
සංයෝගය හා වියෝගය ජීවිතයේ ප්‍රධාන ධර්මතා දෙකයි. ප්‍රියයන් හා එකතු වනවිට සතුටක් දැනේ. ප්‍රියයන් - හිතවතුන් - අපේකමක් දැනෙන ඇත්තන් වෙන් වනවිට අප හිතට ඉමහත් දුකක් දැනේ. වඩාත් සංවේදී කාරණය වන්නේ නිකමුන් මෙන් කකා බිබී අයාලේ ගොසින් රටට ලෝකයට කිසිදු වැඩක් පළක් නොකළ වින කටින අය මිය ගියත් අපට නොදැනීමයි. වඩාත් අප හැඟීම් කෙරෙහි කම්පා වන්නේ ලොවට ඵලදායක ප්‍රයෝජනවත් මෙහෙවර කළ කෙනකු ගිය විට ය. මේ ලිපියේ අරමුණ වන්නේ එබඳු පිළිබා සවියෙන් කුසලතා වෙන් පිරිපුන් මාධ්‍යකරුවකු ගී පද රචකයකු, කවියකු, විචාරකයකු වූ සමන් චන්ද්‍රනාත් වීරසිංහයන් සම්බන්ධ මතකය අවදි කිරීමයි.
‘අපේ කාලේ සරස්වතී‘ රාජ්‍ය සම්මාන දිනූ ගී පද මාලා කෘතියේ උපකාරයෙහි ඔහු දක්වන අදහස ඉදානීන්තනයෙහි අවුල් වියවුල් මැද ජීවත්වන අප කාටත් අදාළ ය.
“මා කුඩා අවදියේ ‘ටිකිරි කතාවක්‘ ලියා ලද පාඩමක් අද සේ මතකය. මේ කතාවේ කතා නායකයා සියතින් වැවූ කරවිල වැලේ පල හොරුන් කඩා ගත්තැයි සිත් තැවුලෙන් ප්‍රශ්නයකට මැදිව දිවි නසා ගත්තේ ය. මගේ මව මේ කතාව තාත්තාට පෙන්වා “සමන්ට මොකක් වෙලාදැයි“ විමසුවා මට ඇසිණ.
එවකට ඉරිදා ලංකාදීප පත්‍රයේ කතුවරයකු වූ තාත්තා, විමල් වීරසිංහ මහතා කතාව බලා ඉරා විසි කැර දැමී ය.
“සමන් මිනිසුන් ප්‍රශ්න මැද්දේ ජීවත් වෙන හැටි ලියනවා. මැරෙන හැටි නෙවෙයි“ තාත්තා මට කීය.
සමන් චන්ද්‍රනාත් වීරසිංහ ගීතයෙන්, කවියෙන්, රචනා මඟින් එසේ කළේ ය.
ඔහු විසින් පබඳින ලද ගීත රචනා අතිශය ජනප්‍රිය වූයේ ය. විශාරද සුනිල් එදිරිසිංහ හා හා පුරා කියා ගුවන් විදුලියෙන් ගැයූ සරල ගීතය රචනා කළේ ඔහු විසිනි. තනුව යොදා සංගීතවත් කළේ වාද්‍ය නිපුන් පී.වී. නන්දසිරි මහතා ය. එම ගී පද පෙළ ඔහුගේ ප්රගතිශීලී මානව හිතවාදී ආලෝචනා පළට කරන්නේ මෙසේ ය.
වාදකයාණනි ඔබේ සිතාරය
සත්සර නංවන සුමිහිරි රාවය
කෙතක ගොයම් නෙළනා ළඳුන්නේ
දෙතොලේ ගීයට මුසු කළ මැනැවි
අඩ අඳුරේ මන් මත්කළ රාගය
තොල ගාමින් මෝහයේ සුරාවිත
ආලිංගන නැටුමකට සාදයක
කුමට වයන්නෙද එවන් සිතාරය
නව ලොව එළි කළ අරුණාලෝකය
රන්කෙත කරනා සඳ ආලෝකය
සව් සිරි අස්වනු නෙළනා ගීතය
රසවත් කළ මැන වයා සිතාරය
සමන් චන්ද්‍රනාත් පද්‍ය කලාව, ගීතලතාව, ගීත රටාව, ගීතතාව මැනවින් දැන හඳුනා සිටි බැව් ඔහු විසින් නිර්මිත ගී පද රචනා නිදසුන් සපයයි.
ආචාර්ය ප්‍රේමසිරි කේමදාස සංගීත වේදියා විසින් තනු නිර්මාණය කළ ඩී.ඩී. ගුණසේන විසින් ගැයූ මේ ගුවන් විදුලිය ගීය එම යුගයේ වගා සංග්‍රාමය උදානයක් බවට පත් කළ ගීයකි.
