සතියේ කලදවස | සිළුමිණ

සතියේ කලදවස

 මේෂ - හදිසි ඒරාෂ්ඨක තත්ත්වයක්

 මේෂ ලග්නයට අනුව මෙම සතිය ඔබට ඉතා ප්‍රවේශම්ව ගත කළ යුතු සතියකි. විශේෂයෙන් ම චන්ද්‍රයා 06, 07, 08, 09 යන ස්ථාන පසුකර යාමේදී හදිසි අනතුරු ඒරාෂ්ඨක තත්ත්වයක් ද මතු කරන නිසාය. ආර්ථික වශයෙන් ද පීඩා ගෙන දෙනු ඇත. යටි බඩ තුනටිය ආශ්‍රිත රෝග උවදුරු තත්ත්වයක් ද පෙන්වයි. සමාජයට විවෘත වීමේදී අතිශය ප්‍රවේසම් විය යුතුවෙයි.

 වෘෂභ - ආර්ථික ලාභයක්

වෘෂභ ලග්නයට අනුව මෙම සතිය ඔබට තම ආර්ථිකය යහපත් කරන තත්ත්වයක් සතිය ආරම්භයේදී සිදුවුව ද සතිය මැද හා අග භාගය පීඩාකාරී වෙයි. කෙසේ නමුදු තම දූ දරුවන්ගේ කටයුතු නිසා සතිය පුරාවටම කාර්ය බහුල වෙයි. තම බිරිය නැතහොත් ස්වාමියා සමඟ දුර බැහැර ගමනකට කටයුතු සැලසේ. තම සෞඛ්‍ය තත්ත්වයට අනුව මුත්‍රා ආපදා - යටි බඩේ ආපදා සැර උෂ්ණ ආහාරපාන නිසා ඇතිවන අසාත්මිකතා ද පෙන්වයි.

මිථුන - රැකියා ප්‍රතිලාභ

මිථුන ලග්නයට අනුව චන්ද්‍රයා මේ සතියේ 04, 05, 06,07 යන ස්ථානවල හැසිරීම ඔබට යහපත්ය. භෞතික සම්පත් ලැබීමට හේතුවෙයි‍. තම අදහසකට අනුව වාහනයක් මිලදී ගැනීමට යාමේදී ගැටලු මතු වුව ද බුද්ධිමත්ව කටයුතු කළහොත් එම අසමානතාව මග හරවාගෙන යාමට ඔබට හැකිවනු ඇත. ඔබට හිමි වන්නට තිබූ දේපළ උරුමයක් ද මතුකර දෙනු ඇත.

 

කටක - ජයග්‍රහණ රැසක්

 කටක ලග්නයට අනුව චන්ද්‍රයා මේ සතියේ 03,04,05,06 යන ස්ථාන පසුකර යන නිසා ඔබ ජීවිතයේ ජයග්‍රහණ රැසකට හේතු ඇති කරන සතියකට හිමිකම් කියයි. නොසැලකිලිමත් වුවහොත් සතිය මැදදී ආර්ථික පාඩුවකට ඇද දැමීමට හේතු ඇතත් සැලකිලිමත්ව කටයුතු කළහොත් නිසි ජයග්‍රහණ ඔබ කරා එනු ඇත. උර හිසට පපුවට අගුණයි. ශ්වසන ආපදා මතු විය හැක.

 

සිංහ - දෝෂ දර්ශනයට

සිංහ ලග්නයට අනුව මෙම සතිය ඔබ කේන්ද්‍රයේ චන්ද්‍රයා 02,03,04,05 යන ස්ථානවල ගමන් කිරීම නිසා හදිසි ධන සම්පතකට හිමිකම් කියනු ඇත. සතිය මැද භාගයේ ඔබ කිසියම් පිරිසකගේ දෝෂ දර්ශනයට ලක්වීමට පුළුවන. ඒ අනුව රැකියාවකට තර්ජන එල්ලවීම නිසා සිතේ කල කිරුණු ස්වභාවයෙන් ගත කිරීමට සිදුවේ. සතිය අවසාන දින කීපය ඒ සියලු අපහසුතා මග හැරෙනු ඇත.

