උෂාන්ගේ හදිසි තීරණයෙන් ශ්‍රී ලංකාවත් අමාරුවේ | සිළුමිණ

උෂාන්ගේ හදිසි තීරණයෙන් ශ්‍රී ලංකාවත් අමාරුවේ

දැනට ඇමෙරිකාවේ වාසය කරමින් පුහුණුවීම් කරන ශ්‍රී ලංකා උස පැනීමේ ශූර උෂාන් තිවංක පෙරේරා වීසා ප්‍රශ්නයක් මුල් කර ගනිමින් එළඹෙන පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට එක් නොවී ඉවත් වීමට තීරණය කිරීම , වරදක් වුවත් සිය සුපුරුදු දස්කම් දක්වමින් යළිත් රට වෙනුවෙන් ඉදිරි ජාත්‍යන්තර තරගවලට සහභාගි වීමට එය බාධාවක් නොවන බව සඳහන් කරන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සම්මේලනය සිය කනස්සල්ල ද පළ කර තිබේ.

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ලබන මස 28 වෙනිදා සිට අගෝස්තු මස 08 වෙනිදා දක්වා එංගලන්තයේ බර්මින්හැම්හිදී පැවැත්වෙන අතර උෂාන්ගේ ඉවත් වීමත් සමඟ මෙරට සහභාගිත්වය ක්‍රීඩක ක්‍රීඩිකාවන් හය දෙනෙකුට සීමා වී ඇතැයි වාර්තා වෙයි. පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට මෙරටින් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් අට දෙනෙකු ඉදිරිපත් වීමට නියමිතව සිටි නමුත් ජාතික තේරීම් කමිටුව විසින් එක් අයෙකු ඉවත් කිරීමත් සමඟ ම හත් දෙනෙකුට සීමා වු බවත් උෂාන් ගේ ඉවත් වීමත් සමඟ දැන් හය දෙනෙකු පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට එක් වීමට නියමිතය. 

වසර දෙකකට අධික කාලයක් ඇමෙරිකාවේ ටෙක්සාස්හී දිවි ගෙවමින් පුහුණුවීම් සිදු කරන උෂාන්ට තමාගේ ඇමෙරිකානු වීසා කාල සීමාව අවසන් වී ඇති බවත් ඒ නිසා පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වෙන එංගලන්තයට ඇතුළු වීම සඳහා වීසා ලබා ගැනීමට අයැදුම් කිරීමේදී තමාට ගැටලු මතුවිය හැකි බව උෂාන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයට දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.

මෙකී සිද්ධිය සම්බන්ධයෙන් මලල ක්‍රීඩා සංගමය කනස්සල්ල පළ කරන්නේ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ආසන්නව තිබියදී උෂාන් වීසා ප්‍රශ්නයක් මතු කළත් ඇමෙරිකා වීසා කාල සීමාව නිමා වී ඇත්තේ පසුගිය ජනවාරි මාසයේ බවත් එතෙක් මේ දක්වා ඔහු තම වීසා ගැටලුව විසඳා නොගැනීම සිය සංගමයට පවා ගැටලුවක් බවයි.

උෂාන්ට පසුගිය කාලයේ ජාත්‍යන්තර ක්‍රීඩා තරග සඳහා අවශ්‍ය මුදල් වියදම් අවශ්‍ය බව දැන් වු විට ක්‍රීඩා අමාත්‍යාංශයේ මැදිහත්ව ලබාදීමට කටයුතු කර තිබුණේ ද එම තරගවලදී තමන් දක්වන දක්ෂතා ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය සඳහා නිර්දේශ ලබා ගැනීම පිණිස හේතුවන බවට උෂාන් කළ දැනුම් දීම නිසා බව ද වාර්තා වේ.

මීට පෙර මීටර් 2.27 ක දක්ෂතාවක් දක්වමින් උස පැනීමේ ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවීමට උෂාන් සමත්ව තිබුණ ද පසුගිය මාසයේ දී ඔහුගේ දක්ෂතා මීටර් 2.22 දෙක දක්වා පහත වැටී තිබෙන බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පදක්කමක් දිනා ගත හැකි මට්ටමේ සිටි උෂාන් එම තරගාවලියට නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටි ඉහළම පදක්කම් බලාපොරොත්තුවකි.

