අපේ පොහොරවල නයිට්‍රජන් ප්‍රතිශතය ඉතා ඉහළයි | සිළුමිණ

අපේ පොහොරවල නයිට්‍රජන් ප්‍රතිශතය ඉතා ඉහළයි

කොළඹ දිස්ත්‍රික්කයේ අංක 653/2, දෙල්ගහ කමත පාර, තුන්අඳ හේන, කොරතොට, කඩුවෙල ලිපිනයේ පිහිටා ඇති Eco Agri Solutions pvt. Ltd යනු, රසායනික පොහොරවල වස විසෙන් විනාශ වී ගිය මහ පොළොව යළි සුවපත් කිරීමේ කාර්යයෙහි නියැළෙන තවත් එක් අභිමානවත් දේශීය කාබනික පොහොර සමාගමකි.

කාබනික පොහොර නිෂ්පාදනය සඳහා ඔවුන් සිය පර්යේෂණ කටයුතු ආරම්භ කළේ 2021 වසරේ මුල් කාලයේ වන අතර, 2021 අගෝස්තු මාසය වන විට නිෂ්පාදන කටයුතු ආරම්භ කළේ ය. 

"අපි මුල සිට ම නිෂ්පාදනය කළේ කාබනික ඝන පොහොර පමණයි. ඇත්තටම අපේ පොහොර වල විශේෂත්වය තමයි, කාබනික පොහොරවල තිබිය යුතු පෝෂණීය සංඝටක වන නයිට්‍රජන් 4.5%ක්, පොස්පේට් 4.5%ක් සහ පොටෑසියම් 1.5%ක් ලෙස නියමිත ප්‍රතිශතයටත් වඩා ඉහළ අගයක තිබීම. ඒ නිසා අපේ පොහොර වලට මුල සිටම හොඳ ඉල්ලුමක් පැවතුණා. ඇත්තටම ඒ වෙලාවේ වෙළෙඳපොළේ තිබූ වෙනත් පොහොර වර්ගවල 4.5% ක් වැනි ඉහළ නයිට්‍රජන් ප්‍රතිශතයක් තිබුණේ නැහැ. එම ඉහළ අගය අඛණ්ඩව පවත්වා ගෙන ආවේ අප පමණයි.

අප නිෂ්පාදනය කරන කාබනික පොහොර දැනට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කය තුළ පමණයි බෙදා හැරීම් කටයුතු සිදු කරන්නේ. මොකද, දුර පළාත්වලට ප්‍රවාහනය කිරීමේ දී, යන පිරිවැය වැඩියි. අපේ කර්මාන්ත ශාලාව වෙත පැමිණ ඕනෑම කෙනකුට සාධාරණ මිලට කාබනික පොහොර ලබා ගන්නට පුළුවන්.

අප පහු ගිය 2022 මහ කන්නය සඳහා රජයේ පොහොර සහනාධාර ව්‍යාපෘතිය වෙනුවෙන් කාබනික ඝන පොහොර ටොන් 200 කට ආසන්න ප්‍රමාණයක් උප කොන්ත්‍රාත්කරුවකු ලෙස ලබා දුන්නා. ඒ කඩුවෙල ඇතුළු කොළඹ දිස්ත්‍රික්කයේ වී ගොවීන් වෙනුවෙන්.

ඇත්තටම කිව්වොත් කාබනික පොහොර ප්‍රතිපත්තිය අඛණ්ඩව තව අවුරුද්දක් දෙකක් එක දිගට ක්‍රියාත්මක වූවා නම් රජය මේ කරගෙන ආ වැඩපිළිවෙළේ උපරිම ප්‍රයෝජනය රටට ගන්නට තිබුණා. ස්ථාවරත්වයක් නැති තීන්දු තීරණ නිසා, කාබනික පොහොර නිෂ්පාදනයට අත ගැසූ අප වැනි ව්‍යාපාරිකයන් මුහුණ පා තිබෙන්නේ, ඉතාම බරපතළ තත්ත්වයක ට. මේ වෙලාවේ අප කරන්නේ ව්‍යාපාර පවත්වා ගෙන යෑම පමණයි. 25ක් ව සිටි සේවකයන් දැන් 10කට අඩු වෙලා. මාස හය හතක් තිස්සේ පවතින මේ තත්ත්වය දිගටම තිබුණොත් දේශීය කබනික පොහොර නිෂ්පාදකයින් විශාල අමාරුවක වැටෙනවා. මොකද, අප අයත් වන්නේ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර ගණයට. මේ ව්‍යවසායකයින් දැන් සෑහෙන දුරකට අඩපණ වෙලා. ඉන්ධන පිරිවැය, විදුලිය, වතුර බිල, අමු ද්‍රව්‍ය මිල ඉහළ යෑම යන මේ සියල්ලට මුහුණ දෙමින් කරන නිෂ්පාදනයට හරි අලෙවියක් නැති වුණොත් මොකද වෙන්නේ. ඒ නිසා රජය මේ පිළිබඳ මීට වඩා හොඳ තීරණයකට එන්න ඕනේ.

