රජය කාබනික පොහොර ප්‍රතිපත්තිය යළි ක්‍රියාත්මක කළ යුතුයි | සිළුමිණ

රජය කාබනික පොහොර ප්‍රතිපත්තිය යළි ක්‍රියාත්මක කළ යුතුයි

අංක 196, පහළ බෝමිරිය, කඩුවෙල ලිපිනයේ පිහිටා ඇති හැකි Actimo Horticulture (Pvt) Limited යනු, වස විසෙන් විනාශ වී ගිය මේ මහ පොළොව සරුසාර කරන තවත් දේශීය කාබනික පොහොර නිෂ්පාදන සමාගමකි.

එම සමාගම මෙතෙක් ආ ගමන් මඟ සහ එහි වර්තමාන තත්ත්වය පිළිබඳ, එම සමාගමේ සභාපති ඩී. එෆ්. ආර්. අන්ද්‍රාදි මහතා අදහස් ප්‍රකාශ කළේ මෙලෙසිනි.

" අපි නිෂ්පාදනය කරන්නේ කාබනික දියර පොහොර සහ කාබනික ඝන පොහොර කියන දෙවර්ගය යි. විශේෂයෙන් කාබනික දියර පොහොර මිලි ලීටර් 500, ලීටරය සහ ලීටර් 5 වශයෙන් ඕනෑම ප්‍රමාණයක් ගොවි බිම් සඳහා සකස් කළ බෝතල් ලෙස වෙළෙඳපොළට නිකුත් කරනවා. මේවා වැඩි වශයෙන් ම කෘෂිකර්ම අමාත්‍යාංශය නිර්දේශ කර තිබෙන්නේ ගොයමට.

නමුත් එළවළු, පලතුරු, බුලත් සහ මල් ඇතුළු ඕනෑම වගාවක් සඳහා අපගේ කාබනික පොහොර දෙවර්ගය ම සාර්ථක ප්‍රතිඵල ලබා දෙනවා. 

විශේෂයෙන් කියන්නට ඕනේ, අපගේ දියර පොහොරවල ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස පාවිච්චි කරන්නේ නයිට්‍රජන් බහුල ගව මුත්‍රා, කැල්සියම් බහුල ඩොලමයිට් දියරය සහ පොස්පේට් අවශ්‍යතාව සඳහා, එප්පාවල රොක් පොස්පේට් කියන අමුද්‍රව්‍ය තුනයි. ඊට අමතරව, ෂුගර් මොලෑසස් යම් ප්‍රමාණයක් භාවිත කරනවා. මෙම දියර පොහොර භාවිතයෙන් මහ පොළොවේ ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය ඉතා හොඳින් සිදු වනවා වගේම, ක්ෂුද්‍ර ජීවී ඝනත්වය ඉතා හොඳින් වර්ධනය වනවා.

කාබනික ඝන පොහොර සඳහා ගිණිසීරියා, වල්සූරියකාන්ත වැනි ශාක කොටස් සමග කුකුළු පොහොර, ගොම පොහොර සහ එළු පොහොර යන ත්‍රිත්වය ම මිශ්‍ර කරනවා. කුකුළු පොහොර අප ලබා ගන්නේ වෙන්නප්පුව ප්‍රදේශයේ ඇති මහා පරිමාණ කුකුළු ගොවිපළවලින්. ඒ වගේම, කඩුවෙල, නිට්ටඹුව, මතුගම වැනි ප්‍රදේශවල ඇති ගව පට්ටිවලින්. විශේෂයෙන් ගොම ලබා ගැනීමේ දී 20% ක වැලි ප්‍රතිශතය පිළිබඳ

අප ඉතාමත් සැලකිල්ලෙන් සොයා බලනවා. මොකද, වැලි ප්‍රතිශතය ඊට වඩා වැඩි වුණොත් ගොමවලින් පසට ලැබෙන පෝෂණ තත්ත්වය අඩු වන නිසා.

ඒ වගේම එළු පොහොර අප ලබා ගන්නේ, පුත්තලම ප්‍රදේශයේ ගම්මානවල තිබෙන එළු පට්ටි වලින්. මේ පොහොර වර්ග තුනම මාස තුනකට වරක් විශාල ප්‍රමාණයන්ගෙන් ලබා ගන්නවා. ඒ හරහා සැපයුම්කරුවන් විශාල ප්‍රමාණයකට ආදායම් මාර්ග උත්පාදනය වී තිබෙනවා.

