2022 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය | සිළුමිණ

2022 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය

 

එළැඹෙන ජූලි 15 වැනිදා සිට 24 වැනිදා දක්වා ඇ‌ෙමරිකා එක්සත් ජනපදයේ ඔරිගන්හි ඉයුජින් හිදී පැවැත්වීමට නියමිත 2022 ලෝක මලල ක්‍රීඩා ශූරතාව සඳහා ශ්‍රේණිගත කිරීම් මත මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5 දෙදෙනකු සුදුසුකම් ලබා ගැනීමේ කඩඉමේ ආසන්නයට පැමිණ සිටිති.

ලෝක මලල ක්‍රීඩා නිවේදනය කළේ කොවිඩ් වසංගතය සහ එහි ප්‍රතිඵලයක් ලෙස 2020 ගිම්හාන ඔලිම්පික් උළෙල කල් දැමීම හේතුවෙන් එම ඉසව්ව වසරකින් කල් දමන බවයි.

මේ වන තෙක් කිසිඳු ලාං‌කේය ක්‍රීඩකයකු මෙවර තරගාවලියේ පරිසාධන මට්ටම් සපුරා නොමැති අතර තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ කාලය ජුනි 26 වැනිදායින් අවසන් වීමට නියමිතය.

කෙසේ නමුත් ලෝක ශ්‍රේණිගත කිරීමේ කෝටා පදනම මත යුපුන් අබේකෝන් පිරිමි මීටර් 100, නිලානි රත්නායක කාන්තා මීටර් 300 බාධක දිවීම සහ සුමේධ රණසිංහ පිරිමි හෙල්ල විසි කිරීම ඉසව් සඳහා සුදුසුකම් හිමි වන කොටස අතර පසු වෙති.

තරගාවලියේ මීටර් 100 පරිසාධන මට්ටම වන තත්පර 10.05 ආසන්නයට පැමිණීමට යුපුන් පසුගිය දා සමත් වුයේ ජාතික මෙන්ම දකුණු ආසියා වාර්තා ද සියතට ගනිමින් තත්පර 10.06ක කාලයක් වාර්තා කරමින් ය.

කෙසේ නමුත් මේ වන විට ඔහු දක්වා තිබෙන සුපිරි දක්ෂතා අනුව ඔහු ලෝක මීටර් 100 ශ්‍රේණිගත කිරීම්වල ප්‍රසාද ලකුණු 1222ක් හිමිකර ගනිමින් 36 වැනි ස්ථානයේ රැඳී සිටින අතර මෙම ඉසව්ව සඳහා කෝටා ක්‍රමය පදනම්ව තෝරා ගන්නා ලබනු ක්‍රීඩකයන් සංඛ්‍යාව 48කි.

බාධක දිවීමේ ශූරි නිලානි රත්නායක කාන්තා මීටර් 300 බාධක දිවීමේ ශ්‍රේණිගත කිරීම්වල ප්‍රසාද ලකුණු 1184ක් හිමිකර ගනිමින් කෝටා ක්‍රමය මත 54 වැනි ස්ථානයේ පසු වන්නේ සුදුසුකම් ලබා ගැනීමේ කාලසීමාව තුළ අඩු තරග සංඛ්‍යාව පැවැත්වෙන පසුබිමක් තුළ ය. නිලානි නිමා වූ ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා ද ඉතාමත් ආසන්නයට පැමිණි නමුත්, පැවැත්වූ තරග ඉසව් සංඛ්‍යාව අඩු වීම නිසාවෙන් අවසන් මොහොතේ ඇයට ඔලිම්පික් වරම් අහිමි වීය. ලෝක මලල ක්‍රීඩා ශූරතාවය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ කාල සීමාව අවසානයට තවත් සති 3ක් පමණ තිබෙන අතර මිනිත්තු 9:30.00 පරිසාධන මට්ටම අබිබවා යන්නට නිලානි අපේක්ෂාවෙන් පසුවන්නේ ඉසව්ව සඳහා තෝරා ගනු ලබන ක්‍රීඩිකාවන් 45 දෙනා අතරට කෙසේ හෝ සුදුසුකම් ලබා ගැනීමේ දැඩි අපේක්ෂාවෙනි. නිලානි විසින් මෙම ඉසව්වට දක්වා තිබෙන හොඳම කාලය වන්නේ මිනිත්තු 9:40.25කි.

මීටර් 82.18ක තරග වාරයේ හොඳම දක්ෂතාවය සමඟින් කෝටා පදනම මත සුදුසුකම් ලබා ගන්නා ක්‍රීඩකයන් අතර තැනක් වෙන් කරගන්නට ප්‍රවීණ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක සුමේධ රණසිංහ සමත් වී සිටියි.

කෙසේ නමුත් සුමේධ මේ වන විට හෙල්ල විසි කිරීමේ ශ්‍රේණිගත කිරීම්වල ප්‍රසාද ලකුණු 1123ක් හිමිකර ගනිමින් 40 වැනි ස්ථානයේ රැඳී සිටින අතර තවත් ඉදිරියට ඒමට ඔහු සහභාගී වීමට නියමිත තරගාවලිවල දී හොඳින් දක්ෂතා දැක්විය යුතුය. මෙම ඉසව්ව සඳහා තෝරා ගනු ලබන ක්‍රීඩකයන් ගණන 32ක් වන අතර පරිසාධන මට්ටම දැක්වෙන්නේ මීටර් 85ක් ලෙස ය. සුමේධගේ හොඳම දක්ෂතාව සටහන් වන්නේ මීටර් 83.04ක් ලෙස ය.

මෙකී තිදෙනාට අමතරව උෂාන් තිවංක පිරිමි උස පැනීම පරිසාදන මට්ටම මීටර් 2.33ක් සපුරාලිය යුතු අතර සුදුසුකම් ලබන ක්‍රීඩකයන් සංඛ්‍යාව 32කි. උෂාන් ශ්‍රේණිගත කිරීම්වල ප්‍රසාද ලකුණු 1140ක් හිමිකර ගනිමින් කෝටා ක්‍රමය මත 54 වැනි ස්ථානයේ පසු වෙයි. ධනුෂ්ක සඳරුවන් පිරිමි දුර පැනීම පරිසාදන මට්ටම මීටර් 8.22ක් සපුරාලිය යුතු අතර සුදුසුකම් ලබන ක්‍රීඩකයන් සංඛ්‍යාව 32කි. ශ්‍රේණිගත කිරීම්වල ප්‍රසාද ලකුණු 1140ක් හිමිකර ගනිමින් කෝටා ක්‍රමය මත 67 වැනි ස්ථානයේ පසු වෙයි.

එතෙක් මෙතෙක් ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ ශ්‍රී ලංකාව දිනා ගෙන ඇත්තේ පදක්කම් දෙකකි.2007 සුසන්තිකා ජපානයේ දි මීටර් 200 තත්.22.63 ලෝකඩ පදක්කමක් සහ 1997 ඇතන්ස්හිදී මීටර් 200 තත්.22.39 රිදී පදක්කම පමණි.මෙකී තරගාවලි ඉතිහාසයේ අැමෙරිකා එක්සත් ජනපදය රන් 170,රිදී 117 සහ ලෝකඩ 94ක් වශයෙන් සමස්ත 394ක් හිමිකර ගෙන සිටියි.

 

 

Comments