දුක් සන්තාප මැද වූවත් රසවින්දනය මිය යන්නේ නැහැ | Page 2 | සිළුමිණ

දුක් සන්තාප මැද වූවත් රසවින්දනය මිය යන්නේ නැහැ

 

 

රෝමය ගිනි ගනිද්දී නීරෝ වීණා වාදනය කළ බව අප අසා ඇත්තෙමු. නීරෝගේ වීණා වාදනය විවිධාකාර අයුරින් විග්‍රහ කරන ආකාරය ද අසා ඇත්තෙමු. මුළු ජීවිතයම ගිනි ගන්නා මොහොතක ඒ සංවේගය දරා ගන්නා හදවතින්ම ගීතයක මිහිරි සංවේදනයත් දරාගන්නට හැකි යැයි කවදා හෝ දිනයක විඳ දරාගත් අයෙක් සිටීද? දරුවකු ලෙස, නව යෞවනයේ දොරටුව අසල සිට විඳගත් ඒ කම්පනයෙන් දශක ගණනකට පසුව අදත් තිගැස්සෙන හදවතත් රැගෙන අද හද බැඳි ගීයට එකතුවන්නේ ගැඹුරු හඬින් හදවත් ප්‍රකම්පනය කරවන ගායන ශිල්පී දයාන් විතාරණ යි.

 

"මගේ ළමා වියේදී මට වැඩිපුර අසන්නට ලැබුණේ ඉංග්‍රීසි ගීත. එවකට නිවෙසේ වැඩිපුර සවන් දුන්නේ ඉංග්‍රීසි ගුවන්විදුලි නාළිකාවලට. වයස අවුරුදු එකොළහේ දී පමණ ඉදහිට ඇසුණු සිංහල ගීතයක් රස විඳින්නට මගේ හිත තදින්ම ප්‍රිය කළා. මට මතකයි ලෝටස් රෙකෝඩ් ඉංග්‍රීසි සේවයේ සෑම බදාදාවකම රාත්‍රී 9 ට සිංහල ගීත විකාශනය වන වැඩසටහනක් ප්‍රචාරය වුණා. මම ඒ ගීත අසන්නට සතියක් පුරා බලා සිටියා. ඒ තරම් එදා ඇසුණු ඒ අපූරු සිංහල ගීතවලට මම ප්‍රිය කළා. ප්‍රියා සූරියසේනගේ ‘ඈත රන් විමන්‘, ඉන්ද්‍රානි පෙරේරා ගේ ‘හා හා හොරේ‘, ‘මතකය අතරින්‘ වැනි ගීත මගේ මතකයේ බොහොම තදින් තැන්පත් වුණා.

එක්තරා අවස්ථාවක මට අසන්නට ලැබෙනවා අමරදේවයන්ගේ සංගීතයෙ හැඩවී ඉන්ද්‍රානි පෙරේරා විසින් ගායනා කළ ‘රුසිරු කිඳුරු හීනයක්‘ගීතය. එහි පදමාලාව ධර්මසිරි ගමගේ විසින් රචනා කරන ලද්දක්. ගීතය අඩංගු වුණේ තරංගා චිත්‍රපටයේ බව එහි විස්තර සමඟ මට දැනගන්න පුළුවන් වුණා.

චිත්‍රපට බැලීමට අපව රැගෙන ගියේ නැතත් ගුවන් විදුලියේ සිංහල සේවය අසන්නට ඉඩ දී තිබුණා. එයින් මගේ සිංහල ගීත ඇසීමේ ආශාව සපුරාගන්නට ඉඩක් ලැබුණා. අහම්බෙන් ඇසුණු ඒ ගීතය ඉන්පසු ඇසෙන සෑම අවස්ථාවකම සියලු දේ නවත්වා අසා සිටින්නට තරම් රසවත් ලෙස මගේ මතකයේ තැන්පත් වුණා.

