
ජාතික සමගිය නැත්නම් වාර්ගික සුහදත්වය ගැන කතාබස් කරන බොහොමයක් දෙනෙක් එහෙම කරන්නෙ මොකක් හරි ප්‍රතිලාභයක් අපේක්ෂාවෙනි. ඇතැමෙක් දේශපාලන වාසි කතා සාමය, සංහිඳියාව ගැන උගුරු ලේ රහ වෙනකම් බෙරිහන් දෙයි. එහෙම කෑ ගහන විට ටීවී කැමරා ටිකක් හා මාධ්‍යවේදීන් කණ්ඩායමක් තමන් වටා ගොනු කර ගන්නත් අමතක කරන්නෙ නැත.
තවත් පිරිසක් වාර්ගික අර්බුදය ව්‍යාපාරයක් බවට පත් කරගෙන සිටී. හිඟන්නගෙ තුවාලෙ වගේ ජාතීන් අතර අසමගිය හා වාර්ගික ගැටුම් වගේ දේවල් ඒ උදවියට ගජ වාසි සලසන ධන උල්පත්ය. මේ දෙවර්ගයටම වඩා වෙනස් මගක ගමන් ගත් පිරිස වන්නේ ලේඛකයන් හා කලාකරුවන්ය. ඔවුන් කිසිම ප්‍රතිලාබ අපේක්ෂාවකින් තොරව ජන හදවත්වල සහෝදරත්වයේ පහන් සිළු දල්වන්න ඇප-කැප වෙයි.
මෙවර මිතුරු පවුරට උපාලි ලීලාරත්න ලේඛකයා ගැන ලියන සටහන වෙනුවෙන් ඉහත කී පූර්විකාව ලිව්වේ හේතු කිහිපයක් පෙරදැරිවයි. ලංකාව කියන්නෙ වාර්ගික ගැටලු හේතුවෙන් දශක තුනක විතර කාලයක් දැඩි පිඩනයකට අහුවෙලා හිටපු රටකි. ඒ නිස්කාරන යුද්ධය හේතුවෙන් වටිනා මිනිස් ජීවිත ලක්ෂ ගණනක් අපේ මවුබිමට අහිමි වුණි. විනාශ වී ගිය ජාතික සම්පත් රාශියේ වටිනාකම අදටත් තක්සේරු කරන්න බැරි තරම්ය. මොන විදිහෙන් හරි යුද්ධය නිමාවට පත් වෙලත් දැන් දශකයක විතර කාල පරාසයක් ගෙවී ගොස්ය. බෙදුම්වාදී යුද්ධය පරාජයට පත්ව තිබුණත් ඊට පිටුබලය දුන් මතවාදය අදටත් විටින් විට මතු වන බවක් අපි අමතක නොකළ යුතුයි.
මතවාදීමය වශයෙන් බෙදුම්වාදී බලවේග පරාජය කරන තුරු වාර්ගික විරසකභාවය සපුරාම මුලින් උපුටා දැමීම ප්‍රායෝගිකව කළ නොහැක්කක් බවට ඉතිහාසය සාක්ෂි දරයි. බෙදුම්වාදී මතවාදය පරාජය කිරීමේ එක් ප්‍රධාන මෙවලමක් වන්නෙ සාහිත්‍ය කලාවයි. අවුරුදු තිහක විතර කාලයක් පුරා පැවති යුද ගැටුම් හේතුවෙන් මෙරට ප්‍රධාන ජන කණ්ඩායම් වන සිංහල, දෙමළ හා මුස්ලිම් ප්රජාවන්ගේ හදවත් වල හටගත් සැකයේ හා භීතියේ වණ කැළල් තවමත් මැකී ගොස් නැත. ඒවා මකාදමා සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ හදවත්වල මිත්‍රත්වයේ සවිමත් පවුර ගොඩනැගිය හැක්කේ ලේඛකයන්ද ඇතුළු කලාකරුවන්ටයි. උපාලි ලීලාරත්න වැනි ලේඛකයෙක් අපට වැදගත් වන්නේ මේ පසුබිම මතයි.
