නර්ත­න­යට පණ දුන් යකඩ මිනිසා | සිළුමිණ

නර්ත­න­යට පණ දුන් යකඩ මිනිසා

චන්දන, වැඩිමල් පුතු මනුග, දියණිය දෙවංගි, කනිටු පුතු තනුග හා බිරිඳ දිල්හානී සමඟ
චන්දන, වැඩිමල් පුතු මනුග, දියණිය දෙවංගි, කනිටු පුතු තනුග හා බිරිඳ දිල්හානී සමඟ

ශ්‍රී ලංකාවට ආවේ­ණික වූ අමිශ්‍ර නර්තන කලා­වක් ඇත්තේ ය. වරක් අපේ නර්ත­ක­ය­කුගේ නර්තන විලා­ස­යක් දැක වශී වූ මුල්ක් රාජ් ආනන්ද් නම් වූ කීර්තිමත් භාරත පඬි­ව­රයා එය අගය කළේ “ඔබේ ඔය අපූරු නර්තන කලාව වෙනත් කිසිව­කින් කිලිටි කර­ග­න්නට එපා’ යැයි කියමිනි. රට කුඩා වුවත් අපේ නර්තන කලාවට එක් සම්ප්‍ර­දා­ය­යක් නොව උඩ‍රට, පහ­ත­රට හා සබ­ර­ගමු යනු­වෙන් තුන් සම්ප්‍රදායක් ම තිබේ. ඒ හැම නර්තන සම්ප්‍ර­දායක් ම හොඳ ශාස්්ත්‍රීය පද­න­මක් මත සකස්වී තිබීම ද විශේ­ෂ­ත්ව­යකි. අපේ වටිනා කියන බොහෝ දේ පරා­ධීන සමයේ අපට අහි­මිවී ගිය ද නර්ත­න­යට ම කැපවූ නර්තන පර­ම්පරා කිහි­ප­යක් නිසා අපේ අගනා උඩ­රට න‍ර්තන කලාව රැකුණේ ය.

මේ කතාවේ කතා නාය­කයා වන චන්දන වික්‍ර­ම­සිංහ ද පුරා වසර විසි පහ­ක­ටත් වැඩි කාල පරා­ස­යක් මුළුල්ලේ දේශීය නර්තන කලාව නූත­න­ත්වය හා මුසු කර­මින් නව මාන­යක් කරා මෙහෙ­ය­වී­මට යුග මෙහෙ­ව­රක යෙදු­ණෙකි. එහි මල් ඵල ගැනීමේ අභි­ෂේක මංගල්‍ය හෙට (පෙබ­ර­වාරි 03 දින) සවස 6.00 ට බණ්ඩා­ර­නා­යක සම්ම­න්ත්‍රණ ශාලා­වේදී ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පැවැ­ත්වී­මට කට­යුතු යොදා ඇත.

මේ තම නර්තන ප්‍රසං­ගය පිළි­බඳව චන්දන වික්‍ර­ම­සිං­හ­යන්ගේ මත­යයි:

“රංගා­ය­ත­න­යට අවු­රුදු 25 ක්. ලංකාව පුරා ශාඛා 6 ක් තිය­නවා. සිසුන් දහස් ගණ­නක් බිහි කළා. සිවු වස­ර­කට වරක් සිසු දස්කම් දක්ව­නවා. මීට වසර 8 ට කලින් ප්‍රධාන අමුත්තා වූ එව­කට ආර­ක්ෂක අමාත්‍ය ගෝඨා­භය රාජ­පක්ෂ මහතා මෙවර ජනා­ධි­ප­ති­ව­රයා ලෙස උත්ස­වයේ මුල් තැන ගන්නවා. මොර­ටුව, මාතර, මහ­නු­වර, නිට්ට­ඹුව, ගම්පහ, කඩ­වත, චන්දන වික්‍ර­ම­සිංහ රංගා­ය­තන ශාඛා­වල දරු­වන් 600 ක් මේ නර්තන ප්‍රසං­ගය වර්ණ­වත් කර­නවා; ෂෙරීන් පෙරේරා, අකිල රාජ­සිංහ, යසිත සුදේශ්, තුෂාරි කළු­බෝ­විල නර්තන ගුරු­ව­රුන් සම­ඟින්. නර්ත­නය කියන්නේ කිසි­යම් චලන සමු­දා­යක් රිද්ම­යා­නු­කූ­ලව ඉදි­රි­පත් කිරී­මයි. පර­ම්ප­රා­වෙන් පර­ම්ප­රා­වට ක්‍රමික විකා­ශ­නය වූ නර්ත­නය අද ප්‍රාසාං­ගික වේදි­කාව කරා යොමු වෙලා.”

