
ගිරිරාජ් කෞශල්‍ය යනු හාස්‍යොත්පාදක සිනමාව අරබයා මෙන් ම, වත්මන් සිනමා ප්‍රේක්ෂකයා සමඟ මෙම ගනුදෙනුව කළ යුතු ආකාරය පිළිබඳ ව ප්‍රමාණවත් අත්දැකීම් සහිත නිර්මාණකරුවෙකි. සැබවින්ම කියන්නේ නම් අප රටේ මෙම චිත්‍රපට ධාරාවේ හැරවුම් ලක්ෂ්‍යයක් ඇති කළ නිර්මාණකරුවා ඔහුය. ඔහුට මෙවර තම සිනමා පටයේ අන්තර්ගතය වශයෙන් ලැබී ඇත්තේ වටිනා පළිඟු කැටයකි. එය කොතෙක් අගනේ ද යත් මහා සිනමාකරු චාලි චැප්ලින්ට පවා ඉරිසියා හිතෙන වර්ගයේ එකකි. වැඬේ අවුල් කර ගත්තේ නම් ප්‍රේක්ෂක අප තුළ පවා දුකක් ඇතිවන තාලයේ දෙයකි.
දැන් ගිරිරාජ් කෞශල්‍ය නම් චිත්රපටකරුවා මේ කියන “පළිඟු කැටය” ඔපදමාගෙන ඇත්තේ කෙසේදැයි අපි විමසා බලමු.
යම් ගැටලුවක් දෙකක් ඇති කරවමින් වුවද, ඔහුගේ තෙවන නිර්මාණය වන “කතුරු මිතුරු” අපට කියා පාන්නේ මෙකී අන්තර්ගතය උපයෝගී කර ගනිමින් අද දවසේ සිංහල සිනමා ප්‍රේක්ෂකයාට උවමනා තාලයේ චිත්‍රපටයක් සාර්ථකව ඉදිරිපත් කිරීමට ඔහු සමත්ව සිටින බවය.
එයට ශක්තිමත් පදනමක් වී තිබෙන්නේ නාට්‍යමය සිදුවීම් බහුල පෙර කී අන්තර්ගතය මතින් ගොඩනැඟුණ තිර රචනයකි. ඒ වූ කලී මැදි වයසේ සාම්ප්‍රදායික බාබර් කෙනෙකු සහ ටේලර් කෙනෙකු දෛනිකව මුහුණ දෙන හාස්‍යොත්පාදක සිදුවීම් මාලාවකි.
තම කොණ්ඩය කපා ගැනීම සහ ඇඳුම් මසා ගැනීම සඳහා පැමිණෙන්නන්, හාල් පොල් මිලදී ගැනීමට පැමිණෙන්නන්ට වඩා වෙනස් වන්නේ පෙරකී කාරණා දෙකම තම පෞරුෂය හා බද්ධ වන්නක් බැවිනි.
එම නිසා මේ දෙතැනදී ම එයට සහභාගි වන්නන්ගේ චරිත ස්වභාවයන් ඉස්මතු වීම හා ගැටුම් ඇතිවීම නිරායාසයෙන් ම සිදුවන්නකි. ගිරිරාජ් නමැති සිනමාකරුවා විසින් මෙහිදී ඇතිවන අවස්ථාවන් සිය කෘතියේ පෝෂණය උදෙසා නොමසුරුව උපයෝගී කරගනු ලබන අතර, ඔහු තම නිර්මාණයෙන් සියයට හැත්තෑපහක් පමණ ගොඩනඟන්නේ ද එකී අමුද්‍රව්‍ය මනාව පදම් කර ගනිමිනි.
ඒ අනුව සමස්තයක් ලෙස ගත් කල මෙය හාස්‍යොත්පාදක නිර්මාණයක් සේ පෙනී යන බව ඇත්තය. නමුත් ඔහු මෙම චිත්‍රපටය ඉදිරිපත් කෙරෙන්නේ මානයන් දෙකක් ඔස්සේ ය. එකක් නම් මෙහි සඳහන් පරිදි ස්වාභාවික රීතියෙන් ඔබ්බට ගිය හාස්‍යමය ජවනිකා සහිත කොටසය. දෙවැන්න නම් ටේලර්ගේ සහ බාබර්ගේ තරුණ දරුවන් දෙදෙනාත්, ඔවුන්ගේ මවුවරුන්ගේ දිවි පෙවෙතත්, නගරය තුළ ඔවුන්ගේ දිවි පෙවෙත නිරූපණය වන කොටසත්ය. මෙම අවස්ථා සහිත ජවනිකා ඔහු අපට ඉදිරිපත් කරන්නේ සාමාන්‍ය ස්වාභාවික රීතියේ චිත්‍රපටයක පරිද්දෙනි.