පවතින පසුබිම කුමක් වුවත් අපි නිෂ්පාදනය කරන පොහොරවල තත්ත්වය ඉතා උසස් අන්දමින් පවත්වා ගෙන යනවා. අනික, පෝෂ්‍ය පදාර්ථ සහිත අමුද්‍රව්‍ය පාවිච්චි කර හදන නිසා මෙය මහ පොළවට වැටිය යුතුම පෝෂණීය පොහොරක්.

නයිට්‍රජන් බහුල ගිණිසීරියා, වල්සූරියකාන්ත, ජපන් ජබර වැනි ශාක කොටස් අපගේ කාබනික ඝන පොහොරවල ප්‍රධාන අමුද්‍රව්‍යයක්. නයිට්‍රජන් බහුල ජපන් ජබර හොඳ පෝෂණීය අමුද්‍රව්‍යයක් වුවත්, අපද්‍රව්‍ය පිට කරන ඇළ මාර්ගවල තිබෙන ඒවාට බැර ලෝහ එකතු වීමේ ප්‍රවණතාවක් තිබෙනවා. ඒ නිසා අපද්‍රව්‍ය එකතු නොවන වැව්වලින් පමණයි මේ සඳහා අප ජපන් ජබර

එකතු කර ගන්නේ.

ඒ වගේම කුකුළු පොහොර, ගොම පොහොර, එප්පාවල රොක් පොස්පේට් සහ කෙසෙල් කඳන් සෙසු අමුද්‍රව්‍ය ලෙස යොදා ගන්නවා. කුකුළු පොහොර කුලියාපිටිය සහ පාදුක්ක ප්‍රදේශවල ප්‍රධාන සැපයුම්කරුවන් අප වෙත ගෙනැවිත් දෙනවා. ඒවා එකතු කර ගන්නේ මහා පරිමාණ ගොවිපළවලින්. නමුත්, මේ කුකුළු අපද්‍රව්‍ය මිල දැන් තුන් ගුණයක් වැඩි වෙලා. පිට පළාත්වල පමණයි ටිකක් හෝ මිල අඩුවට තිබෙන්නේ. ඒ නිසා අපට සිදු වන්නේ පිට පළාත්වලින් මේවා ගෙන්වා ගන්නයි.

ඒ වගේම, කිරි ගොවිපළවලින් මහා පරිමාණයෙන් අප වෙත ගොම ලබා දෙන්නේත් එවැනිම සැපයුම්කරුවන් විසින්. ඒ වගේම, කෙසෙල් කඳන් කියන්නෙත් පොටෑසියම් බහුල අමුද්‍රව්‍යයක්. ඒ නිසා අප කෙසෙල් කඳන් ඉතා කුඩා කැබලි ලෙස චොප් කර මේ සඳහා යොදා ගන්නවා. අපගේ කර්මාන්තශාලාවේ දැනට වැඩ කරන දහ දෙනාගෙන් නව දෙනෙක්ම මේ ගම අවට අය. ඉන් දෙදෙනෙක් ඇසුරුම්කරණයට සහ සුපවයිසර්වරියක් ලෙස වැඩකරන කාන්තාවන්. අපගේ කර්මාන්තය නිසා ගමට ආර්ථිකයක් සැදී තිබෙන්නේ ඒ අයුරින්. 

ඒ වගේම අපගේ පොහොර කර්මාන්තයට ලබා දෙන්න ගිනිසීරියා වගා කරන්න පටන් ගත් අයත් මේ ගමේ ඉන්නවා ඒ අය අඛණ්ඩව අපේ කර්මාන්ත ශාලාවට ගිණිසීරියා අතු කපා ගෙනැවිත් දී යම් ආර්ථිකයක් හදාගෙන තිබෙනවා. ඒ ගැන අපට තිබෙන්නේ සතුටක්. නමුත් අපිට වැඩ අඩුයි කියන්නේ, ග්‍රාමීය ආර්ථිකයට මෙතෙක් ලැබුණු දායකත්වය ටිකෙන් ටික නැති වෙලා යනවා කියන එකයි. ඒ ගැන නම් තිබෙන්නේ කණගාටුවක්.

