සිරි ගුනසිංහ සාංස්කෘතික යෝධයෙක් | සිළුමිණ

සිරි ගුනසිංහ සාංස්කෘතික යෝධයෙක්

 මහාචාර්ය සිරි ගුනසිංහ මියගිය පුවත, කන වන් කෙණෙහිම මට දැනුණේ අපගේ ජාතිය සතුව තිබුණු තවත් මහා ස්ථම්භයක් ඇද වැටුණු බවකි.

එක්දහස් නවසිය හැත්තෑ ගණන්වල සිට, ඔහු වාසය කෙළේ කැනඩාවෙහි වුවද, ඔහු හැම විටම ස්වදේශය සතුව ජීවත් විය. වරින් වර ආවා ගියා පමණක්ම නොවෙයි, ඔහු අප බසින් සාහිත්‍යකරණයෙහි යෙදීමත් අප රටට අදාළ බොහෝ කරුණු කාරණාවලදී ඉතා සවිඥානකව හා සංවේදීව සිටීමත් හේතුකොටගෙන, ඔහු අප අතර නොසිටි බවක් ඒ තරමට දැනුණේ නැත.

දිගින් දිගට කළ යුතු විවරණයක්, ඉතා සංක්ෂේපයෙන් ඉදිරිපත් කළ යුතු නම්, කිව යුතුව ඇත්තේ, සිරි ගුනසිංහ අපගේ ඉතිහාසයෙන්, සමාජයෙන්, සංස්කෘතියෙන්, කලාවෙන් හා සාහිත්‍යයෙන් වෙන් කර තබන්නට කිසිසේත්ම බැරි, එහි අනිවාර්ය අනුල්ලංඝනීය අංගයක් බවය. අපගේ අද්‍යතන සංස්කෘතිය පිළිබඳ ඉතිහාසය ලියන විට, සිරි ගුනසිංහ නාමය මග හරින්නට - අමතක කරන්නට - සැහැල්ලුවට තකන්නට - කිසිසේත්ම ඉඩක් ඇත්තේ නැත. ස්වකීය අර්ථ සම්පන්න ජීවන චාරිකාවේ දසවැනි දශකයේ එළිපත්තෙන්ද මෙහාට තරණය කර සිටි සිරි ගුනසිංහයෝ, තමාගේ ලකුණ - තමාගේ මුද්‍රාව - අප සමාජයත් සාහිත්‍යයත් සංස්කෘතියත් මත තබාම ස්වකීය මෙහෙවර අවසන් කළහ. මුළු මහත් ජාතියම එකාවන්ව එක්ව මේ උත්තුංග සංස්කෘතික මිනිසාට හිස නමා උත්තමාචාරය පුදකර සිටිය යුත්තේ, ඒ නිසාය.

සිරි ගුනසිංහයෝ, ලංකා විශ්වවිද්‍යාලයේ හොඳම යුගයේ හොඳම නිෂ්පාදනයක් වූහ. අපගේ දේශයෙහි සාහිත්‍ය කලාවන්ගේද, පොදුවේ මුළු මහත් සාංස්කෘතික ක්‍රියාවලියේද හද ගැස්ම හොඳටම දැනුණු ඒ යුගයේ, බුද්ධිමත් යෝධයන් හා උරෙන්උර ගැටී, ස්වකීය සම්ප්‍රදානය සපුරාම ජාතියට ප්‍රදානය කළ මේ යුගකාරක මිනිහා, නිරන්තරයෙන්ම විප්ලවකාරයකු - අසම්මතවාදියකු වූයේය. ඔහු සිය මුල්ම ලේඛනගත පොතෙන් - මුල්ම කාව්‍ය සංග්‍රහයෙන් -

“අඳුර, සුනු විසුනු කර
ඊයේ වගෙ
ඇයි තවමත් නොනගින්නේ
මගෙ දෛනික ඇස් රුදාව” යයි, ආරම්භක පද්‍යයෙන්ම කියන විට, මුළු මහත් සාම්ප්‍රදායික සාහිත්‍ය සමාජයම දණ්ඩෙන් පහර ලත් ආශිර්විෂයයකු සේ කිපී, කුපිත වී නැඟී සිටියහ.

ඔහු උදා හිරු දුටුවේ දිනපතාම දකින්ට - විඳින්ට - ලැබෙන “ඇස්රුදාවක්” සේය. (අප්පිරියා හිතෙන තරමටම - ඔක්කාරය හැදෙන තරමටම - අපේ මෝඩ දේශපාලකයන් හැමදාමත් රටට පෙන්වන්ට හදන, තවමත් උදා නොවුණු, කිසිදාකත් ඔවුන්ට උදා කරන්ට නොහැකි ඊනියා “නව හිරු උදාවක්” සිරි ගුනසිංහ කවියා දුටුවේ නැත!)

