තමා තමාටම දුන් දඬුවමට රාජ්‍ය පාලකයකු ඉදිකළ එකම දාගැබ මිරිසවැටිය | සිළුමිණ

තමා තමාටම දුන් දඬුවමට රාජ්‍ය පාලකයකු ඉදිකළ එකම දාගැබ මිරිසවැටිය

ළාර රජුගේ වසර 44ක පාලනය දුරු කර මෙරට එක්සේසත් කළ දුටුගැමුණු රජු විසින් පළමුව ඉදි කළ ස්තූපය වන්නේ මිරිසවැටිය දාගැබයි. මිරිසවැටි දාගැබ ඉදිකිරීම සම්බන්ධ ප්‍රචලිත පුවතක් ඇත්තේය. ඒ දුටුගැමුණු කුමරු කුඩා කල පියාණන් වූ කාවන්තිස්ස රජුට වූ පොරොන්දුවක් අතපසුවීමකින් කඩවීමයි.

‘භික්ෂූන් වහන්සේට පළමු කොට පුද නොකර කිසිවක් ආහාරයට නොගනිමි!‘ යන්න රජතුමා කුඩා කල වූ පොරොන්දුවයි. එහෙත් රජතුමා අතපසුවීමකින් මිරිස් වැටියක් (ඇතැම් තන්හි මිරිස් මාලුවක් යන්න දක්වා තිබේ) ආහාරයට ගැනීම නිසා වූ සිත්තැවුල මග හරවා ගැනීම පිණිස මිරිසවැටිය ස්තූපය ගොඩ නංවා තිබේ.

එමෙන්ම මිරිසවැටිය දාගැබ ඉදිකිරීම සම්බන්ධයෙන් ජනප්‍රවාදයේ පැවතෙන තවත් මතයක් තිබේ. ඒ අනුව එළාරගේ පාලන සමය නිමකරමින් සම්පූර්ණ රජරටද තම අණසකට දුටුගැමුණු මහ රජතුමා විසින් නතු කර ගැනීමෙන් අනතුරුව රාජාභිෂේකයෙන් සත්වන දිනයේ අන්තඃපුර ස්ත්‍රීන් සමඟින් මහ පිරිස් පිරිවරා ජල ක්‍රීඩා පිණිස ගමන් කරන ලදී. අභිෂේක ලැබූ රජ දරුවන්ගේ සිරිත් ආරක්ෂා කිරීම වෙනුවෙන් සර්වඥ ධාතූන් වහන්සේලා සහිත කුන්තායුධය (රාජකීය සංකේතය) පෙරටු කොටගෙන මහ පෙරහරින් තිසා වැව බලා ගොස් තිබේ.

රජු ජල ස්නානයට සුදුසු ස්ථානයට ගොස් තිසා වැව ආසන්නයේ වූ අලංකාර භූමියක (මිරිසවැටි සෑ රජුන් පිහිටා ඇති බිමේ) දැඩි ආරක්ෂක රැකවල් මැද සර්වඥ ධාතූන් වහන්සේලා සහිත කුන්තායුධය මහත් ගෞරවයෙන් යුතු ව තැන්පත් කර තිබේ. කුන්තායුධය ඔසවාගෙන ගිය හේවායන් කුන්තායුධය හරස් අතට නො තබා කෙළින් අතට සිටුවා තබන ලද්දේ එය බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් පූජනීය වස්තුවක් වන නිසා ය.

ජල ස්නානය පිණිස ගිය රජතුමා තම රාජ්‍ය භාණ්ඩත්, එම ස්ථානයේ ම තබා ජල ක්‍රීඩා පිණිස නික්ම ගියේ ය. අන්තඃපුර ස්ත්‍රීන් සමඟ ජල ක්‍රීඩා කොට සවස් කාලයේ පිටත් වීමට සූදානම් වූ මහ රජතුමා “මා දැන් පිටත් විය යුතුයි, කුන්තායුධය ඉදිරියෙන් වැඩමවව්.” කියා රාජ හේවායන්ට අණ කරන ලද්දේ ය. රජතුමාගේ අණට කීකරු වූ හේවායෝ සධාතුක කුන්තායුධය පෙරටු කර ගන්නා මෙන් එය භාර රාජ්‍ය සේවකයන්ට දැන්වූහ. එහෙත් කෙතරම් උත්සාහ දැරූවත් කුන්තායුධය භාරව කටයුතු කරන රාජ සේවකයන්ට එය සොලවන්නටවත් නොහැකි විය. සෙසු භටයෝද එය ඔසවන්නට තැත් කළද එයින් පලක් නොවීය.

