‘අපේ ලුසී’ ආරක්ෂා කරන්න ලෝක­යක් පෙළ ගැසෙයි | Page 2 | සිළුමිණ

‘අපේ ලුසී’ ආරක්ෂා කරන්න ලෝක­යක් පෙළ ගැසෙයි

කැනඩාවේ එඩ්මන්ටන් සත්ව උද්‍යානයේ වෙසෙන ශ්‍රී ලාංකික ඇතින්නක වන ලුසී මේ වනවිට බරපතළ ලෙස රෝගාතුර වී ඇති නිසා ඇයට සුදුසු පරිසරයක ජීවත් වන්නට ඉඩ ලබා දෙන්නැයි ඉල්ලා පසුගිය මාර්තු 16 වැනිදා රාමඤ්ඤ නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත නා හිමියන් සහ Justice For Animals And Nature සංවිධානය එක්ව පා ගමනක් සංවිධානය කර තිබිණි. පා ගමන අවසානයේ ලුසීට නිදහස ඉල්ලා කැනනේඩියානු මහ කොමසාරිස් කාර්යාලය වෙත සන්දේශයක් බාරදීම ද සිදු කෙරිණි.

 

එසේම පසුගිය 26 වැනිදා සත්ත්ව අයිතිවාසිකම් සහ පරිසරය වෙනුවෙන් පෙළගැසෙමු (RARE) සංවිධානය, ලක් සොබා සුරකින්නෝARPFහා ROH සංවිධාන ඒක්ව ඇය එඩ්මන්ටන් සත්ව උද්‍යානයයෙන් පහසුකම් ඇති වෙනත් සත්ත්වෝද්‍යානයකට මාරු කරන ලෙස ඉල්ලා මහ කොමසාරිස් කාර්යාලය වෙත සන්දේශයක් බාරදීම ද සිදු විය. මේ ඇගේ කතාවය.

ලූසි උපත ලබන්නේ 1975 වසරේ ලංකාවේදීය. 1977 වසරේදී ඇයට වයස 2ක් පමණ වනවිට ජර්මන් ජාතික ව්‍යාපාරිකයකු විසින් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවෙන් මිලදී ගෙන ඇත. ඉන්පසු ඔහු ඇයව ඇමෙරිකානු ඩොලර් 9789 ක මුදලකට කැනඩාවේ එඩ්මන්ටන් සත්ව උද්‍යානයට අලෙවි කර ඇත. ඇය එඩ්මන්ටන් සත්වෝද්‍යානයේ කුඩා කුටියකට කොටු වන්නේ වයස අවුරුදු 2 ක කුඩා පැටවකුව සිටියදීය. මේ වනවිට බර කිලෝග්‍රෑම් 4,000 ක් වන ඇය, වසර 44 ක් පුරා එඩ්මන්ටන් සත්වෝද්‍යානයෙහි කොන්ක්‍රීට් කුටියක ඉතා තද සීතලේ දුක් විඳිමින් ජීවත් වන්නී ය. ඇය කැනඩාවේ සත්වෝද්‍යානවල ඉතිරිව ඇති අලි ඇතුන්ගෙන් ජීවත්ව සිටන එකම සත්වයා ඇය පමණි. එඩ්මන්ටන් හි ජීවත් වන ඇය උතුරු දිග ලෝකයේ එකම අලියා ලෙස සැලකේ.

1959 දී අක්කර 107 ක භූමි භාගයක එඩ්මන්ටන් නිම්න සත්ව උද්‍යානය විවෘත විය. ඒ නගරයට බටහිර දෙසින් පිහිටි ලෝරියර් වනාන්තර නිම්නයට ආසන්නවය. එය බොහෝ දුරට "ළමා සත්වෝද්‍යානයක්" විය. එඩ්මන්ටන් සත්වෝද්‍යානය යනු එඩ්මන්ටන් සත්ව විද්‍යා සංගමයේ දැක්ම අනුව නිර්මාණය වූවකි. එහි සාමාජිකයන්ට අවැසි වූයේ සිය මහාද්වීපයේ හොඳම සත්ව ආකර්ෂණයෙන් යුතු වූ සත්වෝද්‍යානය නිර්මාණය කිරීමටය. එසේ වුව එය වෙනත් ක්‍රීඩාවකට හෝ විනෝදාස්වාදයකට වඩා අනුග්‍රාහකයන් ආකර්ෂණය කර ගත හැකි ස්ථානයක් විය.

