ජන­තා­වට කුණු මාළු ගිල්ල­වන මාෆි­යාවේ ඇතුළු පැත්ත | සිළුමිණ

ජන­තා­වට කුණු මාළු ගිල්ල­වන මාෆි­යාවේ ඇතුළු පැත්ත

 

හසයුර මිනිසාට අමිල සම්පතකි. ලොව පුරා ජනතාවට කුඩා හාල්මැස්සාගේ සිට දැවැන්ත මෝරා දක්වා මත්ස්‍ය අවශ්‍යතාව සපයන්නේ මහසයුරයි. ගසක ඵල නෙලා ගැනීමට ගසට පොහොර වතුර සැපයිය යුතු වුවද මත්ස්‍ය සම්පත නෙළා ගැනීමට දියඹට යන ධීවරයා මහසයුර කලඹා ඔරු බෝට්ටු පුරවා මසුන් රැගෙන ආවා මිස සයුරට දුන් දෙයක් නම් නැත. කෙසේ නමුත් ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස විරුදාවලී ලද මහසයුරෙන් වටවූ අපේ රටේ ධීවර කර්මාන්තයෙන් යැපෙන පවුල් ලක්ෂ ගණනක් සිටිති. රටට ඩොලර් සපයන ධීවර කර්මාන්තය අපට මහා සම්පතක් වන්නේ එබැවිනි.

ශ්‍රී ලංකා මුහුදු තීරය හරහා ලොව බොහෝ රටවලට භාණ්ඩ ප්‍රවාහනයේ නිරත දැවැන්ත නෞකා ගමන් කරන අතර, ඉන් සමහර නෞකා ශ්‍රීලංකාවට අයත් මුහුදු තීරයේදී විවිධ කාර්මික දෝෂයන්ට ලක්වූ අවස්ථා අප අසා ඇත.

ඉන් ආසන්නම සිදුවීම ලෙස රසායනික ද්‍රව්‍ය හා පොලිතින් සහිත බහාළුම් 1486ක් සහිත එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ලංකා මුහුදු තීරයේදී සම්පුර්ණයෙන් ගිනි ගෙන මුහුදට ගිලා බැස්සේ අපේ සාගර කලාපයට බරපතළ පරිසර හානියක් සිදුකරමින් උස්වැටකෙයියාව ආසන්න වෙරළ තීරයේදීය.

එලෙස භාණ්ඩ ප්‍රවාහනයේ නිරත තවත් විදේශීය නෞකාවක් වූ කෛලාස් නෞකාව මේ වසරේ ජනවාරි මාසයේ දිනෙක සීෂෙල්ස් රාජ්‍යයේ සිට තායිලන්තය දක්වා ටින්මාළු නිෂ්පාදනය කිරීම සදහා යෝග්‍ය බලයා සහ කෙලවල්ලන් ගබඩා කළ බහාළුම් එකසිය දෙකක් රැගෙන ශ්‍රී ලංකා මුහුදු තීරයට ඔබ්බෙන් මහමුහුදේ යාත්‍රා කරමින් තිබියදී කාර්මික දෝෂයකට ලක් විය. ඒ හේතුවෙන් නෞකාවේ විදුලි සැපයුම ද නැවතුණු බැවින් සහාය ඉල්ලා ඔවුන්ට ආසන්නම වරාය වූ ශ්‍රී ලංකාවේ වරාය අධිකාරිය වෙත දැනුම් දී ඇත.

වරාය අධිකාරිය නීත්‍යානුකූල පියවර අනුගමනය කරමින් පරිසර අධිකාරිය පාරිභෝගික සේවා අධිකාරිය ඇතුළු බලධාරීන් හා එක්ව නෞකාවේ ගබඩා කර තිබූ මසුන් පරීක්ෂාවට ලක් කරමින් ඒවා මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට තහවුරු කර එම නෞකාවේ ශ්‍රී ලංකාවේ නියෝජිතයා වන සී. එම්. ඒ. සී. ජී.එම් නැව් සමාගම වෙත දන්වා බහාළුම් 102 ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම අපහරණ අංශය භාරයට පත්කෙරිණ. මත්ස්‍ය තොගය නරක්වීමෙන් විදේශීය ව්‍යාපාරික සමාගමට සිදුවූ පාඩුව රක්ෂණයෙන් ලබා ගැනීම ඔවුන්ගේ අරමුණ වී ඇත.

