
- දරුවන් පාදක කරගෙන නිර්මාණ කරනවා කියන අදහස මට නැහැ
- “වෙඩි නොවදින ළමයි” ළමා පරපුරට අනුප්‍රාණය සපයන චිත්‍රපටියක්
නිර්මාණයක තිරයෙන් පිටුපස සිටින දැවැන්තයන්ගේ දරදිය ඇදීම් ,කඳුළු, කැපකිරීම්, මහන්සිය තිරය මත අපූරු වගේම සුන්දර නිර්මාණයක් මැවීමට හේතුවෙයි. පෘථග්ජන මිනිසුන්ගේ අක්මුල් වලට එබී බලන, සමස්ත ලාංකික කුලකය පැය දෙකක් තුළ සියුම්ව විද්‍යාමාන කරන “වෙඩි නොවදින ළමයි“ චිත්‍රපටියේ අධ්‍යක්ෂ ඉන්දික ෆර්ඩිනැන්ඩෝ රසඳුන සමඟ කළ කතාබහයි මේ.
වෙඩි නොවදින ළමයි චිත්‍රපටයට කොහොමද ලැබෙන ප්‍රතිචාර?
ප්‍රතිචාර ගොඩක් හොඳයි. කොවිඩ් වලින් පසුව සිනමා ශාලාවලට ප්‍රේක්ෂකයන් ඇදී එන බවක් දැන් දක්නට ලැබෙනවා. ඒ නිසා නැවත සිනමාව ප්‍රතිස්ථාපනය වෙන බවක් දැක ගන්න පුළුවන්.
වෙඩි නොවදින ළමයි චිත්‍රපටයේ කතා සන්දර්භය සැකවින් දැක්වුවොත්?
මෙම චිත්‍රපටය සත්‍ය සිදු වීමක් පාදක කරගෙන නිර්මාණය වූවක්. එකී සත්‍ය සිදුවීම මුළු ලංකාවම දන්න එක් විජයග්‍රාහි මොහොතක් හා සම්මිශ්‍රකර නිර්මාණය කර තිබෙනවා. සමස්ත ලංකාවේ ජීවන අත්දැකීම් එක මිට මොළවා එය බස් එකක් තුළට ගෙන ඒමේ ප්‍රයත්නය එහි අන්තර්ගතයි. එය පරිපූර්ණ උත්සාහයක් නොවිය හැකියි. නමුත් සමස්ත ලංකාවේ මානව ස්වරූප චරිත බවට පත් කර එකී කතාවෙහි තිබෙන බස් එක තුළට ගෙනවිත් තිබෙනවා.
දරුවන් පාදක කරගෙන නිර්මාණකරණයේ යෙදීම ඔබගේ සුලභ ලක්ෂණයක්. ඒකට හේතුව මොකක්ද?
ඒකට විශේෂ හේතුවක් නැහැ. ඕනෑම නිර්මාණයකට විවිධාකාර ප්‍රේක්ෂකාගාර පවතිනවා. ඒ අතර පාසල් ළමයි , මධ්‍යම පාන්තික වැඩිහිටියෝ, තරුණ තරුණියෝ, වැඩිමහල් පරපුර, ඉහළ මධ්‍යම පාන්තිකයන් ලෙස බෙදීමක් කළ හැකියි. යම් නිර්මාණයක් කිරීමේදී එයටම වෙන් වූ යම් ප්‍රේක්ෂකාගාරයක් පවතිනවා. නමුත් මම ප්‍රේක්ෂකාගාර අතර පොදු කුලකයක් නිර්මාණය කිරීමට සෑම විටම උත්සාහ දරනවා. ඒ ප්‍රයත්නයේදී සෑම සමාජ කුලකයකටම ඒකාත්මික විය හැකි, ඥාතිකම් පැවැත්විය හැකි ආනුභූතික දේවල් එක් කිරීමේ ව්‍යායාමයේදී නිරුත්සාහකව දරුවන් එයට සම්බන්ධ වෙනවා. ඒ හැරුණු කොට දරුවන් පාදක කරගෙන නිර්මාණ කරනවා වගේ අදහසක් මට නැහැ.
දරුවන් සම්බන්ධ අසුභ ආරංචි මේ දිනවල නිතර කන වැකෙනවා .“වෙඩි නොවදින ළමයි“ එකී තත්ත්වයට සියුම් අතුල් පහරක් එල්ල කරනවා නේද?
කෙනකුට ප්‍රහාරයක් එල්ල කිරීම කලාවේ කොටසක් ලෙස මම දකින්නේ නැහැ. නිර්මාණකරුවාට නිර්මාණයක් කිරීමේදී විවිධ අරමුණු තිබෙනවා. එහිදී මගේ අරමුණ රසාස්වාදයයි. ඒ වගේම ඉදිරිපත් කරන අත්දැකීම් සමුදාය සහෘදයන්ට තමන්ගේ ජීවන කොන්දේසි පිළිබඳව නැවත සිතා බැලීමට අවශ්‍ය පෙලඹවීම ලබා දීමත් මගේ ප්‍රධාන පරමාර්ථයක්. යම් කෙනෙක් යම් නිර්මාණයක් රසවිඳීමෙන් පසුව තමන් මෙතෙක් පවත්වාගෙන ආ ජීවන කොන්දේසි ඒ ආකාරයටම පවත්වා ගැනීමට නොහැකි නම් එකී කලා කෘතිය තීරණාත්මක බලපෑමක් කළ නිර්මාණයක් ලෙස මම දකිනවා. මගේ අභිලාෂයත් එයයි.
