ජාතික සම­ඟි‌යේ සංකේතයක් වූ එම්. ඒ. බාකීර් මාකාර් | Page 2 | සිළුමිණ

ජාතික සම­ඟි‌යේ සංකේතයක් වූ එම්. ඒ. බාකීර් මාකාර්

එම්. ඒ. බාකීර් මාකාර්

ප්‍රවීණ දේශ­පා­ල­ඥ­යකු මෙන්ම හිටපු කථා­නා­ය­ක­ව­ර­යකු වූ එම්.ඒ. බාකීර් මාකාර්ගේ  104 වන ජන්ම සංව­ත්ස­රය 2021 මැයි 12 වෙනි දිනට යෙදේ. මේ ලිපිය ඒ නිමි­ත්තෙනි. 

 

වෙද පෙළපතකට උරුමකම් කියන බාකීර් මාකාර් 1917 මැයි 12 වෙනි දින බේරුවල මරදානේදී උපත ලැබීය. බේරුවල පිහිටි ලංකාවේ පළමු මුස්ලිම් බාලිකා විදුහලින් මුලකුරු ඉගෙනීම ඇරඹු බාකීර් මාකාර් වයස අවුරුදු 7දී ප්‍රාථමික අධ්‍යාපනය ලබා ගැනීම සඳහා කොළඹ සාන්ත සෙබස්තියන් විදුහලට ඇතුළත් විය. කොළඹ සහිරා විදුහලින් ද්වීතීය අධ්‍යාපනය හැදෑරු මොහු 1939 වර්ෂයේදී නීති ශිෂ්‍යයකු වශයෙන් නීති විද්‍යාලයට ඇතුළත් වීමට වරම් උදාකර ගත්තේය.

 

1947 වර්ෂයේදී බේරුවල නගර සභාවට අභිනව සභිකයන් තෝරා ගැනීමේ මැතිවරණය පැවැත්විණි. මේ අවස්ථාවේදී ප්‍රදේශයේ සිටි උගතුන් හා ක්‍රියාකාරීන් බේරුවල මරදාන “ සකරියා විලා හිල් ” හිදී සාකච්ඡාවක් පවත්වනු ලැබිණි. සමාජයේ වෙනසක් බලාපොරොත්තු වූ මේ පිරිස බේරුවල නගර සභාවට, මරදාන කොට්ඨාසය නියෝජනය කිරීමට එකම සුදුස්සා බාකීර් මාකාර් බව තීරණය කළේය. “ සකරියා විල් හිල් ” හිදී පැවැත්වූ මේ සාකච්ඡාව බාකීර් මාකාර්ගේ ජීවිතයේ තීරණාත්මක අවස්ථාවක් වූ අතර, ක්‍රියාකාරී දේශපාලන දිවියට ආගමනය වීමට මූලික හේතුවක් විය. නගර සභා මැතිවරණයෙන් ජය ගත් බාකීර් මාකාර් බේරුවල නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක් වශයෙන් තේරී පත් විය.

නීති විද්‍යාල අවසන් විභාගයෙන් සමත් බාකීර් මාකාර් 1949 වර්ෂයේදී නීතිඥයකු වශයෙන් දිවුරුම් දුන්නේය. නඩත්තු ඉල්ලා උසාවියට එන අසරණ කාන්තාවන්ගෙන් මුදල් අය කිරීම වරදක් බව බාකීර් මාකාර් කල්පනා කළේය. නඩත්තු නඩුවලට පෙනී සිටීම සඳහා ඔහු කිසිදු මුදලක් අය කළේ නැත. බොහෝ අවස්ථාවලදී නොමිලේ නඩු හබවලට පෙනී සිටින බාකීර් මාකාර් මුදල් බලාගෙන නඩු හබ බාරගත්තේ නැත. 1951 වර්ෂයේදී බාකීර් මාකාර් කළුතර නීතිඥ සංගමයේ සභාපති තනතුරට පත්විය.

1950 වසර බාකීර් මාකාර්ගේ ජීවිතයේ තවත් වැදගත් සිදුවීමක් වු පෙරළිකාර වසරක් විය. ඒ බේරුවල නගර සභාවේ නගරාධිපති ධූරයට පත් වීමයි. නව නගරාධිපති බාකීර් මාකාර් මෙතෙක් කල් බේරුවල නගර සභාවේ බටහිර පාර්ශ්වයේ දුප්පතුනට සිදු වූ අසාධාරණකම් වැළැක්වීමට වහා පියවර ගත්තේය. බේරුවල නැ‌ෙඟනහිර හා බටහිර වශයෙන් බෙදී පැවති නගර සභා බල ප්‍රදේශය එක් නගර සභා බල ප්‍රදේශයක් බවට පරිවර්තනය කරමින් නැ‌ෙඟනහිර හා බටහිර සියලු ජනතාවට සාධාරණව සේවය කළේය. මේ නිසා මෙතෙක් කල් බෙදී වෙන් වී සිටි බේරුවල බටහිර හා නැ‌ෙඟනහිර ජනතාව සමගි විය. සාමයේ හඬ මුළු නගර සභා බල ප්‍රදේශය පුරා පැතිර ගියේය.