එහි කළමනාකරණය විසින් සත්වෝද්‍යානය මහජනයාට විවෘත කිරීමටත් පෙර අලි ඇතුන් හා වඳුරන් එකතු කිරීමට සැලසුම් කර තිබුණි. මිනිසුන්ගේ බුද්ධිය, හැසිරීම සහ චිත්තවේගීය සම්බන්ධතාවයෙන් මිනිසුන් ඇද ගන්නා “චරිස්මැටික් මෙගාෆෝනා” විශේෂ ලැයිස්තුවේ සතුන් ඉහළින්ම සිටියේය. සත්වෝද්‍යානය විවෘත කළ පළමු මාසයේ ම 115,000 කට අධික පිරිසක් එහි පැමිණියහ. 1960 ගිම්හානය වන විට සත්වෝද්‍යානය තුළ කුරුල්ලන් 130 ක් සහ අනෙකුත් සතුන් වර්ග 89 ක් පමණ සිටි අතර, 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් එය නඩත්තු කළේය.

1977 මැයි 19 වැනි දින ලුසි පැමිණෙන විට සත්වෝද්‍යානය දශක දෙකකට ආසන්න කාලයක් විවෘතව පැවතුණි. එහි යන විට ඇයගේ වයස අවුරුදු දෙකකි. ඔවුන් මෙම ශ්‍රී ලාංකික ඇතින්න ජර්මානු සත්ව වෙළෙන්දෙකුගෙන් ඩොලර් 10,000 කට මිල දී ගෙන ඇත. ඒ වන විට ඇගේ නම ස්කනික් විය. නමුත් එඩ්මන්ටන්හි දී ඇය ලුසි නම් වූවා ය. ලුසි යනු එඩ්මන්ටන් හී පළමු අලියා වන අතර ඇය බොහෝ විට එහි අන්තිමයා ද විය හැකිය.

ඔවුන් අපේක්ෂා කළ පරිදි, ලුසී එඩ්මන්ටන් සත්වෝද්‍යානයට ලැබුණු විශාල දිනුමක් හිමි ලොතරැයි පතක් විය. මන්ද යත් මෙරට බොහෝ වැසියන් චිත්‍රපටයකින් හෝ රූපවාහිනී වැඩසටහනකින් මිස සජීවී අලියකු දැක නොතිබූ නිසාය. මෙනිසා සත්ත්වෝද්‍යානයේ ආදායම නොසිතු ලෙස වර්ධනය විය. කැල්ගරි සත්ව උද්‍යානය මීට වසරකට පෙර ශ්‍රී ලංකාවෙන් අලි ඇතුන් තිදෙනකු ලබාගෙන තිබුණ ද, නමුත් ලුසි එඩ්මන්ටන් හි පළමුවැන්නා වූ නිසාදෝ ඇය කෙරෙහි බොහෝදෙනා ආකර්ෂණය විය විශේෂයෙන් ම කුඩා දරුවන් ඈට ආදරය කළේය.

