භූමියේ බ්‍රහ්ම පාදය සහ නිවසේ බ්‍රහ්මස්ථානය හඳුනා ගැනීම | සිළුමිණ

භූමියේ බ්‍රහ්ම පාදය සහ නිවසේ බ්‍රහ්මස්ථානය හඳුනා ගැනීම

 

භූමියක බ්‍රහ්ම පාදය හඳුනා ගැනීම සහ නාගරික කුඩා ඉඩම්වල ඉදිකරනු ලබන නිවාසවල බ්‍රහ්මස්ථානය ශුභඵල දෙන ලෙස ස්ථානගත කිරීම ගැන මෙම ලිපියෙන් අනාවරණය කෙරේ.

 

කිසියම් භූමි ප්‍රමාණයක හිමිකරුවන් තම වාසස්ථානය සඳහා නිවසක් ඉදිකිරීමේදී අනුගමනය කළ යුතු සිද්ධාන්ත ඉපැරණි ඉන්දීය වාස්තු විද්‍යා ශිල්ප ක්‍රම අනුව මෙහි දක්වා ඇති අංක 1 රූප සටහනින් පැහැදිලි වෙයි. ඒ අනුව ඉඩමක වාස්තු විද්‍යාවට අනුව පාද බෙදීමේ ශිල්ප සිද්ධාන්තය විශ්වකර්ම ප්‍රකාශය අනුව සකස් කර තිබේ.

 

විශ්ව කර්ම ප්‍රකාශයේ දැක්වෙන්නේ මෙසේය.

 

“බ්‍රහ්ම පාදෙක දෙවෂටං

මානුෂං ෂෙඩශං පදං

චතුර් විංශති පිශාචංච

භූමි චක්‍රම්ති - ස්මාතම්“

මෙහි දක්වා ඇති රූප සටහනෙහි පාද 49ක් දැක්වෙයි.

 

ඉඩමක් මෙම රූප සටහනෙහි දැක්වෙන ආකාරයට පාද බෙදනු ලැබේ. ඒ අනුව,

 

(1) බ්‍රහ්ම පාදය

බ්‍රහ්ම පාදය හරි මධ්‍ය පාදය වෙයි.

(2) දේවපාදය

 

බ්‍රහ්ම පාදය වටා ඇති පාද 8ක් ඇත. එය දේව පාද වශයෙන් හැඳින්වෙයි.

 

(3) මනුෂ්‍ය පාදය

දේව පාද වටා ඇති පාද මනුෂ්‍ය පාද වශයෙන් ගැනේ.

 

(4) ප්‍රේත පාද

මනුෂ්‍ය පාදය වටා ඇති පාද විසි හතර ප්‍රේත පාද වේ.

බ්‍රහ්ම පාදය කොටස් 01 කි.

දේව පාදය කොටස් 08 කි.

මනුෂ්‍ය පාදය කොටස් 16 කි.

ප්‍රේත පාදයේ කොටස් 24 කි.

එකතුව කොටස් 49 කි.

 

(1) නිවසක් ඉදිකිරීමේදී භූමියේ මායිම වටා ඇති ප්‍රේත පාදය නිදහස් විය යුතුයි.

ඉඩමේ හරි මැද කොටස අතිශයින් පූජනීය බ්‍රහ්ම පාදය වෙයි. ප්‍රමාණයෙන් විශාල ඉඩමක් නම් එම ඉඩමේ බ්‍රහ්ම පාදයට වෙන්වන කොටස තුළ නිවාසයක් ඉදිකිරීම ශුභ නැත.

ඉඩමක් පාද වලට බෙදූ පසුව ප්‍රේත පාදය යෙදෙන කොටස්වල ද නිවසක් ඉදිකිරීම අශුභ බව වාස්තු විද්‍යාවේ සඳහන් වෙයි.

ඉඩමේ හරිමැද බ්‍රහ්ම පාදය පූජනීය නිසා එය ද නිවසක් ඉදිකිරීමේදී ඉතා අශුභ බව සඳහන් වෙයි.

එහෙත් විහාරයක්, දේවාලයක්, වෙනත් පූජනීය වූ ස්ථානයක් ඉදිකිරීම සුදුසුයි.

පර්චස් 20 දක්වා භූමි ප්‍රමාණ ඇති ඉඩම්වල මෙම සිද්ධාන්තයට අනුව නිවසක් ඉදිකිරීම අපහසු වෙයි. නාගරික කුඩා ඉඩම්වල නිවාස ඉදිකිරීමේදී මායිම් බිත්ති බොහෝ ස්ථානවල දැකිය හැකියි.

ඉදිකරනු ලබන නිවාසවල ඉදිරි පසට හා පසු පසට වාතාශ්‍රය ලැබීමට සුළු ඉඩ ප්‍රමාණයක් වෙන්කර නිවසේ දෙපස බිත්ති මායිම්වලට සම්බන්ධ කර ඇත. එම නිවාස - ගොඩනැඟිලි මෙම මූලික සිද්ධාන්තවලට නොගැළපෙන බව දක්නට ඇත. මෙම ගොඩනැඟිලි ශූභඵල දෙන ආකාරයට ඉදිකිරීම සඳහා අප විසින් දෙනු ලබන උපදෙස් කීපයක් ඇත.

 

(1) යෝජිතව ඉදිකරනු ලබන නිවසේ අත්තිවාරම් ප්‍රධාන මුළු හතර ඉඩමේ ප්‍රධාන මුළු හතරට සම්බන්ධව ඉඩමේ ප්‍රධාන මුළු මත ඉදිකිරීම ඉතා අශුභ ඵල දෙන බව නිවාස පරීක්ෂණයේදී අත්දැක ඇති සිද්ධාන්තයකි.

