
එය ‘කාමරයක්‘ තුළින් පටන් ගෙන එය තුළ ම අවසානයට පත්වන කතාව කි. ඔවුන් එකිනෙකා ආමන්ත්‍රණය කරනු ලබන්නේ සුජාන් සහ ටෙක්ලා යන නම් වලිනි.
ඔහු සහ ඇය අතර සම්බන්ධය ඇරඹී තිබෙන්නේ, ‘කෙහෙල්මල් කොරෝනාව‘ රට තුළට ඇතුළුවන්නට කලිනි. මාතර කොල්ලකු වන සුජාන් කොළඹ සිටියදී, හදිසියේ ම එය ලොක්ඩවුන් කරන අතර දිස්ත්‍රික්ක අතර ගමනාගමනය ද වහා ම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවේ. ඉන් අනතුරුව, පූර්ව සැලසුමක් නැතිව ම සුජාන් ට ටෙක්ලා ගේ කාමරයේ නවතින්නට සිදු වේ. එමෙන් ම එතැන් සිට, දින 46 ක් ඔවුන් දෙදෙනාට එකට ජීවත්වන්නට ද සිදු වේ.
එහෙයින් චිත්‍රපටය පුරාවට ඇත්තේ, ඔවුන් දෙදෙනා අතර වන සංවාද, සංවාස සහ ගැටුම් ය. ඒ අනුව සාර්ව අර්ථයෙන්, එය කොරෝනා වසංගතය තුළ පොදුවේ අප සියලු දෙනාට ම විඳින්නට වූ ක්ෂතිමය අත්දැකීම් ප්‍රමාණයක් ප්‍රතිනිර්මාණය කරන ගමන් ක්ෂුද්‍ර අර්ථයෙන්, ‘X සහ Y නම් වූ පෙම් යුවළක ගේ‘ (සුජාන්-ටෙක්ලා) ජීවිත වලින් ‘පෙත්තක්‘ ද අන්වීක්ෂණය කරයි.
මේ ආකාරයට චිත්‍රපටය යෝජනා කරන්නේ, බොරුව , පශ්චාත් නූතන ප්‍රේම සම්බන්ධතා වල අනිවාර්ය කොන්දේසියක් හැටියට බාරගැනීමට තරම් නම්‍යශීලී වන ලෙස යි.
චිත්‍රපටය තුළ අපට හමුවන සුජාන් සහ ටෙක්ලා යනු, බොරුකාරයන්-කාරියන් නොගිනිය හැකි ප්‍රමාණයක් අතර සිටින තවත් එක් පිරිමියෙක් සහ තවත් එක් ගැහැනියක පමණි. ඔවුන්ගේ විශේෂත්වය වන්නේ, කොරෝනා ලොක්ඩවුන් එක විසින් ඔවුන්ගේ සම්මත සහ අසම්මත සම්බන්ධ දෙක මාරු කරගැනීම සඳහා අතිශයින් ම දුර්ලභ වූ අවස්ථාවක් ලැබීම නිසා ය. එනම් දෙදෙනා කාමරය තුළ අලුතින් ජීවිතය පටන්ගන්නේ, අනාගතයේ විවාහ වන්නට පෙරුම්පුරන පෙම් යුවළක් මෙනි. එහිදී ඔවුන්ට තම තමන්ගේ ‘විවාහකයන්‘ ට දුරකතන ඇමතුම් ගන්නට සිදුවන්නේ හොර රහසේ ය. එය ඉතාම නාටකීය උත්ප්‍රාසයකි.
ඊට අමතරව මේ දෙදෙනා ට ම සම්බන්ධතා දෙකකුත් ප්‍රමාණවත් නොවී තව තවත් හොර චැට් කිහිපයක් නඩත්තු කිරීම සඳහා ද කෑලි අහුලන්නට සිදුවී තිබේ.
මෙම චිත්‍රපටය තුළ බොරුව අති විශිෂ්ට ලෙස වැඩ දමයි.
ටෙක්ලාගේ කාමරයට පැමිණි මුල් ම දවසේ සුජාන් ට ටෙක්ලාගෙන් ග්‍රීන් ටී එකක් ලැබෙයි. සුජාන් එය බොන්නේ රසයි කියමිනි. එහෙත් සුජාන් කියන්නේ, පට්ටපල් බොරුවකි.
‘‘බොරු කියන්න එපා මිනිහෝ... ග්‍රීන් ටී රස නෑ....‘‘
ටෙක්ලා ඇත්තක් කියන්නී ය. සමහර විට චිත්‍රපටය පුරාවට ම ඇය විසින් කියන ලද එකම ඇත්ත එය පමණක් ම විය හැකි ය. ඉන්පසුව ඇගේ මුවින් නික්මෙන්නේ ම අන්දෝ සංසාර බොරු ය.