ඔහු සිංහල කවියට අවතීර්ණ වුණේම, සර්ව බලධාරී සූර්ය දිව්‍ය රාජෝත්තමයාට අභියෝග කරගෙනය!

සිරි ගුනසිංහගේ සාංස්කෘතික සම්ප්‍රදානයේ වපසරිය දීර්ඝකාලීන වන පමණටම, පෘථුලද සුවිශාලද වන්නේය. ඔහු කලින් ලියූ කියූ, කළ කී දේ අතහැරියත්, “මස් ලේ නැති ඇට” කාව්‍යය නිකුත් කෙරුණු එක්දහස් නවසිය පනස් හයේ (1956) සිට, මේ දක්වා ඔහුගේ සාංස්කෘතික මෙහෙවර දශක හය ද ඉක්මවා සිටින්නේ වෙයි. හැට විය ද පිරුණු ඒ මෙහෙවර තුළ, සිංහල කවියට, නවකතාවට, සාහිත්‍ය විචාරයට, සිනමා කලාවට, චිත්‍ර ශිල්පයට, අපගේ චිත්‍ර කලා විමර්ශනයට, ඒ සියල්ලම ඉක්මවා සිටින, සබුද්ධික විදග්ධ චින්තනයට ඔහු විසින් කරන ලද සම්ප්‍රදානය යුග කිහිපයකටම සීහෙන තරමට ප්‍රභාමත්ව දෘශ්‍යමාන වෙයි.

මෙසමය වන විට, අපගේ මුළුමහත් විශ්වවිද්‍යාල පද්ධතියේම මානව ශාස්ත්‍ර පීඨ සියල්ල කුම්භකර්ණ නිද්‍රාවක ගැලී සිටිනු දැක්ක හැකිය. ඉඳ හිට ඒ නින්දෙන් ඇහැරෙන කිසිවකු, ඒ නිදි මරගාතයේම, ඉතා සිල්ලර වැඩක් කර, කිකිලියක් බිත්තරයක් දැම්ම කලෙක මෙන් කොක් හඬ නඟා, යළිත් නිදි වදිනු ද පෙනෙයි. මේ අඟුටු මිට්ටන් අතර සිරි ගුනසිංහ වැනි මිනිසුන්, ශාස්ත්‍රීය සාංස්කෘතික දැවැන්තයන් හැටියට යෝධකායෙන් නැඟී සිටින හැටි සිහි කරන විට, සැබැවින්ම දැනෙන්නේ ඉමහත් දුක්ඛ වේදනාවකි.

මා මුල් වරට සිරි ගුනසිංහයන් දුටුවේ මා ගුරු ශිෂ්‍ය මානවකයකු හැටියට, මහරගම ගුරු විදුහලේ ඉංගිරිසි අංශයෙහි ශිල්ප ශාස්ත්‍ර හැදෑරු සමයේ විය. සිංහල සාහිත්‍ය සංගමයේ ආරාධනයක් පිළිගෙන දේශනයකට පැමිණි ඔහු, එදා අප සියලු දෙනාටම නව මානයක් පෙන්වමින් මහරු කතාවක් කෙළේය. මගේ පැඟිරි විසේට, එදවස මේ මහා පුරුෂයාගෙන් ප්‍රශ්නයක් ඇසූ බවද මතකය! වරින් වර හමු වුණා, කතාබහ කළා මිසක, ඔහු සමඟ මගේ දීර්ඝකාලීන සමීප ඇසුරක් තිබුණේ නැත. එහෙත් ඈතක සිට, මම ඔහුගේ සාහිත්‍ය නිර්මාණවලින් අප්‍රමාණ වින්දනයක්ද, චින්තන ප්‍රවේශයක්ද ලබා ගතිමි. සිංහල කවීන් ඔහුට පහර පිට පහර ගසන සමයකදී, නන්දසේන රත්නපාල මහතා විසින් සංග්‍රහ කරන ලද අද්‍යතන කාව්‍ය විචාර සංග්‍රහයකට, ඔහුගේ මුල්ම කාව්‍ය ත්‍රිත්වය වන මස් ලේ නැති ඇට - අබිනික්මන - සහ රතු කැකුල ‍ගැන දීර්ඝ විමර්ශනයෙක යෙදුණෙමි. පේරාදෙණිය සරසවිය, කොළඹ කවිය කෙරෙහි දැක්වූ ආකල්පය නොපිළිගත් මම, සිරි ගුනසිංහගේ නව කවිය කෙරෙහි ද අවදි වුණු සිතින් බැඳී ගියෙමි. ඔහුගේ අපුර්වතම නිර්මාණයක් වූ ‘රතු කැකුල’ ගැන එදවස සාහිත්‍ය විචාරකයන් අනුගමනය කෙළේ නිහඬ පිළිවෙතකි. ගැඹුරු ජීවන දැක්මෙන් සුපුෂ්පිත, සංකේතාර්ථ භාවිතයෙන් අලංකෘත එකී කාව්‍යය ගැන මෙසමයෙහි වුව, පූර්ණ විවරණයක අවශ්‍යතාව පවතිනු පෙනෙයි. මන්ද යත්, එමඟින් රතු කැකුල සේවනයෙන් - අද වනාහී අයාලේ යමින් සිටින සිංහල නව කවිය ආපසු නියම මාර්ගයට ගෙන ඒමට පිටිවහලක් වන නිසාය.

