී. ද ලැනරෝල් වෙත යැවීමි. කාර්ය අප සිතුවාටත් වඩා හොඳින් ඉටු විය. ව්‍යාකරණ වැරැද්දක් දෙකක් සෑදූ ලැනරෝල් එය ගුණසේන සමාගමට බාර දී තිබුණි. ‘ඔහුගේ කතාව’ නමින් ලිහිණි පොත හැටියට පළ වූයේ ඒ කතා ටික ය. එහි කතුවරයා වූ ශිෂ්‍යයා සයිමන් නවගත්තේගම ය.
මේ ලියුම්කරු කොළඹ ආනන්ද විද්‍යාලයේ සාමාන්‍ය පෙළ උගනිද්දී කෙටිකතා කිහිපයක් රචනා කොට ඒවායේ අඩුපාඩු බැලීමට අපේ සිංහල සාහිත්‍යය විෂය ඉගැන්වූ සාන්තන රාජපක්ෂ මහතාට දුන්නේ ය. (කලක් මධ්‍යම පළාත් සභාවේ ලේකම්වරයා වූ ඔහු මහනුවර විශ්‍රාම සුවයෙන් පසු වෙයි. මගේ කෙටිකතා සැලකිල්ලෙන් කියවූ රාජපක්ෂ මහතා මට මෙසේ කාරුණිකව කීවේ ය.
“තව හොඳ කෙටිකතා කියවන්න ඕනෑ. කෙටිකතාවල හොඳ අමුද්‍රව්‍ය තියෙනවා. ඒත් සාර්ථක නැහැ. අධෛර්ය වෙන්න එපා. මෙන්න කෙටිකතා පොත කියවන්න. මෙයා අපිත් එක්ක පේරාදෙණියේ විශ්වවිද්‍යාලයේ හිටිය දක්ෂයෙක්.”
ඒ පොත සයිමන් නවගත්තේගම ලියූ ‘ඔහුගේ කතාව’ නම් ලිහිණි පොතය. එදා මගේ ගුරුවරයා දුන් ඒ පොතට මගේ පුංචි පුස්තකාලයේ තැනක් ලැබී ඇත.
ඡායාරූප පිටපත් කිරීම - ලාල් සෙනරත්