ඒ කාල වකවානුවේ අපට හිතුණු ඕනෑම අවස්ථාවක ඕනෑම ගීතයක් රස විඳින්න පහසුකම් තිබුණේ නැහැ. ඒ නිසාම අප ප්‍රිය කරන ගීතයක් ගුවන්විදුලියේ ප්‍රචාරය වෙද්දි අහන්න ලැබීමත් අහම්බෙන් සිදුවන සතුටුදායක අත්දැකීමක්. එසේ ඉතාම ආශාවෙන් රස විඳින ගීතයක් ඇසෙන විට බොහෝ අවස්ථාවල අප අනෙකුත් වැඩ කටයුතු පසෙක ලා හෝ ඒ ගීතය රස විඳිනවා.

මේ සිදුවීම වුණේ මම පාසලේ නව වන ශ්‍රේණියට ඇතුළත් වුණු මුල්ම දිනේ. එදා මට පන්ති නායක තනතුරත් ලැබුණා. පාසල් ඇරී මං නිවෙසට පැමිණෙන මොහොතේ මා සමඟම තාත්තාත් කාර්යාලයේ සිට නිවෙසට පැමිණියා. වෙනදා නිවෙසට පැමිණි ගමන් ආහාර ගැනීමට අසුන් ගන්න තාත්තා එදා කෙළින්ම ගියේ ඇඳට. වෙනදා පුරුදු ආකාරයට සිදු නොවූ නිසා මම තාත්තගෙන් ඒ ගැන විමසූ විට තාත්තා පැවසුවේ මහන්සියක් සහ තෙහෙට්ටුවක් දැනෙන බව. තාත්තා ඇඳේ ඇල වී සිටියා. මම දවසේ සිදු වූ දේවල් තාත්තා සමඟ කතා කරමින් සිටියා.

මුලදී තාත්තා ඒ ගැන යම් අවධානයක් දැක්වූවත් ටික වේලාවකින් එක්වරම කිසිවක් නොපවසා, අවධානය නොදක්වමින් උඩ බලාගෙන සිටියා. මට කුමක් හෝ වෙනසක් දැනුණු නිසා මම තාත්තාට අසනීපයක් බව කියමින් අම්මට කතා කළා.

මගේ තාත්තා ක්‍රීඩාවට ඇලුම් කළ නිතර විවිධ ක්‍රීඩාවල නිරත වූ ශක්තිමත් පුද්ගලයෙක්. එයට පෙර දින තාත්තා ක්‍රිකට් සහ ටෙනිස් ක්‍රීඩා කර වෙහෙසව ගෙදර ආවා. තාත්තාට අසනීප බව අම්මට පැවසූ අවස්ථාවේ ඇය තාත්තා ක්‍රීඩා කිරීමෙන් වෙහෙසට පත්වීම පිළිබඳ නෝක්කාඩු කියමින් තාත්තාට ග්ලූකෝස් එකක් ගෙනත් දීමට මුදල් ඇත්තේ කොහේ දැයි විමසා සිටියා. ඒ මොහොතේ වම් අත ඉහළට එසවූ තාත්තා කුමක්දෝ කියන්නට සැරසුණත් කිසිවක් කියා ගන්නට නොහැකි වී එකවරම අත පහළට කඩා වැටී මුවෙන් සෙම පිට වුණා. එය දුටු සැණින් අම්මාගෙ කෑගැසිල්ලට බියවූ මම අසල නිවෙසට දිව ගොස් ඒ නිවෙසේ අය කැඳවාගෙන පැමිණියා. අසල්වැසියකු හැකි ඉක්මනින් වෛද්‍යවරයකු ද නිවෙසට කැඳවා ගෙන ආවා. ඔහු තාත්තා පරීක්ෂාකළ පසු පැවසුවේ තාත්තා මිය ගොස් ඇති බවයි.