ඉඩමක ප්‍රධාන මුළු හතර මහා ප්‍රේත කෝණය වශයෙන් හැඳින්වෙයි.

මහා ප්‍රේත කෝණය මග හරවා නිවසක් ඉදිකිරීම ඕනෑම ඉඩමක ප්‍රේත පාද - මනුෂ්‍ය පාද - දේව පාද සහ උතුම් බ්‍රහ්ම පාදය තීරණය කිරීමේදී ඉඩමේ මායිම්වල විෂමතාවය ගැටලුවක් වෙයි. ඉඩමේ හැඩතල අනුව උපරිම දිග ප්‍රමාණය සහ උපරිම පළල ප්‍රමාණ කොටස් හතකට බෙදා බ්‍රහ්ම පාදයේ ස්ථාන ගතවීම තීරණය කරගත හැකියි.

නිවසක බ්‍රහ්මස්ථානය සෙවීම

නිවසක බ්‍රහ්මස්ථානය ගණනය කිරීමේදී නිවසේ උපරිම දිගින් සහ උපරිම පළලින් හරි මැද බ්‍රහ්ම පාදය ලෙස ගණනය කෙරෙයි.

 

අංක 2 රූප සටහනින් මෙය පැහැදිලි කර ඇත.

ඉදිරිපස බිත්තියේ සිට ඉදිරිපස මායිමට ඇති දුර ප්‍රමාණය ගණනය කර එයින් අඩක් වන සේ පසු පස බිත්තියේ සිට පසු පස මායිමට ඇති දුර ප්‍රමාණය සකස් කර ගත යුතුයි.

මෙම න්‍යාය අනුව ඉඩමේ බ්‍රහ්ම පාදයට නිවසේ බ්‍රහ්ම පාදය දුරස්ව තබා ගත හැකිය.

කුඩා ඉඩම්වල නිවාස දෝෂ පරීක්ෂණයේදී ඉඩමේ බ්‍රහ්ම පාදය මත නිවසේ බ්‍රහ්ම පාදය යෙදීම ඉතා අශුභ ඵල දෙන කරුණක් බව කරුණු විමසීමේදී දැන ගැනීමට හැකියි.

ඉඩමේ බ්‍රහ්මපාදය මත නිවසේ බ්‍රහ්මපාදය යෙදී ඇත්නම් ගෘහයේ පදිංචි නිවැසියන්ට අප්‍රමාණ දුක් කරදර පීඩා යෙදෙයි. ආර්ථිකය පිරිහේ. රෝගාබාධ යෙදේ. පවුල් විනාශ වෙයි.

 

නිවාස ඉදි කිරීමේදී මගහරවා ගත හැකි පහසු කාර්යක් බව සඳහන් කරමි.

මෙයින් නිවසේ දෙපස ප්‍රධාන බිත්ති දෙක ඉඩමේ මායිම්වලට හසුවීමේ දෝෂය මග හැරෙන බව සඳහන් කරමි.

 

අංක 3 රූප සටහ­‍්නේ මෙය පැහැදිලි කර ඇත.

මෙම රූප සටහන අනුව ඉඩමේ මායිම් මුළු හතර නිදහස්ව ඇත.

කුඩා ඉඩමක බ්‍රහ්ම පාදය නිදොස් කර ගැනීම.

මෙම සිද්ධාන්තය ද අත්‍යවශ්‍ය කාරණයකි. මේ සඳහා නිවසේ දිනෙන් දින දියුණුව සලසයි. නිවසේ බ්‍රහ්ම පාදය බිත්තියකට යට නොවිය යුතුයි. ගමන් මාර්ගයකට හසු නොවිය යුතුයි. නිවසේ බ්‍රහ්මස්ථානය මත වැසිකිළි කැසිකිළි දොරවල් වාඩිවන ස්ථානවලට හෝ නිදා ගන්නා ස්ථානයකට හසු නොවිය යුතුයි.

බ්‍රහ්මස්ථානය හිස්ව තැබිය යුතුයි. එම ස්ථානය යට නොවන සේ බුදු පිළිම දේව පිළිම තබා දිනපතා එම ස්ථානයේ ආගමික වතාවත් කළ යුතුයි. නිවසේ අතිඋතුම් පූජනීය ස්ථානය වශයෙන් සලකා එම ස්ථානය නිවසේ සියලු දෙනාගේම අතිශය ගෞරවයට පාත්‍රවන ස්ථානයක් වශයෙන් තබාගත යුතුයි.

නිවසේ උපරිම දිගින් හා පළලින් හරි මධ්‍ය කේන්ද්‍රස්ථානය

ඉඩමේ උපරිම දිගින් පළලින් හරි මධ්‍ය කේන්ද්‍රස්ථානයට හසු නොවිය යුතු බව ඉතා විමසිල්ලෙන් වටහා ගන්න.

නිවසේ බ්‍රහ්මස්ථානය නිවසක ඉතා උතුම් පූජනීය ස්ථානය වෙයි.

එම ස්ථානයේ සිට සුවිශේෂ වූ කිරණක් නිවස පුරා නිරන්තරයෙන් ජලය විසිරී යන්නා සේ සිවු දෙසට ගලා යයි.

එම ස්ථානයෙන් නිකුත්වන ශක්ති විශේෂය නිසා විශේෂ ශුභඵල ගෙන දෙයි.

ගෘහ වාසීන්ගේ දියුණුව නිරෝගි බව ආයු බලය ඇති කරවයි. බුද්ධිය ඥානය නුවණ ඇති කරවයි. වංශ පරම්පරා පැවැත්ම ඇති කරවයි. සෞභාග්‍ය හිමිකර දෙයි.

Comments