බොරු කීමෙන් සුජාන් ද ටෙක්ලා ට දෙවැනි වන්නේ නොවේ.
ඔහු මාස්ක් බිස්නස් එක ගැන ටෙක්ලාට කියා තිබුණේ බොරු ය. එහෙයින් කම්මැලි නැති ධෛර්යයවන්ත දකුණේ කොල්ලකු බවට සුජාන් පිළිබඳව ටෙක්ලාගේ මනසේ සෑදී තිබුණු බබල් එක බිඳී යන්නේ ය.
මේ අතර ටෙක්ලා, සිය සැමියා (අප්පච්චි) සමඟ දුරකථන සංවාදයක සිටින අවස්ථාවක සැමියාට ‘විසිල් හඬක්‘ ඇසේ.
‘‘කවුද ඔය පිරිමි කෙනෙක් විසිල් කරනවා ඇහෙන්නේ...?‘‘ ඔහු අසයි.
‘‘ටී.වී. එකේ ෆිල්ම් එකක් යනවා අප්පච්චි. ඉන්න මං ඕෆ් කරන්නං. ‘‘ ඇය කියයි.
මේ අතර ටෙක්ලාගේ ෆෝන් එකට සිග්නල් මදි වන අතර ඇගේ බඩ ද හදිසියේම අප්සෙට් වී, ටොයිලට් යාමට ද සිදු වෙයි. මේ සියල්ල ම පට්ටපල් බොරු ය.
මේ ආකාරයට ටෙක්ලාට සුජාන් නිසා බොරු කියන්නට සිදුවන්නේ, සිය සැමියාට පමණක් නොවේ. ඇයට සිය ගෙහිමි කාන්තාවට ද බොරු පිට බොරු කියන්නට සිදු වේ. ඒ මුලින් ම සුජාන් ව තම ඇනෙක්ස් එකේ නවත්වා ගැනීම වෙනුවෙනි. ඇය කිව්වේ, සුජාන් ඇගේ මල්ලි කෙනෙකු වන බව ය.
සුජාන් ට සහ ටෙක්ලා ට ලොක්ඩවුන් දින 46 ගත කරගැනීමට අවශ්‍ය කෑම බීම ටික උපයා සපයාගැනීම වෙනුවෙන් දහ අතේ බොරු කියන්නට සිදුවීම ඛේදජනක ය. සුජාන් ට ඒ වෙනුවෙන් කී දෙනෙකුට නම් බොරු කියන්නට සිදුවීද? මේ අතර ලක්ෂ 15 ක් මුදල් වංචා කළ සුජාන් ගේ හවුල්කාරයා ද සුජාන්ට බොරු කීවේ ය. ඒ වෙනුවෙන් පොලීකාරයන්ට බොරු කියන්නට සිදුවූයේ සුජාන් ට ය.
මෙහිදී අපට පෙනෙන්නේ බොරුව ප්‍රේම සම්බන්ධතා වල සිට මිත්‍ර සම්බන්ධතා වෙත ද ආසාදනය වන ආකාරයකි.
මේ අකාරයට චිත්‍රපටය සිය කතා ශරීරය ම වසාගෙන සිටින්නී, බොරුව නම් වූ හැවෙනි. දර්ශනයෙන් දර්ශනයට කරනු ලබන්නේ ඒවා එකින් එක ගලවා ඉවත්කර දැමීමයි.
චිත්‍රපටය තුළ බොරුව මොන තරම් සූක්ෂමව විග්‍රහ වී තිබෙන්නේද යත්, එකිනෙකාට ප්‍රේම කරන්නේ යැයි කියන ගැහැනියක සහ පිරිමියකු නිදාගන්නා කාමරයක් තුළ දින ගණනාවක් ම කොන්ඩමයක් පවා විශාල රැවටීමකට ලක්වේ. මන්ද ඔවුන් දෙදෙනා කොන්ඩමයෙන් ලබා ගන්නේ එයින් ගැනීමට නියමිත සේවය නොව, වෙනස් ම ආකාරයේ සේවයකි. එනම් එම කාමරය තුළ පැස්සවීම සඳහා සූදානම් කර තිබෙන වයින් බෝතලයේ කට සීල් කිරීම ය. මෙය නම් ඉතා ම සූක්ෂම වූ උත්ප්‍රාසයකි.
