අහිමි වුවත් අත සිනාවෙන්න සිත හදාගත් නටාලියා | සිළුමිණ

අහිමි වුවත් අත සිනාවෙන්න සිත හදාගත් නටාලියා

 

අපරාජිත රැජණ

 

සොබාදහම සැමටම සැම දෙයක්ම එක ලෙසින් ම ලබාදෙන්නේ නැත. 1989 ජූලි 27 වැනි දින උපත ලද පෝලන්ත ජාතික නටාලියා ඩොන්ටෝ පාටිකා ද සොබාදහමෙන් සරදම් ලාභිනියකි. ඒ උපතින්ම ඇයගේ දකුණ’තේ වැලමිටෙන් පහළ කොටස අහිමි වීම ය. අතක් අහිමි වුව ද අද වන විට ඇයට ක්‍රීඩිකාවක ලෙසින් ලොව අබිමුව ලබන කිත් පැසසුම්වලින් නම් කිසිදු අඩුවක් නොමැත.

 

නටාලියා ඩොන්ටෝ පාටිකා ඒ නම ලබන්නට පෙර බිලිඳියක ලෙස උපත ලබා ඇය දුටු මුල් මොහොතේ දී ම මවුපියන් තුළ ඇති කළේ අසීමිත කම්පාවකි. එහෙත් ඒ කම්පනයෙන් සිත සනසා ගෙන අනාගතයට මුහුණ දෙනු මිස ඒ හැර අන් විකල්පයක් ඔවුනට නොවී ය.

“අපි එදාම හිතාගත්තා අපේ දුවව ලෝකෙ ඉහළටම ගෙනියන්න තැනක් තියෙනවා නම් කොහොම හරි අපිට පුඵවන් තරමින් එතනට ගෙනියන්න උත්සාහ කරනවා කියන එක. ඒකට එයාගෙ අතේ අඩුව කොහෙත්ම නොදැනෙන්න අවශ්‍ය නිසා එයා පුංචි කාලෙ ඉඳන්ම අපි එයාගෙ හිත හැදුවා.” පසු කාලීනව නටාලියා වෙනුවෙන් දීප්තිමත් අනාගත මාවතක් විවර කිරීමට කැප වූ මවුපියෝ පවසති.

කුඩා අවධියේ දී නටාලියාගේ සියලු කරුණු කාරණා මවුපියන් අතින් ඉටුවුව ද වයසින් මෝරත්ම තත්ත්වය සහමුලින්ම වෙනස් විය. ඇයගේ සියලුම කටයුතු ඇයටම කර ගැනීමට මවුපියෝ ඉඩ හළහ. ඒ, කවදා හෝ ඇයට තනිවම ජීවිතයට මුහුණ දීමට සිදුවන බැවිනි.

“අම්මයි, තාත්තයි මාව ඒ විදිහට පුරුදු කරපු නිසා පුංචි කාලෙ ඉඳන්ම මට කරන්න බැරි දෙයක් තිබුණෙ නැහැ. ඒක මගේ පෞද්ගලික ජීවිතයත් ක්‍රීඩා ජීවිතයත් ජයගන්න ලැබුණු ලොකුම ශක්තිය වුණා.” මවුපිය නිගමනය සිය දිවිය ජය ගැනුමට ඉවහල් වූ අන්දම ගැන ඇය පවසන්නේ කෙළවරක් නැති සතුටිනි.

නටාලියාගේ මවුපියෝ මේස පන්දු (ටේබල් ටෙනිස්) ක්‍රීඩාවට පණ මෙන් ඇළුම් කළහ. ඔවුන් විවේක කාලවල දී කතා කළේ ද සජීවීව නැරඹීමට ගියේ ද රූපවාහිනියෙන් නැරඹුවේ ද මේස පන්දු ක්‍රීඩා තරගයන් ය. ඔවුන්ට මේ ක්‍රීඩාවේ නීති රීති, ඉතිහාසය සම්බන්ධයෙන් වන සියලු අක්මුල් කටපාඩම් ය.

ඒ හේතුවෙන් මේස පන්දු ක්‍රීඩාව නටාලියාගේ ද ගතට සිතට කාවැදුණු ජන්ම දායාදයක් වූයේ නිතැතිනි. මේ වනවිට දණි පණි ගා ඇවිදින්නට වෙර දරන නටාලියාට මවුපියන්ගෙන් ‘තෑග්ගක්’ ලැබුණේ ය. එය ඇයගේ සමස්ත අනාගතය ම තීන්දු වන තෑග්ගක් බවට ඔවුන් සිහිනෙනිදු නොසිතුවාට සැකයක් නැත. ඒ, අන් කිසිවක් නොව සෙල්ලම් මේස පන්දු පිත්තක් හා පිං පොං බෝලය කි.