වාර්ගික යුද්දයේ යථාර්ථය මනා ලෙස තේරුම් ගනිමින් වර්ගාන්තර සුහදත්වය තහවුරු කිරීම වෙනුවෙන් සිය සාහිත්‍ය ජීවිතය කැප කළ සහෘද ලේඛකයකු වන උපාලි ලීලාරත්න අපෙන් සදහටම සමුගෙන වසරක් සපිරුණේ පහුගිය ජූලි මාසයේය. උපාලිව ළඟින් ඇසුරු කිරීමට මට අවස්ථාවක් ලැබුණේ වාර්ගික සුහදත්වය අරමුණු කරගත් සාහිත්‍ය කාර්යයන් ගණනාවකදී ඔහු සමග අත්වැල් බැඳගැනීමට මටද වාසනාවක් පෑදුණු නිසයි. සිංහල දෙමළ ලේඛක එකමුතුව පළ කළ දීප සඟරාවේ සංස්කාරක ධූරය නිරායාසයෙන්ම උපාලිට පිරිනැමුණේ සිංහල, දෙමළ භාෂා දෙකම මනා සේ හැසරවීමට ඔහු සතුව පැවති වෙසෙස් හැකියාව නිසයි. එසේම ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශය සමඟ සහයෝගයෙන් එළි දැක්වූ කාලීන සිංහල හා දෙමළ කෙටිකතා කෘති ද්වයේ පරිවර්තන කටයුතු වලදි වැඩි බරක් ඉසිලුවේ උපාලි බවත් ඔහුගේ දායකත්වයට කෙරෙන ප්රණාමයක් වශයෙන් සඳහන් කළ යුතුයි.
මගේ හැඟීම වාර්ගික සමගිය උදෙසා උපාලිගේ උදාරතම මෙහෙවර සිදු වුණේ වැඩි සද්දයක් බද්දයක් නැතිව පළ කළ ස්වතන්ත්‍ර හා පරිවර්තන සාහිත්‍ය නිර්මාණ ඔස්සේ බවයි. උතුරු නැගෙනහිර දෙපළාතේ මෙන්ම කන්ද උඩරට වතුකරයේ දෙමළ සාහිත්‍යකරුවන් වැඩි සංඛ්‍යාවක් සිංහල ප්‍රජාවට හඳුන්වා දිමේ පුරෝගාමියා උපාලි ලීලාරත්න බවට විවාදයක් නැත. නිර්මාණ සාහිත්‍යයට අමතරව ඔහු රචනා කළ වතු කම්කරුවන්ගේ ජන ජීවිතය හා සංස්කෘතිය, හින්දු සිරිත් විරිත් හා දෙවිවරු වගේම සිංහල අර්ථ සහිත අත්‍යවශ්‍ය දෙමළ වචන වැනි පර්යේෂණාත්මක කෘති විශ්ව විද්‍යාලයක් වැනි ආයතනයකින් සිදු කෙරිය යුතු ශාස්ත්‍රීය සේවාවක් තනි පුද්ගලයකුගේ හැකියාව මත ඉටු කෙරුණු අවස්ථාවක් හැටියට හැඳින්වීමට හැකිය.
රෝ රකුසාගේ කුරිරු හස්තය විසින් අකාලයේ ඔහු අපගෙන් උදුරා නොගන්නට මානවහිතවාදී සාහිත්‍ය කලාවක් බිහි කිරීම වෙනුවෙන් උපාලි ඉටු කිරීමට සිතා සිටි වැඩ කොටස මෙපමණකැයි කිව නොහැකිය. ලංකාවේ සාහිත්‍ය බලධාරින්ට හා අධිපති මතධාරින්ට උපාලි එතරම් නොතැකිය යුතු චූල ලේඛකයෙක් වුණාට අසල්වැසි භාරත දේශයේ සාහිත්‍ය ආයතන ගණනාවක් උපාලි එහි කැඳවා සම්මාන වලින් පිදූ බව දන්නේ ඔහුට සමීපව සිටි අතලොස්සක් පමණයි. මරණයේ සෙවණැල්ල දැක දැකත් උපාලි ඔහු සේවය කළ ගොඩගේ පොත් මැදුරට ගොඩවැදුණේ තමා දිවි දෙවෙනි කොට සැලකූ ජාතික මෙහෙවර වෙනුවෙන් එක් වචනයක් හෝ ලියන්නට ඔහු තුළ පැවති අපමණ කැමැත්ත නිසයි.
උපාලි ලිලාරත්න මිතුරා වෙනුවෙන් මිතුරු පවුරේ තබන මේ පුංචි සටහන ඔහු කළ ජාතික මෙහෙවර හා සසඳා බලන කල හඳට පන්දමක් ඇල්ලීමට සමාන වුවත් මානවහිතවාදී සාහිත්‍යයක් පතන සියලුම ලේඛකයන්ගේ හදවත් වල පහන් සිතුවිල්ලක් උත්පාදනය කිරීමට මේ වදන් පොකුරට හැකි වේවායි මම ප්‍රාර්ථනා කරමි.