පසුගිය 2021- 2023 දක්වා අවුරුදු තුනේ ගොවිතැන් කළ යල මහ දෙ කන්නය සඳහාම මේ වන විට ටොන් 50,000ක් පමණ අප රජයේ පොහොර සහනාධාර වැඩසටහන සඳහා කාබනික පොහොර නිෂ්පාදනය කොට බෙදා හැර තිබෙනවා. ඒ වගේම, ඊළඟ කන්නය සඳහා සූදානම් කළ කාබනික ඝන පොහොර ටොන් 10,000 ක් සහ කාබනික දියර පොහොර ලීටර ලක්ෂ දෙක හමාරක් මේ වන විට අපගේ ගබඩාවල තැන්පත් කොට තිබෙනවා. මෙවැනි පසුබිමක් යටතේ, මේ මොහොත වන විටත් ගොවීන් 100%ක් රසායනික පොහොර භාවිතය සඳහා කටයුතු කරමින් සිටිනවා. එය, අප වැනි කාබනික පොහොර නිෂ්පාදකයින් මහ පොළොවට ම සමතලා කර දමන තීරණයක්. මොකද, කාබනික පොහොර නිෂ්පාදන ක්ෂේත්‍රයේ මේ වන විට සෘජු හා වක්‍රව රැකියා කරන ප්‍රමාණය ලක්ෂ පහක්. මේ සියලු දෙනා ගේ රැකියා දැන් පවතින්නේ අවදානමක.

රජය කාබනික පොහොර ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම අත්හැර දමා තිබෙනවා, වැනි පසුබිමක් නිසා ගොවීන් මේ තත්ත්වය කරා පෙළැඹෙමින් සිටිනවා. අප කෘෂිකර්ම අමාත්‍යවරයා මුණගැහුණා. ජනාධිපතිතුමාට ත් මේ බව පැවසුවා.

නවීන යන්ත්‍ර සූත්‍ර සහ උපකරණ මිලට ගෙන විශාල ආයෝජන සිදු කර, කාබනික පොහොර නිෂ්පාදනය කර, ගබඩාවල තොග ඔහේ තිබිය දී, නැවතත් වස විස සහිත රසායනික පොහොර මහ පොළවට යොදනවා නම් කොහොමද කර්මාන්තයක් දියුණු වෙන්නේ? මේ රටේ ජනතාවට වස විස නැති බතක් හෝ එළවළු පලතුරක් ලබා දෙන්නේ.

ඇත්තටම ජනාධිපතිතුමා මේ සඳහා මැදිහත් විය යුතුයි. මේ වගේ නියඟයක් ඇවිත් මේ තරම් ගොවිබිම් සහ ගොයම විනාශ වෙන්නේ නැහැ, කාබනික පොහොර ටිකක් මහ පොළොවට මිශ්‍ර වී තිබුණා නම්. පොළොව මේ වගේ සම්පූර්ණයෙන් කර වෙන්නම වේළිලා ගියේ, පොළොවේ තැන්පත්ව තිබෙන රසායනික පොහොරවල බලපෑමත් එක්කම යි. අඩුම තරමේ 30%ක් වත් කාබනික පොහොර මිශ්‍ර වෙලා තිබුණා නම්, පොළොවේ තෙතමනය රැකෙන නිසා, වැස්ස වැටෙන තුරු තව ටික කාලයක් වගාව අල්ලා හිටින්න තිබුණා. එය ඉතාමත් කණගාටුදායක කාරණයක්.

