සෝ සුසුම් මැද පරව ගිය බිනරමලී - ස්වර්ණා කහවිට | සිළුමිණ

සෝ සුසුම් මැද පරව ගිය බිනරමලී - ස්වර්ණා කහවිට

ස්වර්ණා කහවිට සිනමාවට ප්‍රවේශ වී මුල්වරට ප්‍රධාන චරිතයක් නිරූපණය කර පළමු චිත්‍රපටයෙන්ම සම්මානයක් හිමි කර ගැනීමට තරම් භාග්‍යවන්තියක් වූවාය

ඇය රංගනයට පිවිසෙන්නේ එවක පුවත්පතක පළ වූ නළුනිළියන් තෝරන විවෘත දැන්වීමට දෙමාපියන්ගේ අනුදැනුමකින් තොරව ඉල්ලුම් පත්‍රයක්  යොමු කිරීමෙන්

 

ප්‍රේම සබඳතාවක් බිඳුණු විට, තිබූ ප්‍රේමය පිළිබඳ මතකයන් අමතක නොකරන සංවේදී සිත් ඇත්තන් මේ පොළෝ තලයෙහි විරලව දක්නට ලැබේ. මෙරට කලාලොවට පහනක් වී, දිවි ගමන නිමා කළ ස්වර්ණා කහවිටත්, එසේ බිඳුණු පෙමෙහි විරහ වේදනාවෙන් තැවුණු එලෙසින්ම සංවේදී හදවතක් තිබූ කලාකාරිනියකි. විටෙක යොවුන් වියේ හට ගත් තම කුළුඳුල් ප්‍රේමය නිසා විරහ වේදනා විඳිනු ලැබුවේ තම අදරණීය මව්පියනට කීකරු දියණියක් වීමෙනි. තවත් විටෙක ගිලන් වූ තම මව්පියනට පිළිසරණක වී, තම යුතුකම් හා වගකීම් ද ඉටු කරනු ලැබුවා ය. ඉන් ඇයට ගෙන දුන් අවසාන ප්‍රතිඵලය වූයේ, විදෙස් රටක දී මෙන්ම, මෙරටේ දීත් දීර්ඝ කාලයක් හුදකලාව දිවි ගෙවන්නට සිදුවීම ය. එසේ නිසල සිතක් පහළ කර ගනිමින්, ජීවිතය විඳීමේ වරප්‍රසාදය අහිමි කර ගනු ලැබූව ද, ඇය කලා ලොවේ හුදෙකලා නොවූ කලාකාරිණියක් විය.

 

ස්වර්ණා කහවිට එසේ සැබෑ ජීවිතයේදී ප්‍රේමයෙන් පරාජිත වී නිසල වූවත්, සිනමා ලෝකයේ ඇය රැඳුණු කාලපරිච්‌ජේදයේ දී නම්, ඇයට ගෙන දුන්නේ, සුන්දරත්වයක් ම ය. ඒ ඇය තම නිර්මාණශීලී හැකියාවෙන් සිනමා ලෝලීන්ගේ ආදරණීය ප්‍රේමවන්තියක ද වීමෙනි. එලෙසින්ම හැත්තෑව දශකයේ ඇය විසින් සිනමාවට ලබා දුන් එළිය, සිනමාලෝලීන්ගේ මතකයෙන් නම් ඈත් නොවනු ඇත.

ස්වර්ණා කහවිට ට රඟපෑමට උනන්දුවක් ඇති වී තිබෙන්නේ, වර්ෂ 1960 දී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිසුන් විසින් අධ්‍යක්ෂණය කළ “සංදේශය” චිත්‍රපටිය නැරඹීමෙනි. ඒ චිත්‍රපටයේ පසුබිමින් වැයුණු “පුන්සඳ එළියයි ... එනමද සුළඟයි ... මල් මල් සුවඳයි” ගීතයට රංගන ශීල්පිණී කාන්ති ගුණතුංගගේ නර්තන විලාසයට ඇය බොහෝ සේ ඇලුම් කරන්නට විය. ඒ අනුව ඇය බොහෝ අවස්ථාවලදී තම නිවසේ දී එම නර්තන විලාසය අනුකරණය කර තිබී ඇත. “සංදේශය” චිත්‍රපටිය මෙන්ම වර්ෂ 1962 දී මයික් ජේ. විල්සන් අධ්‍යක්ෂණය කළ “රන් මුතු දූව” චිත්‍රපටයත්, ඇයට සිනමාවේ රංගන ශිල්පිණියක් වීමට බොහෝ සේ ඉවහල් වී තිබේ.

ඒ වන විට පාසල් වියේ පසු වූ ස්වර්ණාට ගායනයට, නර්තනයට වගේම රංගනයටත් නිපුණතාවක් තිබී ඇත. එහි ප්‍රතිඵලය ලෙස ඇයට පාසල් වේදිකාව තුළත් දක්ෂ නිළියක් වීමට අවස්ථාව උදා වී තිබේ. ඒවාගේම එවක බොහෝ පාසල් වේදිකා නාට්‍යවල රඟ පෑ ඇයට, සම්මාන ගණනාවක් හිමිකර ගැනීමට ද හැකියාව ලැබී ඇත. එය එසේ සිදු වූවත්, ඇය දෙමාපියන්ගේ අනුදැනුමකින් තොරවයි, එවක පුවත්පතක පළ වූ නළුනිළියන් තෝරන විවෘත දැන්වීමට ඉල්ලුම් පත්‍රයක් යොමු කර තිබෙන්නේ. එයින් ඇයට තම සිහිනයක් සැබෑ කර ගැනීමට හැකියාව ලැබී තිබේ.