ඒ මොහොතේ දී මට දැනුණේ දරා ගත නොහැකි බැරි, පැහැදිලි කරන්න බැරි එක වරම මුළු ලෝකයම දෙපාමුල කඩා වැටුණා බඳු හැඟීමක්. මොහොතකට පෙර මා සමඟ කතා කරමින් සිටි තාත්තා යළි නොනැඟිටින්නටම දෑස් පියා ගෙන ඇති බව දුටු වේදනාව, සංතාපය කැටිකොටගත් හැඟීම් ලක්ෂ ගාණක සම්මිශ්‍රණයක්.

ඒ කාලයේ නිවෙසේ දුරකතන පහසුකම් තිබුණේ නැහැ. තාත්තා රැකියාව කළ කන්තෝරුවට තිබුණේ පයින් ඇවිද යා හැකි තරම් දුරක්. නිවෙසට ආසන්න වැඩිහිටියෙක් සමඟ මම තාත්තගේ කන්තෝරුවට ඇවිදගෙන ගියා. ඒ තබන සෑම අඩියක් පාසාම කඳුළු කඩා හැළුණා. අපි යන මාර්ගයේමයි මගේ හොඳම මිතුරා ප්‍රියන්ත ශ්‍රියාන් හේරත් ගේ නිවෙස පිහිටා තිබුණේ. ඔහුගේ පියා sound studio හිමිකරු.

ජීවිතයේ අතිශයින්ම දුක්බර අත්දැකීම විඳිමින් මම මිතුරාගේ නිවෙස අසලින් යන විට මට 'රුසිරු කිඳුරු හීනයක්' මා ප්‍රිය කළ ඒ ගීතය අසන්නට ලැබෙනවා. සිදුවන්නට ඇති නරකම දේ ජීවිතයට සිදු වී තිබුණත්, ලෝකයේ උහුලන්නට වන වේදනා අතර දැඩිම වේදනාවක් උසුලමින් සිටියත්, හෙට දවස ගත කරන්නෙ කොහොමද යන ප්‍රශ්නය හිත තුළ ඇති වී තිබුණත් මට ඒ ගීතය නොවිඳ ඉන්නට නොහැකි වෙනවා. අතිශයින්ම ප්‍රබල සන්තාපය මැද මා පාර දිගේ ඇවිදිමින් ඒ ගීතය විඳිනවා.

චිත්‍රපට රූප රාමුවේ ඇත්තේ ඒ ගීතය උපන්දින උත්සවයක දී ගායනා කරන අවස්ථාවක්. ඒ කියන්නේ සතුටුදායක අවස්ථාවක්. ගීතයක් විඳින්නට සතුටුදායක හැඟීම් සහ අවස්ථාවක් තිබිය යුතු නැති බව මට වැටහෙනවා. හොඳ කලා රසිකත්වයක්, රසවින්දනාත්මක හැඟීම් ගොන්නක් හදවතේ තිබෙන පුද්ගලයකුට ගීතයක් විඳින්නට අවස්ථාව වැදගත් වන්නේ නැහැ. දුක් සන්තාප මැද වුවත් රසවින්දනය මිය යන්නේ නැහැ.

ඒ ගීතයට සම්බන්ධ සියලුම දෙනා පසුකාලීනව මගේ ජීවිතේ ඉතා සමීප හිතවතුන් බවට පත්වීමත් දෛවෝපගත යි.

අදටත් ඒ ගීතය ඇහෙන සෑම මොහොතකම මට පැහැදිලි කර ගත නොහැකි සංවේගය හා මුසු වූ අමුතු සංවේදනයක් දැනෙනවා. ඒ තිගැස්ම ඒ වේදනාත්මක බව ගීතයට කිසිසේත්ම සම්බන්ධ නොවුණත් ඒ ගීතය සමඟ මගේ ජීවිතයට බද්ධ වූ අත්දැකීම ගීතය ඇහෙන වාරයක් පාසා මගේ හදවතේ ඇතුළු පටක කොනිත්තා රිදුමක් යැයි පැහැදිලි කර කිව නොහැකි හැඟීමක් මට ගෙන දෙනවා.

Comments