‘U TURN’ එන්න ළඟයි | Page 2 | සිළුමිණ

‘U TURN’ එන්න ළඟයි

ප්‍රවීණ හා දැවැන්ත නිර්මාණකරුවන්ගේ නිර්මාණ රැසකට කැමරා අධ්‍යක්ෂණයෙන් දායක වූ චන්න දේශප්‍රිය එදා මෙදා තුර තමා ලත් නිර්මාණ අත්දැකීම් ද සමඟින් ‘u turn’ ඔස්සේ අධ්‍යක්ෂණයට පිවිසෙයි.

 

වෙනස්ම ආරයේ තේමාවක් වටා ගෙතුණ ‘u turn’ කතාව මෙසේය.

විද්‍යුත් මාධ්‍ය ආයතනයක රැකියාව කරන රවීනා ගුවන් පාලම්වල සිදුවූ හදිසි අනතුරු පිළිබඳ පුවත් වාර්තාවක් සඳහා තොරතුරු සොයමින් සිටියි. ඇය මෙම සිද්ධීන් පිළිබඳ තොරතුරු ලබා ගැනීමට තම ආයතනයේ සේවය කරන අපරාධ වාර්තාකරුවකු වන ආදිත්‍ය, රථ වාහන දෙපාර්තමේන්තුවේ සේවය කරන හිතවතෙකු හා සහස්පුර ගුවන් පාලම අසල වෙසෙන යාචකයකුගෙන් සහය ගනියි. රවීනා අපේක්ෂා කරන්නේ මූලිකවම බහුතරයක් අනතුරුවලට හේතුවන පරිදි ගුවන් පාලම මත නීතිවිරෝධීව වූ හැරවුම් ලබා ගන්නා පුද්ගලයන් මුණ ගැසී ඔවුන්ගේ නීති විරෝධී ක්‍රියාව පිළිබඳ විමසීම් ‍සිදුකොට සිය පුවත්පත් වාර්තාව සැකසීමය.

එහෙත් මෙම පුද්ගලයන්ගෙන් පළමුවැන්නා මුණගැසීමට ඇය දරන උත්සාහය අසාර්ථක වේ. එදිනම රාත්‍රියේ ඇය පොලිස් අත්අඩංගුවට පත්වන්නේ ඇය විසින් මුණ ගැසිමට තැත්කරන ලද තැනැත්තාගේ මරණයට වගකිව යුතු තැනැත්තිය වශයෙන් සැකපිටය. කම්පනයට පත් වන රවීනා ඇ‍ෙග් පැත්තෙන් ඇගේ නිර්දෝශීභාවයට කරුණු ඉදිරිපත් කරයි. උසස් පොලිස් නිලධාරියා ඇගේ නිදහසට කරුණු ඉදිරිපත් කිරීම ප්‍රතික්ෂේප කරන නමුත් රංග නම් උපපොලිස් පරීක්ෂකවරයා ඇය විශ්වාස කොට තවදුරටත් පරීක්ෂණ මෙහෙයවයි. එහිදී හෙළිවන්නේ රවීනාගේ ලයිස්තුවේ නම් සඳහන් සියලු පුද්ගලයින් ඔවුන් විසින් වැරැදි ලෙස ‘යු’ හැරවුම ලබාගත් දිනයේදීම සියදිවි නසාගෙන ඇති බවයි. වැරදි ‘යු’ හැරවුම ලබාගන්නා පුද්ගලයන්ගේ මරණ පසුපස ඇති සැබෑ හේතුව සොයා ගැනීමේ අරමුණින් රංග හා රවීනා ගන්නා ඊළඟ පියවර ප්‍රේක්ෂක ඔබව රැගෙන යන්නේ පෙර නොසිතූ විරූ අසාමාන්‍ය අත්දැකීම් සමුදායකටය.

සුසාර දිනාල් විධායක නිෂ්පාදනයෙන් දායක වන මෙහි තිර රචනය අරුණ ජයවර්ධන හා චන්න දේශප්‍රියගෙනි. චින්තක ජයකොඩි සංගීත අධ්‍යක්ෂණයෙන් ද, සමරසිරි කඳනගේ වේශ නිරූපණයෙන් ද, සුනිල් ප්‍රේමරත්න කලා අධ්‍යක්ෂණයෙන් ද, මල්කි විජේමාන්න නිෂ්පාදනය කළමනාකරණයෙන් සහ ඇඳුම් නිර්මාණයෙන් ද ස්ට්‍රයිනර් මැක්ලේක් ඇඩමින් කැමරා අධ්‍යක්ෂණයෙන් ද ‘u turn’දායක වෙයි.

‘u turn’හි චානු දිසානායක, හේමාල් රණසිංහ, තුමිදු දොඩන්තැන්න, බිමල් ජයකොඩි, ගම්‍යා විජයදාස, දයාදේව එදිරිසිංහ, සංයුමි නිම්නාදි, සුරංගා රණවක, අතුල ජයසිංහ, ප්‍රියන්ත විජේසිංහ, නලීන් ලුසේනා, රුවන් මදනායක, නිශාන්ත ප්‍රියදර්ශන, සුනිල් ප්‍රේමරත්න, ප්‍රසන්න දැකුම්පිටිය, රන්දික ගුණතිලක වැනි ප්‍රවීණ හා ජනප්‍රිය රංගන ශිල්පීහූ හා ශිල්පිනියෝ රැසක් රංගනයෙන් දායක වෙති.

Comments