කොහොම වුණත්, රජයේ පොහොර සහනාධාර වැඩපිළිවෙළ යටතේ අපගේ පොහොර වැඩි වශයෙන් ම බෙදා හැරුණේ අනුරාධපුරය, කුරුණෑගල, පොළොන්නරුව, මහවැලි සී කලාපය සහ මාතලේ ප්‍රදේශවලට යි. ඒ වෙලාවේ වී ගොවිතැන වෙනුවෙන් එක් පළාතකට ලීටර 50,000ක් වැනි විශාල ප්‍රමාණයක් දියර පොහොර ලබා දුන්නා. ඒ පසුබිම තුළ අපගේ සැපයුම්කරුවන්ට විශාල ලෙස ඇණවුම් ලැබුණා. කර්මාන්ත ශාලාව ලොකු කළා. අලුත් මැෂින් ගෙනාවා. රුපියල් ලක්ෂ 500කට වඩා මේ සඳහා අප යට කළා. අද මේ යන්ත්‍ර සූත්‍ර ඔහේ තිබෙනවා. හදපු පොහොර තවත් පැත්තක. රැකියා කළ බොහෝ අයට රැකියා අහිමිව ගිහින්. සේවකයින් 80ක් හිටි තැන දැන් ඉන්නේ සේවකයන් 10දෙනයි. විශේෂයෙන් මේ රැකියාවල නිරත වුණේ මේ ගම්මාන අවට ජීවත් වන දුප්පත් පවුල්වල උදවිය. ඔවුන් අපගේ පොහොර කර්මාන්තශාලාවේ දිනකට පැය අටක් සේවය කර දිනකට රුපියල් 2,000ක් උපයා ගත්තා. අද ඒ සියලු දෙනා අසරණ වෙලා. ඒ නිසා මං නැවතත් කියන්නේ, රජය මේ ගැන අවධානය යොමු කළ යුතුයි.

අපගේ පොහොරවල විශේෂත්වය දින 14 දී, වගාව තුළින් ම ඉස්මතු වනවා. ඒ වගේම, බතලේගොඩ වී පර්යේෂණායතනය අපගේ කාබනික පොහොර යොදා හදන වෙනම ආදර්ශ ලියැද්ද ක් තිබෙනවා. එයින් ලැබෙන වී අස්වැන්න මත තමයි ඔවුන් තීරණය කරන්නේ පොහොරවල සාර්ථකත්වය. ඒ අනුව, බතලේගොඩ වී පර්යේෂණායතනයෙන් සහ අපගේ පොහොර යෙදූ ඒ පළාත්වල ගොවි මහත්වරුන්

ගෙන් මේ පොහොරවල සාර්ථකත්වය පිළිබඳ ඕනෑම කෙනකුට දැන කියා ගන්නට පුළුවන්.

ඒ වගේම, අප නිෂ්පාදනය කරන සෑම පොහොර සාම්පලයක් ම ජාතික පොහොර ලේකම් කාර්යාලයේ පර්යේෂණවලට යටත්ව අනුමැතිය ලැබී තිබෙනවා. මේ වන විට ගොවින්ගේ ඉල්ලුම අඩු නිසා, අප පුද්ගලිකවත් ඉතා සුළු වශයෙන් බෙදා හැරීමේ කටයුතු කරනවා. අපගේ කර්මාන්ත ශාලාවෙන් ඕනෑම කෙනකුට සෘජුවම වුවත් මේ පොහොර මිල දී ගන්නට පුළුවන්. මම ගොවීන්ට ආරාධනා කරනවා, අපගේ පොහොර යොදා ඵලදාවේ වෙනස අත් විඳින්න කියා.

ඇත්තටම ලංකාවේ කර්මාන්තයක් ලෙස සිදු කළ පළමු වැනි කාබනික නිෂ්පාදනවලින් එකක් ලෙස, අපගේ ඇක්ටිමෝ කාබනික පොහොර හඳුන්වා දෙන්නට පුළුවන්. අපගේ පොහොර කර්මාන්ත ආයතනය අවුරුදු හතළිහකට වඩා පරණයි. මේ මගේ තාත්තා 1972 දී පටන් ගත් ව්‍යාපාරයක්. එය සිරිමා බණ්ඩාරනායක යුගයේ ලංකාවට පොහොර ගෙන්වන එක නැවතුණු අවස්ථාවේ පටන් ගත් ව්‍යාපාරයක්. Maxicrop කියන්නේ ඒ කාලයේ පිටරටින් ගෙන් වූ රසායනික පොහොර වර්ගයක්. එයට තරඟ කළ හැකි ආදේශකයක් ලෙසයි, ඇක්ටිමෝ දියර පොහොර නිෂ්පාදනය කිරීම ආරම්භ කළේ. එය ශීඝ්‍රයෙන් ජනප්‍රිය වුණා. අදටත් යාපනයේ පරණ ගොවීන් ද මේ පොහොර හොයාගෙන ඇවිත් මිලදී ගන්නවා. ඒ කාලේ කාබනික පොහොර වෙනම නිෂ්පාදනයක් කෙරුණේ නැහැ. ගොවීන් ම තමන්ගේ කාබනික පොහොර ටික හදා ගත්තා. ගෙදර ගව පට්ටියේ ගොම ටික, කුකුළු කොටුවේ පොහොර ටික, එළු ගාලේ පොහොර ටික සහ ගමේ තිබූ ගිණිසීරියා වැනි ශාක කොටස් යොදා තමන්ගේ ලියැද්දට අවශ්‍ය ප්‍රමාණය හදා ගත්තේ ගොවීන්ම යි. ඇක්ටිමෝ විතරයි දියර පොහොරක් ලෙස ඒ කාලයේ ලංකාවේ නිෂ්පාදනය කෙරුණේ.

