විජයග්‍රහණය අභිමානවත් රැල්ලක් කරමු | සිළුමිණ

විජයග්‍රහණය අභිමානවත් රැල්ලක් කරමු

 

ජයග්‍රහණවලට පුළුවන් තවත් අය තුළ අපටත් දිනන්න පුළුවන් කියන බලාපොරොත්තු දල්වන්න. 1996 ක්‍රිකට් ලෝක කුසලානය අර්ජුන ප්‍රමුඛ කණ්ඩායම ජය ගත්තට පස්සේ ලෝකයට අභියෝග කරන ක්‍රීඩා ජයග්‍රහණ රැල්ලක් අපේ රටේ හැදෙන්න පටන් ගන්නවා. සුසන්තිකා ජයසිංහ 2000 සිඩ්නි ඔලිම්පික් උළෙලේ රිදී පදක්කම දිනා ගන්නේ ඒ ජයග්‍රාහි රැල්ල තව තවත් වර්ණවත් කරමින්. ශ්‍රී ලංකාව 2007 සහ 2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගවලට අඛණ්ඩව සුදුසුකම් ලබා ගන්නේ ක්‍රිකට් ලෝකයට ම අභියෝග කරමින්. විස්සයි 20 ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගන්නේ ඊට පස්සේ.අපි රටක් විදියට වැටිලා ඉන්න වෙලාවක දිනන්න පුළුවන් කියන මානසිකත්වය හැදෙන එක, සිනාවක් නැති මුහුණුවලට සිනාවක් ගේන එක හරිම වැදගත්. ඔස්ට්‍රෙලියාවට එරෙහිව අවුරුදු 30 කට පස්සේ ලැබු මෙකී එක්දින තරගාවලි ජයග්‍රහණය අපිට අන් කවරදාටත් වඩා වටින්නේ ඒ නිසයි.

 

මෙකී තරගාවලිය ආරම්භයේදී ම ඔස්ට්‍රේලියානු සීමිත පන්දුවාර ක්‍රිකට් නායක ඇරෝන් ෆින්ච් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා ඉතිහාසයේ දරුණුත ම ආර්ථික අර්බුදය මැද ක්‍රිකට් තුළින් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට සතුටක් ලබා දිය හැකි යැයි ඔහු බලාපොරොත්තු වන බවයි.

අපි ඇවිත් තියෙන්නේ ක්‍රිකට් ගහන්න. ශ්‍රී ලංකාවට යම් විනෝදයක්, යම් සතුටක් ලබා දෙන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. 2016න් පස්සේ, ඒ කියන්නේ දිගු කාලයකට පස්සේ අපි මෙහෙ ආපු පළවෙනි වතාව

මෙය සංචාරය සඳහා විශේෂ තැනක්. මෙහෙන් ලැබෙන ආගන්තුක සත්කාර, මිත්‍රශීලී බව සහ ක්‍රීඩාවට ඔවුන්ගේ තිබෙන ආදරය විශ්වාස කරන්නත් අමාරු තරම් ෆින්ච් පවසන්නේ ශ්‍රී ලංකාව සම්බන්ධව එම කරුණු තවමත් නොවෙනස් බවයි.

විස්සයි20 තරගාවලියේ ජය ඔවුන් සතු වු අතර එක්දින තරගාවලියේ හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.කෙසේ වෙතත් පසුගිය වසරේ පැවැති විස්සයි20 ලෝක කුසලානය ජය ගත්තේ ද ඕස්ට්‍රේලියාවයි.

