
චමත්කා ලක්මිණි කියන්නේ නිරූපණ ශිල්පිනියක් විදිහට කලා ක්ෂේත්රයට ඇවිත් පළවෙනි සිනමා නිර්මාණයෙන්ම බොහෝ දෙනාගේ ආකර්ෂණය දිනා ගන්නට සමත් වුණු සුරූපී නිළියක්. ඒ වගේම බොහොම පරිස්සමෙන් හෙමින් ගමනක් යන ඕනෙම අභියෝගයක් බාරගන්න කැමති දක්ෂ නිළියක් බවත් කිව යුතුමයි. මේ දවස් වල චමත්කා මොකද කරන්නේ කියලා දැන ගන්නත් එක්කම සිළුමිණ රසඳුන අපි චමත්කාට කතා කළා. මේ ඇය සමඟ කළ කතාබහේ තොරතුරුයි...
එන්න තියෙන නිර්මාණ ගැන කතා කළොත්
ෂර්ලි සමරසිංහගේ පළමු නිර්මාණය වන පියාඹන්න ආයෙත් එන්න තියෙනවා. කලණ ගුණසේකර සහ මම තමයි එහි චරිත නිරූපණය කරන්නේ. උදාර පල්ලියගුරුගේ නිෂ්පාදනයක්. මට බබා හම්බෙලා මාස හය හතකට පස්සේ කරපු වැඩක් තමයි ඔය එන්නේ තියෙන්නේ. ටිකක් පරණ වැඩක්. හැබැයි හොඳ වැඩක්. වෙනදා දැකපු චමත්කා නෙවෙයි ඉන්නේ. මිනිස්සු වෙනස් විදියට බාර ගනිවී කියලා හිතෙනවා.
චමත්කා සිනමාවට පමණයි ද සිමා වෙන්නේ
මේ දවස්වල මම Blackpool කියන ටෙලි නිර්මාණයේ වැඩ කරනවා. මම හිටියේ ටෙලි නිර්මාණ කරන්නේ නැහැ කියන මතයක. හැබැයි කොරෝනා වලින් පස්සේ ඇතිවුණු තත්ත්වය එක්ක තමයි Blackpool ටෙලි නිර්මාණයේ වැඩ බාර ගත්තේ. ඒක ලස්සන වැඩක්. ගුප්ත ස්වභාවයක් තියෙන්නේ. ඒ පිටපතට ආස හිතිලා තමයි ඒ වැඩේ බාරගත්තේ. පොදු රූපවාහිනී මාධ්‍යය තුළ නෙවෙයි විකාශය වෙන්නේ. පියෝ ටීවී සහ ඩයලොග් ටීවී නාළිකා අංකවල පමණයි. ඒ නිසා ඒ නිර්මාණය ගැන තවම සමාජයේ ලොකු කතාබහක් ඇතිවෙලා නැහැ. මෙගා නාට්‍යය වලට නම් කොහොමත් සම්බන්ධ වෙන්නේ නැහැ.
කලාව ගැන තියෙන්නේ මොන වගේ අදහසක් ද?
මම ආසයි එක නිර්මාණයක් කරලා ඒ ගැන මිනිසුන්ට කතාවෙන්න ඉඩ දීලා; ඒ වෙනුවෙන් ලැබෙන ප්‍රතිචාර සියල්ල හොඳින් බාර අරගෙන ඊළඟ වැඩේදී වෙනස්ම විදියකට එන්න. ඒ තුළ මම ස්වයං වින්දනයක් ලබනවා. ඒ නිසා තමයි හැම තිස්සෙම මාව පේන්නත් නැත්තේ. ඒ වගේම මම දකින තව දෙයක් තමයි ලංකාවේ කලාකරුවන් මේ කලාවට හරි ආදරෙයි. ඒ ආදරය නිසා තමයි මොන ප්‍රශ්න බාධක ආවත් කලාව අතනොහැර කලාව එක්කම ඉන්නේ.
චමත්කා අභියෝග නොබියව බාරගන්න චරිතයක් බව නොරහසක්, හැබැයි එක නිර්මාණයකට දායක වුණාට පස්සේ ලැබෙන ආරාධනා ගැන තෘප්තිමත් ද?
