‘ඔන්ලයින්‘ අධ්‍යාපනයට විකල්පයක් | Page 2 | සිළුමිණ

‘ඔන්ලයින්‘ අධ්‍යාපනයට විකල්පයක්

න්ලයින් කියූ පමණින් සමහරුන්ට ඇලජික් ය; ඒ එක පරම්පරාවකට ය. තවත් පරම්පරාවකට ඔන්ලයින් නැතිව ලයින් වෙන්නට ම බැරි ය; එය ජීවිතයේ ම කොටසක් වී හමාර ය. ඔන්ලයින් හොඳ සේම ඔන්ලයින් නරක වෙන අවස්ථා ද නැත්තේ නොවේ. රැවුල කපන මැෂිමේ පටන් ගෙදර එදිනෙදා භාවිතයට ගන්නා එළවළු දක්වා ම ඔන්ලයින් ඔස්සේ ගෙන්වා ගන්නා පිරිසක් ද සිටින රටක තවත් පිරිසකට ඔන්ලයින් මැජික් වීම නම් හොඳට වඩා නරකට හිටින්නට පුළුවනි ය. වසංගත සමයෙක බිත්ති හතරකට කොටු වී ජීවිතය සොයන අවදියක නම් ඔන්ලයින් ඇලජික් වීම ජීවිතය ම ඇලජික් වීමක් හා සමාන ය.

වසංගතයකට මුවා වී අධ්‍යාපනය මුළුමනින් ම කඩාකප්පල් කර ගැනීම රටක අනාගතයට කරන බලපෑම ගැන අටුවා ටීකා ලිවීම අවශ්‍ය නැත. එහෙයින් මාස පහළොහක් තිස්සේ ගෙදරට ම කොටු වූ දරුවන්ට ඔන්ලයින් අධ්‍යාපනය ලබා දීම හැර වෙන විකල්පයක් නැත. එහෙත් එය වඩාත් ඵලදායීව කරගන්නේ කෙසේද යන්න ගැන නම් නැවත නැවතත් සිතිය යුතුව ඇත.

ලෝකය එක ම යායක් වී ඇති කාලයක ඔන්ලයින් මැජික් වනවාට වඩා ඉන් ලබා ගත හැකි ප්‍රතිලාභ ලබා ගැනීම අවැසි යැයි සිතීම මෙකල්හි අමුතු සිතිවිල්ලක් නොවේ. එහෙත් සංවර්ධනය වෙමින් පවතින රටක එකී සම්පත්හි පරිමාව අනුව මෙවැනි දෑ හි උපයෝගීතාව සකස් කරගත යුතු බව අපි මතක් කරමු.

කොවිඩ් 19 වසංගතයට සංවර්ධනය වූ හෝ නොවූ රටවල් කියා වෙනසක් නැත. ලොව පුරා දරුවන් එක ම අයුරෙන් පිඩාවට හා අසරණභාවයට පත් කිරීමට මේ වසංගතයට අවශ්‍ය වූයේ වසරකටත් අඩු කාලයකි. අවතැන් වීම්, ආපදා, දුප්පත්කම, රෝගාබාධ , ශාරීරික දුබලතා හා සම්පත් බෙදී යෑම යනාදී කරුණු හේතුවෙන් සිය ළමා අයිතිවාසිකම් භුක්ති නොවිඳි දරුවන්ට වඩාත් තීව්‍ර ලෙස එකී තත්ත්වයන්ට මුහුණ දෙන්නට සිදුවන බව පැහැදිලි ය. එහෙත් සම්පත් ඇති නැති කියා පරතරයක් නැතිව භීතිය නම් එකක් ම විය. 1950 දී පමණ විශිෂ්ට නව නිපැයුම් නිසා ඉගැන්වීමේ දියුණුව ඇති වූ අතර ඉගැන්වීමේ පහසුවද සැලසුණි. ප්‍රධාන ගැටලුවක් ලෙස පැන නැඟී ඇත්තේ දුරස්ථ ඉගෙනීමයි. 1993 සිට මෙම ඉගැන්වීමේ ක්‍රමය වැඩි දියුණු වූ අතර එතැන් සිට එය නීත්‍යානුකූල අධ්‍යාපන මාර්ගයක් විය.

