මගේ වැඩි කැමැත්ත පරිවර්තන සාහිත්‍යයටයි | සිළුමිණ

මගේ වැඩි කැමැත්ත පරිවර්තන සාහිත්‍යයටයි

 

ප්‍රශ්නය - ඔබ මුලින් ම සාහිත්‍ය ක්ෂේත්‍රයට යොමු වුණේ කොහොම ද?

“ලිවීම ගැන නම් උනන්දුවක් ඇති වුණේ පසු කාලයක දී. ඒත් පුංචි කාලෙ ඉඳලම කියවීමට මං හුඟක් ඇබ්බැහි වෙලා හිටියා. ඒකට හේතුව අපේ ගෙදර ළඟම තමයි පන්සල තිබුණෙ. ඒ පන්සලේ හිටපු තරුණ හාමුදුරුවරු ළඟ සෝවියට් පරිවර්තන පොත් වගේ ම ඒ කාලෙ ප්‍රකාශයට පත් වුණ සාහිත්‍ය පොත් මෙන්ම දේශපාලන සඟරාත් තිබුණා. ඒ කියවීම මට ලොකු උනන්දුවක් ඇති කළා.

පන්සලේ නායක හාමුදුරුවො ළඟ තිබුණ “රසවාහිනි” කියන සඟරාව. ඒවා උන් වහන්සේ එකතු කරලා තිබුණා. ඒවායේ තිබුණ මාර්ටින් වික්‍රමසිංහ වැනි පුරෝගාමි ලේඛකයින්ගේ ලිපි මට තාම මතක යි. ඒ වගේ ම පාසැල් පුස්තකාලය වගේ ම බොහෝ ප්‍රාදේශීය පුස්තකාලවල මම සාමාජිකයෙක් වෙලා හිටියා. ඔය විදිහට කාලය ගතවෙන අතරේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට මම ඇතුළු වෙනවා. විශ්ව විද්‍යාලය තුළ මගේ විශේෂ මතකය රැඳුණ තැනක් තමයි එහි පුස්තකාලය. විශේෂයෙන් ම එහි ඉංග්‍රීසි අංශය. එහි කවුරුත් වැඩිය ගැවසුනේ නැහැ.

මම බොහෝ ඉංග්‍රීසි පොත පත කියවූයේ එහිදී යි. ඒ ඇරුණම විශ්ව විද්‍යාලය තුළ නිර්මාණ කටයුතු වලත් යෙදුණා. උදාහරණයක් විදිහට මහාචාර්ය නිමල් සේනානායක මහත්මයාගේ ඇසුර මෙහිදී සිහිපත් වෙනවා.

විශ්ව විද්‍යාල ජීවිතයෙන් පසුව සදර්ශි කලා සාහිත්‍ය කුලකයේ ඇසුරත් මගේ සාහිත්‍ය ජීවිතයට වැදගත් වු ඇසුරක් වුණා. එහි දී මට හමුවන දියාකඩුවේ සෝමානන්ද හාමුදුරුවෝ, චුලානන්ද සමරනායක වැනි තවත් අය මගේ සාහිත්‍යය ජීවිතයට මඟ පෙන්වීමක් කලා යැයි මම පිළිගන්නවා.

ඒ ආකාරයට පසු කාලීනව පොත්පත් පරිවර්තනයට පිවිසෙන මම විශේෂයෙන් ම සුභාවි ප්‍රකාශන ආයතනය සමඟ වැදගත් සම්බන්ධයක් පවත්වනවා. එහි නිශාන්ත පරණගම හොඳ සාහිත්‍යය ඉවක් තියෙන පුද්ගලයෙකු බව පිලි ගන්න මම කැමති යි.“

 

පරිවර්තන කාර්යයේ දි ඔබ ග්‍රන්ථ කිහිපයක් ම පරිවර්තනය කර තිබෙනවා..

“මුලින් ම “අලුත් ආණ්ඩුව” නමින් විදේශීය කෙටි කතා පරිවර්තන සංග්‍රහයක් පළ කළා. එහි උසස් මට්ටමේ කෙටි කතා කිහිපයක් ම තිබෙනවා. ඉන් පසුව මම කරපු විශේෂ කෘතියක් හැටියට “මගෙ පුතු චේ” හඳුන්වා දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි අහලා තියෙන්නේ පුතෙක් තමන්ගේ පියාගේ චරිතාපදානය ලියන එකනෙ. නමුත් මෙතන ඒ කීර්තිමත් විප්ලවීය නායක චේ ගැන සම්මත චරිතාපදානයක් යැයි ගත නොහැකි ආකාරයේ චරිතාපදානය ලියන්නෙ ඔහුගේ පියා අර්නෙස්ටො ගුදෙරා විසිනු යි.