චන්දන වික්‍ර­ම­සිං­හ­යන් එදා මෙදා­තුර පැමිණි ගමන් මඟ ගැන සිය මත­කය අවදි කළේ මෙසේය:

“චිත්‍ර­සේන කලා­ය­ත­න­යෙන් නර්ත­න­යට අත­පොත් තැබූ මා කුල­සිරි බුද­වත්ත රංගා­ය­ත­න­යෙන් 1987 වෙස් බැන්දා. මහා­චාර්ය මුදි­යන්සේ දිසා­නා­යක, රවි­බන්දු විද්‍යා­පති ගුරු­ව­රුන් සමී­පයේ සාම මුද්‍රා නාට්‍යයේ මුද්‍රා නාට්‍ය ශිල්පියා ලෙස වසර 8 ක් කට­යුතු කළා. ඉන්දි­යාවේ විශ්ව භාරත විශ්ව­වි­ද්‍යා­ල­යෙන් කථ­කලි නර්ත­නය හදා­රන්න යන්නේ අවු. 28 දී. වසර 4 ක් කථ­කලි ප්‍රගුණ කරපු මම බොහෝ දේ ඉගෙන ගත්තා, කථ­කලි නැටු­මෙන් පව­සන්නේ කත­න්ද­ර­යක්. අපේ නැටු­ම්වල අඩංගු වන්නේ නෘත්‍ය නාට්‍යය. අත්ව­ලින් පාද­ව­ලින් කරන චලන. කථ­කලි නාට්‍ය­ව­ලින් මින් එහා ගිය රංග­න­යක් නිරූ­ප­ණය වෙනවා. අත්පාවලින් විවිධ චලන පාන අතරේ මුහු­ණින් සාත්වික අභි­නය, ශෘංගා­රය, වීර රසය, ඈ නොයෙ­කුත් හැඟීම් මව­මින් මුහු­ණින් කථා­වක් කිය­නවා. නාට්‍ය කියන්නේ අර සිය­ල්ලත් වච­න­යත් සම­ඟින් බද්ධ වූ රංගන වින්‍යා­ස­යක් භරත මුනි­ව­ර­යාගේ නාට්‍ය ශාස්ත්‍රයේ වැඩි­පුර ම අන්ත­ර්ගත වන්නේ නාට්‍ය ගැනයි. නර්ත­නය අනු අංග­යක් පම­ණයි. නන්දි­කේ­ෂ්ව­ර­ග­තික අභි­නය දර්ශ­නය මූලික වෙලා තියෙන්නේ නැටුම් ගැන. ඇත්ත­ටම මාව නිර්මා­ණය වන්නේ සාම්ප්‍ර­දා­යික උඩ­රට නැටුම්, සාම්ප්‍ර­දා­යික පහ­ත­රට ලාංකික අන­න්‍ය­තාව ඇති හා ඉන්දි­යාවේ නාට්‍ය, නැටුම් සම්මි­ශ්‍ර­ණ­යක් ලෙසි­නුයි. මේ නෘත, නෘත්‍ය නාට්‍ය සම්මි­ශ්‍ර­ණ­යෙන් නව නෘත්‍ය සම්ප්‍ර­දා­යක් ගොඩ­නැ­ඟී­මයි මගේ ප්‍රය­ත්නය. චිත්‍ර­සේ­න­යන්, පණි­භා­ර­ත­යන්, රවි­බන්දු රැජිනි සෙල්වනායගම් විද්‍යා­පති වැනි ප්‍රවී­ණ­යන් ඇසුරේ නර්ත­නය හැදෑ­රී­මෙන් අන­තු­රුව, එහි ශාස්ත්‍රීය හැඩ­තල ප්‍රගුණ කරන්න තමයි ඉන්ද­යාවෙ විශ්ව භාර­ත­යට යන්නේ.”

