
පේදුරුතුඩුව ඉදන් දෙවුන්දර තුඩුව වෙනකන් මේ පුංචි රටේ ආදරේ හොයාගෙන යන්න හිතෙන දවසක් එයි කියලා මගේ ජීවිතේ ලියවිලා තියෙන්නම ඇති.... පියාඹන්න ආයෙත්...
අද අපි ඔබට සමීප කරන්නේ නවතම සිනමා නිර්මාණයක් ගැන. "පියාඹන්න ආයෙත්" මෙහි තිර රචනාව ලියා නිෂ්පාදනය කරන්නේ යු. ඒ. පල්ලියගුරු. ඒ වගේම සිනමා නිර්මාණය සමඟ එන්නෙත් නවක අධ්‍යක්ෂවරයෙක්. ඒ ෂර්ලි සමරසිංහ.
පියාඹන්න ආයෙත්. චිත්‍රපටය නිර්මාණය වූ අයුරු ෂර්ලි කිව්වේ මෙහෙම.
මේ මගේ කුලුඳුල් සිනමාපටය. කාලයක් තිස්සේ වේදිකාව සහ රූපවාහිනිය එක්ක වැඩ කරගෙන ආව ගමනත් එක්ක තමා සිනමාපටයක් අධ්‍යක්ෂණය කරන්න ඕනේ කියන අදහස ආවේ. ඒ නිසාම චිත්‍රපට සංස්ථාවේ සිනමාපට සම්බන්ධයෙන් ඩිප්ලෝමාවක් කරා. එතැනදී කෙටි චිත්‍රපටයක් කරා "අහස" කියලා. ඒ වෙනුවෙන් චිත්‍රපට සංස්ථාවෙන් සම්මානයක් ලැබුණා. රාජ්‍ය රූපවාහිනි ටෙලි සම්මාන උළෙලේ දී හොඳම කෙටි චිත්‍රපටයට හිමි රන් සම්මානය හිමි වුණා. ඉන්දියාවේ බැංගලෝර් හි කෙටි චිත්‍රපට උළෙලකදීත් ජූරියේ සම්මානයක් ලැබුවා. ඒ නිසාම කවදා හෝ වෘතාන්ත චිත්‍රපටයක් කරන්න ඕනේ කියන ආසාව තිබ්බා. ඔය අතරේ විසාකේස චන්ද්‍රසේකරම්ගේ සයපෙති කුසුම සහ පාංශු චිත්‍රපට දෙකේම නිෂ්පාදන කළමනාකරු විදියට වැඩ කරන්න අවස්ථාව ලැබුණා. ඊට අමතරව තව නිර්මාණ කිහිපයකම සහාය අධ්‍යක්ෂවරයෙක් විදියට වැඩ කළා.
වර්තමානයේ තාක්ෂණික දියුණුවත් එක්ක බොහෝ තරුණ පිරිස නිර්මාණ කරන්න පෙලඹීමත් එක්ක සිනමා නිර්මාණයක් කිරීම එදාට වඩා අද වෙද්දී පහසු වෙලා තියෙනවා. ඒ නිසාම මටත් මගේ සිහිනය සැබෑ කර ගන්න හැකියාවක් ලැබුණා. අපිට මේ වෙද්දී ඉන්න ප්‍රේක්ෂකාගාරයට ආමන්ත්‍රණය කරන්න පුළුවන් සහ ඒ ප්‍රේක්ෂකාගාරය පුළුල් කරගන්නේ කොහොමද කියන දේ අපි නිරන්තරයෙන් සාකච්ඡා කළා. ඒ අනුව තමා යු. ඒ. පල්ලියගුරුගේ තිර රචනාවකට අනුව පියාඹන්න ආයෙත් චිත්‍රපටය නිර්මාණය වෙන්නේ.
මෙහි ප්‍රධාන භූමිකාවන් දෙකක් තියෙනවා. ඒ චරිත මවන්නේ කලණ ගුණසේකර සහ චමත්කා ලක්මිණි. ඒ දෙදෙනාම ඔවුන්ගේ උපරිමයෙන් මේ නිර්මාණයට දායක වුණා. තව කුඩා දරුවන් දෙදෙනෙක් යොදා ගත්තා. ඒ දරුවන් සහ සෙසු චරිත සියල්ලම ඔවුන්ගේ කොටස හරියාකාරයෙන් කරා කිව්වොත් නිවැරදියි. මේක ආදරය පිළිබඳ නැවුම් අර්ථකතනයක් දෙන පවුලේ හැමෝටම බලන්නට හැකි සිනමා අත්දැකීමක්.
අද නිර්මාණය වන බොහෝ නිර්මාණ උත්සාහ කරන්නේ නිෂ්පාදන අවධියේ පිරිවැය අවම කරගන්න සීමිත පසුතලයකින් ඉවර කර ගන්න. නමුත් මේ චිත්‍රපටය තුළින් ලංකාවේ බොහෝ ප්‍රදේශ ආවරණය කරන්න වුණා. මොකද විදෙස් ගතව ඉඳලා ලංකාවට එන තරුණියක් වටා කතාව නිර්මාණය වෙන්නේ. ලංකාව පිළිබඳ ලොකු මතකයක් ඇයට නැහැ. අපිට ඕනේ වුණා ලංකාව තුළ තියෙන සෞන්දර්ය කරන්න අපි රූ ගත කිරීම් පටන් ගත්තේ තංගල්ලෙන්. ඊට පස්සේ අම්පාර, අනුරාධපුරය, යාපනය, කුරුණෑගල, නුවරඑළිය, කොළඹ,මහනුවර යන ප්‍රදේශ සියල්ලෙහිම රූපගත කළා.