ඒ අනුව අර්වින් ජයමාන්න අධ්‍යක්ෂණය කළ “රහස් දූපත” චිත්‍රපටයේ ඇය මුල් වරට රඟපාමින් සිනමාවට අවතීර්ණ වේ. ඒ වර්ෂ 1967 දී. එම වර්ෂයේදීම ඇයට සිනමාවේදී ධර්ම ශ්‍රී කල්දේරාගේ “රෑන ගිරව්” චිත්‍රපටයේත්, රඟපෑමට අවස්ථාව උදා වී තිබේ. මෙම චිත්‍රපටයේ රඟපෑමත්, ඇයව සිනමාවේ රංගනයට උනන්දු කළ තවත් අවස්ථාවකි. ස්වර්ණා ගේ සිනමා ජීවිතයේ විශේෂිත සන්දිස්ථානයක් වන්නේ, වර්ෂ 1969 දී තිර ගත වූ “බිනරමලී” චිත්‍රපටයේ රඟපෑමයි. මුදලිනායක සෝමරත්න විසින් අධ්‍යක්ෂණය කළ එම චිත්‍රපටයට සම්බන්ධ වීමට ඇයට වරම් හිමි වන්නේත්, පුවත්පතක පළ වූ විවෘත දැන්වීමකට ඉල්ලුම් පත්‍රයක් යොමු කිරීමෙනි. එම චිත්‍රපටයේ “බිනරමලී” නැමති ප්‍රධාන චරිතයට පණ පෙවූ ඇයට වර්ෂ 1970 දී පැවැත් වූ සරසවි සම්මාන උළෙලේ දී හොඳම නිළියට හිමි සම්මානය හිමි කර ගැනීමටත් හැකියාව ලැබී තිබේ. සිනමාවට ප්‍රවේශ වී මුල් වරට ප්‍රධාන චරිතයක් නිරූපණය කර පළමු චිත්‍රපටයෙන්ම සම්මානයක් හිමි කර ගැනීමට තරම් භාග්‍යවන්තියක් වූයෙත් ස්වර්ණා කහවිටයි. එම චිත්‍රපටය තුළින් ඇය සම්මානනීය නිළියක් වූවා සේම, ජනප්‍රිය නිළියක් වීමටත් හේතුවක් වී තිබේ. ඒ එවක සිනමාලෝලීන් ඇයව “බිනරමලී” ලෙස හැඳින්වීමත් සමගයි.

පසුව පූජිතයෝ , රන් ඔන්චිල්ලා , හොඳයි නරකයි වැනි චිත්‍රපටිවල රඟ පෑ ඇය, වඩාත් ඇළුම් කර තිබුණේ, අවසානය තෙක් සැබෑ අපරාධකරුවන් කවුරුන්දැයි අනාවරණය නොවන, ඒවාගේම නරඹන්නන්ට කුතූහලය දනවන අබිරහස් මෙන්ම ත්‍රාසජනක චිත්‍රපට නැරඹීමට ය. ඒ අනුව ස්වර්ණාට ප්‍රවීණ හා ජනප්‍රිය රංගවේදියකු වූ විජය කුමාරතුංගයන් සමඟ එවැනි චිත්‍රපටයක රඟපෑමටත් අවස්ථාව හිමි වේ. ඒ එවක ප්‍රවීණ චිත්‍රපටි අධ්‍යක්ෂවරයකු වූ ලෙනින් මොරයාස් විසින් නිර්මාණය කළ “අභිරහස” චිත්‍රපටයේ ය. සිනමාලෝකයේ ඇය වඩාත් කතාබහට ලක්වූ නිළියක් බවට පත් වීමටත් හේතුවක් වූ මෙම‌ චිත්‍රපට තිරගත වී තිබුණේ, වර්ෂ 1971 දී ය. අභිරහස චිත්‍රපටයේ සිතුම් පැතුම් ... සඳ ආදරේ ... උදාවේ දෝ” ප්‍රවීණ ගායන ශීල්පී ඇන්ජලීන් ගුණතිලක සහ ප්‍රවීණ ගායන ශීල්පී එච්. ආර් ජෝතිපාල විසින් ගායනා කළ පසුබිම් ගීතයට රංගනයෙන් දායක වූයේ, ස්වර්ණා සහ විජයයි.

“අභිරහස” චිත්‍රපටය ඇතුළුව ස්වර්ණා කහවිටයන් තම රංගන දිවියෙහි වැඩිපුරම රංගනයේ නියැළී තිබෙන්නෙත් විජය කුමාරතුංග සමගිනි. එපමණක් නොව ඇය සිනමාවේ සක්විති යැයි විරුදාවලිය ලත් ආචාර්ය ගාමිණී ෆොන්සේකා සමඟ ද චිත්‍රපටිවල රඟපා තිබේ . ඒ අතරත් ඔන්න බබෝ බිල්ලෝ එනවා චිත්‍රපටිය විශේෂ වේ. ලස්සන දවසක්, හරිම බඩු තුනක්, උන්නත් දාහයි මළත් දාහයි වගේම වර්ෂ 1981 දී ඇය අවසන් වරට රඟ පෑ දයාබර නිලූ ද සිනමාලෝලීන් ගේ ආදරය දිනූ චිත්‍රපට විය.

Comments