සතර නළු කලා තෙර දුටු නිහඬ පඬිවර | Page 2 | සිළුමිණ

සතර නළු කලා තෙර දුටු නිහඬ පඬිවර

 

 

ස්වකීය පාණ්ඩිත්‍යය හෝ නිර්මා‌ණ ප්‍රතිභාව හෝ රශ්මි ප්‍රභා මණ්ඩලයක් කර ගත්තේ නම් බන්දුල ජයවර්ධන නාමය මෑත කලා සංස්කෘතික ඉතිහාසයෙහි සටහන් වන්නට තිබුණේ මුල් පෙළෙහිය. සිය දිවි මෙහෙවර නොඅඩුව ඉටු කළ බන්දුල ජයවර්ධන මෙලොවින් නික්ම ගියේ ගුවන සැරූ සියොතෙකු සේ කිසිදු සලකුණකුදු නොතබමිනි. දශක සයකට අධික සිංහල වේදිකා නාට්‍ය ඉතිහාසයෙහි බන්දුල ජයවර්ධන විසින් ඉටු කරන ලද්දේ අද්විතීය මෙහෙවරකි. ඔහුට නාට්‍ය, සාහිත්‍ය, සාහිත්‍ය විචාර න්‍යාය, දර්ශනවාදය පිළිබඳ පෘථුල ඥානයක් තිබුණු අතර ලංකාවේ ප්‍රධාන විශ්වවිද්‍යාල, ජාතික අධ්‍යාපන ආයතනය හා තවත් බොහෝ ආයතන බාහිර දේශකයකු, සම්පත්දායකයකු ලෙස දීර්ඝ කාලයක් ඔහුගේ දැනුමෙන් යැපුණු බව නොරහසකි. බන්දුල ජයවර්ධන දිවමන් සමයෙහි මෙරට ප්‍රධාන විශ්වවිද්‍යාල කිහිපයක් එතුමන්ගේ දැනුමෙන් යැපුණද එ් කිසිදු ආයතනයකින් සම්මාන ආචාර්ය උපාධියක් එතුමන්ට නොපිදීම විශේෂත්වකි.

බන්දුල ජයවර්ධන යනු එක් අවධියක මෙරට පැවති විධිමත් වූත් ප්‍රශස්ත වූත් පාඨශාලීය සහ විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනයෙහි නිෂ්පාදනයකි. ඒ බව එසමයෙහි ඔහුට සමකාලීනව මෙරට බිහි වූ සෙසු බුද්ධිමතුන් පිරිසෙන්ද සනාථ වන්නේය. ලක්දිව සතරදිග් භාගයෙහි සාපේක්ෂ වශයෙන් ප්‍රශස්ත අධ්‍යාපන අවස්ථා උදාකර දීම නිසා නගරබද ප්‍රදේශවලින් මෙන්ම ප්‍රත්‍යන්ත දේශවලින්ද බුද්ධි අංකුර රැසක් මතු විණ. නවසිය හතළිහ-හැට දශක ත්‍රයෙහි දෙස් විදෙස් පතළ විද්වතුන් සමූහයක් මෙරටෙහි බිහි වූයේ මේ හිතකර අධ්‍යාපන පසුබිම නිසාය. එවක පාඨශාලා අධ්‍යාපනය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිදහස්යත නිවහල්ය. පාසල් අධ්‍යාපනයේ ආරම්භයේ සිට අවසානය තෙක් ළමා විය ටියුෂන් මකරුන්ගේ ග්‍රහණයට හසු නොවීම නිසා නිදහසේ වැඩිණ. පාසල් කාලයෙන් පසු දවසේ ඉතිරි කොටස ඇළ දොළ ගහ කොළ සතා සිවුපාවා ඇසුරෙන් සොබාදහම තේරුම් ගැනීමටත් වැඩිහිටි ඇසුරෙන් ලෝකය තේරුම් ගැනීමටත් ඒ් සියල්ල මඟින් කය මනස නිරෝගීව වැඩීමටත් උපකාරී විය.