1930 ගණ­න්වල රවී­න්ද්‍ර­නාත් තාගෝර් ලංකා­වට එවන් ෂාප් මෝචන් (සිහි­නය) මුද්‍රා­නාට්‍ය, ගීත නාට්‍ය හඳුන්වා දුන්නා. ප්‍රේම­කු­මාර එපි­ට­වල, වසන්ත කුමාර වැන්නන් විශ්ව භාර­ත­යට ගිහින් අපේ නැටු­මට යමක් එකතු කර ගත්තා. චිත්‍ර­සේන මහතා සම්ප්‍ර­දා­යන් රකින ගමන් උසස් ස්වභා­වික නර්තන කලා­වක් බිහි කර­නවා. වේදි­කාව මත චිත්‍ර­සේන මහතා නිර්මා­ණය කරන ලද සුභා­විත නාට්‍ය කලාව තුළ ලංකාවේ මුද්‍රා නාට්‍ය කලාව බිහි වෙනවා. මහා­චාර්ය මුදි­යන්සේ දිසා­නා­යක, චිත්‍ර­සේ­න­යන්, පණි­භා­ර­ත­යන්, වසන්ත කුමා­ර­යන් වැනි ප්‍රවී­ණ­යන් විසින් මුද්‍රා නාට්‍ය කලා­වට විශාල සේව­යක් කර­නවා.‍

1977දි විවෘත ආර්ථි­කය ආවට පස්සේ ලංකාවෙ සංස්කෘ­තිය උඩු යටි­කුරු කර­නවා. අපට හොඳ දේ වගේම නරක දේත් ලැබෙ­නවා. මෙහි ප්‍රති­ඵ­ල­යක් වශ­යෙන් එදා පටන් අද දක්වාම වැඩි­පු­රම බිහි වුණේ අව­ර­ග­ණයේ නිර්මා­ණ­ක­රුවෝ. ඇහැ පින­වන අඩ නිරු­වත් ශුංගා­රා­ත්මක නැටුම් වලින් ශ්‍රී ලංකාව හිතු­වා­ටත් වඩා පහත් මට්ට­ම­කට දම­මින් තමයි මාධ්‍ය මඟින් ඉදි­රි­පත් කරන්නේ. නමුත් සංස්කෘ­තික දෙපා­ර්ත­මේ­න්තුව, පාසල්, කලා­ය­තන, විශ්ව­වි­ද්‍යාල පද්ධ­තිය තුළ අපේ නැටුම රැකෙ­නවා.

නමුත් පෞද්ග­ලික අංශ­යෙන් නර්ත­න­යේදී අපේ විනය පිරි­හෙ­නවා. පාසල්, දහම් පාසල් දැරි­යන් තන­ප­ටය, කොට කලි­සම අඳි­මින් නටන තර­මට සමා­ජය පිරි­හිලා. මේවාට අම්ම­ලත් වග­කි­යන්න ඕනෑ. මේ අඩ­නි­රු­වත් නර්ත­න­යෙන් මම බැහැර වුණත් මට වැඩ අඩු­වක් නැහැ.” ශාස්ත්‍රීය චලන වගේම ලංකා­වට දැන් පැමිණ තියන නව නර්තන සම්ප්‍රදා ගැන කතා කර­න්නත් චන්දන අම­තක කළේ නැහැ.