එසේ ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම අපහරණ අංශයේ ගබඩා කර තිබූ මත්ස්‍ය කන්ටේනර් 102, සත්ත්ව ආහාර නිෂ්පාදනය කිරීම සඳහා මුදා හරින ලෙස ලැබුණු නීත්‍යානුකූල අවසරයක් මත කන්ටේනර් බහාළුම් හතරක මසුන් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ පිහිටි සත්ත්ව ආහාර නිෂ්පාදන අංගනයේදී සත්ත්ව ආහාර බවට පත්කර ඇත්තේ බලධාරීන් ඉදිරියේදීය.

මත්ස්‍ය බහා­ළුම්  කොක්කු­තු­ඩු­වාව කර්මාන්ත  ශාලා භූමි­යට ගෙන ගිය අව­ස්ථාව
 

ඉතිරි වූ බහාළුම් 98න් 23ක් රේගුවේ මධ්‍යම අපහරණ අංශයට කූඨ ලේඛන ඉදිරිපත් කරමින් ප්‍රථම අදියරේදී දියර පොහොර හා සත්ත්ව ආහාර නිෂ්පාදනයට යැයි පවසා ඉකුත් ජුනිමස අගදි රේගුභාරයෙන් මුදවා ගෙන ගොස් ඇති බව පැවසේ. පුත්තලම දිස්ත්‍රික්කයේ මදුරන්කුලිය මුක්කුතොඩුවාව ප්‍රදේශයේ පිහිටි එකෝ ඇන්ඩ් රිච් ආයතනය මේ වන විට ඉතිරි බහාළුම් 75 ද රේගුවෙන් මුදා ගෙනගොස් ඇතැයි තොරතුරු වාර්තා වී ඇත.

ඉන් අනතුරුව මාළු පරිභෝජනයට ගන්නා රටේ ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වූ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංගමයේ නිලධාරින් මෙම බහාළුම් අනූඅටේ ගබඩා කර ඇති නරක් වු මසුන් සැමන් හා කරවල නිෂ්පාදනයට වෙළෙඳපොළට පිටවීම වළක්වන ලෙස ඉල්ලා ඉකුත් ජුනි මස 20 වැනිදා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

පැමිණිල්ල පොලිස් පොතේ ද සටහන් කරමින් ධීවර අමාත්‍යාංශයේ ලේකම් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඇතුළු බලධාරීන්ට ද ලිපි මඟින් මෙය දැනුම් දී තිබුණද මේ වන විටත් එය හොර පාරෙන් රේගු මධ්‍යම අපහරණ අංශයෙන් පිටතට ගොස් තිබීම කනගාටුවට කරුණක් යැයි අප කළ විමසීමේදී මත්ස්‍ය වෙළෙඳ සංගමයේ ලේකම්, ජයන්ත කුරේ පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් ලද තොරතුරු අනුව ක්‍රියාත්මක වූ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද ඉකුත් 26 වැනිදා පාර්ලිමේන්තුවේදී ද මේ පිළිබඳ අදහස් දැක්වූ අතර, මෙම බහාළුම් අනූඅට පිළිබඳ දැඩි සෙවිල්ලෙන් පසුවන ලෙස ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව, පරිසර අධිකාරිය හා පාරිභෝගික සේවා අධිකාරිය ඇතුළු එකී විෂයයට සම්බන්ධ නිලධාරීන් සිය අමාත්‍යාංශය වෙත ගෙන්වා උපදෙස් ලබාදී ඇත.