ඒ ත්‍යාගය වෙත නටාලියාගේ සිත තදින්ම ඇදී ගියා ය. එහෙ මෙහෙ දුව පනිමින් පිත්තෙන් ක්‍රියාශීලිව තනි අතින් පන්දුවට පහර එල්ල කළේ පළපුරුදු මේස පන්දු ක්‍රීඩිකාවක වීමේ පෙර ලකුණු මැනවින් විදහාපාමිනි.

අසීමිත කැපවීමෙන් යුතුව මනා පුහුණුවක් ලද නටාලියා තනි අතින් මේස පන්දු ක්‍රීඩා කර මුල්ම අන්තර්ජාතික පදක්කම නිජබිමට උරුම කළේ 1999 දී හෙවත් අවුරුදු 10 දී ය. ඒ, ලෝක ආබාධිත ශූරතා තරගාවලියේදී ය.

නටාලියා මුල් වරට පැරාලිම්පික් ක්‍රීඩා තරගාවලියකට සහභාගි වූයේ 2000 වසරේ දී සිඩ්නි ගිම්හාන පැරාලිම්පික් තරගාවලියේ දී ය. එම තරගාවලියේ ළාබාලතම ක්‍රීඩිකාව වූයේ ඇය යි. එවකට ඇය 11 හැවිරිදි වියෙහි පසුවූවා ය.

2004 දී නටාලියා ඇතෑන්ස් හි පැවැති පැරාලිම්පික් තරගාවලියේ දී කේවළ තරගයක දී රන් පදක්කමක් ද කණ්ඩායම් තරගයක දී රිදී පදක්කමක් ද දිනා ගත්තාය. මේ වසරේදී ම ඇය තවත් රිදී පදක්කමක් දිනා ගත්තේ ජාත්‍යන්තර මේස පන්දු සම්මේලනය මඟින් සංවිධානය කළ විවෘත තරගාවලිවල දී ආබාධිත නොවූ අයකු සමඟ තරග කරමිනි.

2006 දී නටාලියා යුරෝපයේ පැරාලිම්පික් ශූරතාවලියේ දී රන් පදක්කම් දෙකක් ද ඒ වසරේ දී ආබාධිතයන් සඳහා වූ ජාත්‍යන්තර පැරාලිම්පික් කමිටුවේ මේස පන්දු ලෝක ශූරතාවයේ දී රන් පදක්කම් දෙකක්, රිදී පදක්කම් 2 ක් හා එම වසරේදී ම අන්තර්ජාතික මේස පන්දු ක්‍රීඩා සම්මේලනයේ යුරෝපා කනිෂ්ඨ ශූරතාවලියේ දී කණ්ඩායම් ඉසවුවෙන් රිදී පදක්කමක් ද දිනා ගැනීමට සමත් වූවා ය.

2007 දී අන්තර්ජාතික මේස පන්දු ක්‍රීඩා සම්මේලනයේ කනිෂ්ඨ කණ්ඩායම් ශූරතාවලියේ දී ලෝකඩ පදක්කමේ උරුමකාරිය වූයේ ද ඇය ය.

පැරාලිම්පික් ක්‍රීඩා තරගාවලීන්ට ඉදිරිපත් වී පෝලන්තය වෙනුවෙන් නටාලියා අත්කර දුන් ජයග්‍රහණයන් ද රැසකි. 2008 දී බීජිං පැරාලිම්පික් ක්‍රීඩා තරගාවලියේ දී කේවල ඉසවුවෙන් රන් පදක්කමක් ද කණ්ඩායම් ඉසවුවෙන් රිදී පදක්කමක් ද දිනාගත් ඇය 2016 වසරේ දී රියෝ පැරාලිම්පික් ක්‍රීඩා තරගාවලියේදී රන් පදක්කමක් දිනා ගනිමින් නිජබිමට කීර්තියක් උරුම කර දුන්නා ය.

ආබාධිත ක්‍රීඩකයන් සමඟ මෙන්ම ආබාධ රහිත ක්‍රීඩකයන් සමඟ කරට කර තරග වදිමින් පෝලන්තයට ගෞරවනීයත්වයක් උරුම කරවූ නටාලියාගේ ක්‍රීඩා දිවියේ තවත් අපූරු සුවිශේෂත්වයක් ඇත. එනම් මෙතෙක් ඇය ඉදිරිපත් වූ කිසිදු තරගයකින් පදක්කමක් නොලබා ක්‍රීඩා පිටියෙන් ඉවත්ව ගොස් නොමැති වීම ය. එනිසා ඇයට ‘අපරාජිත රැජණ’ නම් අපර නමක් ද උරුම ය.

“මේ වෙද්දි මම තනි අතින් මට පුඵවන් තරමින් රටට ගෞරව උරුම කර දී තිබෙනවා. තව ලබා දෙන්නත් තියනවා. තනි අත මට යෝධයෙක් වගෙයි. ඒකෙන් මට කරන්න බැරි දෙයක් නැහැ.” ඇය පවසන්නේ අසීමිත සතුටකිනි, සැහැල්ලුවකිනි.

 

 

Comments