අදහාගත නොහැකි මේ පුදුමය බලන්නට එතැනට එක්රැස් වූ ජනතාවට අමතරව රජතුමාද එම ආශ්චර්ය දැක එයට පුද සත්කාර කළ යුතු බව දැන්වීය. සියලු රාජ සේනාවන්ද සුවඳ මලින් සධාතුක කුන්තායුධයට පූජා පවත්වන්නට විය.

දුටුගැමුණු මහ රජතුමා බොහෝ සතුටුව කුන්තායුධයට රැකවල් යොදා ඒ නොසැලී පිහිටි සධාතුක කුන්තායුධය වටකොට මනරම් සෑයක් ද ඒ සෑය වටා විශාල විහාරයක් ද ඉදි කරන්නට අවශ්‍ය සියලු පහසුකම් සලසාලී ය.

මිරිසවැටි දාගැබ ඉදිකිරීම සම්බන්ධ දෙවන මතය වන්නේ එයයි. පළමු මතය වන මිරිස් භෝජනය සම්බන්ධයෙන් වුවද මේ මතයද එයට ඈදී ඇත්තේය. දාගැබ ඉදි කිරීමේ මතය කුමක් වුවත් සියලු ම අංගයන්ගෙන් සමන්විත මිරිසවැටි විහාර කර්මාන්තය වසර තුනකින් නිමාවට පත් කරන්නට දුටුගැමුණු රජතුමාට හැකියාව ලැබුණි. එහි සියලු කටයුතුවල දී මහා සංඝරත්නයේ උපදෙස් අනුව කටයුතු කරන ලදී. එසේම මිරිසවැටි දාගැබ සසුනට පුද කිරීමේ මහා උත්සවයට දස දෙසින් මහා සංඝරත්නය වැඩම කරවා ගත්තේ ය. ඒ පින්කමට භික්ෂූන් වහන්සේලා ලක්ෂයක් ද භික්ෂුණීන් වහන්සේලා අනූ දහසක් ද වැඩම කොට වදාළ බව දැක්වේ.

එහිදී මහා සංඝරත්නය අමතා තමන්ගෙන් වූ අතපසුවීම දුටුගැමුණු රජු සිහි කළ බවද සඳහන්ය. ඒ අනුව දුටුගැමුණු රජු විසින් මහා සංඝරත්නය අමතා ‘‘ මවිසින් කුඩා කල පියාණන්ට වූ පොරොන්දුවක් ඇත්තේ ය. එහෙත් ස්වාමීනී, අතපසු වීමකින් දිනක් මම සංඝයා වහන්සේට නොපුදා මිරිස් වැටියක් වැළඳුවෙමි. මා අතින් වූ ඒ වරදට දඬුවමක් ලෙසින් සිතා ඉතා මනරම් සෑ රජුන් සහිත කොට මේ විහාරාමය කරවූයෙමි. මා කෙරෙහි අනුකම්පා උපදවා මේ විහාරය පිළිගන්නා සේක්වා.” යි කියා අතපැන් වත් කොට සංඝයා වහන්සේට විහාරය පූජා කරන්නට යෙදුණි.

මේ මහා පින්කමට වැඩමවා වදාළ මහා සංඝරත්නය උදෙසා විහාරය ඇතුළෙත්, ඒ අවටත් ඉතා අලංකාර මහා මණ්ඩප සාදා එම මණ්ඩපයන්හි ඉඩ මදි වූ හෙයින් අභය වැවේ ජල සීමාවේ පවා කණු සිටුවා මණ්ඩප ඉදි කොට මහා දන් පැවැත්වීමට දුටුගැමුණු රජතුමා කටයුතු කළ බව සඳහන් ය. එක් දිනක් දන්සල පැවැත්වීමට කටයුතු කළ රජුට පසුව එය දින තුනක් දක්වාත් එයද ප්‍රමාණවත් නොවූ විට එම දන්සල සත් දිනක්ම පැවැත්වීමට රජුට සිදු විය.