“රියැ­ලිටි නර්තන තරග මාධ්‍ය කලා­වට ඇවිත්. ඒවත් නරක නැහැ. අද තරුණ දරුවෝ වෙන­දාට වඩා ඇඩ්වාන්ස්. තොර­තුරු හඹා­ය­මින් විවිධ දේ අත්හදා බල­නවා. චලන සොයා යෑමේ ප්‍රග­ම­න­යක් තිය­නවා. උතුරු ඇමෙ­රි­කාව, දකුණු ඇමෙ­රි­කාව, ස්පාඤ්ඤය, අප්‍රි­කාව වගේ රට­වල චලන ගැන අධ්‍ය­ය­නය කරන්න ලංකාවෙ අයත් පෙල­ඹිලා. ඒ නිසා මේ වන විට හිපොප් ඩාන්ස්, සලසා, ලතින් අප්‍රි­කානු චලන එකතු කරලා ලංකාවෙ අලුත් පර­පුර වෙනස්ම නර්තන රැල්ලක් බිහි­ක­ර­ගෙන හමා­රයි. නමුත් ඇස දුටු පම­ණින් මේ චලන සොර­කම් කර­ගෙන හැදෑ­රී­ම­කින් තොරව ඉදි­රි­පත් කළත් කලක් පව­තින්නෙ නැහැ. කෙවින් නුගාරා වැනි ලතින් අමෙ­රි­කානු නර්තන ශිල්පීන් මේවා මැන­වින් හදා­රලා තිය­නවා. අපි හැම නර්ත­නාං­ග­ය­ක­ටම ගරු කළ යුතුයි. අලුත් දේ එකතු කර ගත්තාට කමක් නැහැ; අපේ­කම අම­තක නොකර?

එදා මෙදා­තුර ඔහුගේ නර්තන ජීවි­තය හා සබැ­ඳුණු සුවි­ශේෂ සිදු­වීම් ගැන චන්දන මෙහෙම සිහි­පත් කළා:

“බෙල­රෂි­යාවේ බෝල්පෝයි රඟ­හලේ නර්ත­න­යක් ඉදි­රි­පත් කරන්න ලැබීම මට ලැබුණු සුවි­ශේෂ අව­ස්ථා­වක්.

ලෝකයේ ප්‍රධාන පෙළේ නර්තන ගැණු­ම්ක­රු­වන් වන අම්බානි පිරා­මල්, මයිලේ මැක්ඩො­නල්ඩ් අක්බාර්, අල් බේකර් වැනි ලෝකයේ ප්‍රක­ටම ව්‍යාපා­රි­ක­යන් සමඟ නර්තන ගනු­දෙනු කරන්න ලැබී­මත් විශේෂ වූවක්. ලෝකයේ රට­වල් 76 සමඟ අපි නර්තන ගනු­දෙනු කර­නවා; දේශී­ය­ත්ව­යත් රැක­ගෙ­නම. මෑත­කදි අපට අව­ස්ථා­වක් ලැබුණා රාමා­ය­නය උපන් රටේදී රාමා­ය­න­යට අභි­යෝග කරන්න; Story 08 Seetha තුළින්. සීතා­වගේ පති­ව­තට අභි­යෝග කළ රාමාට අපි ‍මේ කතා­වෙන් අභි­යෝග කර­නවා; රාවණා කියන්නේ ස්ත්‍රීන්ට ගරු කරන පුරු­ෂ­යෙක් කියලා.”