අප පොහොර නිෂ්පාදනයට අත ගැසුවේ සෑහෙන කාලයක් කළ පර්යේෂණවලින් අනතුරුවයි. ඒ සඳහා අප කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය ලයනල් වීරකෝන් මහතාගේ දායකත්වය ලබා ගත්තා. ඔහුගේ අධික්ෂණය යටතේ යි, ආරම්භයේ පටන් අපගේ සියලුම පර්යේෂණ කටයුතු සිදු කෙරුණේ. ඔහු තමයි අප ආයතනයේ උපදේශකවරයා ලෙස කටයුතු කරන්නේ.

ඒ වගේම, මම කාබනික පොහොර ව්‍යාපාරයට අත ගැසුවේ ඒ වන තෙක් කරමින් සිටි පෞද්ගලික අංශයේ ඉහළ කළමණාකාරිත්වයේ රැකියාව අත්හැර දමලා. ඇත්තටම මම විදේශීය සමාගමක ශ්‍රී ලංකාවේ නියෝජිතයා හැටියට වැඩ කළා. හොඳ වැටුපක් සහිත රැකියාවක් වුවත් රටට යමක් කිරීම පිළිබඳ ලොකු ආසාවක් හිතේ තිබුණා. ඒ වගේම, පවුලේ අය එක්ක ඉන්න ලැබුණු අවස්ථා අඩුයි. කොහොම වුණත්, මම ව්‍යවසායකත්වයට ඇලුම් කළා. විෂයක් හැටියට මගේ උපාධියේ දී ව්‍යවසායකත්වය හදාරා තිබූ නිසා, හිත යට වද දුන් මේ ආශාව මුදුන්පත් කර ගත්තේ කාබනික පොහොර නිෂ්පාදනයට අතගැසීමෙන්.

හැබැයි මේ බිස්නස් එක පටන් ගන්න කලින් මම ශක්‍යතා අධ්‍යනයක් කළා. මේ ව්‍යාපාරයේ ඉදිරියට තිබෙන තර්ජන, ආණ්ඩුවේ ප්‍රතිපත්ති වෙනස්වීම්, වැනි සිදු විය හැකි අනාගත තර්ජන පිළිබඳ මම බොහෝ දුරට හිතුවා. මේ අඩපණ වීම සිදුවෙයි කියන එක ඒ ශක්‍යතා අධ්‍යනයේ දී තහවුරු වුණා.

ඒ නිසා මම මේ වන විට අපනයනය සඳහා යොමු වෙන්න අවශ්‍ය පසුබිම සකසමින් සිටිනවා. අපගේ පොහොරවලට මේ වන විට බොහෝ විමසීම් එනවා. ඒ විමසීම් එන තැනට අපගේ කොලිටි එක රැගෙන තිබෙනවා. ඒ නිසා Control Union සහ SLS යන අවශ්‍යතා ටික සම්පූර්ණ කරගෙන අපනයන වෙළෙඳපොළට පිවිසීමේ උවමනාව අපට තිබෙනවා. හැබැයි, මේ සහතික ලබාගැනීම සඳහා සැකසිය යුතු පසුබිම වෙනුවෙන් විශාල ප්‍රාග්ධනයක් සහ දිගු කාලයක් යනවා.

ඒ වගේම, අවුරුද්දකට කාලයක් අපි වැඩ කළේ විශාල අර්බුදයකට මැදි වෙලා. රටේ තත්ත්වය අපගේ අපගේ කර්මාන්තයට කර තිබෙන බලපෑම සුළුපටු නැහැ. අප හැදූ පොහොර ගබඩාවල ඉතිරි වී තිබෙනවා. ඒ අතරේ ගොවීන් රසායනික පොහොර පාවිච්චි කරන්න පෙළැඹෙමින් සිටිනවා. කර්මාන්තය විතරක් නෙවෙයි මේ කාරණයේ දී විනාශ වෙන්නේ. අර හැදෙමින් ආ මහ පොළවත් යළි විනාශ කරා යමින් තිබෙනවා. කොහොම වුණත් මේ තත්ත්වය පිළිබඳ තිබෙන්නේ විශාල කණගාටුවක්. ඒ නිසා මාස හය හතක් ඇතුළත වත් අපනයනය කරා යෑමයි අපගේ ලොකුම සැලසුම. දැනට ඩුබායි ඇතුළු මැදපෙරදිග රටවල අපගේ කාබනික පොහොර සඳහා ලොකු නැඹුරුතාවක් දක්වනවා. ඒ නිසා අපගේ කාබනික පොහොර අපි value-added නිෂ්පාදනයක් ලෙස ඒ රටවලට යවන්නයි කටයුතු කරන්නේ.