මේ වන විට ලොව පුරා රටවල් 188 ක බිලියන 1.5 ක් පමණ සිසුන් සිටින පාසල් වසා දමා ඇති බව වාර්තා වේ. ඒ අතර ශ්‍රී ලංකාවේ 4,061,653ක පාසල් දරුවන් කොරෝනා වසංගතය නිසා පාසල් නොයයි. ලොව බොහෝ රටවල් අන්තර්ජාලය ඔස්සේ ඔන්ලයින් (මාර්ගස්ථ) අධ්‍යාපනය ලබා දෙයි. ලොවෙන් හරි අඩකට අන්තර්ජාල පහසුකම් නැත. දියුණු රටවල ද අන්තර්ජාල පහසුකම්, ටැබ්, පරිගණක නැතිව අධ්‍යාපන කටයුතු කරගෙන යෑමට අපහසුකම් පවතින දරුවෝ සිටිති. යුරෝපීය රටවල ද සෑම පාසැල් ළමුන් 6 දෙනෙකුගෙන් ම 1 අයකු දුගී බවෙන් පෙළෙන බව වාර්තා වෙයි. ශ්‍රී ලංකාව වැනි රටවල දරුවන්ගේ අධ්‍යාපනය කොරෝනා නිසා අඩාළ වෙන බව අලුතෙන් කිව යුත්තක් නොවේ. අවම පහසුකම්, අවම අධ්‍යාපන උපකරණ හා පෙළපොත් හිඟය වැනි අභියෝග හමුවේ අධ්‍යාපනය හදාරන අපේ දරුවන් තවදුරටත් අධ්‍යාපන තරගය ඇතුළත අතරමං කළ යුතු නැත.

ලංකාවේ සමාජය සමමිතික නැත: අසමිතික ය. සමාන නැත: විසම ය. අධ්‍යාපන ක්ෂේත්‍රයට මෙය දරුණුවට බලපෑම් කරන්නේ ය. අතමිට අත ඇත්තෝ ඔන්ලයින් ක්‍රමයෙන් ඉගෙන ගත්ත ද හැම පාසල් දරුවකුට ම ඒ පහසුකම නැත. මෙරට ලක්ෂ 45කට ආසන්න ශිෂ්‍ය සංඛ්‍යාවෙන් ඔන්ලයින් ක්‍රමයට ඉගෙනීමේ පහසුව ඇත්තේ සියයට දහයකටත් අඩු පිරිසකට බව අවිවාදිත ය. ස්මාර්ට් ජංගම දුරකතනයක් නැති වීම නිසා ඔන්ලයින් අධ්‍යාපනය අහිමි වූ දරුවෝ මෙන්ම සිය ගම් පළාතට අන්තර්ජාල සබඳතා විධිමත් නොවීමේ ගැටලු හා ඩේටා සපයා ගැනීමේ දුෂ්කරතා නිසා අපහසුවට පත්වෙන දරුවෝ ද අපමණ වෙති. පසුගිය කලෙක මාධ්‍යයෙහි වාර්තා වුණු අන්දමට මුළු ගමක ම දරුවෝ ඔන්ලයින් ක්‍රමයට ඉගෙන ගත්තේ ගමේ වතුර ටැංකියට නැඟ අන්තර්ජාල සංඥා ලබා ගනිමිනි. එසේ ය කියා දැනට පෙනෙන්නට තිබෙන එක ම විසඳුම අත්හැර දැමිය නොහැකිය.

අප මේ සියල්ල ම සටහන් කරන්නේ අඩුපාඩු කීමේ අරමුණින් නොවේ; වසංගතයක් පැතිරෙද්දි වසර ගණනක් තිස්සේ ගෙදරට වී කිසිදු අධ්‍යාපනයක් නොලබා සිටීමට නොහැකිය. එවිට ඒ සඳහා ගත හැකි උපායමාර්ගික අධ්‍යාපන ක්‍රමය වන්නේ ඔන්ලයින් ක්‍රමයයි.

