අකාලයේ මද්දට දිවි දෙන සංචාරකයන්ගේ දියමන්තිය | සිළුමිණ

අකාලයේ මද්දට දිවි දෙන සංචාරකයන්ගේ දියමන්තිය

  • කොටි මරණවලින් 60%ක් මදුවලට හසුවීමෙන්
  • යාල හා විල්පත්තු අභය භූමින් තුළ විශාලතම කොටි ගහනයක්
  • කොටියා ලංකාවේ රතු දත්ත පොතට ඇතුළත් වන්නේ 2008 වසරේදී
  • දැඩි අවදානමකට මුහුණ දෙන්නේ කඳුකර කොටි
  • වසර 14ක් තුළ කොටි මරණ 125ක්

ශ්‍රී  ලංකාවේ ජීවත්වන අංක එකේ ක්ෂීරපායී විලෝපිකයා (Predator) වන්නේ ශ්‍රී ලංකා කොටියාය. ඉහළ සංචාරක ආකර්ෂණයක් දිනාගත් සත්ත්වයකු වශයෙන් කොටියා දැඩි ලෙස සංරක්ෂණයට ලක්කළ යුතු සත්ත්වයකු වන්නේ ලංකාවට ආවේණික වූ මේ Panthera padus kotiya හෙවත් ශ්‍රී ලාංකික කොටියා වර්තමානයේ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වඳවී යාමේ තර්ජනයට නතුව ඇති හෙයිනි. අගෝස්තු පළමුවැනිදා ලංකාවේ කොටියාට වෙන් වූ දිනයකි. එසේ දිනයක් වශයෙන් වෙන්වුව ද කොටියා තර්ජනයට ලක්වන්නේ අද ඊයේ සිට නොවේ. IUCN දත්ත වාර්තාවන්ට අනුව කොටියා රතු දත්ත ලැයිස්තුවට ඇතුළත් වන්නේ 2008 වසරේදීය.

අද වන වසර 15 ක් ගෙවී යාමට ආසන්න වුවද තවමත් මොවුන් වඳ වී යාමේ දැඩි අවදානමට ලක් වූ (Vulnerable) සත්ත්ව විශේෂයකි. වනජීවි දෙපාර්තමේන්තුව හා ස්වභාව ආරක්ෂණ සංගම් දත්තයන්ට අනුව 2010 වසරේ සිට මේ දක්වා කොටි 125 දෙනෙක් දිවි හැර ගොස් ඇත්තේ මිනිසුන්ගේ විවිධ ක්‍රියාකාරකම් හේතුවෙනි. එහෙත් ඒවා වාර්තාපිත කොටි මරණ පමණක් වන අතර මේ පිළිබඳ දිගින් දිගටම අවධානයට ලක්කරන ශ්‍රී ලංකා වන සත්ත්ව හා ස්වභාව ආරක්ෂණ සංගමය පවසන්නේ එසේ වාර්තා නොවූ කොටි මරණ මෙන්ම හේතු අපහැදිලි වූ කොටි මරණ ද තවත් බොහෝමයක් පවතින බවය.

සංචාරකයන්ගේ මන බන්ධන මහාර්ඝ වස්තුවක් වූ කොටි පහසුවෙන් දැකගත හැකි ලොව එක් සංචාරක ගමනාන්තයක් වන්නේ ශ්‍රී ලංකාවයි. ලොව ප්‍රධාන උප විශේෂ 9න් එකක් වූ Panthera padus kotiya හෙවත් ලංකාවේ කොටියා අපටම ආවේණික වූ සත්ත්වයෙකි. සමස්ත ලංකාවම ආවරණය වන පරිදි කොටි සංගණනයක් සිදුව ඇත්තේ 2015 වසරේදි වන අතර එම සංගණනයට අනුව මෙරට වනජීවී කලාප තුළ කොටි 700 - 950 අතර සිටින බවට අනුමාන කෙරේ. මේ කරුණ තවදුරටත් සනාථ කරමින් අපේ පරිසර සංරක්ෂකයන් පවසන්නේ වැඩුණු කොටි 800- 1000ක් අතර වර්තමානයේදී ද වනජීවි කලාප තුළ සිටින බවට අනුමාන කළ හැකි බවයි.

ශ්‍රී ලංකාවේ යාල හා විල්පත්තු ජාතික අභය භූමි තුළ ලංකාවේ විශාලතම කොටි ගහනය වාර්තා වේ. එසේම ශ්‍රී ලංකාවේ විල්පත්තු ජාතික වන උද්‍යානය කොටි නැරඹීම සඳහා සංචාරකයන් අතර ඉමහත් ප්‍රසිද්ධියක් උසුලයි. කොටි සම්බන්ධ සමීක්ෂණ ලංකාවේ සිදුවන්නේ ඒ ඒ කලාප පදනම් කර ගනිමිනි. 2022 වසර පර්යේෂණවලට අනුව යාල බ්ලොක් 1 ජාතික උද්‍යානයේ වර්ග කිලෝමීටර් 100 කට කොටි 54ක් ද, 2018 වසරේ හෝර්ටන් තැන්නේ වර්ග කිලෝමීටර් 100කට කොටි 15ක් ද, 2018 වසරේ විල්පත්තු වර්ග කිලෝමීටර් 100 කට කොටි 18ක් ද වශයෙන් සිට ඇති බවට පැවැසුවත් ලංකාවේ කොටියා ගැන අදටත් ඇත්තේ සුබවාදී තත්ත්වයක් නොවේ.