දශක තුනකට පෙර ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේදී 1992 අර්ජුන රණතුංග ගේ නායකත්වය යටතේ මෙරට සත්කාරකත්වයෙන් පැවැති එක්දින තරගාවලියකදී (1992දී 2-0ක් ලෙස)ඔස්ට්‍රේලියාව පරාජය කළ සත්කාරකයෝ මෙවර තරග පහකින් සමන්විත සිංහ - කැන්ගරු එක්දින තරගාවලිය එක් තරගයක් ඉතිරිව තිබියේදීම තුන් ඉරියව් දක්ෂතාවයට අමතරව නිසි අවස්ථාවේදී නිසි තීරණය ගැනීමට දසුන් ශානක ප්‍රමුඛ කණ්ඩායම සමත්වීම නිසා ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති සිව්වැනි එක්දින තරගයෙන් ලකුණු 4 ක තියුණු ජයක් වාර්තා කර ගැනීමට සමත් විය. එක්දින ශ්‍රේණිගත කිරීම්හි අටවැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාව පස්වැනි ස්ථානයේ පසුවන ඔස්ට්‍රේලියාවට එරෙහිව ලද මෙකී තරග ජයත් සමඟ තරගාවලිය ජය ගැනීමට ද සමත්විය

1992 දී අර්ජුන රණතුංග ගේ නායකත්වය යටතේ සත්කාරකයෝ ඇලන් බෝඩර් ප්‍රමුඛ ඔස්ට්‍රේලියානුවන් පරාජය කළහ.තරග 5කින් සමන්විත එක්දින තරගාවලියක දී ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියානුවන් පරාජය කළ ප්‍රථම වතාව ද මෙයයි.2003-04දී තරග 3/2ක් ලෙස ද,2011දී 3/2ක් ලෙස ද,2012-13දී 2/2ක් ලෙස සම සමව ද, 2016දී 3/1ක් ලෙස ද ඔස්ට්‍රේලියාව තරග ජය ගෙන තිබේ. ඒ අතරතුර කාලයේදී ශ්‍රී ලංකාව 2010දී තරග 3කින් සමන්විත තරගාවලියක් 2/1ක් ලෙස ඔස්ට්‍රේලියාව පරාජය කිරීමට සමත්වූ නමුත් එම තරගාවලිය ඔස්ට්‍රේලියාවේදී පැවැත්විණි.

තිරණාත්මක සිව්වැනි තරගයේ දී ලකුණු 259 ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ඩේවිඩ් වෝනර් ඇතුළු පිතිකරුවෝ තරගයේ පාලනය සියතට ගෙන තිබුණ ද, ධනංජය ද සිල්වා විසින් ට්‍රෙවිස් හෙඩ්ගේ කඩුල්ල දවා ගැනීමත් සමඟ යළි තරගයට අවතීර්ණ වූ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ලකුණු 3 ක් ඇතුළත ග්ලෙන් මැක්ස්වෙල් සහ ඩේවිඩ් වෝනර් දවා ගනිමින් එතෙක් ඔවුන් සතු වු වාසිය ශ්‍රී ලංකාවට හරවා ගැනීමට සමත් වුහ.

මැක්ස්වෙල් දවා ගැනීම වෙනුවෙන් 36 පන්දු වාරයේ 2 වැනි පන්දුවේ දි තෙවැනි විනිසුරුගේ සේවය ලබා ගැනීමට තීරණය කිරීම තරගය සම්පූර්ණ කණපිට හැරි විශිෂ්ට ප්‍රතිඵල ගෙන දීමක් විය. එකී පන්දුව පිට ඉන්නෙන් එළියේ පතිත වූ පන්දුවක් සේ දිස් වූ නිසා ප්‍රධාන විනිසුරු ලෙසින් කටයුතු කළ රුචිර පල්ලියගුරුගේ එකී ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ද, මහීෂ් තීක්ෂණ තෙවැනි විනිසුරු වෙත යොමු කිරීමට ගත් තීරණය ශ්‍රී ලංකා වාසියට හිටියේය.