දුටුගැමුණු මහ රජු එය කිසිදු පැකිළීමකින් තොරව සිදු කරන ලදී.

මෙසේ මහා දන් පැවැත්වීමට කටයුතු කළ රජතුමා සංඝයා වහන්සේලාට බොහෝ පිරිකර ද පූජාකරන ලදී. මුලසුනේ වැඩ සිටි සංඝරාජයාණන් වහන්සේට පූජා කළ පිරිකර කහවණු ලක්ෂයක වටිනාකමින් යුක්ත වූ බව සඳහන්ය.

මිරිසවැටිය චෛත්‍යය රාජයාණන් වහන්සේ තනවන්නට පටන් ගත් දා පටන් විහාර පූජාව දක්වා තුනුරුවන උදෙසා පූජා කරන්නට යෙදුණු ධනය මහා වටිනා වස්තු අතහැර සැලකුව ද සෙසු වියදම කහවණු දහනව කෝටියක් වන්නේ ය. අතීතයේ ස්තූපයේ සතරැස් කොටුවට ඉහළින් ඡත්‍රයක් පමණක් යුක්ත වුවද පසු කලෙක ඒ වෙනුවට දේවතා කොටුව හා කොත් කැරැල්ලද එක් කර ඇත.

චෝල ආක්‍රමණයෙන් පසුව දාගැබ කඩා දැමුවද පොලොන්නරු යුගයේ මහ පැරකුම්බා රජු විසින් දාගැබ යළි ඉදි කරවා ඇත. පසු කලෙක 1 වන ගජබා රජුත් වෝහාරිකතිස්ස රජු හා පස්වන කාශ්‍යප හා නිශ්ශංකමල්ල රජුද මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කර ඇත. පසුකලෙක මෙහි ශිලා කැටයම්ද එක් කර තිබේ.

මිරිසවැටි දාගැබ ආරම්භයේදී අඩි 200ක උසකින් යුක්ත විය. පාදම අඩි 168ක් වන අතර විෂ්කම්භය අඩි 168කි. ස්තූපයේ පසෙකින් අඩි 275කින් යුක්ත මළුවක්ද පිහිටා තිබේ. මිරිසවැටියේ චූඩා මාණික්‍යය අඩි 1ක්, කොත් වහන්සේ අඩි 11ක්, කොත් කැරැල්ල අඩි 42ක්, දේවතා කොටුව අඩි 14ක්, හතරැස් කොටුව අඩි 19ක්, ගර්භය අඩි 100ක්, පේසා වළලු එකක් අඩි 12ක් ද වේ. විදෙස් ආක්‍රමණ නිසා අනුරාධපුරය ජන ශුන්‍යව පැවැති ශත වර්ෂ 7 ක පමණ කාලයේ දී මෙම දාගැබට අත් වූයේ ද අනෙක් ඒවාට අත් වූ ඉරණමය. කෙසේ වුව භික්ෂුන් වහන්සේලාට දන් පිරිනැමීම සඳහා භාවිතා කළ ගල් ඔරුවක් ද, බෝධිඝරයක් හා පටිමාඝරයක නටබුන් ද අද වනතුරු ශේෂ වී ඇත.

1979දි දාගැබේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹුවද යළි අසාර්ථක විය. විනාශයක්ද සිදුවිණි. චෛත්‍යය නැවත සාදන ලද්දේ පැරණි ආකෘතිය වටකරමිනි. එසේ වුවත් 1987 වර්ෂයේ දී එය සම්පූර්ණයෙන්ම කඩා වැටුණි. එයින් සිදු වූයේ වාහල්කඩ සියල්ල විනාශ වී යාමය. පසුව 1991 වසරේදී යළි ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹු අතර 1993දී එම කටයුතු නිමවා කොත් පලඳවන ලදි. අභිනව මිරිසවැටි ස්තුපය ගඩොල් ලක්ෂ 12ක් පමණ යොදා ගොඩ නංවන ලදී. රජ සමයේ මෙහි බොහෝ අගනා නිධන් වස්තු ධාතු ගර්භයෙහි තැන්පත් කළ බව වාර්තා වෙයි. ස්ථූපයේ මුලින් තිබුණ උස ගැන මහාවංසයේ සඳහන් නොවේ.