 

 කන්‍යා - ආත්ම ශක්තිය ඉහළ නැංවේ

කන්‍යා ලග්නයට අනුව ඔබට මෙම සතිය ඉතා සුබයි. චන්ද්‍රයා 01, 02, 03, 04 යන ස්ථානවල ගමන් කිරීමෙන් සිතේ සතුට ආත්ම ශක්තිය ඉහළ නැංවෙන තත්ත්වයක් කලක් අත්හැර දමා තිබූ කටයුතු රැසක් යළි ක්‍රියාවට නැංවීමට අවස්ථාව උදාවේ. තම දේපළකට ගැටලු මතු විය හැකි වෙතත් ඒ ක්ෂණයෙන් එම ගැටලු විසඳා ගැනීමට ඔබට හැකිවේ. අධිෂ්ඨානයෙන් කටයුතු කරන්න.

 

 තුලා - ස්ථිර ආදායම් මාර්ග

තුලා ලග්නයට අනුව ඔබට මෙම සතිය කාර්ය බහුල එකකි. යටපත්වී තිබූ උරුමකම් යළි මතු කර ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවේ. ඒ නිසා යම් යම් අය අතර ගැටීම් ඇති කර ගැනීමට ද ඔබට සිදුවෙයි. එහෙත් ස්ථිරසාර ආදායම් මතු කරන කටයුත්තකට අත පෙවීමට ඔබට හැකිවේ. චන්ද්‍රයා මේ සතියේ ඔබ කේන්ද්‍රයට අනුව ගමන් කරනුයේ 12, 01,02,03 යන ස්ථානවලයි.

 

 වෘශ්චික - අධික වැයපසක්

වෘෂ්චික ලග්නයට අනුව චන්ද්‍රයා 11,12,01,02 යන ස්ථානවල ගමන් කරන මේ සතිය ඔබට විවිධ අත්දැකීම් රැසකට මුහුණදීමට සිදුවේ. හදිසි ලැබීම්, සිතේ සතුට මෙන් ම ප්‍රිය සම්භාෂණ රැසක් වෙයි. එහෙත් පවතින තත්ත්වය අනුව ඒවා සීමා කිරීමට ඔබට සිදුවන අතර, අදික මිල මුදල් වැයවීමක් ද පෙනෙන්නට තිබේ. අරපිරිමැස්මෙන් කටයුතු කළහොත් උවදුරු නැත. පාදයේ වළලුකරට අපලයි.

 

 ධනු - කාර්යබහුල සතියක්

 ධනු ලග්නයට අනුව මෙම සතිය ඔබ කේන්ද්‍රයට අනුව චන්ද්‍රයා ගමන් කරනුයේ 10,11,12,01 යන ස්ථානවලය. එය විවිධ ආර්ථික සම්පත් උදා කරදෙන රැකියාවේ ප්‍රවර්ධනයක් මතු කරන තත්ත්වයකි. තමාට සතිය අවසානයේ දැඩි කාර්ය බහුලතාවකට මුහුණදීමට සිදුවන නිසා කල්පනාකාරී වන්න. සිතේ බර ගතිය හා කෙනෙකු වෙනුවෙන් අධික පිරිවැයක් දැරීමට ඔබට සිදුවනු ඇත. දූ දරුවන්ගේ කටයුතු නිසා සිත් තැවුල් මතු කරනු ඇත.

 

 මකර- පුණ්‍යවන්ත සතියක්

මකර ලග්නයට අනුව මෙම සතිය ඔබට ඉතා සුබයි. පුණ්‍යවන්ත බව රජයන සතියකි‍. නිවසේ පින්කම් රැසක් සිදු කිරීමට සිතයි. අඩුම තරමේ අන් අයගේ ආගමික කටයුතුවලට හෝ සහභාගි වීමට සිදුවේ. දේපළ උරුමකම් හිමිවේ. නඩු හබවලින් ජය හිමිවේ. දූ දරුවන්ගේ කටයුතු කෙරෙන් සිතේ සතුට අභිමානය ඉහළ නැංවේ. බලාපොරොත්තු වූ පරිදි සමාජ සේවා කටයුතු කෙරෙන එමෙන්ම ප්‍රසාදය හිමිවනු ඇත.