දිවයින පුරා ජාතික පාසල් සහ පළාත් පාසල් ඇතුළු රජයේ පාසල් 10,165ක, පෞද්ගලික පාසල් 80ක සහ පිරිවෙන් 763ක අධ්‍යාපනය ලැබූ රටේ ජීවනාලිය බඳු දරු පරපුර එලෙස නිවෙස්වලට ම කොටු කරන්නට කොවිඩ් වසංගතයට හැකිවුව ද අධ්‍යාපන බලධාරින් ඇතුළු රජය ද පරාජය බාරගන්නට ඉක්මන් නොවූයේ එබැවිනි. කෝවිඩ් 19 මුළු ලොව ම සිය අණසකට යටත් කරමින් සිටින අවදියක, ඒ නිසා ලොව දරුවන් මුහුණ දෙනු ලබන හා මුහුණ දිය හැකි අභියෝග හා අසීරුතා ද ඒ වෙනුවෙන් අපට කළ හැකි වන්නේ මොනවාද යන්න ගැන සැලකිලිමත් විය යුතු වන්නේ එවන් පසුබිමක ය.

කොවිඩ් කවදා කුමන මට්ටමකින් අවසන් වේදැයි කිසිවකුටත් කිව නොහැකිය. එනිසා කොවිඩ් සමඟ ජීවත්වීමට අවැසි පරිසරය සකස් කරගත යුතු ව තිබේ. එබැවින් සිදුවිය යුත්තේ ඔන්ලයින් අධ්‍යාපනය ලැබීමට අපහසු දරුවන්ට ඊට පහසු ක්‍රමවේදයක් සකසමින් එය පවත්වාගෙන යෑමයි. මෙවන් අවස්ථාවකදී දරුවන් කෙරෙහි පෙරටත් වඩා අවධානය යොමු කළ යුතු වන්නේ ලොව හොඳ ම දේ දරුවන්ට ලබා දිය යුතු නිසා ය.

ඔන්ලයින් අධ්‍යාපනයේ ගැටලු වටහා ගෙන ඊට හොඳ ම විසඳුම ලබා දීමට අප උත්සුක විය යුත්තේ ඒ නිසා ය. මේ වනවිට බොහෝ විශ්ලේෂකයන්ගේ මතය වී ඇත්තේ රූපවාහිනිය ඔස්සේ අධ්‍යාපනය ලබා දීමේ ක්‍රමවේදයක් කෙරෙහි ය. ස්මාර්ට් ජංගම දුරකතනයක් නැති නිවෙසක වුව ද රූපවාහිනියක් නොතිබේ නම් ඒ ඉතා අහම්බෙනි. එනිසා රූපවාහිනී නාළිකාවක් ඔස්සේ දරුවන්ට අධ්‍යාපනය ලබා දීමේ ක්‍රමවේදයක් සැකසෙන්නේ නම් එය මීට වඩා සාර්ථක වනු ඇති බවට බොහෝ දෙනකුගේ විශ්වාසයයි. එය ඒ වෙනුවෙන් ම සැකසෙන රූපවාහිනි නාළිකාවක් හෝ දැනට පවතින රූපවාහිනි නාළිකාවක ගුවන් කාලය වෙන් කර ගැනීමක් විය හැකිය. ඒ කෙසේ වුව ද ඔන්ලයින් ගැටලුවට ඇති වඩාත් ප්‍රායෝගික විසඳුම එය බවට සැකයක් නැත.

ලෝකය අද ඇත්තේ ඇඟිලි තුඩක දුරෙනි. සංස්කෘති අතර සංවෘත ලක්ෂණ ක්‍රමක්‍රමයෙන් අවලංගු වී යමින් තිබේ. ඕනෑ ම සංස්කෘතියක් රඳා පවතින්නේ එහි ගලා යෑම මත ය. එසේත් නැතිනම් සංස්කෘතික ත්වරණය මත ය. ගලා නොයන්නා වූ සංස්කෘතියක් මරණයට පත්වූ සංස්කෘතියකි. එනිසා පවතින තත්ත්වයට අනුගත වීම අනිවාර්යය සාධකයකි. සැලකිලිමත් විය යුතු වන්නේ අවම හානියකින්, වැඩි ම ප්‍රතිලාභයක් ලබා ගැනීම කෙරෙහි පමණී. කිසිවක් සියයට සීයක ප්‍රතිලාභ ලැබෙන ලෙස ක්‍රියාත්මක කළ නොහැකිය. ඔන්ලයින් ගැටලුවට විසඳුම සෙවිය යුත්තේ ද එතැන පිහිටා ය.

Comments