ඒ වගේම අප ළමා පරපුරට සාධාරණයක් ඉටු කළ වැඩිහිටි පරම්පරාවක් ලෙස මම දකින්නේ නැහැ. විවිධාකාර වෙඩි උණ්ඩ ළමා පරපුර වෙත ඉදිරිපත් කළ වැඩිහිටි පරපුරක් ලෙසයි මම එය අර්ථකථනය කරන්නේ. එසේ ළමා පරපුරට අපගේ යුතුකම් ඉටු නොකිරීමේ දොම්නස, විවේචනය, විරෝධය මෙම චිත්‍රපටය පුරාවටම දිව යනවා. මෙය ළමා පරපුරට අනුප්‍රාණය සපයන චිත්‍රපටියක් ලෙස හැඳින්විය හැකියි. එසේ අනුප්‍රාණය සැපයෙන්නේ මනුෂ්‍යත්වය වැලඳ ගැනීමට හා හෘද සාක්ෂියට අනුව ජීවත් වීමටයි. මෙවැනි අර්බුදකාරී සමයක දරුවන්ට වැදගත්ම දෙය අනෙකා පිළිබඳව තමන්ගේ තිබෙන සහකම්පනය හා හෘද සාක්ෂියට අනුව ජීවත්වීමට පෙලඹවීම යැයි මම විශ්වාස කරනවා.
ළමා මනස සියුම්ස්පර්ශ කිරීමට චිත්‍රපටිය තුළ ඔබ දරන්නේ කුමන වෑයමක් ද?
දරුවන්ගේ මනස සියුම් යන අදහස තරමක් රොමැන්තික අදහසක්. මෙවැනි අර්බුදකාරී සමයක ළමා මනස තවදුරටත් සමනළ තටුවක් මෙන් සියුමැලි බව මං විශ්වාස කරන්නේ නැහැ. දරුවන්ගේ මූලික අයිතිවාසිකම් පවා සැපයීමට නොහැකි රටක , ඇවිදින ටයිම් බෝම්බ වගේ මිනිසුන් ඉන්න සමාජයක සියුමැලි ළමා පරපුරක් ඇතැයි මම අදහන්නේ නැහැ. චිත්‍රපටයකට අදාළ වන්නේ එකී ප්‍රේක්ෂකාගාරයට හඳුනාගත හැකි ජීවන අත්දැකීමක් තිබීම පමණයි. ඕනෑම ප්‍රේක්ෂකාගාරයකට ඇතුළු විය හැකි ජීවන අත්දැකීමක් හෝ භාවාත්මක සිදු වීමක් එකී චිත්‍රපටයේ ජීවන අනුභූතිය වූ විට එය හා භාවාත්මකව බැඳීමට පහසුයි. ඒ නිසා මෙම චිත්‍රපටය හා සම්බන්ධ වීමට මූලික අවශ්‍යතාවන් දරුවන්ට එයින් සපිරෙනවා.
ගජමෑන්, ගාඩි වැනි චිත්‍රපටි තිරගත වන අතර වාරයේ “වෙඩි නොවදින ළමයි“ චිත්‍රපටියත් තිරගත වීම අවාසි සහගත තත්ත්වයක් ලෙස ඔබ දකිනවාද?
චිත්‍රපටය හොඳ නම් එය නරඹන්න මිනිසුන් රඟහලට එනවා. මෙවැනි අර්බුදකාරී සමයක උදාහරණයක් ලෙස එක පවුලක් චිත්‍රපටි තුනක් බලන්න වියදම් කරයිද කියන ප්‍රශ්නය එතැනදී මතු වෙනවා. නමුත් එම ප්‍රශ්නයට කිසිදු විකල්පයක් නැහැ. චිත්‍රපටි ක්‍රමානුකූලව මුදාහැරීම එහි ස්වභාවයක්. ඒ නිසා එකී ස්වභාවය මඟ හැරීමට පුළුවන් කමක් නැහැ. එවැනි අවාසියක් තිබෙනවා නම් වෙනත් අධ්‍යක්ෂවරයකුගේ චිත්‍රපටියක් බිල්ලට දීලා මම පස්සෙ එන්නම් වගේ අදහසක් මට තිබුණෙ නැහැ. මෙම චිත්‍රපටිය මානව ආදරය පදනම් කරගත් චිත්‍රපටියක් නිසා එය වැලන්ටයින් මාසයේ මුදාහැරීමට ලැබීම ගැන මම වගේම නිෂ්පාදකවරියත් සතුටු වුණා.
විශ්මි ප්‍රනාන්දු