චන්දන වික්‍ර­ම­සිං­හ­යන් එදා මෙදා­තුර පැමිණි දිගු ගමන් මඟේ ඔහුගේ ජය­ග්‍ර­හණ පිටු­පස සිටින පිරිස ගැන සිහි­පත් කර­න්නත් ඔහු අම­තක කළේ නැහැ:

“මට අවු­රුදු පහක් තරම් පුංචි කාලේ ඉඳන් මාව නැට්ටු­වෙක් විල­සට අම්මා, තාත්තා, ලොකු මාමා හා ප්‍රභාත් අයියා මාව නිර්මා­ණය කර­නවා. අවු­රුදු 30දි දිල්හා­නිට මාව බාර දුන්නාම මෙතෙක් ක්‍රමා­නු­කූ­ලව රැක­ගෙන ආපු දේ පිළි­වෙ­ළ­කට හදා­රන්න දිල්හානි මට උදව් කර­නවා. ලේක්හ­වුස් ආය­ත­නයේ දින­මිණ පුව­ත්පතේ මාධ්‍ය­වේ­දි­නි­යක් වූ ඇය රැකි­යා­වෙන් ඉවත් වෙලා මට පවුලේ බර නොදී දරු­වන් හදා­ගන්න උදව් කර­නවා. මාධ්‍ය නැත්නම් මෙප­මණ දුර එන්නත් අමා­රුයි. මගේ මුල් ම ලිපිය පළ­වු­ණේත් සිළු­මිණ පත්තරේ. මේ ආය­ත­නය රැක ගත්තේ ෂෙරින් පෙරේරා ගුරු­තු­මි­යයි. ගණ­කා­ධි­කා­රි­ව­ර­යෙක් වූ ඇයගේ සැමි­යාගේ සහ­යෝ­ගය ඇතිව සළඹ ප්‍රසං­ගය තුන්වරක් පව­ත්වන්න හැකි වුණා. ඇත්ත­ටම මෙවර සළඹ ප්‍රසං­ගයේ නිමි­ත්තත් ඇයට උප­හාර කිරී­මයි.”

චන්ද­නගේ දුව දෙවංගි තමෝද්‍යා වික්‍ර­ම­සිංහ ඕස්ට්‍රේ­ලි­යාවේ වෙස්ටන් සිඩ්නි සර­ස­වියේ තෙවන වසර ශිෂ්‍යා­වක්. තොර­තුරු තාක්ෂ­ණය හා සයි­බර් අව­කා­ශය තමයි දෙවං­ගිගේ විෂය පථය. තනුග, මනුග නිවුන් පුතුන්, ලයි­සි­යම් ජාත්‍ය­න්තර පාසලේ 6 වසරේ ඉගෙන ගන්නවා. දෙවං­ගිත් දක්ෂ නර්තන ශිල්පි­ණි­යක්. මේ වන විට චන්දන දෙස්, විදෙස් සම්මාන රැස­කින් පිදුම් ලබලා තිය­නවා. 2012, 2018, 2019 ‍හොඳම චිත්‍ර­පට නර්තන අධ්‍ය­ක්ෂ, 2019 ජනා­ධි­පති සම්මා­නය, විශේෂ ජූරි සම්මාන, 2016දි බ්‍රිස්ලා සම්මා­නය ආදී වශ­යෙන්.

“මට ලංකාවෙ අංක එක වෙන්න ඕනෙ නැහැ. උතුරේ සිට වැදි ජන­තාව දක්වා ජන­තාව මාව හඳු­න­නවා. ජනතා ප්‍රසා­දය ඉහ­ළින් තිය­නවා. මේ වන­විට චිත්‍ර­පට 24කට දායක වෙලා තියෙ­නවා. කුස­පබා, පත්තිනි, යශෝ­ධරා, අලි කතා­ව ඉන් ප්‍රධා­නයි. මයුර සන්දේශ මුද්‍රා නාට්‍යය 2005දි නිර්මා­ණය කළා. රාමා­ය­නය, කුවේණි මුද්‍රා නාට්‍ය දෙකම ලෝකයේ ඕනෑම තැනක පෙන්වන්න පුළු­වන්.” චන්දන වික්‍ර­ම­සිංහ නර්ත­න­වේ­දියා පිළි­බ­ඳව එදා මෙදා­තුර ඔහුට සමීප කිහිප දෙනෙ­කු­ගෙන් ම අද­හස් විම­ස­න්නට සිතුණේ මේ ගමන ගැන බාහිර පාර්ශ්ව­යන්ගේ දැක්ම ඔහුට ඉතා වැද­ගත් වන නිසයි.