සිංහල රාජ්‍ය භාෂාව විය යුතු බව ප්‍රථම වරට නගර සභාවකින් යෝජනාවක් සම්මත කළේ බාකීර් මාකාර් නගරාධිපතිතුමාය. ඔහුගේ ඒ අරගලය සිංහල රජ බස කරවීම සඳහාය.

1960 මාර්තු මස පැවති මහා මැතිවරණයෙන් බාකීර් මාකාර් ජය ගත් අතර, බේරුවල පළමු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වශයෙන් තේරීපත් විය.

සියලු ජාතින් අතර ජාතික සමගිය ඇති කරමින් ප්‍රභූවරයකු ලෙස මෙරට ජනතා ප්‍රසාදයට පත් බාකීර් මාකාර් සැබැ ලෙසින්ම මහත්මා දේශපාලඥයකු ලෙස දැකිය හැකිය. මේ පිළිබඳව එතුමන් පාර්ලිමේන්තුවේදී කළ සිය මංගල කතාවෙන් මොනවට පැහැදිලි වනු ඇත.

සිංහල රාජ්‍ය භාෂාව ලෙස භාවිත කිරීම පිළිබඳව සිංහල ජාතියට දොස් පැවරීම නිවැරදි නොවන බව පැවසු බාකීර් මාකාර් කොටස්වලට කැඩුණු ශ්‍රී ලංකාවක් වෙනුවට නොබෙදුණු ජාතියක් බිහි කළ යුතු බව අවධාරණය කොට තිබේ.

“මම මුස්ලිම් ජාතිකයකු වීම ආඩම්බරයක්” “ශ්‍රී ලංකිකයකු වීම ආඩම්බරයක්” අපි මුස්ලිම්වරු විදියට මිත්‍රත්වයේ දෑත සියලුම වාර්ගිකයනයට දිගු කරන්නේ ඔවුන් සියලු දෙනාම එක් ජාතියක් ලෙස සලකන නිසාය. ඔහු සිය දේශපාලන දිවිය පුරාම කළේ ජාතීන් අතර ජාතික සමඟිය ඇති කරවීමේ උදාර අරමුණ පෙරදැරී කරගෙනය.

1977 වර්ෂයේ පැවති මහා මැතිවරණයෙන් වැඩි ඡන්ද

27,000 ක් ලබා ගනිමින් බාකීර් මාකාර් බේරුවල බහු මන්ත්‍රී කොට්ඨාසයේ පළමු මන්ත්‍රීවරයා වීමේ වාසනාව උදා කර ගත්තේය.

සිංහල අතිබහුතර මහජනතාවගේ මහජන මතයෙන් මුස්ලිම් ජාතිකයකු ජනතා නියෝජිතයකු ලෙස පත් කර ගැනීම ඓතිහාසික සිදු වීමකි. බේරුවලින් ජනතා අභිෂේකය ලැබූ මේ ජන නායකයා “ සිංහල බාකිර් ” කෙනෙකු ලෙස ඉස්මතු වන්නේ බහුතරයක් වූ බේරුවල සිංහල ජනතාවගේ කර මතිනි.

1977 අගෝස්තු 04 වෙනි දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ උපකථානායක ධූරයට පත් වූ බාකීර් මාකාර් ජනතාවගේ දහසකුත් බලාපෙරොත්තු හදවතට තුරුලු කර ගනිමින් සිය මහජන සේවාව ආරම්භ කළේය. බේරුවල නව උදානයට අනුව කිසිම කෙනෙක් මෙතෙක් කල් ලබා නොදුන් වරප්‍රසාද නිසා සෑම කෙනෙකුටම වාසනාවන්ත කාලයක් විය.

1978 සැප්තැම්බර් 21 වෙනි දින බාකීර් මාකාර්ගේ ජිවිතයේ තීරණාත්මක දිනයක් විය. ඒ එතුමා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ධූරයට පත් වීමයි. ශ්‍රී ලංකා පැරණි පාර්ලිමේන්තුවේ අවසාන කථානායක වශයෙන්ද ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුවේ ප්‍රථම කථානායක වශයෙන්ද බාකීර් මාකාර් මෙරට ඉතිහාසයට එක් විය.

ආරම්භයේ පටන්ම සංචාරක කේෂ්ත්‍රය බාර නිලධාරිවාදයෙන් කොතෙක් බාධා පැමිණිය ද, බෙන්තොට ප්‍රදේශයට සීමා වී තිබූ සංචාරක ව්‍යාපාරය බේරුවලට ගෙන ඒමට මුල් වූයේ බාකීර් මාකාර්ය. බේරුවල සංචාරක කලාපයේ නිර්මාතෘ ලෙස බේරුවල ප්‍රදේශයේ ආර්ථිකයේ විප්ලවයක් ඇති විය.