රත්නපුර දිස්ත්‍රික්කයේ වෙරලුප ගම්මානයේදී කේ. වී. ජී. ජයවර්ධන සහ මර්සියානා විජේසිංහ යුවළගේ එකම පිරිමි දරුවා ලෙස බන්දුල ජයවර්ධන උපත සිදු වූයේ 1926 ජූනි මස 12 වැනි දිනයේය. පියා රත්නපුර කච්චේරියේ ලිපිකරුවකු ලෙස සේවය කළ අතර එකල ලිපිකරු රැකියාවට උසස් සමාජ පිළිගැනීමක් තිබිණ. පාසල් අධ්‍යාපනය සඳහා මුලින්ම බන්දුල ජයවර්ධන ඇතුළත් කෙරුණේ රත්නපුර ජේසු බිලිඳාගේ කන්‍යාරාමයටය. පහළ බාලාංශයේ ඉගෙනුම ලබමින් සිටි කාලයේ දී සිදු වූ මවගේ අකල් මරණය බන්දුලගේ ජීවිතයට මහත් කම්පනයක් අත්කර දුන්නේය. මවගේ අභාවයෙන් පසු බන්දුල වැඩුණේ සීයාගේ නිවසේය. පුංචි අම්මලා සහ මාමලා ඇසුරේ මහගෙදර වැඩුණු බන්දුලගේ නාට්‍යකලා ඇල්ම වර්ධනය වූයේ ඒ ගෘහස්ථ පරිසරය නිසාය. මහ ගෙදර සිට රත්නපුර ෆර්ගියුසන් බාලිකා විද්‍යාලයට ගිය බන්දුල පාසල් වියේදී සිය ලොකු මාමා සමඟ රත්නපුර නගරයට ගොස් නූර්ති නාටක නැරඹුවේය. එවක සෙසු විනෝදාස්වාදන මාධ්‍ය සුලබ නොවූයෙන් බොහෝ දෙනකුගේ ඇල්ම නාට්‍ය කලාව කෙරේ යොමු විය. බන්දුලගේ ගමේ ඥාතින් එක්ව පිහිටුවා ගත් ආධුනික නාට්‍ය සංගමය මඟින් නිපදවන ලද එක් නාට්‍යයක බන්දුලගේ පොඩි මාමාද රඟ පෑ අතර මේ සිදුවීම් බන්දුලගේ නාට්‍ය කලා ඇල්ම වර්ධනය වීමට හේතු විය. පර්ගියුසන් විදුහලෙන් පසුව බන්දුල ජයවර්ධන රත්නපුර සීවලී විද්‍යාලයට ඇතුළත් කෙරිණ. ඒ විදුහලේ ඉගෙන ගන්නා කාලයේදී පුවත්පත්වල ළමා පිටුවලට බන්දුල ඉංග්‍රීසි කවි ලියා යැවීය. මේ කාලයේදී බන්දුලගේ සිත ග්‍රීක සාහිත්‍යය දෙසට ඇදී ගිය බව පසු කලෙක ඔහු පවසා තිබිණ. සීවලී විදුහලේදී බන්දුලට නාට්‍යකරණයට යොමු වූ සහෘදයකු වන හෙන්රි තෙන්නකෝන් හමුවීමද ඔහුගේ නාට්‍යකලා ඇල්ම වර්ධනය වීමට බලපෑවේය. බන්දුලගේ පොඩි මාමා කෑගල්ල දිසාපති කාර්යාලයේ සේවය කළ කාලයේ බන්දුල කෑගලු විද්‍යාලයට ඇතුළත් කෙරිණ. කෑගලු විදුහලේ විදුහල්පති තනතුර ඉසිලූ ඉතිහාස ගුරුවරයා වූ ඩී. එල්. වී. අලගියවන්න මහතා නිසා ඉතිහාසය දෙස විද්‍යාත්මකව බැලීමට අවශ්‍ය ශික්ෂණය තමන්ට ලැබුණු බව බන්දුල පවසා තිබේ. මේ වන විට ඔහු මහාවංසයේ ඉංග්‍රීසි පරිවර්නයද කියවා තිබිණ.