සොඳුර මට සමුදෙන්න සමුදෙන්න
සොඳුර මට සමුදෙන්න සමුදෙන්න
ඈත ගමේ සරු පස පෙරළන්නට
මා යනවා අද උදෑසනේ
ගමේ තුරුහිස් අතර පාවී
සවන වැකෙනා කුරුලු ගීතය
ඔබේ මුදු පිය වදන් වාගේ
නිවා ලනු ඇත මගේ සරතැස
අස්වනු පීදී කරලින් බරවී
මුළු රට ඉතිරේ ජය පානේ
පුර හඳ පායන වසන්තයේ
අපි බොමු මංගල මධු පානේ
ජීවන මිහිරියාව ඔප් නංවන පරමාර්ථ දල්වා ලන, බලාපොරොත්තු සූචනය කරන එබඳු තවත් ගීතයකි, විශාරද ගුණදාස කපුගේ - ෂෙල්ටන් ප්‍රේමරත්න සංගීතඥයාගේ කදිම තනුවකට ගැයූ මේ ගීතය.
නාඹර ගොයමට රහස් කියාලා
ළා හිරු හිනැහේ කිරණ හළාලා
දෑසේ පෙම්බර රහස් ලියාලා
නාරිලතා මා අමතනවා
ඔහු තමන් උපන් බිමට පැවතියේ පුදුම ආදර ගෞරවයකි. සිංහල භාෂාව සාහිත්‍යයට බැතිමත් වූවෙකි. දැනුම ලැබූවෙකි. සිය සංස්කෘතියට ආගම ධර්මයට සිංහලකමට බෞද්ධකමට සේවය කළේ ය. එම අනන්‍යතාව සුරැකී ය. මේ රටේ අනෙකුත් ආගම්, ජාති අතර සුහද මිතුදමත් සහජීවනයෙන් ජීවත්වීමේ සංකල්පනා පතුරුවා හැරියේ ය. දේශාභිමානය, ජාත්‍යනුරාගය වඩන කව් ගී පබැඳුවේය. කුලමල වාද භේදාදී මානව කේන්ද්රනවාදී අගතිගාමිත්වය පිටු දැක්කේ ය.
විශාරද මාලනී බුලත්සිංහල, ෂෙල්ටන් ප්‍රේමරත්න සංගීතවේදියාගේ තනුව හා සංගීතය අනුව ගැයූ මේ ගීතය මනහරය හරබර ය.
සඳ මඬලේ සිට
තරු මඬලේ සිට
දි වැස් හෙළන පුතුනේ
බලාගන්න පුත - බලා ගන්න පුත
ලස්සන ලක් දෙරණේ
පුරන් කුඹුරු වපුරන්නේ පුතුනේ
හෙට උපදින පුතුටයි
කම්හල් නව නිපැයුම් නිම වන්නෙත්
ඒ හුරතල් පුතුටයි
සරත් දසනායකයන්ගේ සංගීත නිර්මාණයට වික්ටර් රත්නායකයන් විසින් ගැයූ මේ ගීතය දේශ වාත්සල්‍යය දනවන්නකි.
සිරි ලක් දෙරණේ වහල් අඳුර පිස
විමුක්තියේ රිවි කිරණ ගලා
අනාගතේ ජය මාවත පෙරමඟ
නිදහස් අබිමන් මල් පිපිලා
ධීර වීර හැම තරුණ හදක්
ලක්මව පා මුල පිදෙන මලක්
ඉසුරෙන් බර වාසනා හෙටක්
දැක්මට නංවමු අලුත් රටක්
සමන් චන්ද්‍රනාත් විසින් ලියන ලද ගී පද මාලා අතිශය ජනකාන්ත විය. තවද නිදසුන් කීපයක් මතක් කිරීම යුතුකමකි.
විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන හා සුනිල් සිරිවර්ධන සරත් දසනායකයන් ගේ සංගීතයට ගැයූ සහෝදර ප්‍රේමය විද්‍යමාන කළ මේ ගීතය ඉතා ජනප්‍රිය වූවකි.
රණ්ඩු වෙවී යාළු වෙවී දුව පැන වතු මිදුලේ
පුංචි කමට අපි හිටියා මතක් වෙනව නඟේ
පුංචි අතින් අල්ලාගෙන ඒදණ්ඩෙන් නැගී
ලන්ද පුරා කළ සක්මන් මතකයි අයියණ්ඩී
සුපතළ පෙම් ගී ගණනාවක් ඔහු අතින් ලියැවුණු බව නව පරපුර ඇතැම් විට නොදන්නවා විය හැකි ය.
කවි කාරියේ සින්දු කියනා ළඳේ
නුඹදෝ රැහේ කෝකිලා
මගෙ පාඩුවේ යන්ට යනවා ඔහේ
අනෙ සාමි හැන්දෑ වෙලා
කීර්ති පැස්කුවල් සහ ධම්මිකා බණ්ඩාර - මහින්ද බණ්ඩාර විසින් තනුව නිර්මිත ගීයකි.