“අගෝස්තු 1 වැනිදා “Leopards Day” වශයෙන් දිනයක් වෙන් කළේ කොටි හමුවේ ඇති තර්ජන නිසයි. කොටි ආරක්ෂා කිරීමට සංරක්ෂණ ක්‍රමවේද අනුගමනය කළ යුතුයි. 2017 වසරේ සිංහරාජයේ සිදු කළ පර්යේෂණයකට අනුව වැඩහිටි කොටි 23 දෙනකු හඳුනා ගත්තා. මේ වන විට ශ්‍රී ලංකා වන සත්ත්ව හා ස්වභාවික ආරක්ෂක සංගමය විසින් කොටි ආරක්ෂා කිරීම වස් ලංකාවේ විවිධ පළාත්වලින් කොටීන් පිළිබඳ දත්ත එක්රැස් කිරීමේ පුළුල් ජාලයක් ඇති කරමින් යනවා. පානම, ත්‍රිකුණාමලය, සිංහරාජය, සීගිරිය, හැටන්, නල්ලතන්නි, බෙලිහුල්ඔය යන මධ්‍යස්ථාන හරහා තොරතුරු එක් රැස්කරමින් සංරක්ෂණ ක්‍රමවේදය වැඩි දියුණු කරනවා. අපි හිතනවා, ලංකාවේ කොටි ගහනය 1000කට ආසන්නව ඇතැයි කියා. යාල හා විල්පත්තුවල කොටි ගහනය වැඩියි. ලංකාවේ කොටි ගහනය පිළිබඳ නිවැරදි සංඛ්‍යා දත්ත නැති නිසා අපිට කොටි ගහනය අඩුවී ඇතැයි නිශ්චිතව පවසන්න බැහැ. නමුත් කොටියා අවදානමට ලක් වූ සත්ත්වයෙක්. කොටි මරණ දිනෙන් දිනම වැඩි වෙමින් පවතින නිසා සංරක්ෂණ ක්‍රියාමාර්ගයන්ට අනුගත නොවුණහොත් ඉදිරියේදි කොටි ගහනයේ අඩුවීමක් ඇති වෙන්න පුළුවන්. කොටියා පරිසර පද්ධතිය රැකගැන්මට අත්‍යාවශ්‍ය ප්‍රධාන විලෝපිකයා. මේ නිසා කොටියා හා මිනිසා අතර සහජීවනයක් පැවතිය යුතුයි. රටේ නීතිය මේ සම්බන්ධව දැඩිව ක්‍රියාත්මක විය යුතු වෙනවා...” ඒ සබරගමු විශ්වවිද්‍යාලයේ ස්වභාවික විද්‍යා අධ්‍යයනාංශයේ සංරක්ෂණ ජීව විද්‍යා පිළිබඳ මහාචාර්ය ඉනෝකා කුඩාවිදානගේය.

දිගින් දිගටම කොටි සම්බන්ධ පර්යේෂණයන්හි නිරත වන මහාචාර්ය ඉනෝකා පවසන්නේ කොටි හැසිරීම් පිළිබඳව සාමාන්‍ය ජනතාව තුළ ඇති අනවබෝධය වැඩිවෙමින් පවතින බවයි. මේ නිසා නිතරම හිංසාකාරී සත්ත්වයකු යන සිතුවිල්ල කොටියාට විනාශය ළඟා කරවන බවයි. කොටියාගේ වාසස්ථාන මිනිසා විසින් ආක්‍රමණය කිරීම, කොටියා ගම් වැදීම නිසා අවසානයේ මදුවලට හසුවීමෙන් ගම්වැදි කොටි මරණයට පත්වන බවයි.

ලංකාවේ පරිසර පද්ධතිවල ජීවත් වූ කොටියා කඳුකරයේ මිනිස් ජනාවාසයන්වලට අවතීර්ණ වී අපෙන් වසංවෙමින් සැරිසැරුව ද අවසානයේ මිනිසුන්ගේ චර්යා පද්ධති නොවෙනස්වීම හේතුවෙන් සිය දිවියෙන් වන්දි ගෙවති. ලංකාවේ කොටි මරණ ගැන සඳහන් වීමේදී භයානක ඉරණමකට මුහුණ දෙන්නේ කඳුකර කොටියාය. කඳුකර කොටි හෙවත් Highland leopards හා පහතරට ප්‍රදේශවල ජීවත් වෙන කොටි වශයෙන් ලංකාවේ කොටියා වර්ග දෙකකට නොබෙදුණ ද, කොටි පිළිබඳ අධ්‍යයනය කරන පර්යේෂකයන් පෙන්වා දෙන්නේ උඩරට හා පහතරට වශයෙන් පරිසරයට අනුගත වෙමින් එකම කොටි අතර වුව ද යම් යම් වෙනස්වීම් දක්නට ලැබෙන බවයි.

