විසිට් වීසා වලින් විදේශ රැකියා සඳහා යන්න එපා | සිළුමිණ

විසිට් වීසා වලින් විදේශ රැකියා සඳහා යන්න එපා

සංචාරක වීසා මගින් රැකියා සඳහා යොමුවීම නිතිවිරෝධි වන හෙයින් එවැනි පුද්ගලයින්ට කාර්යාංශයේ කිසිඳු වගකීමක් නොදර බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අවධාරණය කරයි. 
 
සංචාරක වීසා මගින් රැකියා සඳහා විදේශ ගතවීම නීතිවිරෝධී වන අතර, රැකියාවක් සඳහා විදේශ ගතවීමේදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ ගතවීම අනිවාර්ය වේ.
 
මේ අතර සංචාරක වීසා මගින් ඕමානයේ පෙදරේරුවෙකු වශයෙන් රැකියාව සඳහා ගිය ශ්‍රී ලාංකිකයෙකු අමානුෂික වද හිංසාවලට හා ලිංගික හිංසනයන්ට ලක් කිරීම හේතුවෙන් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මැදිහත්වී ශ්‍රි ලංකාවට එවීමට කටයුතු කර තිබේ. 
 
මෙම හිංසනයට ලක්වූ පුද්ගලයාගේ බිරිඳ විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත පැමිණිලි කිරීමෙන් අනතුරුව කඩිනමින් ක්‍රියාත්මක වූ කාර්යාංශ නිළධාරීන් ඕමාන් තානාපති කාර්යාලය දැනුවත් කර තිබෙන අතර, ඒ අනුව එහිදී අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව මෙම පුද්ගලයා ඊයේ (07) දිවයිනට ගෙන්වාගෙන වැඩිදුර ප්‍රතිකාර සඳහා මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කර තිබේ. 
 
කාර්යාංශයට ලද පැමිණිල්ලට අනුව සංචාරක වීසා මගින් මෙම පුද්ගලයා රැකියාව සඳහා ඕමානයට යැවූ මතුගම නවුත්තුඩුව ප්‍රදේශයේ පදිංචි නිශ්ශංක ගුණරත්න නම් අයෙකු කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් 2023.09.06 දින රාත්‍රියේ ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන තිබේ. සංචාරක වීසා මගින් රැකියා සඳහා පුද්ගලයින් යැවීමට මෙම සැකකරු රු.750,000 බැගින් මුදල් ලබාගෙන ඇති බව වැඩිදුර විමර්ශන වලදී අනාවරණය වී ඇත.
 
අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. 
 
සංචාරක වීසා මගින් රැකියා සඳහා යොමුවීම නිතිවිරෝධි වන හෙයින් එවැනි පුද්ගලයින්ට කාර්යාංශයේ කිසිඳු වගකීමක් නොදරයි. නමුත් මානුෂිය පදනමින් සලසා බලා මේ සඳහා කාර්යාංශය මැදිහත් වී එම තැනැත්තා දිවයිනට එවීමට කටයුතු කර ඇතැයි කාර්යාංශය වැඩිදුරටත් සදහන් කරයි. 

Comments