“මස් ලේ නැති ඇට” කාව්‍ය සංග්‍රහයෙන් ඇරැඹුණු, නැතහොත් උත්කර්ෂයට නඟන ලද ඔහුගේ අසම්මත කාව්‍යය, අවශ්‍ය පරිණාමයට හසුව, දැන් වනාහි නව සිංහල කවිය තුළ සම්මතයක් වැන්න. මගේ කල්පනාවේ හැටියට සිරි ගුනසිංහගේ කවිය වඩාත්ම ආස්වාද කරවන්නේ, රීතියේ අසම්මතයට වඩා, ඔහුගේ කවිය අතිශයින්ම ප්‍රශ්නකාරී මාර්ගයකට අවතීර්ණව සිටි නිසාය. අවකාශ මඳ හෙයින් තැනක් දෙකක් පමණක් ගෙනහැර දක්වනු රිසියෙමි. මේ බැලුව මැනවි.

 

“උනු වැලි ආසාවෙන් සුදු වුනු
මරු කතරෙකි මිනිස් දිවිය:
පය තිබු තිබු තැන හනිකට
කර කරවයි, පුච්චයි, හම....
දුම් දම දම පැසෙන නිතර
මහ කලුගල් පොකුරු තමයි
ඔබට ලැබෙන එකම අහර.
මිනිසාය ඔබේ බලගතු නම:
මිනිහෝ, මිනිහෝ,
අසරණ මිනිහෝ.

“ඉතිහාසයෙ මිනිය කපා,
එදා පටන් බී විස පෙන්නා,
නිගමනයක් කළ හපන්කමින්
නැලැවෙන්නට,
සැනසෙන්නට,
සිතනු එපා.”
- මලවුන්ගෙන් - මස් ලේ නැති ඇට (1956)

 

“හැම දවස කෝටුවෙන්
බැලුව හොත් අවුස්සා,
පඬි කටින් ඇද හැලෙන
මෝඩ බස් මැනික් ගල්
සිය දහස් ඉලිප්පෙයි;
බැලුවහොත් හූරලා,
ඇතුල ඔක්කෝම හිස්.”
- එම

“හොඳට ඉගෙන සිල්ප සතර
ඇදුරන් හට බැල මෙහෙ කොට
මහත්තයෝ ඔබ වගේ ම
උපාධියෙන් වරම් ලබා
ආවා එළියට සිනා පුරා මූන පුරා

“දැං මගෙ අත හම ගිහිල්ල
අතේ ඇඟිලි නිල්ල තැලිල
ගල් කඩනව මං අව්වේ
ඔබට තවත් මන්දිරයක් පුදන්ට
ආලකමන්දාව වගේ

“ඩාදිය මුගුරුවලට හිමි අගය
ඔබට නොතේරේ
තෙතබරි උන රෙදි පොට යට
මොනවද ඔබ සොයන්නේ
ඇස් විදහා කට ඇරගෙන
මොනවද ඔබ හිතන්නේ බලන්නේ
මගේ දෙතන
මගේ උකුල
ගිනි ගෙන නැත
භරව ගන්න ඔබේ දෙනෙත
නොවටී ගිජුකං කරන්න
දුප්පත් තරුණ උනත් මසට.”
- ගල් කඩන තරුණිය - ආලකමන්දාව (1998)

 

නවකතාවට පැමිණි තැනේදීද, ඔහු අසම්මතවාදියෙක් වූයේය. කොතරම් ප්‍රශ්නකාරී වුවද, ඔහුගේ මුල්ම නවකතාව වන හෙවනැල්ල අද්‍යතන සිංහල නවකතාවේ නිම් වළලු පුළුල් කළ බැව් කිසිවකුවත් බැහැර කරනු බැරිය. එදවස බටහිර ප්‍රබන්ධ කලාවෙහි ප්‍රචලිතව පැවැති “විඥානධාරා රීතිය” වහරට ගෙන, ඔහු නිමවූ හෙවනැල්ලේ කතා කලාව පසුකාලීන පරපුරක් විසින් ද විචක්ෂණශීලීව වහරට ගත් බව ද අමතක කරනු නොයෙදෙයි.