ලුසී ආකර්ෂණීය හා ඉතාම දක්ෂ ඇතින්නක වූවා ය. අලි සෙල්ලම්වලට අමතරව ඈ චිත්‍ර ඇඳීමට ඉතා දක්ෂ වූවාය. මෙනිසා ඇය බැලීමට පැමිණෙන පිරිස වැඩි වූ අතර ඇතැමුන් ඇය දැකීමෙන් කම්පනයට පත්විය. මෙනිසා විදුලි වැටකින් සහ ලෝහවලින් තැනූ කුටියක ඇයව ප්‍රදර්ශනය කිරීමට සත්වෝද්‍යාන පාලකයන් කටයුතු කළේය. එහෙත් ඇය ඉතා සූක්ෂමව විදුලිවැට දෙතුන්වරක් කඩා දැම්මේය. මේ නිසා ඇය සෑම ගිම්හානයකම එළිමහනට රැගෙන යාමට බලධාරීන් කටයුතු කළේය. ඇය සමඟ වැඩ කළ කාර්ය මණ්ඩලය සමඟ ඇය ආදරයෙන් හා සැලකිලිමත් ලෙස කටයුතු කළා ය. එක් පුහුණුකරුවෙක් විස්තර කළේ ලුසී සෑම උදෑසනකම පුහුණුකරුගේ උරහිස මත හිස තබාගෙන සිටින බවයි. ස්නානය කර නැඹුරු වූ විට, ලුසී ඇගේ දෙපා සෙමෙන් චලනය කළේ, ඇය සමඟ වැඩ කරන අයට හානියක් නොවන ලෙසට ය.

1996 දී එඩ්මන්ටන් ජර්නලයේ වාර්තාකරුවකු සමඟ අදහස් දක්වමින් සත්වෝද්‍යාන සේවක ඩීන් ට්‍රිචෙල් විස්තර කළේ ලුසී ඇගේ ආහාර බඳුන බිම හෙළමින් විදුලි වැටට එරෙහිව කටයුතු කළ බවයි. එසේම ඇය ඉක්මනින් සෙල්ලම් කිරීමට ඉගෙන ගත් බවයි. ඇගේ පෙනුම සහ ඇගේ පෞරුෂය විස්තර කරන විට ඔහු උද්යෝගිමත් ලෙස කියා සිටියේ "ඇය පුදුමාකාර සත්වයෙක්, ඇත්තටම ඇය තරම් හොඳ සතකු උතුරු ඇමරිකාවේ සොයාගත නොහැකි" බවයි.

ඇය හා සංසර්ගය සඳහා 2007 දී සමන්ත නැමැති හස්තියා ගෙන ආවද ලුසී තම අවට සිටින මිනිසුන් සමඟ ඇති සබඳතා ඉතා ගැඹුරු වූ බැවින් සමන්ත සමඟ ඇයගේ අන්තර් ක්‍රියාකාරිත්වය එතරම් සාර්ථක එකක් නොවීය. සමන්ත පසුව උතුරු කැරොලිනාවට ගෙන ගිය දා සිට ඇය තනිව ම මෙහි ජීවත් විය. ලුසීගේ දුක වටහා ගන්නා සත්ව ක්‍රියාකාරීන් ඇය සුදුසු පරිසරයකට ගෙනයන්නට සටනක් ආරම්භ කරන්නේ මීට වසර කිහිපයකට පෙර දී ය. සත්ව ක්‍රියාකාරිනියක වන ජේන් ගුඩාල් ඒ අතර පෙරමුණ ගෙන සිටියාය. ඇය ලුසී සම්බන්ධයෙන් වගකිව යුත්තන්ගේ අවධානය යොමු කරවමින් කළ සටනේ ප්‍රතිඵලයක් ලෙස ඇය ‍ස්වභාවික පරිසරයකට මුදාහැරීම සම්බන්ධයෙන් අවධානයක් යොමුව තිබේ. ලුසී වෙනත් ස්ථානයකට ගෙන යාමේ ව්‍යාපාරයක් දශක දෙකක පමණ කාලයක් තිස්සේ සිදුවෙමින් පවතින අතර, ඊට සහය පළ කරමින් සකස් කළ පෙත්සමට අත්සන් මිලියන හතරකට වඩා ලැබී ඇත. ඇය නිදහස් කරගැනීම වෙනුවෙන් සකස් කර ඇති ෆ්‍රෙන්ඩ්ස් ඔෆ් ලුසි(Friends of Lucy) ෆේස්බුක් පිටුවෙහි මේවනවිට සාමාජිකයින් 13,532 පිරිසක් සිටිති. ඇයව පහසුකම් සහිත වෙනත් සත්වෝද්‍යානයකට ආරක්ෂිකව රැගෙන යාමට සහය පළ කිරීම සඳහා Save Lucy.ca වෙබ් අඩවියක් නිර්මාණය කර ඇත.