කෑගලු විද්‍යාලයේ ඉගෙනීම කර ගෙන යාමට බන්දුලට හැකි වූයේ වසරකටත් අඩු කාලයකි. පොඩි මාමාට කොළඹට ස්ථාන මාරුවක් ලැබීම නිසා බන්දුල කොළඹ ශාන්ත පීතර විද්‍යාලයට ඇතුළත් කෙරිණ. කොළඹ ගමන ඔහුගේ ජීවිතයේ විශාල පරිවර්තනයට හේතු විය. ආගම පිළිබඳ ගැඹුරින් හැදෑරීමට පෙලඹී සිටි ඔහුට එසමයෙහි ශාන්ත පීතර විද්‍යාලයේ ආචාර්යවරයකු ලෙස සේවය කළ ඊ. ආර් එදිරිවීර සරච්චන්ද්‍ර ඇසුර නාට්‍ය ජීවිතයට මෙන්ම සමස්ත ජීවිතයටද සාධනීය ලෙස බලපෑවේය ඒ විදුහලෙහිම සේවය කළ ග්‍රීක බස ඉගැන්වූ ක්රූස් නමැති පරමාදර්ශී ගුරුතුමා පාසලේදී ග්‍රීක බස උගන්වන විට බන්දුල සිසුවා විෂයට දක්වන ඉමහත් ඇල්ම නිසා ඔහු තම නිවසට ගෙන්වා ගෙන නොමිලේම වැඩිදුර ඉගැන්වීම නිසා ග්‍රීක සාහිත්‍යය පිළිබඳ මනා අවබෝධයක් පාසල් වියේදීම ලබා ගැනීමට හැකි විය. 1950 වර්ෂයේ බන්දුල ජයවර්ධන ලංකා විශ්වවිද්‍යාලයට පිවිසෙන්නේ බෞද්ධ දර්ශනය සහ ග්‍රීක භාෂාව පිළිබඳ මනා අවබෝධයක් සහිතවය.

ඒ වන විට ලංකා විශ්වවිද්‍යාලයේ කලා පීඨය පැවතියේ කොළඹය. බන්දුල ජයවර්ධන විශ්වවිද්‍යාලයට පිවිසෙන විට එදිරිවීර සරච්චන්ද්‍ර විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයකු ලෙස පත්ව නාට්‍ය නිෂ්පාදන කටයුතුවල නිමග්නව සිටියේය. 1950 වර්ෂයේ මහාචාර්ය ඊ. ඒෆ්. සී. ලුඩොවයික්ගේ ඇරයුමෙන් නියුමන් ජුබාල් නම් ඔස්ට්‍රියානු ජාතික නාට්‍යකරුවෙක් විශ්වවිද්‍යාලයට පැමිණ සිටියේය. ජුබාල් විසින් පවත්වන ලද දේශනවලට සහභාගි වීමත් සරච්චන්ද්‍ර ඒ වන විට අරඹා තිබුණු පබාවතී නාට්‍යයේ නිෂ්පාදන කටයුතුවලට දායක වීමත් නිසා බන්දුලගේ නාට්‍ය කලා ඇල්ම නැවතත් මතු වී වැඩෙන්නට විය.

1951 වර්ෂයේදී කලා පීඨය පේරාදෙණියට ගෙන යාමත් සමඟම පේරාදෙණිය කේන්ද්‍ර කොට ගෙන සිදු වූ සාහිත්‍ය කලා කටයුතුවල සක්‍රීය භූමිකාවක් බන්දුල ජයවර්ධනට හිමි විය. නියුමාන් ජුබාල් සරච්චන්ද්‍ර සමඟ එක්ව වෙදහටන නාට්‍යයේ නිෂ්පාදන කටයුතු අරඹා තිබුණු මෙසමයෙහි බන්දුල ජයවර්ධන සහ දයානන්ද ගුණවර්ධන, ගුණසේන ගලප්ප්ත්ති, රංජනී ඔබේසේකර ඇතුළු ඔහුගේ සමකාලීනයෝ ඒ කටයුතුවලට දායක වීමෙන් අනාගත කලා නිර්මාණ කටයුතු සඳහා අවශ්‍ය ප්‍රායෝගික අත්දැකීම් ලබා ගත්හ.

විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු නිම කළ බන්දුල ජයවර්ධනට පේරාදෙණියෙහිම රැඳී සිටීමට සිදු වූයේ එවක පේරාදෙණිය විශ්වවිද්‍යාලයේම පවත්වාගෙන ගිය බෞද්ධ විශ්වකෝෂයේ සහකාර කර්තෘවරයකු ලෙස සේවය කිරීමට අවස්ථාව උදා වීම නිසාය. සිරි ගුනසිංහල ගුණදාස අමරසේකර, එච්. එල් සෙනෙවිරත්න, ආරිය රාජකරුණා, සරත් අමුණුගම ආදි කලාකාමී සහෘදයන් රැසක් සමඟින් සාහිත්‍ය කලා දාර්ශනික සම්භාෂණයෙහි යෙදෙමින් එකල්හි බන්දුල ජයවර්ධන පේරාදෙණි වසත් සමය ගත කළේය විශ්වවිද්‍යලයීය නාට්‍ය වංශය රචනා කළ මහාචාර්ය තිස්ස කාරියවසම් එහි බන්දුල ජයවර්ධන ගැන කළ සඳහනක් මෙසේය. “1962 දී මහාචාර්ය සරච්චන්ද්‍ර ජපානයට ගිය පසුව විශ්වවිද්‍යාලයේ සිංහල නාට්‍ය මණ්ඩලයේ කාර්යභාරය හදිසියේම වාගේ එවකට බෞද්ධ විශ්වකෝෂයේ සහාය සංස්කාරකයකුව සිටි බන්දුල ජයවර්ධන මත පැවරුණේය.

බටහිර දර්ශනය පිළිබඳ ගෞරව උපාධිධාරියෙකු වූ ජයවර්ධන ඉංග්‍රීසි නාට්‍ය හා සෞන්දර්ය විද්‍යාව පිළිබඳ ග්‍රන්ථගත පරිපූර්ණ අවබෝධධාරී නිසල උගතෙක් වූයේය. 1961 දී සාහිත්‍ය මණ්ඩලය පවත්වන ලද නාට්‍ය පිටපත් තරඟයෙහි ප්‍රථම ස්ථානය දිනාගෙන තිබුණේ ඝෝෂක වස්තුව පෙළයි. එය ජයවර්ධනගේ රචනාවක් විය.”

බන්දුල ජයවර්ධන අතින් තම ජීවිත කාලය ඇතුළත නිර්මාණය වූයේ නාට්‍ය නිර්මාණ දහයකට අඩු සංඛ්‍යාවකි. ඒ හැම නිර්මාණයකින්ම බන්දුල ජයවර්ධන උත්සාහ කළේ සිංහල වේදිකා නාට්‍ය කලාවට නව මානයක් එක් කිරීමටය. විශේෂයෙන්ම ග්‍රීක සාහිත්‍යය හා නාට්‍ය කලාව පිළිබඳ වූ ගැඹුරු වැටහීම භාවිතයට ගනිමින් දේශීය නාට්‍ය කලාවට ග්‍රීක නාට්‍ය සම්ප්‍රදායෙන් ලද හැකි ආභාසය පිළිබඳ කෙරුණු විශිෂ්ට අත්හදාබැලීමක් ලෙස බෙර හඬ’ නාට්‍යය හැඳින්විය හැකිය. නාට්‍ය නිර්මාණකරණයෙන් පමණක් නොව ඒ පිළිබඳ ශාස්ත්‍රීය ලිපි ලේඛන, ප්‍රකාශන සහ ග්‍රන්ථ රචනා කිරීමෙන්ද බන්දුල ජයවර්ධන විසින් නාට්‍ය ක්ෂේත්‍රයට ඉටු කරන ලද්දේ විපුල මෙහෙයකි. බෞද්ධ විශ්වකෝෂයේ ප්‍රධාන කර්තෘ ලෙස කටයුතු කරමින් ශාස්ත්‍ර පෝෂණයටද ඔහුගෙන් අනල්ප මෙහෙයක් ඉටු විය. සෞන්දර්ය විද්‍යාව හා නාට්‍ය හා රංග කලාව පිළිබඳ නිහඬ විශ්වකෝෂයක් බඳු මේ උදාර මිනිසා අට සැත්තෑ වසක් ආයු විඳ 2003 නොවැම්බර් මස 21 වැනි දින ආයු සංස්කාරය නිම කළේය.

Comments