මෙතන තියෙන විශේෂත්වය තමයි චේ ගේ පවුල් පරිසරය ගැන ඒ වගේ ම ඔහුව වඩාත් ම හොඳින් දත් හෘදයාංගම චිත්‍රයක් විදිහට මේ පොත ඉදිරිපත්වීම. කොහොම නමුත් චේ පිළිබඳව ඔහුගේ පියා ලියු කෘති දෙකක් තමයි එක පොතක් විදිහට ඉංග්‍රීසියට පරිවර්තනය වෙන්නෙ. “මගෙ පුතු චේ” කියන්නෙ ඒ කෘති දෙකේ ම එකතුව යි.

පසුගිය කාලයේ දි ප්‍රකාශයට පත් කළ “සේපියන්ස්” කියන්නෙත් ලෝක සාහිත්‍යයට අදාලව විශේෂ කෘතියක්. මිනිසා (හෝමෝ සේපියන්ස්) දඩයම් යුගයේ දි ස්වභාව ධර්මයේ යටත් වාසියෙකු හැටියට ජීවත් වී අවසානයේ දී ස්වභාව පැවැත්ම සිය බලපෑමට යටත් කරගත් ඒ තැන දක්වාත්, ඉන් ඔබ්බට ඔහු ගමන් කරතැයි සිතිය හැකි අනාගත ගමනත් නිර්මාණශීලි දාර්ශනික ආඛ්‍යායනයක් හැටියට ලියු මේ ලේඛකයා වන යුවාල් නොආ හරාරි එය මානව ඉතිහාසයේ සංක්ෂිප්තයක් හැටියට හඳුන්වා දෙනවා. 2012 දී වාර්ෂික පොලොන්ස්කි ත්‍යාගය ඔහුට පිරිනමමින් ඔවුන් මේ පොත හඳුන්වා දුන්නේ “මානව විද්‍යාවන් පිළිබඳ නිර්මාණශීලිත්වය හා නැවුම් චින්තනය”යන ආකාරයෙනු යි.

මේ ආකාරයේ සාහිත්‍ය කෘති හඳුනාගන්නේ ප්‍රබන්ධ නොවන (නිර් ප්‍රබන්ධ) යනුවෙනු යි. මගේ මේ පරිවර්තනය ගැන අදහස් පළ කරමින් එස්. එම්. බන්දුසීල මහත්මයා මෙවැනි ප්‍රබන්ධ නොවන කෘති අපේ සාහිත්‍ය ක්ෂේත්‍රයට එකතු කිරීම ගැන සිය ප්‍රසාදය පළ කොට තිබෙනවා. එය මට ලොකු ධෛර්යක් ද වුණා.

 

පොදුවේ මෙරට සාහිත්‍යයේ පැවැත්ම ගැන ඔබේ කියවීම කුමක් ද?

“මම විශ්වාස කරනවා අලුත් කියවීමක් අපට අවශ්‍යයි කියලා. අපි හැමදාම නැවතිලා එහෙම නැත්නම් නේවාසිකව හිඳිමින් වාර්තා කරන අපේ ඉතිහාසය, සංස්කෘතිය යන මේ දේවල් දෙස අපි අලුතින් බැලිය යුතු යි.

එවැනි දැක්මකින් තොරව එකම තැනක හිඳ එකම විදිහට අදහස් පළ කිරීම, නිර්මාණ කාර්යයේ යෙදීම මං හිතන්නෙ තේරුමක් නැති වැඩක්.

එහෙම අලුත් ඇසකින් බලන අය නැතැයි මම කියන්නෙ නැහැ. ආරියවංශ අබේසේකර, කපිල කුමාර කාලිංග, නිශ්ශංක විජේමාන්න, ලියනගේ අමරකීර්ති වගේ අය මේ අලුත් ලිවීම තුළ ඉන්නවා. එවැනි දැක්මක් තවදුරටත් අපට අවශ්‍යයි.

හැබැයි මේ ගැන පාඨකයන් බොහෝ විට සවිඥානිකව බලන බවක් පෙනෙනවාය කියලා මට හිතෙනවා. බොහෝ විට ස්වතන්ත්‍ර කෘතිවලට වඩා පරිවර්තන කෘති කෙරෙහි වැඩි ඉල්ලුමක් ඇති වීම ඒනිසා සිදු වුවක්ය කියලයි මම හිතන්නෙ.

Comments