මෙහි ගීත තුනක් අඩංගුයි. මෙහි ප්‍රධාන තේමාව වුණේ ඔවුන්ගේ ජිවිත ගලා යන සෞන්දර්ය චාරිකාවක්. නමුත් යටි පෙළින් ජීවිතය තුළ තියෙන සතුට වේදනාව කඩාවැටීම් නව බලාපොරොත්තු මේ සියල්ල අන්තර්ගතව තියෙනවා. ඒ නිසා සිනමා ප්‍රේක්ෂකයාට විඳින්න පුළුවන් පැති ගොඩක් තියෙනවා.
මම චිත්‍රපට පිළිබඳ හදාරද්දී මගේ ගුරුවරයා වුණේ ප්‍රසන්න විතානගේ. ප්‍රසන්න සර් එක්ක මම කාලයක් වැඩ කළා. ඒ කාලේ එතුමන් කිව්ව දෙයක් තමයි ගොඩක් නවක අධ්‍යක්ෂවරු පෙලඹෙන්නේ කලාත්මක සිනමා නිර්මාණ කරන්න කියන එක. නමුත් කලාත්මක සිනමා නිර්මාණ බලන්න ප්‍රේක්ෂකයන් එනවද කියන කාරණය ගැන අපි හිතන්න ඕනේ කියන දේ. අපේ අධ්‍යාපන ක්‍රමය තුළ දරුවන්ව චිත්‍රපටයක් බලන්න නාට්‍යයක් බලන්න සංගීත සංදර්ශනයක් රසවිඳින්න පොලඹවා තියෙන සමාජයක් නෙවෙයි. නමුත් අපි අපේ නිර්මාණ ප්‍රේක්ෂකයා අතරට ගෙන යමින් මේක ජයගන්න වෙලා තියෙනවා. අපිට ප්‍රේක්ෂකයාට කියන්න බැහැ සාහිත්‍ය ගැන පොතපත තුළින් දැනුම ලබලා උපාධි අරගෙන ප්‍රේක්ෂකාගාරයේ වාඩිවෙන්න කියලා. අපි නිර්මාණ කරන්න ඕනේ පොදු ජන කලාවක් ඇති කරන්න සරල තැනකින් ඔවුන්ව ආමන්ත්‍රණය කරලා ටිකක් ඉහළට ඔසවා තබන්නට හැකි නිර්මාණයි.
ප්‍රේක්ෂකයා චිත්‍රපට අතහරින්නේ නැහැ. සමහර නිර්මාණ තියෙනවා ඉතා විශිෂ්ට ගණයේ නිර්මාණ. නමුත් ලංකාවේ පිරිසට ග්‍රහණය කර ගන්න කාලයක් යනවා. ඒ නිසා මේ චිත්‍රපටයෙන් අපි උත්සහ කළේ සමාජය තුළ තියෙන ප්‍රස්තුතයක් අපේ හැඩතලවලින් ඔවුන් කැමති ආකාරයට නිර්මාණය කරවීමක්. යොවුන් වියේ අත්දැක්ක පෞද්ගලික අත්දැකීමක් පොදු අත්දැකීමක් කරලා සිනමාවට නඟලා තියෙන්නේ. ඒ නිසා අපේ අයට මේ කතාව දැනෙන කතාවක් වෙයි. ප්‍රේමය මනුෂ්‍යත්වය මුලික වුණු කතාවක් නිසා ප්‍රේක්ෂකයාගේ අත්දැකීම් එක්ක ඔවුන් මේ "පියාඹන්න ආයෙත්" සිනමාපටය බෙදා හදා ගැනීමක් කරයි කියලා.
ඒ නිසා මේ සියල්ල ගැන අධ්‍යයනය කරලයි "පියාඹන්න ආයෙත්" චිත්‍රපටය කළේ. විචිත්‍ර වූ සංගීත නාද රටා එක්ක ගීතමය ජවනිකා තියෙනවා. ඒ නිසා මම හිතනවා සිනමා ප්‍රේක්ෂකයාට හොඳ අත්දැකීමක් ලැබෙයි කියලා.
විශේෂයෙන්ම නිෂ්පාදක යු. ඒ. පල්ලියගුරුව සිහිපත් කරන්න ඕනේ. ඊට අමතරව නම් වශයෙන් නොකිව්වට මේ වෙනුවෙන් දායක වුණු හැමෝටම ස්තුතී වන්ත වෙනවා. මෙය එක් ආරම්භයක්. ඉදිරියේදී තව අලුත් අත්දැකීම් බෙදා හදාගන්න සුදානමක් තියෙනවා.ඒ වෙනුවෙන් මම විශ්වාස කරනවා ප්‍රේක්ෂකයා මේ චිත්‍රපටයට හොඳ උත්තේජනයක් ලබා දෙයි කියලා.