හතර වටෙන් ඇහෙන කතා | සිළුමිණ

හතර වටෙන් ඇහෙන කතා

පළමු අන්තර්ජාල ඡායාරූප ප්‍රදර්ශනය...

ජනප්‍රිය ඡායාරූප ශිල්පිනි රැෆෙලා ප්‍රනාන්දු මේ වසංගත තත්ත්වය එක්ක ලැබුණු විවේකය ඵලදායි දෙයකට යොමු කරන්න සැලසුම් කරලා. රැෆෙලා සැලසුම් කර තියෙන්නේ අන්තර්ජාලය ඔස්සේ ඡායාරූප ප්‍රදර්ශනයක් පැවැත්වීමටයි. ලංකාවේ මෙහෙම ප්‍රදර්ශනයක් තියෙන ප්‍රථම වතාව මෙය බව පවසන රැෆෙලා ෆෙස්බුක්, ඉන්ස්ටග්‍රෑම් ගිණුම් ඔස්සේ තමයි මේ ඡායාරූප ප්‍රදර්ශනය පවත්වන්න සැලසුම් කර තියෙන්නේ. මේ ලැබුණු විවේකී කාලයෙන් උපරිම ප්‍ර‍ෙයා්ජන ගනිමින් අන්තර්ජාලය ඔස්සේ එවැනි තවත් අලුත් ව්‍යාපෘතීන් කිහිපයක්ම අතහදා බලන්නයි රැෆෙලාගේ සැලසුම.

 

රූගත කිරීම් නවතා කකුලට බෙහෙත් බැඳලා

නව පරපුරේ රංගන ශිල්පිනි පූජනී භාග්‍යා මේ දවස්වල ස්වාධීන රූපවාහින්යේ විකාශය වන 'නාඩි' නාට්‍යයේ තිසරි ලෙස ප්‍රධාන චරිතයක් නිරූපණය කරනවා. මේ චරිතය කරන්න ගිහින් නොසිතූ විරූ අකරතැබ්බකටත් මුහුණ දුන් බව පූජනි අපට කිව්වා. ඇය මොටර් බයිසිකලේ පැදගෙන ඇවිත් එය නවත්වා බැහැලා එද්දිම ඇය සමඟ රඟපාන්න ඉෂාර වික්‍රමසිංහ ළඟට ඇවිත් ඇගේ අතින් ඇදලා ගන්න දර්ශනයක් තියෙනවා. ඉෂාර ඇදපු ඇදිල්ලට පූජනීගේ කකුල බයිසිකලයේ පල්ලෙහා කොටසේ හයියෙන් වැදිලා පූජනීට තේරුණාලූ කකුලෙන් ලේ ගලනවා කියලා. ඒත් ඇය ඒක ගණන් නොගෙන දිගටම අවශ්‍ය ඉරියව්වේම රංගනය නියැළිලා. අධ්‍යක්ෂවරයා කට් කිවුවට පස්සේ කකුල දිහා බලද්දී තමයි පූජනීට තේරුණේ තුවාලේ තරම. අන්තිමේදී රූගත කිරීම් පැත්තකින් තියලා පූජනී කකුලට බෙහෙත් බඳින්නයි වෙලා තියෙන්නේ. ඒ පැල්ලම තවම කකුෙල තියෙනවා කියලයි පූජනී අපට කිවුවේ.

 

දීපවාලි සැමරුවේ වෙනස් විදිහකට

ජනප්‍රිය නිළි නිරංජනී ශංමුගරාජා මෙදා පාර දීපවාලි සැමරුවේ අමුතුම විදිහකට. වෙනදට පවුලේ සාමාජිකයන් පිරිවරාගෙන දීපවාලි සැමරු ඇය මෙදා පාර නිරෝධායන නීති යටතේ කොළඹින් පිට යන්න බැරි නිසා ඇගේ සිංහල සහ මුස්ලිම් යහළුවන් දෙදෙනකු එක්කයි දීපවාලි සමරලා තියෙන්නේ. පවුලේ හැමෝමත් එක්ක දීපවාලි සමරන්න බැරි එක දුකක් වුණත් හැමෝම නිරෝගීව ඉන්න එක ලොකු සතුටක් කියල ඇය කියනවා. හැකි ඉක්මනින් මේ කොවිඩ් 19 වසංගතය ලෝකයෙන් තුරන් වේවායි ප්‍රාර්ථනා කරන ඇය පවතින තත්ත්වය දිහා සෘණාත්මකව බලනවට වඩා මෙයින් ලොකු පාඩමක් ජීවිතේට ඉගෙන ගත් බව කියනවා. දීපවාලිවලට අලුත් ඇදුම් ගන්න බැරි වුණත් පුංචි අම්මාගේ සාරියකින් සැරසී ඇයව අනුකරණය කිරීමෙන් නිරංජනී බෙහෙවින් සතුටු වී තිබුණා.

 

සුරතලාටත් සමාජ ජාල ගිණුමක්...

සුරූපී නිළි කීර්ති සුරේෂ් ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ ඇගේ අලුත් මිතුරා හඳුන්වා දී තිබුණා. මේ අලුත් යාළුවාගේ නම නයික්. නයික් කියන්නෙ ෂිත්සු වර්ගයට අයත් සුරතල් බලු පැටියෙක්. අම්මා කෙනෙක් වගේ නයික්ව බලා ගන්නවා කියලයි කීර්ති කියන්නේ. මේ ආදරණීය බලු සුරතලාට පෞද්ගලික සමාජ ජාලා ගිණුමකුත් තියෙනවා. ඒකේ දැන් අනුගාමිකයන් 14000කට අධික පිරිසකුත් ඉන්නවා.

 

ගායකයෙක් නොවුණට කමක් නැහැ...

අමන්දානන්දනීය හඬ පෞරුෂයකට හිමිකම් කියන බොලිවුඩ් ගායක සෝනු නිගම් විශේෂ සම්මුඛ සාකච්ඡාවක් අතරතුරදී ඔහුගේ පුත්‍රයා වන නීවන් ගායකයකු කරවීමට තමාට කිසිදු අදහසක් නැති බව සඳහන් කර තිබුණා. මේ වන විට ඔහු ඩුබායිහි වාසය කරන බවත් දක්ෂ ක්‍රීඩකයකු ලෙස ගොඩනැඟීමට නීවන් වෙහෙසෙන බවත් සෝනු කියනවා. නීවන්ට ජන්මයෙන්ම ගායන හැකියාව උරුම වී තිබුණත් ඔහුගේ මාර්ගය ඔහුටම හොයා ගන්න තමන් ඉඩ හරින බව සෝනු පවසනවා.

 

Comments