සිංහල කවියත්, නවකතාවත් යන දෙතැන්හිදීම අපගේ සාහිත්‍යයේ නිම් වළලු පුළුල් කරන්නට සිරි ගුනසිංහයන් ගත් පියවර අභිවෘද්ධිකාරක වූ වග, නොමසුරුව පිළිගත යුතු කාරණයකි.

සිරි ගුනසිංහ නමැති අපූර්ව නිර්මාතෘන්ගේ විශිෂ්ට කලා කෞෂල්‍යය නොමඳව ප්‍රකාශයට පත් වූයේ, සත් සමුදුර නමැති ඔහුගේ සම්මානිත සිනමා කෘතියෙහිදීය. මෙම නිර්මාණය අපගේ සිනමා ඉතිහාසයේ තවත් මාර්ග තාරකාවක් බවට සැක නැත්තේය.

මගේ විශ්වාසයේ හැටියට, සිරි ගුනසිංහයන් නොමඳ ආස්වාදය ලැබුවේ, සිංහල චිත්‍ර කලා විමර්ශනයේදීය. ඒ අරබයා ඔහුගේ සම්ප්‍රදානය ගැන මඳ විසින් හෝ ලියන්ට, මෙහිලා අවකාශ මඳ වීම, පාඨකයාගෙන් සමාව අයදිය යුතු කාරණයකි.

සීගිරි කාශ්‍යප ගැන ඔහු ඉංගිරිසියෙන් ලියු පොත ගැන ලියන්ට ඉඩ නැතිවීම ගැන දුක් වෙමි.

සිරි ගුනසිංහ සෝර්බෝන් ගොස් ආචාර්ය උපාධි ගත්තේ සංස්කෘත බසත්, සාහිත්‍යයත් ගැන පර්යේෂණ පවත්වාය. ඔහු ශාස්ත්‍රීය කෘති කිහිපයක්ම කෙළේ ඉංගිරිසි බසිනි. එහෙත් මේ අපූර්ව ශාස්ත්‍රවන්තයා, තමන්ගේ සංස්කෘත සහ ඉංගිරිසි දැනුම ගැන බිඳක්වත් උදම්ව සිටියේ නැත. බිඳක්වත්, ඒ කිසිවක් ප්‍රදර්ශනය කරන්ට ගියේත් නැත. ඒ විතරක් නොවෙයි, බේරෙන්ටම බැරිම තැනෙක මිස, ඔහු තමාගේ නිර්මාණ ගැන ආපසු කතා කෙළේ ද නැත. ඒවා වෙනුවෙන් ශාස්ත්‍රීය හෝ සාමාන්‍ය හෝ සමාජය ඉදිරියේ වගඋත්තර බඳින්ට ගියේ ද නැත.

සිරි ගුනසිංහ යනු, තමාගේ අවංක අව්‍යාජ ශාස්ත්‍රවන්ත භාවයෙන් ඉබේටම බැබළුණු මිනිහෙකි.

මෙම අසංවිධිත සටහන නිමා කරනු අසීරුය.

සිරි ගුනසිංහයෝ, සිය “රතු කැකුල” කාව්‍යය අවසන් කෙළේ “බුදු සෙවන, බුදු සිසිල, බුදු එලිය මට දෙන්න” යන හිසින් ලියූ, අපූරු පැදිපෙළකිනි.

ඔහු එයම අවසන් කෙළේ මෙසේ ය.

“බුදු එලිය එවාලා, පියානෙනි,

කැලෑවෙහි අඳුර සුනු විසුනු කර ලන්න

වගවලස් මරු සෙනග මා මඟින් පන්නන්න

සුදු සෙවන, බුදු සිසිල, බුදු එලිය

මට දෙන්න”

ඒ සෙවණ, ඒ සිසිල, ඒ එළිය ඔහුට දෙන්නැයි අපිදු මේ මොහොතේදී ඉත සිතින් ප්‍රාර්ථනය කරමු. 

Comments