මේ අතර ලකුණු 189 කට කඩුලු 4 ක් ලෙසින් සටහන් වූ ලකුණු පුවරුව පන්දු 8 කදී එකවරම ලකුණු 3ක් එකතුවන විට එනම් ලකුණු 192දී කඩුලු 7 ක් ලෙසින් සටහන් විය.ධනංජයගේ පන්දුවක් හමුවේ නිරෝෂන් දික්වැල්ලගේ අති විශිෂ්ට ස්ටම්ප් කිරීම හමුවේ පෙනි පෙනී තිබූ ශතකය වෝනර්ට අහිමි විය. ඔස්ට්‍රේලියානුවන්ගේ එකම සවිය බවට පත් වුණු වෝනර් ගේ ඉනිම ලකුණු 99 ක් විය. වෝනර්ට පෙර ෆින්ච් ලකුණු නොලබා දැවී ගිය අතර මෙතෙක් එක්දින තරග ඉතිහාසයේ ආරම්භක පිතිකරුවන් යුගලයක් ලකුණු බිංදුවකටත් ලකුනු 99 කටත් දැවී ගිය පළමු අවස්ථාව වශයෙන් ද මෙය ඉතිහාසයට එක් විය.

මැතිව් කුනේමන් තරගය ජයග්‍රහණය සඳහා රැගෙන යෑමට දැඩි උත්සායක නියැළුණු නමුත් දසුන් ශානක යැවූ අවසන් පන්දුවාරයේදී ලකුණු 19 ක අභියෝගයක් ඔස්ට්‍රේලියාවට හිමි විය. පළමු පන්දු 5 ට ලකුණු 14 ක් රැස් කිරීමට කුනේමන් සමත්විය. අවසන් පන්දුවේ ඔස්ට්‍රේලියානු ජයග්‍රහණය සඳහා ලකුණු 5 ක් ලබා ගත යුතු වුවත් කුනේමන් එල්ල කරන ලද පහර එක්ස්ට්‍රා කවර්හි පන්දු රකිමින් සිටි තරගයේ වීරයා වු චරිත් අසලංක රැක ගැනීම නිසා අවසන් පන්දුව දක්වා ජයග්‍රහණය දෙපිළට ම දෝලනය වු තරගයේ ජය ශ්‍රී ලංකාවට හිමිවිය.

පසුගිය වසර කීහිපයේදීම ශ්‍රී ලංකා කණ්ඩායමේ අසාර්ථක භාවයට හේතු වූ කරුණක් වූයේ ඉනිමක් කඩා වැටුණු අවස්ථාවක දී ශක්තීමත් කඩුලු අතර සම්බන්ධතා ගොඩ නැඟිමට නොහැකිවීමය. මෙකී තරගයේදී එකී ගැටලුවට කදිම විසඳුමක් එක් කළ ධනංජය ද සිල්වා සහ චරිත් අසලංක සිව්වැනි කඩුල්ලට ලකුණු 101 ක් එක් කරමින් ශ්‍රී ලංකා ඉනිම ගොඩ ගත්හ. ඒ සඳහා පන්දු 100 ක් වැය කළ දකුණත් සහ වමත් පිතිකරුවන් දෙදෙනාගෙන් ධනංජය ද සිල්වා ලකුණු 60 කදී ඉනිම නිමා කරගත්තත් සිය අන්තය ආරක්ෂා කරගත් චරිත් අසලංක මංගල එක්දින ශතකය කරා ඇදී ගියේය.

ශ්‍රී ලංකා ඉනිමේ 48 වැනි පන්දුවාරය වන තෙක්ම කඩුල්ලේ රැඳී සිටි අසලංක ලොව අංක 1 ටෙස්ට් පන්දු යවන්නා වන පැට් කමින්ස්ගේ පන්දුවක් හමුවේ දැවී යන විටත් ලකුණු 110 ක් රැස් කරගෙන සිටියේය. පන්දු 106 කින් සමන්විත වූ අසලංකගේ ඉනිම හයේ පහරකින් සහ තවත් හතරේ පහර 10 කින් වර්ණවත් කරගත්තේය.

 

Comments