
ප්‍රවීණ ගී පද සාහිත්‍යවේදියෙකු, කවියෙකු, නවකතාකරුවෙකු, පුවත්පත් කලාවේදියෙකු වූ අජන්තා රණසිංහ යනු රූපකායෙන් වැඩිහිටි එහෙත් කෙළිලොල් පෙනුමකින් යුක්ත වූ, අපූර්ව මිනිසෙකි. ඔහු ගේ ඇඳුම් පැලඳුම් භාවිතය, කොණ්ඩය පීරා තිබුණු ආකාරය, කතාබහ විලාසය ඔහුට ම අනන්‍ය වූ සදාකාලික තාරුණ්යකින් යුක්ත විණි. ඉතාම සක්‍රීය පුද්ගලයෙකු වශයෙන් හැසිරෙන ඔහු වැන්නෙකුගෙන් බලාපොරොත්තු විය හැකි ආකාරයේ නිර්මාණ රාශියක් ආචාර්ය අජන්තා රණසිංහයන් අතින් රචනා වී තිබීම එක් අතකින් පුදුමයක් නො වේ. ඔහු තුළ සදාකාලික තාරුණ්‍යයක් සහිත නිර්මාණකරුවෙක් ජීවත් වූයේ ය. ඒ නිසා ම මෙරට ගී පද සාහිත්‍ය රසකාමීන්ට මධුර ගීතාවලියක් රස විඳීමේ දුර්ලභ අවස්ථාව ද හිමිවිණි. සරල, යහපත් මිනිසෙකු ලෙස ඔහු විසින් රචිත ගී පද රැස මෙරට සිංහල ගීත වංශයේ සුවිශේෂ කඩඉමක් සලකුණු කරන බව අවිවාදිත ය.
පණ්ඩිත් අමරදේවයන් ගේ සිට නූතන ගායන ශිල්පියා දක්වා වූ පරම්පරා ගණනකට ගී පද රචනා කිරීමේ හසළ කුසලතාවක් ආචාර්ය අජන්තා රණසිංහයන්ට තිබිණි. එය නොසිඳුණු ප්රතිභාවකි.
අද්‍යතන සිංහල ගීත වංශය දශක කිහිපයක් තුළ ගොඩනැඟුණු විශිෂ්ට සාහිත්‍ය ධාරාවකි.
50 දශකයෙන් පමණ පසු වඩාලාත් නූතනකරණය වූ එය පරිණත සාහිත්‍යවේදීන් අතින් ක්‍රමයෙන් පරිණාමයට පත් වූ බව කිය හැකි ය. රාජකීය සහ ආගමික මූලයෙන් විදග්ධ මුහුණුවරකට ලක්කර තිබුණු නිර්මාණාත්මක සිංහල භාෂාව සරල, බහුජනප්‍රිය නූතන භාෂාවක් බවට පත්වූයේ සමාජ දේශපාලනික ක්‍රියාවලියකට ද හසුවෙමිනි. ඊට බලපෑ විවිධ සමාජ මූලයන් තිබේ.
සිංහල ගීතය විෂයයෙහි මෙලෙස බලපා තිබෙන භාෂාත්මක සමාජ යථාර්ථය පිළිබඳ මූලික අදහසක් ආචාර්ය අජන්තා රණසිංහයන් විසින් රචනා කෙරුණු ගී පද රචනා සමූහය ගැඹුරින් විශ්ලේෂණය කරන විට අවබෝධ කරගත හැකි ය. ඔහුගේ ගී පද රචනා විචිත්‍ර ය. විවිධ ය. අර්ථපූර්ණ ය. සරල ගීතය මෙන් ම සිනමා ගීතය ද ඔහුට අතැඹුලකි.
දෙන ලද හෝ සිතන ලද ප්‍රස්තුතයක් ගී පද රචනයක් බවට පරිවර්තනය කරගැනීමේ සියුම් නිර්මාණාත්මක පරිචය ඔහුට නොමඳ ව පැවතිණි. ගැමි සහ නාගරික පරිසරයන්හි තුලනාත්මක ව විසීමෙන් ලද ජීවන අත්දැකීම් ද ඇතැම් විට ඊට පිටිබල දෙන්නට ඇත.
පුරාතන පෙරදිග රාජ කුමාරිකාවන් ගේ සංස්කෘතික සම්ප්‍රදායට අයත් ‘ස්වයංවරය’ වැනි තේමාවක් අළලා නූතනවාදී ගී පද පෙළක් රචනා කළ ආචාර්ය අජන්තා රණසිංහයෝ ඔහුගේ භාෂා අධිපතිත්වය පිළිබඳව අපට කදිම නිදර්ශනයක් සපයා තිබේ.