මිනිස් පරිභෝජනයට නුසුදුසු එකී මත්ස්‍ය තොගය මේ වන විට කූඨ ජාවාරම් කරුවන්ට කළු සල්ලි මවමින් අසරණ ජනතාවගේ බත්පතට සේන්දුවෙමින් තිබෙන බව වාර්තා වී ඇති අතර, මේ වන විට මීගමුව දුන්ගාල්පිටිය ප්‍රදේශයේ ශීතාගාර සහිත ව්‍යාපාරික ආයතනවලට තොග වශයෙන් අලෙවි කරමින් සිටින බවත් කරවල සදහා අලෙවි කර ඇත්තේ මසුන්ගේ හිස කොටස් වෙන් කිරීමෙන් පසුව බවත් කරුණු අනාවරණය වී ඇත.

රටේ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් මහා සාගරයට යෑමට නොහැකි අසරණ ධීවරයාට මෙවැනි කූඨ ජාවාරම් නිසා සිදුවන අසාධාරණයට එරෙහිව මෙරට ප්‍රධානම මත්ස්‍ය අලෙවි මූලස්ථානය වන පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳුන්ගේ සංගමය මෙම ජාවාරම පිළිබඳව රටට හා බලධාරීන්ට පැවසීමට ඉදිරිපත් වන්නේ ඉන් පසුවය.

සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය වෙත මුදාහරින ලෙස ධීවර ඇමතිවරයා විසින් අනුමත කර තිබියදී මෙලෙස වෙනත් පාර්ශ්වයක් විසින් මෙම නරක්වූ මසුන් කන්ටේනර් අනූ අට ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම අපහරණ අංශයෙන් මුදවා ගෙන ඇත්තේ රාජ්‍ය නිලධාරීන් නොමඟ යවමින් මිලියන දෙසීයක් පමණ මුදල් වැයකොට කූඨ ලේඛණ ඉදිරිපත් කිරීමෙන් යැයි පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳුන්ගේ සංගමය විසින් ධීවර අමාත්‍යාංශය වෙත යවන ලද ලිපියේ සඳහන් කර ඇත.

මේ පිළිබඳ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳුන්ගේ සංගමයේ ලේකම් ජයන්ත කුරේ වැඩිදුරටත් මෙසේ ද කීවේය.

“මේ කතාව හරියට පරිස්සමට තිබ්බ දේ ඈලියාවට ගියා වගේ එකක්. මේ නරක් වූ කෙලවල්ලා සහ බලයා මත්ස්‍ය බහාළුම් අනූ අට තිබුණේ රේගුවේ මධ්‍යම අපහරණ අංශයේ. එක් ටැංකියක මසුන් කිලෝ 25,000ක පමණ ප්‍රමාණයක් ගබඩා කරලා තිබුණා. නැවේ කාර්මික දෝෂය නිසා විදුලිය ඇණහිටීමෙන් මසුන් තොගයම නරක් වෙලා. පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ තියෙන සත්ත්ව ආහාර නිෂ්පාදනාගාරයට මේ මත්ස්‍ය තොගය භාර දෙන්න කියලයි ඉහළින් උපදෙස් ලැබුණේ. මේ කියන ව්‍යාපාරික ආයතනයේ සත්ත්ව ආහාර නිෂ්පාදනය කිරීමට අවශ්‍ය යන්ත්‍රෝපකරණ නැහැ. දියර පොහොර නිෂ්පාදනය පමණයි ඔවුන්ට කරන්න පුළුවන්. ඒකටත් මසුන් කිලෝවකට සීනි, හකුරු හෝ මොලෑෂ් කිලෝව ගානේ දාන්න ඕනේ. මේ බහාළුම් අනූඅට රේගුවෙන් පුත්තලමට පිටවෙලා කියලා ධීවර ප්‍රජාව දුන්නු රහසිගත තොරතුරු අනුව විවිධ මාර්ග ඔස්සේ නිරීක්ෂණය කරලා බැලුවාම එය සත්‍යයක් බව පැහැදිලියි. මදුරන්කුලියේ කොක්කුතුඩුවාව ප්‍රදේශයේ විශාල ඉඩමක් තිබුණට සත්ත්ව ආහාර නිෂ්පාදනය කරන පහසුකම් යන්ත්‍ර සූත්‍ර එකෝ රිච් කියන මේ ආයතනය සතුව නැහැ.

