වසර හයකට පසු ශූරතාව යුද හමුදාවට | සිළුමිණ

වසර හයකට පසු ශූරතාව යුද හමුදාවට

ලංකා ක්‍රිකට් සංවිධානය කළ අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිකට් කණ්ඩායම සමත් විය. ඔවුන් මෙම ශූරතාව දිනා ගනු ලැබවේ වසර 6කට පසුවයි.

ඔවුන් අවසන් වරට මෙම ශූරතාව දිනා තිබුණේ 2016 වසරේ දී සීක්කුගේ ප්‍රසන්නගේ නායකත්වය යටතේ ද්‍රවිඩ සංගම් ක්‍රිකට් සමාජයට එරෙහිව කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගනිමිනි.

මෙවර අවසන් මහා තරගය කොළඹ පී. සරා ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති අතර ප්‍රතිවාදින් වූයේ කෝල්ට්ස් ක්‍රිකට් කණ්ඩායමයි. 

මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් කෝල්ට්ස් නායක අකිල ධනංජයගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි යුද හමුදා ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 139ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් කෝල්ට්ස් ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 94ක් පමණි. ඒ අනුව යුද හමුදා කණ්ඩායමට ලකුණු 45ක පහසු ජයග්‍රහණයක් හිමි වූයේ ය.

යුද හමුදා කණ්ඩායම වෙනුවෙන් සීක්කුගේ ප්‍රසන්න තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක් වීම කැපී පෙණුනි. ඔහු පිතිකරුවෙක් ලෙසින් පිටියට පිවිස පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 29ක් ලබා ගත් අතර පන්දු යවන්නෙක් ලෙසින් ලකුණු 17කට කඩුලු 3ක් දවා ගත්තේ ය.

තරගාවලියේ අවසන් පූර්ව තරගවල දී යුද හමුදා කණ්ඩායම විසින් සැරසන්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 52ක ජයග්‍රහණයක් ද සහ කෝල්ට්ස් ක්‍රිකට් කණ්ඩායම විසින් බී.ආර්.සී. කණ්ඩායමට එරෙහිව ලකුණු 67ක ජයග්‍රහණයක් ද වාර්තා කරමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තේ ය.

නිමා වූ තරගාවලියේ වැඩිම ලකුණුලාභියා ලෙස යුද හමුදා කණ්ඩායමේ අශාන් රන්දික පෙරමුණේ පසු වූවේ තරග 10ක ඉනිම් 8ක දී ලකුණු 286ක් රැස් කර ගනිමිනි. ඊට කළුතර නාගරික සමාජයට එරෙහිව ලබා ගත් ශතකයක් සහ නාවික හමුදාවට එරෙහිව ලබා ගත් අර්ධ ශතකයක් ද ඇතුළත් ය.

තරගාවලියේ ඉනිමක වැඩිම ලබා ගත් ක්‍රීඩකයා වූයේ ද අශාන් රන්දික ය. ඔහු කළුතර නාගරිකයන්ට එරෙහිව පන්දු 63කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 8ක් සමඟින් ලකුණු 104ක් ලබා ගත්තේ ය.

තරගාවලියේ වැඩිම ලකුණුලාභීන් අතර දෙවැනි ස්ථානය තරග 8ක ඉනිම් 8ක දී ලකුණු 232ක් ලබා ගත් කෝල්ට්ස් ක්‍රිකට් සමාජයේ සංගීත් කුරේ ද තෙවැනි ස්ථානය තරග 7ක ඉනිම් 7ක දී ලකුණු 189ක් ලබා ගත් බී.ආර්.සී. කණ්ඩායමේ ඩිලාන් ජයලත් ද පසු වූ හ.

පන්දු යවන්නන් අතුරින් පෙරමුණ ගත්තේ කෝල්ට්ස් ක්‍රිකට් කණ්ඩායමේ අකිල ධනංජය ය. ඔහු තරග 8ක ඉනිම් 7ක දී පන්දු යවමින් ලකුණු 144කට කඩුලු 17ක් වාර්තා කළේ ය. ඊට පසුව බී.ආර්.සී. කණ්ඩායමේ දුවිඳු තිලකරත්න සහ කළුතර නාගරික සමාජයේ ඉංසක සිරිවර්ධන කඩුලු 14 බැගින් දවා ගනිමින් දෙවැනි සහ තෙවැනි ස්ථානවලට පත් වූහ.

තරගාවලියේ හොඳම පන්දු යැවීම වාර්තා කළේ මූවර්ස් ක්‍රීඩා සමාජයේ වේගපන්දු යැවූ මිලාන් රත්නායක ය. ඔහු නාවික හමුදාවට එරෙහිව ලකුණු 12කට කඩුලු 6ක් දවා ගත්තේ ය.

ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය ; කඩුලු 9ක් දැවී 139 (20) අශාන් රන්දික 22, සීක්කුගේ ප්‍රසන්න 29, යසෝද මෙන්ඩිස් 21, මහේෂ් කුමාර 19, ධනංජය ලක්ෂාන් 3/25, මුදිත ලක්ෂාන් 2/18, චමෝද් බැට්ටගේ 2/29

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය ; සියලුම දෙනා දැවී 94 (18.3) සංගීත් කුරේ 38, ලක්ෂාන් එදිරිසිංහ 3/19, සීක්කුගේ ප්‍රසන්න 3/17


Comments