පසුව එය රියන් 80 (අඩි 160 ක්) උසට ප්‍රතිසංස්කරණය කරන ලදී. 1 වෙනි ගජබා රජු ස්ථූපයට කංචුකයක් කරවීය. වෝහාරික තිස්ස රජු ඡත්‍රය ප්‍රතිසංස්කරණය කොට පවුර කරවීය.

පස්වැනි කස්සප රජු ස්තූපය හා විහාරයේ සියලු ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කරවීය. පළමුවෙනි පරාක්‍රමබාහු රජු ස්තූපය රියන් 80 ක් උසට කරවීය.

මිරිසවැටිය දාගැබේ ඉතා විශිෂ්ටතම නිර්මාණය ලෙස විද්වතුන් පෙන්වා දී ඇත්තේ එහි වාහල්කඩයි. මිරිසවැටියේ බටහිර වාහල්කඩ තවමත් ආරක්ෂා වී තිබේ. ශ්‍රී ලංකාවේ දැනට ඉතිරි වී තිබෙන ඉතාම අගනා වාහල්කඩ කිහිපය අතරින් එය ප්‍රමුඛස්ථානයක් ගනී.

මේ විශිෂ්ටතම නිර්මාණයේ පද්ම සැරසිල්ල අතිශය සියුම් පෙති සහිත බොරදම, මකර මුඛ සැරසිල්ල, සත්ව රූප කල්පලතා වෘක්ෂය, ලියවැල් ආදිය අතීත සිංහල කලාකරුවාගේ සියුම් පරිකල්පන ශක්තියට කදිම උදාහරණයකි.

විශිෂ්ට තාක්ෂණ මහිමයට අගනා නිදසුනකි. ප්‍රසිද්ධ පුරාවිද්‍යාඥයකු වන ජේ. ජී. ස්මිදර් සේම මහාචාර්ය සෙනරත් පරණවිතාන ද මිරිසවැටියේ මෙම විශිෂ්ට වාහල්කඩ පිළිබඳ විශේෂයෙන් සඳහන් කර තිබේ.

මිරිසවැටි දාගැබට සිවු දෙසින් පැමිණීම පිණිස වාහල්කඩ සතරක් විය. තරමක් හොඳ තත්වයක පැවතුනේ බටහිර වාහල්කඩ පමණි. ඉදිරියට නෙරා තනන ලද විශාල කොටසකින් හා දෙපස පස්සට පන්නා තනන ලද පටු කොටස් දෙකකින් යුත් වාහල්කඩ දෙපස කොට කුලුනු දෙකක් ද ඊළඟට ඇතුළතින් උස කුලුනු දෙකක් ද විය.

කොටු කුලුනුවල ඉදිරිපස මුදුනේ අඩකව දෙකක් හා ඒ අතර රේඛා දක්වා තිබේ. ඊට යටින් පතුල දක්වා සිරස් තීරූ දැක්වේ. ඊළඟට ඇති උස් කුලුනේ වාමනයකු හිසමත තබා ගත් කලසකින් ඉහළට නැ‌ෙඟන කල්ප වෘක්ෂයක් හා එය මුදුනේ ඡත්‍රය යට මල් දම් වලින් පුදන ජය කොන්තය වෙයි.

කුලුන මුදුනේ සිංහ රූපය වෙයි. බටහිර වාහල්කඩේ මෙම කුලුන උතුරු වාහල්කඩෙන් ගෙන තිබේ.