ඔවුන් මේ නරක් වූ මාළු මීගමුවෙ දුන්ගාල්පිටියෙ සහ පුත්තලමෙ ආසන්න නගරවලදි කරවලවලට අලෙවි කරලා තියෙන්නේ හිස කොටස ඉවත් කරලා. එහෙම ඉවත් කරපු කොටසෙන් දියර පොහොර නිෂ්පාදනය කරලා සම්පූර්ණ මාළු තොගයෙන්ම දියර පොහොර නිෂ්පාදනය කරනවා කියලා නිලධාරීන් නොමඟ යැවීමක් කරන්නයි සූදානම. නමුත් මේ පිළිබඳව දන්න දක්ෂ නිලධාරීන්ට මේ ජාවාරම හෙළිකරගන්න පුළුවන් තාක්ෂණික ක්‍රම තියෙනවා.”

මෙම කූඨ ජාවාරම පිළිබඳ තොරතුරු හෙළිකිරීම සඳහා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංගමයේ ලේකම් ජයන්ත කුරේ ඇතුළු පිරිසක් 4 වැනිදා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මුණගැසී ඇති අතර ඇමතිවරයා මෙම කූඨ ජාවාරම පිළිබඳ වහාම සොයා බලන ලෙස අමාත්‍යාංශයේ ලේකම් ආර්. එම්. අයි. රත්නායක ට උපදෙස් දී ඇත. ඒ අනුව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් එස්. ජේ. කහවත්ත ට එම වගකීම පවරා ඇති බව ද පැවසේ.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංගමයේ සභාපති ජයසිරි වික්‍රමසිංහ සිද්ධිය සම්බන්ධයෙන් දැක්වූයේ මෙවැනි අදහසකි.

“මේ අසාධාරණ කූඨ ජාවාරමට එරෙහිව මත්ස්‍ය වෙළෙඳ සංගමය ලෙස අපි නීතියේ පිහිට ඉල්ලුවේ විශේෂයෙන් දෙපාර්ශ්වයකගේ යහපත සඳහායි. එක් පිරිසක් මාළු පරිභෝජනයට ගන්න පාරිභෝගිකයා. අනෙක් කණ්ඩායම දහසක් ප්‍රශ්න මැද මහ සාගරේ මැද ජීවත් වෙන්න සටන් කරන රටේ සමස්ත ධීවර ප්‍රජාව. කිලෝ ලක්ෂ තිහකට වැඩි කල් ඉකුත්වූ මේ මසුන් තොගය අපේ වෙළෙඳපොළට ඇවිත් ජනතාව ඒවා තමන්ගේ බත්පතට එකතු කර ගත්තම ඔවුන්ට මොකද වෙන්නේ? රටේ ධීවර කර්මාන්තයට මොකද වෙන්නේ?මම ඉල්ලා සිටින්නේ බලධාරීන් වහාම මැදිහත් වෙලා මේ ඉතිරි බහාළුම් අනූවකට අඩු ප්‍රමාණය වහාම මාධ්‍ය ඉදිරියේ ප්‍රසිද්ධියේ විනාශ කරන්න කියලයි”

මේ වන විට වැලිසර ප්‍රදේශයේ සී කන්ටේනර් නැමති කන්ටේනර් අංගනයක මෙම බහාළුම්වලින් කොටසක් ගබඩා කර ඇති බවත් ඒ තුළින් දුගඳ හමන බව ප්‍රදේශවාසීන් විසින් ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වෙත පැමිණිලි කර ඇති බවට ද ලද තොරතුරු අනුව වැලිසර ප්‍රදේශය භාර ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුණ අමරසේකරගෙන් ඒ පිළිබඳ විමසීමක් කළෙමු.

“ඔය කියන කන්ටේනර් බහාළුම් ගබඩාවට කියන්නේ සී කන්ටේනර් යාර්ඩ් කියලා.මේ යාර්ඩ් එකේ මාළු සහිත කන්ටේනර් ටැංකි බහාළුම් හතලිස් හයක් ගබඩා කර තිබුණා. අපිට නිර්නාමික දුරකථන ඇමතුම් කීපයක් ලැබුණා එයින් දුර්ගන්ධයක් පැතිරෙනවා කියලා. මේ වෙන කොට එතනින් බහාළුම් හයක් විතර හිමිකරුවන් විසින් ඉවත් කරගෙන තිබෙනවා. තවත් හතළිහක් පමණ ඉතිරි වී තියෙනවා.”