ඒ සඳහා දැනට පවුඩර් ලෙස පමණක් තිබූ කාබනික පොහොර දැන් අපි පෙලට් ලෙසත් නිෂ්පාදනය කරනවා. ඒවාට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර මිල දී ගෙන තිබෙනවා. දේශීය ව්‍යාපාරිකයෙකුගෙන් ම අප ලබා ගත් එම පෙලට් මැෂින් සාර්ථකයි.

එවැනි මැෂින් හදන දක්ෂ මිනිස්සු ලංකාවේ ඉඳිද් දී, කබනික පොහොර හදන්න පුළුවන් නිෂ්පාදකයින් රටේ සිටිද් දී, පිටරටින් රසායනික පොහොර ගෙනැත් මේ පොළොව ආපහු විනාශ කර දමන එක මොන තරම් අපරාධයක්ද. ගොවීන් වුණත් මේ පිළිබඳ දෙවරක් සිතිය යුතුයි. මේ වන විට ගොවි මහත්වරුන් කීදෙනෙක් වකුගඩු රෝගවලට ගොදුරු වෙලා තිබෙනවාද. රසායනික පොහොර භාවිතය නිසා ගොවීන් සහ මහපොළොව විතරක් නෙවෙයි, ඒ පසේ හැදෙන ආහාර විෂ වී දරු පරපුරත් ලෙඩ වනවා. මේවා ගැන මිනිස්සු හිතන්න ඕනේ.

පිටරටවල දැන් ප්‍රධාන තැනක් ලැබී තිබෙන්නේ Organic Food හෙවත් කාබනික ආහාර නිෂ්පාදන සඳහා යි. ලෝකයේ දියුණු රටවල් කාබනික වගාවට, කාබනික පොහොරවලට සහ කාබනික ආහාරවලට යොමු වෙද්දී අපි පිටරටින් වස විස ගෙනැවිත් මහපොළොවට හලලා ජාතියක් වශයෙන් ම විනාශ වීමට පාර කපනවා. තවදුරටත් මෙය සිදුවිය යුතුද...

ඇත්තටම මේ විනාශය සමස්ත පුරවැසියන් ම තේරුම් ගත යුතුයි. අප මේ කාරණාව සම්බන්ධව මේ වන විට ආයතන කිහිපයක් සමඟ සාකච්ඡා කරමින් තිබෙනවා. ආහාර සුරක්ෂිතතා මණ්ඩලය, ගොවිජන සේවා මධ්‍යස්ථාන සහ ගොවීන් මහතුන් හරහා ජාතික ව්‍යාපාරයක් ලෙස කාබනික පොහොර රට පුරා යළි ස්ථාවර ලෙස ස්ථාපිත කරන්නට බලාපොරොත්තුවක් තිබෙනවා.

සෑම භාණ්ඩයක ම මිල ඉහළ යෑම සහ ඉල්ලුම අඩුවීම නිෂ්පාදකයන් ලෙස අපට අභියෝගාත්මක කාල පරිච්ඡේදයක්. විශාල ආයෝජනයන් කර පටන් ගන්නා මෙවැනි ව්‍යාපාර පොළොවට සමතලා වෙන්නට දිය යුතු නැහැ. ඒවා රැක ගැනීම පොදු ජනතාවට ම කරන යහපතක්. මොකද, අවසානයේ මොන පොහොර දමා වගා කළත් ආහාරයට ගන්නේ පොදු ජනතාව. මේ රටේ දරු පරපුර. ඒ ගැන රටක් ආණ්ඩුවක් විශේෂයෙන් හිතන්න ඕනේ.

අපගේ කාබනික පොහොර වී වගාවට, එළවළු, බඩඉරිඟු බුලත්, දුම්කොළ, කෙසෙල් ඇතුළු වගාවන්ට හොඳ ප්‍රතිඵල ලබා දී තිබෙනවා.

නිෂ්පාදකයෙක් හැටියටත් වඩා, මම මේ රටේ පුරවැසියෙක් ලෙස ඉල්ලා සිටින්නේ, කාබනික පොහොර සහ කාබනික වගාව කියන්නේ මුළු රටක ජනතාවගේ නිරෝගී භාවයට ප්‍රබල බලපෑමක් එල්ල කරන සාධකයක්. ඒ නිසා ඉක්මන් ප්‍රතිඵල ලැබෙන, පහසු ලේසි වාසිදායක රසායනික පොහොර භාවිතයට යළි නැඹුරු වෙන්න හදන මේ අභාග්‍ය සම්පන්න තත්ත්වයෙන් ගොඩ එන්නට ඕනේ. ඒ සඳහා රටක් ලෙස සිතා ක්‍රියාත්මක වීමයි, වැදගත්..."

Comments