මංගල මල්දම පතා හිඳිමි මම
මට නොවෙද ළඳේ වත මනකල්
උකුළු මුකුළු පෙම - මුකුළු පෙම ...
මංගල මල්දම පතා හිඳිමි මම
මට නො වෙද ළඳේ නෙත නිලුපුල්
සලිත ලලිත පෙම - ලලිත පෙම ...
කිරි සාගරයෙන් කිඳුරු ලියන් ආවා
මට පෙම් මුතුලැල් පලඳනවයි කීවා
දුර නඳුුන්වනේ දේව ළඳුන් ආවා
මට මල්සර ගේ දුන්න අරන් ආවා ...
කිඳුරු ලතාවිය
දිවිය කුමාරිය
මට මොටද ළඳේ ඇත්නම්
ඔබ දේහ සුරූපය ...
සද්දන්ත කුලේ ඇතා පිටින් එන්නම්
රන් පාවඩ මත කැන්දා ගෙන එන්නම්
රන් මිරිවැඩි රන් කසීසළුත් දෙන්නම්
ගාන්ධාරයෙන් විලවුන් ගෙන එන්නම්
පොකුරු සිනාවයි
දෑස ඉනාවයි
ගත සුවඳ කොකුම් බිඟුරොන්
හද ගීත ලතාවයි ...
මෙලෙස සම්භාව්‍ය භාෂාවේ එන යෙදුම් වඩාලාත් සරල භාෂා ආකෘතියක් තුළ බහා, තරුණ කුමාරවරුන්ගේ තේජස තත්ත්වාකරයෙන් නිරූපණය කරන ආචාර්ය අජන්තා රණසිංහ, සිංහල භාෂාවේ තිබෙන විභවතාව කදිමට ප්‍රකට කරයි.
මිල්ටන් මල්ලවාරච්චි ගායනවේදියාට ‘මේ මැයි ගහ යට දවසක් දා’ යනුවෙන් තමන් ගේ අතිපෞද්ගලික අත්දැකීමක් රචනා කරන්නේ ද, ඒ අජන්තා රණසිංහයන් ම ය.
‘කුරුම්බැට්ටි මැෂිමේ’ නමින් ළමා ගීතයක පදවැලක්, කරුණාරත්න අබේසේකරයන් ගේ ‘ළමාපිටිය’ වැඩසටහනට සහභාගි වන සමයේදී ම රචනා කළ යෞවන වියේ සිටි අජන්තා රණසිංහ පසුකාලීන ව රන්කෙන්දෙන් බැඳ විකසිත පෙම් පුංචි දවස්වල නින්දට යද්දී, රෑ පැල් රකින, රෑ දුරු රට මේ, සිරිමහ බෝමැඩ, ආශා නිරාශා මැවූ, මල්ලියකම් රැඳි, මල් පොකුරු පොකුරු, ඉතින් ඊට පස්සේ, ආදර සැමරුම්, සංගීත මඬලේ, කල්පනා ලොව මල්වනේ, මුව මුක්තා ලතා, දේදුන්නෙන් එන සමනලුනේ, වීදි කොණේ මාවත අද්දර, කිරි කවඩි සිනා, හන්තානේ කඳුමුදුන සිසාරා, මල්ලිකා කියා රැවටිලා, පුංචි ගෙලට පෙති ගෝමර, සුවඳ දැනී දැනී, ඉඳුනිල් ගඟුලැල් වැනි ජනප්‍රිය ගීත රැසක ගී පද රචනා කළේ ය.
තිලකරත්න කුරුවිටබණ්ඩාර, කරුණාරත්න අමරසිංහ වැනි ප්‍රාමාණිකයන්ගේ එක පාසල් පන්ති සගයෙකු වූ ආචාර්ය අජන්තා රණසිංහයෝ 1971 වර්ෂයේදී ගී පද රචනා පොතක් ලියා පළ කර, ‘විකසිත පෙම්’ නමින් තවත් කෘතියක් 1975 වර්ෂයේදී රචනා කළ හ.
වෘත්තියෙන් ලේක්හවුස් පුවත්පත් ආයතනයේ සේවය කළ ඔහු 2016 පෙබරවාරි 27වැනිදා අභාවප්‍රාප්ත වූයේ ය.