 

 කුම්භ - දිවි සතුට උරුමවේ

කුම්භ ලග්නයට අනුව මෙම සතිය ඔබ ජීවිතයේ සතුටුදායක කරුණු රැසක් යෙදේ. සතිය ඇරඹුම කණගාටුදායක වුව ද සතියේ මැද භාගය හා අවසාන භාගය ඉතා සතුටුදායක අභිවෘද්ධි සහගත තත්ත්වයන් රැසකි. චන්ද්‍රයා ගමන් කරන අවස්ථා අනුව 08,09,10,11 යන ස්ථාන තුළ තම රැකියාව ආර්ථිකය වාසනාව උදා කෙරේ. හදිසි ධන සම්පතකට ද උරුමකම් කීමට වාසනාව උදාවේ. තුනටියේ ආබාධ මතු කරන නිසා ප්‍රවේශම් වන්න.

 

 මීන - තරුණ ජවය පෙරට එයි

මීන ලග්නයට අනුව මෙම සතිය ඔබ කේන්ද්‍රයේ චන්ද්‍රයා 07,08,09,10 යන ස්ථාන පසුකර යාම ඉතා සුබවෙයි. අවිවාහක අයට මංගල සීනු හැඬවේ. තරුණ පෙම්වතුන්ගේ ජවය ශක්තිය ඉහළ නැංවෙන සතියකි‍. ආදායම් අතින් උසස්වේ‍. බොහෝ අය අතරේ ආත්ම අභිමානයෙන් යුතුව ඉදිරියට යාමට ශක්තිය ලබාදේ. තම සිතැඟි අනුව එකිනෙකා අතර ආදර කරුණාව පළවන සතියකි.

(ජුනි මස 20 සිට 26 දක්වා)

20 ඉරිදා

18.49 තෙක් සිත නැකත යි.

සුදුසු අකුරු පෙ, පො, ර, රි.

21 සඳුදා

20 ඉරිදා 18.49 සිට 21 සඳුදා 16.45 තෙක් සා නැකැත යි. සුදුසු අකුරු රු, රෙ, රො, ත.

22 අඟහරුවාදා

21 සඳුදා 16.45 සිට 22 අඟහරුවාදා 14.22 තෙක් විසා නැකත යි. සුදුසු අකුරු ති, තු, තෙ, තො.

23 බදාදා

22 අඟහරුවාදා 14.22 සිට 23 බදාදා 11.47 තෙක් අනුර නැකත යි. සුදුසු අකුරු න, නි, නු, නෙ.

24 බ්‍රහස්පතින්දා

23 බදාදා 11.47 සිට 24 බ්‍රහස්පතින්දා 9.10 තෙක් දෙට නැකත යි. සුදුසු අකුරු නො, ය, යි, යු.

25 සිකුරාදා

24 බ්‍රහස්පතින්දා 9.10 සිට 25 සිකුරාදා 6.39 තෙක් මුල නැකත යි.

සුදුසු අකුරු යෙ, යො, බ, බි.

26 සෙනසුරාදා

25 සිකුරාදා 6.39 සිට 26 සෙනසුරාදා 4.25 තෙක් පුවසල නැකත යි. සුදුසු අකුර ‘බු‘. ඉන්පසු ඉරිදා 2.36 තෙක් උත්‍රසල නැකත යි. සුදුසු අකුරු බෙ, බො, ජ, ජි.

 

මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුවයි.

 

**********************

පොසොන් පොහෝ සඳකිරණට උවදුරු දුරුවෙයි මඳකට

 අජිත් ධර්මසිරි

පොසොන් මස බොහෝ අවස්ථාවල අපට සුවබර බලාපොරොත්තු ඉහළ නංවනු ඇතැයි සිතීමට පුළුවන. බුදු දහමේ ආලෝකය සිරි ලකට ලැබෙන්න‍ට වීමෙන් ජන සමාජයට ඒකාලෝක වූවාසේ මෙතෙක් පැවැති අඳුරු ආගාධය තුළින් මිදෙන්නට ද එය හේතු වේ යයි අපට නව බලාපොරොත්තු ඉහළ නංවා ගැනීමට පුළුවන්වී ති‍බේ.