රාජ­ගි­රියේ පදිංචි සිතිර වික්‍ර­ම­සේ­කර මහතා චන්ද­නගේ පාසල් මිතු­රෙක්. ක්‍රිස් ගෲප් ඔෆ් කම්පැනි ආය­ත­නයේ විධා­යක අධ්‍යක්ෂ ලෙස කට­යු­තු­ ක­රන ඔහු චන්දන ගැන අතීත මත­කය ආව­ර්ජ­නය කළේ මෙහෙ­මයි:‍

“චන්දන ඒ කාලේ ඉඳ­ලම නැටු­ම්ව­ලට හරි දක්ෂයි. විද්‍යා විෂය ධාරාවෙ හිටි­යට මොකද හිත තිබ්බෙම නැටු­මට. කොයි­වෙ­ලෙත් නට­නටා ඉන්නෙ ඉගෙන ගන්නෙ නැද්ද කියලා ගුරු­ව­රු­න්ගෙන් බැනුම් අහ­ලත් තියෙ­නවා. ඕනෑ කෙන­කුට උදව් කර­නවා. හැබැයි අන­වශ්‍ය විහිළු කළොත් කේන්ති යනවා. හිත හොඳයි. කුඩා දේවිකා කියලා මගේ තාත්තා ලියූ පොතක් එළි­ද­ක්වන උත්ස­වය ඔහු සංවි­ධා­නය කළේ ලක්ෂ ගාණක් වැය කර­මින්. චන්දන හරිම සර­ලයි. අපේ චන්දන සැබෑ දක්ෂ­යෙක්. ඇත්ත­ටම අති දක්ෂ­යෙක්.”

ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර විශ්ව­වි­ද්‍යා­ලයේ බාහිර කථි­කා­චා­රිනී චන්ද්‍ර­කාන්ති ශිල්පා­ධි­පති මහ­ත්මිය තම ශිෂ්‍යයා ගැන පව­සන්නේ මෙවැ­න්නක්:

“චන්දන බොහොම නිහ­ත­මානිව ‍ගෝලයෙක්. පිය­සාර ශිල්පා­ධි­ප­ති­ගෙන් ශාස්ත්‍රීය නැටුම් ඉගෙ­න­ගන්න ආවා. මම ඔහු­ගෙන් දැක්ක විශේ­ෂ­ත්වය තමයි ඉගෙන ගැනී­මට, ඔහුගේ තිබුණු උන­න්දුව. හැම දෙයක් ගැනම විම­සි­ලි­මත් ව සොයා බල­මින්, ගවේ­ෂ­ණය කර­මින් තමයි අධ්‍ය­යන කට­යුතු කළේ. අද කලා ලෝකේ ඉහළ තැනක ඉන්නෙ ඒ නිසයි. ඒ කාලේ තිබුණු ගුරු ගෞර­වය අද­ටත් එහෙ­මයි. මුදල් පසු­පස දුවන්නෙ නෑ. කියන්න ති‍යෙන දේ ඍජු­වම කිය­නවා. සම­හ­රුන්ට දිර­වන්නෙ නැත්තෙ ඒකයි. ගෞරව කළ යුත්තන්ට ගරු කර­නවා. චන්දන එක­තැන පල් නොවී බොහෝ දේ අලු­තින් නිර්මා­ණය කළා. ඔහු හොඳ සැමි­යෙක් දිල්හා­නිට. දරු­වන්ට හොඳ පියෙක්. හොඳ වින­යක් ඇති­වයි ඔහුගේ රංගා­ය­ත­නය පව­ත්වා­ගෙන යන්නේ. මනා සංවි­ධාන පෞරු­ෂ­යක් ඔහුට තිය­නවා.”