නැතහොත් සිංහ රූප ගෙන ඇත්තේ උතුරු වාහල්කඩෙනි. බටහිර වාහල්කඩට අයත් සිවුපාවා අශ්වයාය. වාහල්කඩ පිටුපස හා කොන්වල හංස රූප පෙළක් විය. සිවුපා පන්තියේ ඇතා, අශ්වයා, ගවයා සහ සිංහයා වේ. ඔවුන් එක් අතකට ගමන් කරන විලාසයෙන් කැටයම් කර තිබේ.

අනුරාධපුර යුගයේ මුල් කාලයේ දී දාගැබ්වල කොත් කැරැල්ලක් හෝ ඒ මත කොතක් හෝ නොතිබුණි.

ඒ වෙනුවට තිබී ඇත්තේ දාගැබේ ධාතු ගර්භයේ සිට හතරැස් කොටුවෙන් ඉහළට මතුකෙරෙන යූප ගලකි. එය ඉහළ කොත ගෝලාකාර වූ ෂඩාශ්‍රාකාර ශෛලමය නිර්මාණයකි. මිරිසවැටිය දාගැබේ මෙම යූපගලේ කොටස් තවමත් දාගැබේ සල පතල මළුවේ වැටී තිබෙනු දැක ගත හැකිය. සතර වැනි මිහිඳු රජතුමා (ක්‍රි.ව. 956 - 972) මිරිසවැටියේ "චන්දන පාසාද" නමින් ගොඩනැඟිල්ලක් කරවා එහි බුදුරජාණන් වහන්සේගේ කේශධාතුන් වහන්සේ නමක් තැන්පත් කර තිබූ බව වංශකතාවල සඳහන් වේ. එකල මිරිසවැටි දාගැබ භික්ෂුණීන් වහන්සේලා වැඩ සිටි ආරාමයක් හෙවත් මහෙණි ආරාමයක් වී තිබී ඇත. මෙම ආරාමයේ දානශාලාවේ නටබුන් දාගැබ සමීපයේ ඊට ඊසාන දිගින් තවමත් දැකගත හැකිය.

ඒක පැත්තක් අඩි 70ක් පමණ වූ චතුරශ්‍රාකාර දාන ශාලාවේ පාදම බත් ඔරුව ආදිය එහි තවමත් තිබේ. දාගැබ සමීපයේම ඊට බටහිරෙන් මිරිසවැටිය ආරාමයේ පොහොය ගෙයි දැවැන්ත ශෛලමය කණු අදත් ඉතා ප්‍රතාපවත් ආකාරයට නැඟී සිටී.

මරිච්චවට්ටි යන නම පුරාතනයේ මිරිසවැටිය ස්තූපය හඳුන්වා දීමට භාවිත කර ඇති අතර අද බෞද්ධ දරුවෝ ඒ නම භාවිත කරති. හැඩයෙන් බුබ්බුලාකාර වූ මිරිසවැටි ස්තූපය ලෝකයේ රාජ්‍ය පාලකයකු තමන් අතින් වූ අතපසුවීම හෝ වරද වෙනුවෙන් තමා විසින්ම දඬුවම් පමුණුවා ගැනීමක් ලෙස ඉදිකළ ලොව පළමු හා එකම දාගැබ ද වන්නේය.


දුටුගැමුණු රජු ඉදි කළ ප්‍රථම දාගැබ නිසා මිරිසවැටිය ඉතා වැදගත්
- මිරිසවැටිය චෛත්‍යාරාමාධිකාරි ශාස්ත්‍රපති වැලිහේනේ සෝභිත හිමි

අනුරාධපුරයේ වන්දනීය ස්තූපයක් වන මිරිසවැටිය චෙත්‍යයරාජයාණන් වහන්සේ මහා පරාක්‍රමබාහු රජතුමා කළ ප්‍රතිසංස්කරණවලින් පසුව යළි වල් බිහි වී නටබුන් වී ගොස් තිබුණි.

මිරිසවැටිය දාගැබ නැවත ප්‍රතිසංස්කරණය කිරීමට 19 වැනි සියවස අගදී උත්සහ දරා තිබේ.

එසේ වූව ද එහි දී ධාතු ගර්භයේ අඩකට වඩා ඉදි කළ හැකි නොවීය.