කෙසේවෙතත්, එක්තරා රාත්‍රියක දී, එනම් වයින් බෝතලය පාවිච්චියට ගැනුණු දවසේ දී සුජාන් සහ ටෙක්ලා ට තමන් විසින් ආරක්ෂා කළ මීටරේ නීතිය රකින්නට බැරි වේ. විශේෂයෙන් ම ටෙක්ලා තමන්ගේ හොඳ සිහියේ දී මැඬ ගත් ආශාවන් අසිහියේදී මැඬ ගත නොහැකි වූයෙන් පසුතැවිල්ලට ද පත් වේ.
මේ අතර දෙදෙනා ම ආතතියෙන් බරව කාංසාවෙන් සිටින මොහොතක ඔවුන් දෙදෙනා අස්වැසීම සඳහා ඔවුන් මැද්දට එන මොබයිල් ඇප් එක ද, බොරුව ම උත්කර්ෂයට නඟනා කදිම සංකේතයක් වේ.
මේ අතර හදිසියේ ම දොරට තට්ටු කරන පොලිස් සහ පී.එච්.අයි. නිලධාරීන් දෙදෙනා ඔවුන්ගේ හැඳුනුම්පත් පරීක්ෂා කරති. එහිදී ටෙක්ලා ගේ සැබෑ නම ‘තක්ෂිලා‘ බව ට හෙළිදරව් වීම සුජාන් විමතියට පත් කරයි.
‘‘තක්ෂිලා - තකී වුණා; තකී - ටකී වුණා; ටකී - ටෙකා වුණා; ටෙකා - ටෙක්ලා වුණා...‘‘ ටෙක්ලා උඩ බිම බලමින් සිටින සුජාන් ට පැහැදිලි කර දෙයි.
මෙහිදී ‘බොරුවෙහි තිබෙන තර්කානුකූල භාවය‘ විස්මය සහගතය.
අවසානයේ දී දෙදෙනා ම තමන් විවාහකයන් බව එකිනෙකාට පවසා ගැනීමේ ‘උච්ඡතම අවස්ථාවට‘ එළැඹෙයි. එහිදී දෙදෙනා ම පසුතැවෙන්නට පටන්ගන්නේ, තම තමන්ගේ විවාහක අනෙකා රැවටීම සම්බන්ධයෙනි. විශේෂයෙන් ම සුජාන් හැසිරෙන්නේ හංස විලේ නිශ්ශංක හැසිරුණු ආකාරයට සෑම අතින් ම සමාන වූ ආකාරයට ය.
මේ අවස්ථාවේ දී, ව්ලැද්මීර් නබකොව්ගේ ‘ලොලිටා‘ හි එන (ප්‍රේමයෙහි රැවටීම පිළිබඳ) අපූරු දෙබස සිහිපත් වේ. එනම්, තමා රැවටුණු බව කියමින් හඬ හඬා සිටින ලොලිටා ට හම්බර්ට් කියන දෙයයි.
‘‘ඕ... ලොලිටා... ඔයා අඬන්න එපා... මට සමාවෙන්න... මම ඔයාව ගොඩක් රැවැට්ටුවා... ඒත් ඒක ම තමයි ආදරේ හැටි...‘‘
රූපරාමුවෙන් රූපරාමුවට නොව, බොරුවෙන් බොරුවට ඡේදනය වන රූපරාමු අතර තමන්ගේ ජීවිතය ද, තමන්ගේ ජීවිතය නම් වූ බොරුව ද අලුතින් නරඹන්නට ප්‍රේක්ෂකයා පොලඹවයි.
මේ අතර මෙම චිත්‍රපටිය ‘නැරඹීමට අසීරු‘ චිත්‍රපටියක් වන බව ඇතැමකු ලියා තිබුණි. එය සැබෑ ය. චිත්‍රපටයේ රූප රාමු වලින් 90% ක් පමණ ම රූගත වී ඇත්තේ, එකම කාමරයක ය. බොහෝ විට එහි රඟපාන්නේ ද දෙදෙනෙකු පමණි. කාමරය තුළ තිබෙන කුඩා මාළු ටැංකියෙහි සිටින මාළුවන් දෙදෙනා මෙන් නළුවා ද නිළිය ද කාමරය තුළ අඩස්සි ගතකර කොරෝනා කාලයේ දීම තැනූ චිත්‍රපටයක් වන නිසා නැරඹීමේ අපහසුව දරාගත යුතු බව සිතේ. එහෙත්, නිර්මාණකරුවන්, තව ටිකක්වත් නිර්මාණශීලී වෙමින්, එකී අපහසුව යම් පමණකටවත් ඉවත් කර තිබුණේ නම් මැනැවි.