ඔහු එසේ කීවේය. ඔබ ඇතුළු නිලධාරින් කණ්ඩායම ඒ ස්ථානය නිරීක්ෂණය කිරීමට ගිය අවස්ථාවේ එයින් දුගඳක් හමන බව දැනුණේ නැද්දැයි අප ඔහුගෙන් විමසා සිටියෙමු. ඊට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ,“ ගබඩාවේ සමීපයටම ගියාම අපිටත් ඒ දුර්ගන්ධය නම් දැණුනා. මේ මත්ස්‍ය බහාළුම් ශ්‍රී ලංකා රේගුව හා පරිසර අධිකාරිය භාරයේ තියෙනවා කියලයි අපි දන්නේ. ඔවුන් එම බහාළුම් කීපයක් බැගින් එකවර රැගෙන ගිහින් පොහොර නිෂ්පාදනය කරන බවයි කියන්නේ” යනුවෙනි.

කෙසේ නමුත් මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට තහවුරු කරන ලද ඕනෑම ද්‍රව්‍යයක් මාධ්‍ය ඉදිරියේ ප්‍රසිද්ධියේ විනාශ කළ යුතුව තිබියදී මසුන් සහිත බහාළුම් විශාල මුදලක් වැයකර රේගුවෙන් මුදවා ගත් ව්‍යාපාරික ආයතනය, ප්‍රශ්නගත නරක්වූ මසුන්ගෙන් දියර පොහොර හෝ සත්ත්ව ආහාර නිෂ්පාදනය කළේ නම් එයට සාක්ෂි ලෙස එකම සේයාරුවක් හෝ ඉදිරිපත් කරන ලෙස පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංගමයේ නියෝජිතයෝ එම ආයතනයට අභියෝග කරති.

මේ අතර, ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම අපහරණ අංශයේ තිබී කොක්කුතුඩුවාව ප්‍රදේශයේ පිහිටි එකෝ ඇන්ඩ් රිච් සත්ත්ව අහාර නිෂ්පාදන ආයතනය වෙත මුදා හැර ඇති මිනිස් පරිභෝජනයට නුසුදුසු මත්ස්‍ය බහාළුම් 98න් හිස් ටැංකි දොළහක් මේ වන විට නෞකාව අයත් ශ්‍රී ලංකාවේ නියෝජිත නැව් සමාගම වෙත ලැබී ඇති බවත් බහාළුම් 16ක මසුන් මේ වන විට කුමන අන්දමකින් හෝ වෙළෙඳපොළට නිකුත්වී ඇති බවත් ඉකුත් 4 වැනිදා වාර්තා වූ තොරතුරුවලින් හෙළිවී ඇත. ඒ අනුව ඉකුත් 5 වැනිදා එකෝ ඇන්ඩ් රිච් ආයතනයේ හිමිකරුට කොළඹ අපරාධ විමර්ශන අංශය වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස දැනුම් දී ඇති බව ද වාර්තා විය.

මෙම නීතිවිරෝධී ජාවාරමට ප්‍රධාන වශයෙන් වගකිව යුතු වන්නේ මදුරන්කුලියේ කොක්කුතොඩුවාව ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් යැයිද බහාළුම්වල මුද්‍රා විවෘත කිරීම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉදිරියේදී සිදුකළ යුතු අතර, ඒවා විනාශ කිරීම ද සත්ත්ව ආහාර නිෂ්පාදනයට අදාළ යන්ත්‍රෝපකරණවලට බහාලීම ඇතුළු සියලු දෑ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉදිරියේදී සිදුවිය යුතු බව ද පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංගමයේ ලේකම් ජයන්ත කුරේ වැඩිදුරටත් පැවසීය.

 

 

Comments