 

මෙවර පොසොන් උදාව 2021 ජූනි මස 24 වැනි බ්‍රහස්පතින්දා පූර්ව භාග 03.32 ට යෙදෙන අතර මෙතෙක් පැවති වැසි උවදුරු ජලගැලීම් හා නාය යෑම වැනි අදිසි හස්තයන්ට වැට කඩුළු බැදෙන බව නම් ඉතිහාසය දෙසට ඇස යොමු කිරීමෙන් පවා අපට පෙනෙන්නට තිබේ. මෙතෙක් දෙතුන් මසක් පමණ අප පරිසරය විවිධ භූ විෂමතාවලට ලක් වෙමින් ද විවිධ අසුබවාදී ග්‍රහචාරයන් නිසා ද අත් විඳින්නට වූ අපහසුතාවයන් අතර නිවාස අහිමි වීම්, රැකියා වෘත්තීන් අහිමි වීමෙන් දේපළ උන්හිටි තැන් අහිමි වීමෙන් ඒ අතරම ලෝක වසංගතයක්වූ කොරෝනා උවදුරින් ද බැටකන පිරිසක් ලෙස ලෝකවාසී ඔබ අපි සැම එකට විපතට පත්ව සිටින්නෙමු. පසුගිය වකවානුවේ පැවති අසුබවාදී ග්‍රහචාරයන් ග්‍රහ යුද්ධ, සූර්යග්‍රහණ, චන්ද්‍ර ග්‍රහණ ඊට හේතු වූවාට කිසිදු සැකයක් නැත. නමුත් තවදුරටත් ඒ අසුබ ග්‍රහ තත්ත්වයන් අප අතර තවදුරටත් නැතුවා නොවේ.

ඒ අනුව පසුගිය මැයි 24 වැනිදා සෙනසුරු ග්‍රහයා වක්‍රවීම, ගුරු ග්‍රහයා ජූනි 21 වැනිදා වක්‍රවීමට නියමිත වීම සිකුරු ග්‍රහයා ජූනි 22 දා දහවල් 02.23 ට කටක රාශිගත වීමට නියමිත වීම බුධ ග්‍රහයා ජූනි 23 බදාදා නිවෘත වීමට නියමිතව තිබීම ඇතුළු විවිධ ග්‍රහ විෂමතා පිළිබඳ අපට අසන්නට දකින්නට ඇතත් ග්‍රහලොව රජු ලෙසින් හඳුන්වන රවි ග්‍රහයා ජූනි මස 15 වැනිදා 06.01 ට පැවති සතුරු බවින් මිදී මිථුන රාශිගතවීම අපට නව බලාපොරොත්තු ඉහළ නංවා ගැනීමට හැකි වන පිහිටීමකි.

ඒ අතරම කඩින් කඩ වැසි හා සුළඟ ඇතුළු පරිසර අසමතුලිතතාවක් එසේ පැවතුණ ද මෙවර ජූනි 24 දා පොසොන් සඳ මෝදු වීමත් සමඟ වැසි සුළං අවම වීම මිනිස් දේපළවලට හානි වීමට ඇති ඉඩකඩ අවම වීම හා වසංගත ‍රෝග ව්‍යාප්තියේ යම් තරමක අඩුවක් පෙන්වමින් මිනිසාට යම් අස්වැසිල්ලක් ගෙනදීමට සමත් වන බව නම් නිසැකය.

එහෙත් ඒ ලද අවසනින් ඔබ අප පවතින සංචරණ සීමා අවම වීමක් තුළ වුව ද නොසැලකිලිමත් වුවහොත් තත්ත්වය තවදුරටත් භයානක විය හැක. එහෙයින් කොතෙක් සීමා ලිහිල් වුව ද ඔබ අප ස්වයං සංචරණ සීමා පනවා ගනිමින් කටයුතු කළහොත් ඉදිරියේදී මෙම වසංගත තත්ත්වයෙන් ස්ථිරසාරව මිදීමට අපට හැකිවනු ඇත.

 

Comments