මේ අයුරින් රීතීන් දෙකක් ඔස්සේ ගොඩනැඟුණද “කතුරු මිතුරු” අරබයා ප්‍රේක්ෂක ආකර්ෂණය ලබා දීමෙහි ලා පූර්ණ ආධිපත්‍යය හිමිකර ගෙන සිටින ජයලත් මනෝරත්න සහ මහේන්ද්‍ර පෙරේරා යන ප්‍රවීණයන් දෙපළ මේ කිසිවක් ගැන අපට ‘කට අරින්නට’ ඉඩ ලබා දී නැත. මෙහිදී හාස්යොත්පාදනයෙහි දී පවා තමා කොතරම් විශිෂ්ටයෙකු ද යන වග මැනවින් ප්‍රකට කරවන ජයලත් මනෝරත්න ඒ සඳහා රංගනයෙන් මෙන් ම නිසි පරිදි කෙරෙන දෙබස් උච්චාරණයෙන් චරිතයකට කොතරම් හොඳින් ප්‍රේක්ෂක ආකර්ෂණයට ලක්විය හැකිදැයි පෙන්වා දෙන්නේ හිනස්සන්නට ගොස් හිනාවට ලක්වන සියලු දෙනාටම ආදර්ශයක් ද සපයමිනි. මෙම සිනමා පටය තුළ හදිසියේ බාබර් කෙනෙකු ලෙස පෙනී සිටින්නට සිදුවන ටේලර් කෙනෙකු එම භූමිකාවට පණදෙන ආකාරය මනෝ රඟපාන ආකාරය පමණක්ම වුවත් ඔහු කවුදැයි නැවත නැවතත් අපට පෙන්වා දෙන්නකි.
මේ අවස්ථාවේ දී “ජෝන් සීනා කට් එක” කපා ගන්නට එන සම්පත් ජයවීර ගැනද කතා කළ යුතුව ඇත්තේ එම ජවනිකාවේදී මනෝගේ චරිත නිරූපණයට ගැළපෙන ආකාරයේ රංගනයක් ඉදිරිපත් කිරීමට තරම් හැකියාවක් ඔහු විසින්ද පෙන්නුම් කරන බැවිනි. සම්පත් ජයවීර හැරුණු කළ බාබර්ගේ සහ ටේලර්ගේ සහායකයින් වන රොඩ්නි වර්ණකුල සහ ප්‍රියන්ත සෙනවිරත්ත ද මෙකී චිත්‍රපටය තුළ ඉතා සමබරව ස්වකීය හැකියාවන් කවරේද යන්න ප්‍රේක්ෂකයාට ඒත්තු ගැන්වීමේ නිරතව සිටිති.
මනෝරත්න සමඟ එක පෙළෙහි සිටින අනෙක් විශිෂ්ටයා වන මහේන්ද්‍ර පෙරේරාද හාස්‍යොත්පාදක චරිත නිරූපණයක නියැළුණ ද ස්වකීය සිය චරිත නිරූපණයෙහි ලා අනන්‍යතාවයක් ගොඩනංවා ගැනීමට සමත් වෙයි. ඔවුන් දෙදෙනා තම දරුවන් උදෙසා මුහුණ දෙන ගැටලුව සහ සිදුවීම් ඒකාකාරී වුවද, චරිත නිරූපණය තුළින් අපූර්වත්වයක් දැනෙන්නේ එහෙයිනි.
හාස්‍යයෙන් මිදුණු රංගනයක් අවශ්‍ය තන්හිදී මනෝගේ සහ මහේන්ද්‍රගේ දායකත්වය මෙහිලා කැපී පෙනෙන්නේ එ නිසාම ය. එසේ වන්නේ තමා ඉදිරිපත් කරනු ලබන්නේ විකට සංදර්ශනයක් නොව, යම් චරිත නිරූපණයක් බව ඔවුන් විසින් අවබෝධ කරගෙන ඇති බැවිනි. ඔවුන්ගේ හාස්‍යය පිටුපස ඇති දුක් වේදනාවන් යම් පමණකට හෝ ඉස්මතු වන්නේ එමගින් වන හෙයිනි.
සිය කෘතිය ගොඩ නැඟීමෙහි ලා අධ්යක්ෂවරයා විසින් භාවිත කරනු ලබන ධනාත්මක ලක්ෂණ ලෙස තව දුරටත් පෙන්වා දිය හැක්කේ විනාඩි දෙක තුනක සුළු චරිත නිරූපණ උදෙසා වුවද, දක්ෂතාවයෙන් පිරිපුන් නළු නිළියන් යොදා ගැනීමට අමතක නොකිරීමය.
පොලීකරුවාගේ චරිතය රඟන ලලිත් ජනකාන්ත මෙන්ම වසන්ත විට්ටච්චි, මිහිරි සිරිතිලක, ගිහාන් ප්‍රනාන්දු, උපතිස්ස බාලසූරිය, සහන් රන්වල, ගාමිණී අම්බලන්ගොඩ ආදීන්ගේ චරිත නිරූපණ කෙටි වුවද, චිත්‍රපටයේ රිද්මය නොකැඩී ගලා යාමට ඉන් ලැබෙන්නේ මහඟු පිටිවහලකි.