අනූ හතර වන ක්ලයිඩ් ලිට්ල්ෆීල්ඩ් ටෙක්සාස් රිලේස්

තරගාවලිය සඳහා සහභාගී වූ ලාංකේය උස පැනීමේ ශූර උෂාන් තිවංක සහ දුර පැනීමේ ශූර ධනුෂ්ක සඳරුවන් එහි දී කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත්ව තිබෙන අතර, ඇමරිකාවේ ජාතික තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වූ මෙකී තරගාවලියේ උස පැනීම ඉසව්ව සඳහා ඒ කාණ්ඩයෙන් තරග වැදුණු උෂාන් එහි දී මීටර් 2.27ක දස්කමක් දැක්වීමට සමත්ව තිබේ.එකී දස්කමත් සමඟින් උෂාන් තිවංක ඉසව්වේ දෙවැනි තැන දිනා ගැනීමට සමත් වූ අතර එහි පළමු ස්ථානය හිමි වුනේ මීටර් 2.30ක දස්කමක් දැක්වූ ඇමරිකානු ක්‍රීඩක වර්නන් ටර්නර් හටයි.

උෂාන් එහි දී දැක්වූ දස්කම මෙවර තරග වාරයේ දී ඔහු මෙතෙක් දැක්වූ හොඳම දස්කම සහ 2022 තරග වාරයේ ලොව මෙතෙක් වාර්තා වූ දෙවැනි හොඳම දස්කම ලෙස සටහන් වීම කැපී පෙනෙයි. 2022 තරග වාරය සාර්ථකව ආරම්භ කිරීමට සමත් වු උෂාන් තිවංක ගෘහස්ථ තරගාවලියකදී මීටර් 2.25ක කැපී පෙනෙන දස්කමක් දැක්වීමට සමත්විය.

මෙය උෂාන් ආබාධයකට ලක්ව ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසුව සහභාගී වූ පළමු තරගය වූ අතර ඔහු වාර්තා කළ උස ප්‍රමාණය එන්.සී.ඒ.ඒ. දෙවැනි කාණ්ඩයේ මෙම වසරේ මෙතෙක් වාර්තා වූ හොඳම දක්ෂතාව මෙන්ම, එන්.සී.ඒ.ඒ. හී මෙම වසරේ වාර්තා වූ දෙවැනි හොඳම දක්ෂතාවය ලෙස ද සටහන් වීම විශේෂත්වයකී.

එමෙන්ම එය එන්.සී.ඒ.ඒ. දෙවැනි කාණ්ඩයේ මෙතෙක් වාර්තා වූ හත්වැනි හොඳම දස්කම ලෙස සටහන් වූ අතර එය මෙවර ගෘහස්ථ තරග වාරයේ මෙතෙක් වාර්තා වූ 11 වැනි හොඳම දස්කම ද විය.

2020 දී ටෙක්සාස් ඒ ඇන්ඩ් එම් විශ්ව විද්‍යාලයේ උසස් අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්වයක් ලබා විදේශගත වන මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයේ උෂාන් තිවංක ටෙක්සාස් හි ඔහුගේ උසස් අධ්‍යාපනය හදාරමින් සිටීයි.

2021 මාර්තු මාසයේදී තිවංක විසින් 2004 දී මංජුල කුමාර විජේසේකර විසින් පිහිටුවා තිබූ මීටර් 2.27 ක උස පැනීමේ දිගුකාලීන ශ්‍රී ලංකා වාර්තාව බිඳ දැමීමට සමත්විය.මංජුල කුමාරගෙන් පසුව උස පැනීම ඉසව්වෙහි ඉහළ දස්කම් දැක්වූ උෂාන් පසුගිය වසරේ මීටර් 2.30ක දස්කමක් දක්වමින් උස පැනීමේ දකුණු ආසියානු වාර්තාව පිහිටුවීමට සමත් විය.

උෂාන් හට පසුගිය වසරේ පැවති ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහ මෙවර ලෝක ශූරතාවයට සුදුසුකම් ලබා ගැනීමට විශාල අවස්ථාවක් තිබුනත්, ඒ සඳහා අවශ්‍ය තරගාවලි සඳහා සහභාගී වීමට නොහැකි වීම නිසා ඔහුට එම අවස්ථාව අහිමි විය.මෙවර තරගවාරයේ දී ද ඉහළ දස්කම් දැක්වූ උෂාන් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා එක් නොවීම ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංචිතයට බලවත් පාඩුවකි.

Comments