අනෙක් රංගන ශිල්පිනියන්ට වෙච්ච දේ තමා මටත් වෙන්න ගියේ. හුස්ම වලින් පස්සේ එවැනිම නිර්මාණවලට තමයි ආරාධනා ලැබුණේ. නමුත් මම දැඩි තීරණයක හිටියා ඊළඟ චරිතය වෙනස්ම චරිතයක් කරනවා කියන එක. හැබැයි එහෙම වෙනස් චරිත නොලැබෙන්නත් පුළුවන්. ඒක මම දකින්නේ වාසනාව තියෙන්නත් ක්ෂේත්රය තුළ රැඳෙන්න. අභියෝගාත්මක චරිත කියන එකට වඩා මම කරන්නේ මට ලැබෙන මම බාර ගන්න චරිතය. ඒ චරිතය මම හොඳට කරනවා. මම මගේ රැකියාවට ආදරෙයි නම් සියයට සීයක් කැපවෙන්න ඕනේ. මගේ ගෙදර ජීවිතේ තමා අංක එක. හැබයි ගෙදරින් එළියට ඇවිත් වෘත්තීය එක්ක ගනුදෙනු කරද්දී එතැනදී අංක එක වෙන්නේ මගේ නිර්මාණය. ඒ නිසාම වෙන්න ඇති මට හුස්ම වලින් පස්සෙත් මේ ක්ෂේත්රය තුළ ඉන්න වාසනාව තියෙන්නේ.
නිරූපණ ක්ෂේත්රයේත් ඔබ තවමත් ඉන්නවා, ඉදිරියටත් ක්ෂේත්‍ර දෙකේම වැඩ කරනවද?
මගේ රූපය පවතිනකම් මම මේ ක්ෂේත්‍ර දෙකේම ඉන්නවා. මම ගොඩක් වැඩ කරන්නේ නැති නිසා ක්ෂේත්‍ර දෙකම සමබරව කරගෙන යන්න පුළුවන්. මේ වෙද්දී හැමෝම කියන්නේ ලංකාවෙන් යමු නේද? දැන් තත්ත්වය හොඳ නැහැ නේද කියලා. නමුත් මම තවමත් ඉන්නේ මේක මගේ රට; මගේ රස්සාව තියෙන්නේ මෙහෙ; ඒ නිසා මම මගේ රටේ ම ඉන්නවා කියන දැඩි තීරණයක.
කොහොමද පවුලෙන් ලැබෙන සහයෝගය
ගෙදරින් ලැබෙන සහයෝගය කියන්නේ. මම වැඩකට යද්දී කීයටද එන්නේ, කවද්ද එන්නේ කියලා අහන පවුලක් මට නැහැ. මම තනියම හැඳුණ කෙනෙක් නිසා මට නිදහස උපරිමයෙන් තිබ්බා. ඒ නිදහසම මට මගේ ස්වාමිපුරුෂයාගෙනුත් ලැබෙනවා. මම බබා ලැබුණට පස්සේ ආයේ වැඩ කරන්න පුළුවන් වෙයිද කියලා හිතුණ කාලයක් තිබ්බා. ඒ කාලේ මගේ අම්මා කිව්වා ඔයා ආයේ මාස තුනෙන් ඇඟ හදාගෙන වැඩ කරන්න ඕනේ කියලා. ඒ ලැබුණු සහයෝගය එක්ක තමා අද මම ආයෙමත් ක්ෂේත්රයේ වැඩ කරන්නේ. පවුලෙන් එහෙම සහයෝගයක් නොලැබුණා නම් මමත් දරුවා එක්ක ගෙදර ඉන්න කලාකාරිනියක් වෙන්න තිබ්බා.
චමත්කා බබා ලැබුණට පස්සේ හිටියටත් වඩා ලස්සන වෙලා, හැඩ වෙලා තමයි ක්ෂේත්රයට ආවේ. මොකක්ද රහස?
රහසක් නැහැ. මම බොහොම පෝෂ්‍යදායක ආහාර ගත්තේ. පොඩ්ඩයි කෑවේ. ලොකුවට ජිම් ගිහින් ඩයට් කළේ නැහැ. මොකද මම තාම මගේ දරුවට කිරි දෙනවා. පුතාට අවුරුද්දයි මාස දෙකක් වෙනවා. මම හිතාගත්තා පුතා ඉල්ලනකම් එයාට කිරි දෙනවා කියලා. සමහර අයට ලොකු ප්‍රශ්නත් තියෙනවා මගේ ශරීරය සම්බන්ධයෙන්. ඒ අයට කියන්න තියෙන්නේ මම දැන් කිරි දෙන අම්මා කෙනෙක්.
කලාකාරිනියක් වීම ගැන අද මොකද හිතෙන්නේ
මම සිනමාවට ඇවිත් අවුරුදු හයක් වෙනවා. කවදාවත් මගේ රංගන ජීවිතේ පසුතැවිලි වෙන තැන් නැහැ. මම ගත්ත තීරණ මම තනියම ගත්ත තීරණ තියෙන්නේ. ඒ නිසා ඒ දේවල් ගැන මට දුක්වෙන්න වැඩ කරලා නැහැ. ඒ නිසා මට මගේ ගැන තියෙන්නේ නිහතමානී සතුටක් සහ ආඩම්බරයක්.
ඔබ ගැන කෙටියෙන් කිව්වොත්
මම බොහොම සරලව ජිවිතේ විඳින ගැහැනියක්. මම හරි ආසයි මගේ ජීවිතේ හැම මොහොතක් ම විඳින්න. චමත්කා ඒකටයි ආදරේ.