මමත් කාලයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වැඩ කළා. ඊට පස්සේ පිටරට වැඩ කළා. මේ සියලු අත්දැකීම් එක්කයි, තාත්තගේ ව්‍යාපාරය ඉදිරියට ගෙන යන්න මම සම්බන්ධ වුණේ.

අනික, මගේ ගම නුවරඑළිය. අපි පුංචි කාලේ අපේ තාත්තලා අම්මලා එළවළු සහ අර්තාපල් වගා කළා. ඒ කාලයේ 'ශ්‍රී ලංකා කෘෂිකර්ම සේවය' නමින් අපේ තාත්තාට ත් කෘෂි කර්මාන්තයට සම්බන්ධ සමාගමක් තිබුණා. එයින් පිටරට එළවළු බීජ ගෙනැත් බෙදා හැරියා.

මේ ආකාරයට පස සකස් කිරීම, වගා අස්වනු, නව බීජ පිළිබඳ දැනුම, පොහොර නිෂ්පාදනය ඇතුළු මේ සෑම ක්ෂේත්‍රයක ම විහිදුණු දැනුමක් අප සතු වුණා. මොකද, මගේ ජීවිතයෙන් වැඩි කාලයක් ගෙවා තිබෙන්නේ මේ දේවල් එක්ක නිසා.

දැන් මට වයස 76ක්. අද වන විට මගේ ව්‍යාපාරයේ කටයුතු බොහෝමයක් කෙරෙන්නේ මගේ දුව ගයානි අන්ද්‍රාදි සහ මගේ බෑණා වන අජිත් ගම්ලත් අතින්. මේ ව්‍යාපාරය අනාගතයට රැගෙන යන්නේ ඔවුන්. ඒ වගේම සුමනා ෆර්නැන්ඩු මගේ බිරිඳත් මේ ව්‍යාපාරය මේ තැනට ගේන්න බොහෝ වෙහෙස මහන්සි වී වැඩ කළා. ඒ කාලේ ඇය විහාර මහා දේවී උද්‍යානයේ දැවැන්ත මල් පැළ ප්‍රදර්ශන කළා. රාජ්‍ය නායකයින් පවා ඇගෙන් මල් පැළ මිල දී ගත්තා. දැන් මේක අපේ පවුලේ ව්‍යාපාරයක්. අපි කෘෂි කර්මාන්තයේ මොන පැත්තකින් හරි යෙදී ඉන්නා පවුලක්.

අවුරුදු හතළිහකට වැඩි කාලයක් පරපුරු දෙක තුනක් තිස්සේ, කෘෂිකර්මාන්තයේ යෙදී සිටින පවුලක් විදියට අපි මේ මහ පොළවට ලැදි මිනිස්සු. කාබනික පොහොර කියන්නේ අපිට ව්‍යාපාරයක් ම නෙවෙයි. ආත්ම තෘප්තියක් සහ රටට වැඩක් කළා යැයි සතුටක් ගෙන දෙන ව්‍යාපාරයක්.

ඒ නිසාම යි, කාබනික පොහොර කර්මාන්තය විනාශ වෙලා යනවා දකින එක මේ තරම් කණගාටුවක් දැනෙන කාරණයක් වී තිබෙන්නේ.

කන්න දෙක තුනක් එක දිගට කාබනික පොහොර වැටී, ක්ෂුද්‍ර ජීවීන් වර්ධනය වී, සරුසාර වෙමින් ආ මේ මහ පොළොවේ පස යළි විනාශ වෙන්නට නොදිය යුතුයි. එය, කෘෂිකර්ම අමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා ප්‍රමුඛ මේ රජයේ වගකීමක්..."

Comments