එසේ වුවත් මේ සඳහා එකතු කර ඇති පෙම් ගීත ජවනිකාව මෙන් ම සටන් ජවනිකාවද චිත්‍රපටය සඳහා මුළුමනින් ම ආගන්තුක වන අතර, ඉඳුරාම චිත්‍රපටියෙන් පරිබාහිර කටයුත්තක් වෙයි. අධ්යක්ෂවරයා කුමන අරමුණකින් මේ ජවනිකා දෙක යොදා ගනු ලැබුවද, ඉන් කෘතියට ඇති වී තිබෙන්නේ පාඩුවක් විනා ලාභයක් නොවේ යයි අප කියන්නේ එම තරුණ නළු නිළි දෙපළ ගැන අනාදරයකින් නොවේ.
මෙම චිත්‍රපටය යළිත් නැරඹුවහොත් බුද්ධිමත් තරුණයින් වන ඔවුන් ද එය පිළිගන්නා බව සත්‍යයක් විය හැකි බැවිනි. මේ සමඟම ස්වකීය “කතුරු මිතුරු” තුළින් ගිරිරාජ් තමාවම කපා ගන්නා අවස්ථාවක් ද එකතු කර ගන්නේ කොණ්ඩය කපා ගන්නට එන කාන්තාවක් ලවා කේ.ඒ.ඩබ්ලිව් පෙරේරාගේ කාලයේ කියවුණූ දෙපිට කැපෙන දෙබස් කියවන්නට යෑමෙනි. ශ්‍රී ලංකාවේ හාස්‍යොත්පාදක චිත්‍රපට ධාරාවේ ප්‍රමාණවත් වික්රමයක යෙදෙන කලාකරුවෙකු වන ගිරිරාජ් එවැනි වැඩ වලින් තමා කෙරෙහි දුකක් ඇති කර ගැනීමට ප්‍රේක්ෂකයාට ඉඩ දිය යුතු නැත. ඇතැම් ජවනිකා වලදී බාබර්ගේ සහ ටේලර්ගේ නිවෙස් වල වලව්වක පසුබිමක් ඇති බව ඉතා සුන්දර රූපරාමු මගින් ඉස්මතු කර තිබීමද මෙම ජීවිත පසුබිම පිළිබඳව පරස්පරයක් ඇතිකරයි.
ගිරිරාජ් තම චිත්‍රපටයේ හාස්‍යෝත්පාදක ඉදිරිපත් කිරීමට සමාන්තරව තරුණ තරුණියන්ගේ නව ආකල්ප පිළිබඳව ධනාත්මක කතාන්තරයක් ගොඩනැඟීමේ ද නිරත වෙයි. ඉන් කියවෙන්නේ සිය පියවරුන්ගේ රැකියා නවීකරණයට ලක් කරමින් ඉදිරි පියවරක් තැබීමට තැබීමට දරුවන් සුදානම් වන ආකාරයයි. චිත්‍රපටයේ අනන්‍යතාවය වූ හාස්‍යොත්පාදක ලක්ෂණ වලින් මිදී ස්වාභාවික රීතිය යටතේ ගොඩනැඟෙන මෙම කොටස තුළ ඇත්තේ වාර්තා චිත්‍රපටයක ස්වරූපයක් විනා සජීවී කලා කෘතියක ලක්ෂණ නොවේ. තිර රචනයේ නොසියුම් ලක්ෂණ ප්‍රකට කරන මෙකී ජවනිකා අප සිත් තුළ ඇති කරන්නේ ගිරිරාජ්ට අසුවූ පළිඟු කැටයේ නොකැපූ මුහුණත් දෙක තුනෙන් එකක් ලෙසය.
නමුත් තමාගේ කෘතිය නරඹන ප්‍රේක්ෂකයාගේ විනෝදාස්වාදය වෙනුවෙන් ඔහු තුළ ඇති මහන්සියේ ලක්ෂණ චිත්‍රපටය පුරා ගම්යවීමට මේ කිසිවක් බාධාවක් වී නැති බව අපට පැහැදිලිවම පෙනී යන්නකි.
රුවන් කොස්තාගේ කැමරාකරණයද, අජිත් රාමනායකගේ සංස්කරණයද, මනෝජ් වික්‍රමසිංහගේ පසුතල නිර්මාණය සහ කලා අධ්‍යක්ෂණය ද, ආචාර්ය රෝහණ වීරසිංහගේ සංගීතයද, ප්‍රියන්ත දිසානායකගේ අංග රචනය ද, ප්‍රියන්ත කළුආරච්චිගේ ශබ්ද පරිපාලනය ද සමඟ ගිරිරාජ්ගේ චිත්‍රපට සිහිනය යථාර්ථයක් කර ගැනීමට අර්ථපතිත්වයෙන් බාසුරු සිරිවර්ධන ද සම්බන්ධ වී සිටීම කිසිසේත්ම අපතේ ගිය වෑයමක් වී නොමැත්තේ එහෙයිනි.
අනෙක් පැත්තෙන් ප්රේක්ෂකයාටද “කතුරු මිතුරු” නැරඹීම යනු කාලය අපතේ හැරීමක් නොව මතකයේ රැඳෙන සිනහවක් සමග ගෙදර යන්නට ලැබුණ අවස්ථාවක් වීම ගිරිරාජ් මෙතුළින් ලැබූ විශිෂ්ටම ජයග්‍රහණයයි සිතමු.