තුන්කොන් විශ්වවිද්‍යාලයීය බාස්කට්බෝල් ශූරතාවලිය මොරටුවට ම සින්න වෙයි | සිළුමිණ

තුන්කොන් විශ්වවිද්‍යාලයීය බාස්කට්බෝල් ශූරතාවලිය මොරටුවට ම සින්න වෙයි

ශූරතාව මොරටුවට

ලංකාවේ ප්‍රමුඛ ම විශ්වවිද්‍යාල ත්‍රිත්වයක් වන මොරටුව විශ්වවිද්‍යාලය ,කොළඹ විශ්වවිද්‍යාලය සහ කැලණිය විශ්වවිද්‍යාලයන්හි පැසිපන්දු කණ්ඩායම් විසින් සංවිධානය කරනු ලබන "The Big West Slam" අන්තර් විශ්වවිද්‍යාලයීය තුන්කොන් පැසිපන්දු තරගාවලියේ ශූරතාව සත්කාරක මොරටුව විශ්වවිද්‍යාලයීය කණ්ඩායම දිනා ගත් අතර තරගාවලිය මොරටුව විශ්වවිද්‍යාලයීය ගෘහස්ථ පැසිපන්දු පිටියේදී පැවත්විණි.

තරගාවලිය පිරිමි සහ කාන්තා ලෙස කාණ්ඩ දෙකකින් පැවති අතර පිරිමි කාණ්ඩයේ තරග, තරග වට තුනකින් සමන්විත විය.කාන්තා අංශයේ තරග එක් තරග වටයකින් සමන්විත වූ අතර එය මොරටුව විශ්වවිද්‍යාලයීය කණ්ඩායම සමඟින් කොළඹ විශ්වවිද්‍යාලයීය කණ්ඩායම අතර සුහද පැසිපන්දු තරගයක් ලෙස පැවැත්විණි.එහිදි ලකුණු 59:52 ලෙස ජය මොරටුව විශ්වවිද්‍යාලයී කණ්ඩායම හිමිකර ගනිමින් තියුණු තරගයකින් අවසන් විය.පිරිමි අංශයේ පළමු තරගය කොළඹ විශ්වවිද්‍යාලය සහ කැලණිය විශ්වවිද්‍යාලය අතර පැවති අතර එහි ලකුණු 52:48 ලෙස කොළඹ විශ්වවිද්‍යාලයට ජය හිමි විය.

දෙවන තරගය මොරටුව විශ්වවිද්‍යාලය සහ කැලණිය විශ්වවිද්‍යාලය අතර පැවැති අතර එහි ජයග්‍රහණය ලකුණු 69:22 ලෙස හිමිකර ගන්නට මොරටුව විශ්වවිද්‍යාලයීය කණ්ඩායමට හැකිවිය.එම ජයග්‍රහණයත් සමඟ මොරටුව විශ්වවිද්‍යාලයීය සහ කොළඹ විශ්වවිද්‍යාලයීය කණ්ඩායම් ද්විත්වය අවසන් වටයේ තරග සඳහා සුදුසුකම් ලැබූ අතර දෙවන දිනයේ පළමු තරගය වූ තරගාවලියේ තෙවන තරග වටය කණ්ඩායම් ද්විත්වයෙහි දක්ෂතාව උරගා බලන තරගයක් ලෙස පැවැත්විණි.එහිදී මොරටුව විශ්වවිද්‍යාලය 60:40 ලෙස ලකුණු ලබාගනිමින් අවසන් වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.තරගාවලියේ අවසන් වටය ඉන් පසුව පැවැති අතර එහිදීද අගනා දක්ෂතාවයක් පෙන්වමින් මොරටුව විශ්වවිද්‍යාලයීය කණ්ඩායම ලකුණු 64:26 ලෙස ජය තමන් නතු කරගැනීමට සමත් විය.

"The Big West Slam" ත්‍රිත්ව විශ්වවිද්‍යාලය පැසිපන්දු තරගාවලියේ හොඳම ක්‍රීඩකයාට හිමි සම්මානය තරගාවලියේදී විශිෂ්ට දක්ෂතාවයක් පෙන්වූ මොරටුව විශ්වවිද්‍යාලයීය පැසිපන්දු කණ්ඩායමේ රුක්ෂාන් අතපත්තු ද,හොඳම ප්‍රතිප්‍රහාරක ක්‍රීඩකයා ලෙස මොරටුව විශ්වවිද්‍යාලයීය කණ්ඩායමේ කණ්ඩායම් නායක රවිචන්ද්‍රන් ක්‍රිශාන් ද,හොඳම ආරක්ෂක ක්‍රීඩකයා ලෙස කොළඹ විශ්වවිද්‍යාලයීය කණ්ඩායමේ කණ්ඩායම් නායක දුමිඳු මුතුකුමාරගේද සම්මාන හිමිකර ගත්හ.

නදී කෞෂල්‍යා

Comments