පශු වෛද්‍යවරයාගේ අදහස වී ඇත්තේ ලුසී වෙනත් ස්ථානයකට ගෙන යාමෙන් ඇයට අත්වන ප්‍රතිලාභයට වඩා අවදානම ඉහළ බවය. ලුසී ස්වසන හා දන්ත ආබාධයන්ගෙන් පෙළෙන බැවින් ඇයව වෙනත් ස්ථානයකට ප්‍රවාහනය කිරීමේදී ජීවිත හානි පවා සිදුවිය හැකි බව ද පශු වෛද්‍යවරුන් පවසා තිබේ.

එසේම එඩ්මන්ටන් සත්වෝද්‍යාන නිලධාරීන් පවසන්නේ ලුසීට හුස්ම ගැනීමේ ගැටලුවක් පවතින බැවින් ඇය සිටින තැනින් වෙනත් ස්ථානයකට රැගෙන යාමේදී ඇගේ ජීවිතය සම්බන්ධයෙන් අවදානමක් පැවතිය හැකි බවයි. කාර්ය මණ්ඩලය පවසන්නේ මීට පෙරද සංචාරයකදී ලුසී ශාරීරිකව රෝගාතුර වූ බවයි. එසේම එක් අවස්ථාවකදී ඇය දැඩි ලෙස කලබලයට පත්වූ බවත් ඇය ප්‍රවාහනය කිරීම සඳහා භාවිත කළ ට්‍රේලරය පවා සිදුරු කළ බවයි.

මීට ප්‍රථම චීනය,ජපානය,දකුණු කොරියාව,චෙක්ජනරජය, පිලිපීනය, රුමේනියාව,කැනඩාව, ඇමරිකාව, බ්‍රිතාන්‍ය, නවසීලන්තය, සහ ඉරානය වැනි රටවලට මේ ආකාරයට විවිධ අවස්ථාවල සත්වෝද්‍යාන සඳහා අලි ඇතුන් ලබාදී ඇත. මෑතභාගයේ මෙරටින් පිටරටවලට ලබාදී ඇති අලි ඇතුන් සංඛ්‍යාව පහළොවක් පමණ වේ. ‍

නමුත් ලුසීට ආදරය කරන මෙරට මහා සංඝරත්නය, පරිසරවේදීන්, පරිසර සංවිධාන හා මේ සඳහා සහය පළ කරන ලොව අනෙකුත් සත්ත්ව සංවිධාන පවසන්නේ හිම වැටෙන ශීත පරිසරයක ජීවත්වීම මෙවැනි තත්ත්වයක පසුවන හස්තියකුට නුසුදුසු බැවින් දැන්වත් ඇය උණුසුම් භූමියකට රැ‍ගෙන යා යුතු බවයි. එසේ නොකළොත් ස්වසන ආබාධය තවත් උග්‍ර විය හැකි බවයි. ඇය ඝර්ම කලාපයේ උපන් සත්වයෙකි. එබැවින් ඇය ආරක්ෂිතව වෙනත් ස්ථානයකට ගෙන ගොස් ජීවිතයේ අවසාන කාලයවත් සුව පහසුවෙන් ගත කිරීමේ අයිතිය ලුසීට හිමිවිය යුතු බව ඔවුන් පවසයි.

මෙලෙස 1976 දී ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවේ වොෂින්ටන් සත්වෝද්‍යානයට ලබාදුන් ශාන්ති පසුගිය වසරේ ජූනි 26 වැනිදා වේදනා රහිතව මරණයට පත් කළේ 45 වන වියේ සිටියදීය. ඇය ඒ වනවිට ඔස්ටියෝ ආතරයිටිස් රෝගයෙන් පීඩා විඳිමින් සිටියේය. ඇය ලොව වැඩිම අධ්‍යයන සංඛ්‍යාවකට මුහුණ දුන් ශ්‍රී ලාංකික ඇතින්න වූවා ය. මීට ප්‍රථම පකිස්ථානයේ සිට නිදහස ලැබූ කාවන් නිදහස් වූවා සේම මතු දිනක ලුසීද නිදහස් විය යුතු ය.

 

Comments