යළි ඒ මත විශාල ගස්වැල් වැවී නටබුන් වී ගිය මේ දාගැබට බ්‍රිතාන්‍ය පාලන සමයේ සිදු වූ විනාශය අතිමහත් වේ. ඒ සඳහා හොඳම නිදසුන දාගැබේ වැලි මළුවේ නැඟෙනහිර කොටස මත අනුරාධපුර බන්ධනාගාරය ඉදිකර තිබීමයි.

වර්තමානයේ එය එතැනින් ඉවත් කර ඇතත් තවමත් එහි කොටසක් එම ස්ථානයේ තිබෙන ආකාරය අදත් දැක ගත හැකි වේ.

ඉන්පසුව 1980 දශකයේ දී නැවත මිරිසවැටිය දාගැබේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන ලදි. ඒ අනුව 1987 පොසොන් පුන් පොහොය දින දාගැබේ කොත් පැලඳවීමට සියලු කටයුතු සූදානම් කර තිබුණි.

එහෙත් ඊට පෙර දින රාත්‍රියේ පිරිත් දේශනාව අතරතුරදී දහස් ගණනක් ජනතාව බලා සිටියදීම චෛත්‍යය ගුගුරා ඇදහැලිණි. මේ බිඳවැටීමෙන් රැස්ව සිටි දහස් ගණනක ජනතාවට කිසිදු හානියක් සිදු නොවීම විශ්මය සහගත විය.

එසේ දාගැබ බිඳ වැටීමට හේතුව ලෙස බොහෝ විද්වතුන් පෙන්වා දුන්නේ නිසි පරිදි ප්‍රමිතියකින් තොරව කලබලයේ දාගැබ ප්‍රතිසංස්කරණය කිරීම බවයි.

මේ ඉතා කනගාටුදායක තත්ත්වයෙන් මිරිසවැටිය දාගැබ මුදවා යළි නිසි පරිදි ප්‍රතිසංස්කරණය කිරීමේ සම්පූර්ණ වගකීම එවකට අටමස්ථානාධිපතිව වැඩ විසූ පූජ්‍ය පල්ලේගම ඥානරතන නාහිමියන් වහන්සේ විසින් එවකට බෝ මළුව පන්සලේ වැඩ විසූ පූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරි නිවාස නාහිමියන්ට පවරා උන්වහන්සේ මිරිසවැටියේ විහාරාධිකාරි ධුරයට පත් කළහ.

උන්වහන්සේ එතැන් සිට නිසි පරිදි පුරාවිද්‍යාත්මක වාස්තු විද්‍යාත්මක උපදෙස් මෙන්ම මෙම අති පූජනීය සිද්ධස්ථාන ආරක්ෂා කරන්නේය යන විශ්වාසය සහිත අදෘශ්‍යමාන බලවේග ද මැනවින් කළමනාකරණය කරමින් දාගැබේ සියලු ප්‍රතිසංස්කරණ කටයුතු ඉතා සාර්ථක ලෙස නිම කර චෛත්‍යයේ කොත් පැලඳවීමට සමත් වූහ.

අනුරාධපුරය වන්දනා කිරීම පිණිස පැමිණෙන වන්දනාකරුවන් දුටුගැමුණු රජතුමා ඉදි කළ මිරිසවැටිය වන්දනා කිරීමටත් පැමිණීම අනිවාර්යෙන්ම කළ යුතු බව මේ කරුණු අනුව පෙනී යයි.


මිරිසවැටි ස්තූපයට ගමන් මාර්ගය

අනුරාධපුර පොලිසිය අසලින් ඇති සිත්තම්පලම් මාර්ගයේ ගමන් කරන විට හමුවන පළමුවන වටරවුම පසුකර යන විට හමුවන ඔරලෝසු කණුව අසල වට රවුමෙන් ඉදිරියටම යන විට හමුවන වට රවුමෙන් වමට හැරී ගමන් කරන විට (තිසා වැවට යන මාර්ගය) දකුණු පසින් මිරිසවැටි චෛත්‍ය රාජයාණන් වහන්සේ පිහිටා ඇත.

Comments