නව රැකියා,විසිතුරු භාණ්ඩ වෙළෙඳසැල්, සංචාරක හෝටල් ප්‍රදේශයේ බිහි විය. ඔවුන්ගේ ආරක්ෂාවට මොරගල්ල ප්‍රදේශයේ සංචාරක පොලිසියක් ද පිහිටුවනු ලැබිය. සංචාරක කලාපය පුළුල් කිරීම සඳහා බේරුවල මොරගල්ල ගාලු පාරට මුහුණලා තිබූ විශාල ඉඩම අත්පත් කර ගත්තේ ද බාකීර් මාකාර්ගේ අදහසකට අනුවය.

1983 අගොස්තු මස 31 වෙනි දින කථානායක ධුරයෙන් සමුගත් බාකිර් මාකාර් එදිනම කැබිනට් අමාත්‍යවරයකු වශයෙන් දිවුරුම් දුන්නේය.

අති විශාල මුදලක් වැයකොට අමාත්‍යාංශ ගොඩනැගිල්ලක් පවත්වාගෙන යෑමට එතුමා කැමැත්තක් දැක්වුයේ නැත. ඒ වෙනුවට ඔහු කළේ නිවසේම කොටසක් ඒ සඳහා යොදා ගැනීමය. ඔහු අනුගමනය කළ මේ ආදර්ශවත් ක්‍රියාමාර්ගය එවකට මුදල් ඇමතිව සිටි රොනි ද මැල් ඔහුගේ පාර්ලිමේන්තු කථාවේදී ඉහළින්ම අගය කළේය.

නීතිගරුක, විනීත, තරුණ පරපුරක් මේ ජන සමාජයට උරුම කිරීමේ පරම චේතනාවෙන් සමස්ත ලංකා මුස්ලිම් තරුණ පෙරමුණ බාකිර් මාකාර් මෙරට තරුණ පරපුරට දයාද කළේය.

ඔහු කිසි දිනක ආගම්වාදියෙක් වුයේ නැත, ජාතිවාදීයකු වූයේ නැත, ජාතික සමඟිය ඇතිකරවීම සඳහා මහඟු සේවාවක නිරත වු බාකිර් මාකාර් ජාතික සමඟිය ඇතිකර ගත යුතුය යන හඞ මුළු රට වටා ගෙන ගියේය. ඔහුගේ වියදමින් “ඇයි අපට සිංහල” ? (යේන් සිංහලම්) පොත මුද්‍රණය කර මුළු රට පුරාම මුස්ලිම් ජනතාව අතර බෙදා හැරියේය. මේ සඳහා කොතරම් බාධක පැමිණියාද කිවහොත් එදා ඔහුට කිසිම දෙමළ පුවත්පතකින් මුදල් ගෙවා හෝ දැන්වීමක් පළ කරවා ගැනීමට නොහැකි විය.

1988 ජුනි මස 31 වෙනි දින පාර්ලිමේන්තු දිවියෙන් සමුගත් බාකිර් මාකාර් දකුණු පළාතේ ආණ්ඩුකාර ධුරයට පත්විය.

දේශපාලන දිවිමගේ අඩසිය වසකටත් වැඩි කාලයක් කළ උතුම් ජන මෙහෙවර අවසන් කරමින් 1993 දෙසැම්බර් මස 21 වෙනි දින දකුණු පළාතේ ආණ්ඩුකාර ධුරයෙන් හා දේශපාලන දිවියෙන් ඔහු සමුගත්තේය.

නිලයට බලයට ගිජුකමින් ඔහු කිසි දිනක ප්‍රතිපත්ති පාවා දී නැත. ඔහු වවුල් දේශපාලනය පිළිකුල් කළේය. ඔහු දේශපාලන දිවි මඟට ආගමනය වු එක්සත් ජාතික පක්ෂය හැර වෙනත් පක්ෂයට පැන ගියේ නැත. ඔහු ඉපදුනේ මෙන්ම මිය ගියේද එක්සත් ජාතික පාක්ෂිකයකු වශයෙනි.

නාගරික මන්ත්‍රීවරයකු, නගරාධිපතිවරයකු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, කැබිනට් අමාත්‍යවරයකු, කථානායකවරයකු හා ආණ්ඩුකාරවරයකු වශයෙන් ඔහු කළ සේවාවත්, බහුවාර්ගික ජනතාවක් ජීවත්වන බේරුවල වැනි ප්‍රදේශයක ජාතික සමඟිය රැකගත් අයුරුත්, එතුමාගේ උපන් දිනය සමරන දිනක විශේෂයෙන් බේරුවල ජනතාවත්, ඔහු කළ සේවා අගයන මෙරට වැසියනුත් සෙනෙහෙබර සිතින් සමරනු නියතය.

Comments