මට තනි නැත නුඹ නාඬන් සුරතලියේ
ප්‍රේමාලිංගන නැතුවට - අහිමි පෙමට
බිඳුණු සිතට
මම නොතැවෙන්නම්
(ටී.ඇම්. ජයරත්න - ගායනය (එච්.එම්. ජයවර්ධන සංගීතය)
ගණිත ගැටලුවක් බඳු ප්‍රේම ගීතය ගැයුවේ ආචාර්ය දයාරත්න රණතුංගයි.
සම කෝණි ත්‍රිකෝණයකි
ඔබත් මාත් ඇයත් තිදෙන
ඔබ එක මුල්ලක සිටියා - ඇය තව මුල්ලක සිටියා
නෙත් සතරක පහස ලබා
මම මේ මුල්ලේ සිටියා
බිඳුවක් ඉවසා අහන්න හිතවත
අහන්න හිතවත
ඈ මගෙ පෙම්වතියයි
කිසිදා නො ලබන පෙමක් පතා ඔබ
ඇය රිදවනු වැරැදියි//
(පුන්සිරි සොයිසා, ස්ටැන්ලි ඇම්. ප්‍රනාන්දු - සංගීතය)
එඩ්වඩ් ජයකොඩි හා චන්ද්‍රානි ගුණවර්ධන සරත් දසනායකගේ සංගීතයට ගැයූ මෙම ගීතය මතකය.
ලතා මඬුල්ලක් කතා කරනවා
සෙවණට එන්න කියා
මේ මල් උද්‍යානේ නවතිමු හැන්දෑවේ
විශාරද සුජාතා අත්තනායක ස්ටැන්ලි පීරිස්ගේ සංගීතයට ගැයූ තවත් ගීයකි මේ.
සතර වටින් කළුකරගෙන වහින වෙලාවේ
මට මුවාවෙන්න ගසකුත් නැති සැදෑ වෙලාවේ
විශාරද ගුණදාස කපුගේ හා විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන පීටර් සිරිවර්ධන ගේ සංගීතයෙන් ගයන ලද ගීය ද ජනප්‍රිය වූවකි.
චාන්දනී පායලා ආදරේ
නාමල් සුගන්දේ වසන්තේ පුරා
සෙව්වන්දියකට පෙම් බැන්දා
ආශා දහසක් රස වින්දා
ධනපාල උඩවත්ත - ආර්.ඒ. චන්ද්‍රසේනගේ සංගීතයට ගැයූ ජනප්‍රිය ගීයක් ඇත.
කියයි මිහිරි කතා - නිතර රසට ගොතා
බොලඳ සුපෙම් ලතා - මලකි නාරි ලතා
බිඳුවක් ඉවසා අහන්න හිතවත
අහන්න හිතවත
ඈ මගෙ පෙම්වතියයි
කිසිදා නොලබන පෙමක් පතා ඔබ
ඇය රිදවනු වැරදියි
පුන්සිරි සොයිසා/ ස්ටැන්ලි ඇම්. ප්‍රනාන්දු
සමන් චන්ද්‍රනාත්ගේ මිනිස් ගති සොබාවත් වූයේ කියන දේ මුහුණටම කියා පෑම ය. දන්නා දේ පත්‍ර කලාවේදී - ගීත ලෝකයේදී නොදන්නා අයට කියා දුන්නේ ය. 1990 දශකයේ මුල සිටම ඇරඹුණු ගීත නිබන්ධක සංසදයේ උප සභාපතිවරයකු ද විය. මඩවල ඇස්. රත්නායක මහතා සභාපති විය. පියසේන කොස්තා, මහාචාර්ය සුනිල් ආරියරත්න, කුලරත්න ආරියවංශ, රන්බණ්ඩා සෙනෙවිරත්න, ධර්මසිරි ගමගේ, සුනිල් ආර්. ගමගේ, බණ්ඩාර ඇහැලියගොඩ ඇතුළු තවත් ගීත රචකයින් සමඟ බුද්ධිමය දේපළ පනතට අනුකූල වෘත්තීය අරගලයක නිරතවූ ඔහු ‘සිළුමිණ‘ සමකර්තෘවරයෙක් ලෙස ද, දිනමිණ නියෝජ්‍ය කර්තෘ ලෙස ද කලක් සේවය කළේ ය. ඔහුගේ ජීවිතය පත්‍ර කලාව වුව ද වඩාත් ඔහු කීර්තිමත් වූයේ වටිනාකම් පළට කළ ගී පද රචකයකු වශයෙනි. දේශපාලනික, ආර්ථික, සමාජ සංස්කෘතික වශයෙන් අදීන අදහස් උදහස් පළ කළ මිනිසකුගේ හද පණ ගැහීම නතර වීම අපට ඉමහත් සංවේගයකි.
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
ඡායාරූප - නිශ්ශංක විජේරත්න