සෞන්දර්ය කලා විශ්ව­වි­ද්‍යා­ලයේ ජ්‍යෙෂ්ඨ මහා­චාර්ය මුදි­යන්සේ දිසා­නා­යක මහ­තාගේ අද­හස් අප විම­සුවේ ජ්‍යෙෂ්ඨ­යකු ඔහු පිළි­බ­ඳව කුමක් කියවා ගන්නේ ද යන්න වටහා ගැන්මට ය:

“චන්දන නර්තන ක්ෂේත්‍රයේ අපි නිතර දකින අයට වඩා ඉහළ තල­යක සිටින කෙනෙක්. ඔහු තරම් දක්ෂ ලෙස ප්‍රසංග වේදි­කාවේ නිර්මාණ කරන කෙනෙක් මා දැකලා නැහැ. දේශීය නැටුම් සම්ප්‍ර­දාය හා කථ­කලි එක්ක­ර­මින් අන්ත­ර්ජා­තික තලයේ ජය­ග්‍ර­හණ ලබලා තිය­නවා. ඔහුගේ ගමන් මඟ ප්‍රශං­ස­නී­යයි.”

සුමිත්‍රා රාහු­බද්ධ මහ­ත්මිය චන්දන ගැන මෙසේ කීවාය:

“ඉතා ම දක්ෂ නැට්ටු­වෙක් විත­රක් නෙමෙයි; හැකි­යා­වෙන් සපිරි නළු­වෙක්. සතර අභි­න­යන්, හැඟීම් ප්‍රකාශ කිරිම් ඉහ­ළින් ම දෘෂ්‍ය­මා­නයි. ඔහු රංග වින්‍යා­සය, නර්තන වින්‍යා­සය වගේම හොඳින් පොත­පත පරි­ශී­ල­නය කළ කෙනෙක්. ඔහු වැනි දක්ෂ නිර්මාණ ශිල්පි­යෙක් රටට ආඩ­ම්බ­ර­යක්.”

ඔරේන්ජ් එලි­ෆන්ට් හොස්පි­ටැ­ලිටි මැනේ­ජ්මන්ට් ආය­ත­නයේ උප­ස­භා­පති දයාල් ප්‍රනාන්දු මහතා මෙසේ කීය.

“චන්දන බොහොම හොඳ කුස­ලතා පූර්ණ නැට්ටු­වෙක්. ඒ කාලයේ හෝටල් ක්ෂේත්‍රයේ නාට්‍ය සඳහා නවීන් ගුණ­රත්න ප්‍රමුඛ සාම බැලේ කණ්ඩා­යම හා ඔහු සම්බන්ධ වුණා. එදා ඔහු තුළ තිබූ විනය අදත් එහෙ­ම­මයි. පසු­කා­ලී­නව චන්දන තමාරා රුහුණු බැලේ වල­දිත් මා ආශක්ත වුණේ චන්ද­නගේ නැටු­ම්ව­ලට. ඔහු ඉගෙන ගැනීමේ පිපා­ස­යෙන් පෙළෙ­න්නෙක්. හරි ඉක්ම­නට බොහෝ දේ ඉගෙන ගන්නවා. තාරා වන්නම හරි ලස්ස­නට කළා. හෝටල් ක්ෂේත්‍ර­යෙත්, පිට­ර­ට­ව­ලත් ප්‍රච­ලිත වුණත් මුල අම­තක කළේ නැහැ. චන්දන කියන්නේ කළු­ග­ලක් දුන්නත් නට­වන්න පුළු­වන්, බෙල්ල ගහලා ගියත් කිව­යුතු දේ කෙලින් කියන මෙතෙක් බිහි­වුණු හොඳම නර්ත­න­වේ­දියා කියන්න පුළු­වන්.”

චන්දන වික්‍ර­ම­සිං­හ­යන් හා නර්ත­නය එකක් මෙන් සබැඳි වී ඇත්තේ ඔහුගේ මේ අප්‍ර­මාණ කැප­වීම නිසා නොවෙද?

සේයාරූ - නිශංක ද සිල්වා

Comments