කඳුකර කොටි පිළිබඳ පුළුල් අධ්‍යයනයක නිරත වන වනජීවී සංරක්ෂක සංඛ වන්නිආරච්චි සිය අත්දැකීම් පවසන්නේ හොර්ටන්තැන්න රක්ෂිතය මූලික කරගනිමිනි.

“ලංකාවේ කුමන පළාතක වුවත් ඉන්නේ Panthera padus kotiya කියන අපිට ආවේණික එකම උප විශේෂය පමණයි. නමුත් දේශගුණයට අනුවර්තනය වීම මත මේ දෙවර්ගයේ අතර යම් යම් වෙනස්කම් දකින්නට තියෙනවා. ඒ පළාතට හා දේශගුණයට අනුවර්තනය වීම නිසා. කඳුකර කොටියා පහතරට කොටියාට වඩා තරමක් විශාලයි. කොටියා උණුසුම් රුධිරය සහිත සත්ත්වයකු නිසා අදාළ දේශගුණයට අනුවර්තනය වීමට ඌගේ සිරුරේ ලොම් තට්ටුවට යටින් තවත් කුඩා තෙල් තට්ටුවක් පවතිනවා. ඒ ශීත දේශගුණයට සිරුර උණුසුම්ව පවත්වා ගන්නට. මේ දිනවල හොර්ටන්තැන්නට යන එන අය පවසන්නේ මේ පළාතේ කොටි ගහනය වැඩි වී ඇති බවයි. නමුත් සිදුව ඇත්තේ මිනිසුන්ට කොටි හුරුවීම නිසා රාත්‍රියේදී පමණක් නොව දවල් කාලයේදීත් කොටියා ඇස ගැටීමයි. මහඑළිය ප්‍රදේශයේ එනම් තොටුපල කන්දේ සිට උද්‍යාන භාරකාර බංගලාව දක්වා වූ ප්‍රදේශයේ මේ දිනවල කොටි දෙනක් හා පැටවුන් කිහිප දෙනෙක් නිරන්තරයෙන් ගැවසීමට පුරුදු වෙලා තියෙනවා. මේ සතුන්ගෙන් කිසිදු කරදරයක් නැහැ වගේම සංචාරකයන්ටත් කිසිදු හානියක් සිදු වන්නේ නැහැ. මිනිසා විසින් කොටීන්ගේ අඩවි ආක්‍රමණය කිරීම නිසා ඌන්ට ගම්වැදීමට සිදුවී තියෙනවා” ඒ වනජීවී සංරක්ෂක සංඛ වන්නිආරච්චිය.

සෑම කොටියකුම තමන් ජීවත්වන පරිසර කලාපයේ වර්ග කිලෝමීටර් කිහිපයක් තමන්ගේ යැයි අනුමාන කරමින් අණසක පතුරා ගනිති. එය වර්ග කිලෝමීටර 3 ක් - 12 ක් අතර ප්‍රදේශයක් විය හැකියි. මුත්‍රා කිරීමෙන්, ගස් පහුරු ගෑමෙන්, ගඳ සුවඳින් තමන්ගේ අඩවිය හඳුනා ගැනීමේ නිහඬ සලකුණු තබා ගනිති. මේ අඩවියට වෙනත් කිසිම කොටියකුට ඇතුළු වීම උග්‍ර සටනකින්ම කෙළවර විය හැකියි.

“හෝර්ටන් තැන්නේ කොටි දර්ශනය වන ප්‍රමාණය වැඩිවී ඇතත් කොටියාට ඌගේ වපසරිය තුළ ඉන්නට ඉඩ දුන්නහොත් කාටවත් කිසිදු හානියක් සිදු කරන්නේ නැහැ. ඒ සඳහා සහජීවනය ඉතා වැදගත්. නමුත් අපේ සීමාව ඉක්මවා ගියොත් අපිට අනතුරක් සිදු කිරීමට ඌට වැඩි වේලාවක් ගත වන්නේ නැති බවත් අවබෝධ කරගත යුතුයි. කොටියාට මරා දමන ලද තමා මෙන් 6 ගුණයක් විශාල වූ මළකුණක් වුවත් ඇදගෙන ගහකට ගෙන යාහැකියි. මේ නිසා වඩා වැදගත් වන්නේ කොටියා හා මිනිසා අතර පරතරය තබාගෙන සහජීවනයෙන් ජීවත් වීමයි....”

විවිධ වසරවල සිදු වූ කොටි මරණ බොහෝමයක් සිදුවී තිබුණේ යටියන්තොට, නාවලපිටිය, මස්කෙළිය, නල්ලතන්නිය වැනි මධ්‍යම කඳුකරයේ මිනිස් ජනාවාසයන්හිදීය. එසේම ලංකාවේ ජානමය විකෘතිතාවයන්ට ලක්වූ අතිශය දුර්ලභ කළු කොටියා පවා මරණයට පත්වූයේ ද කඳුකර පෙදෙස්වලිනි.

ලොව අන් රටවල් හා සසඳන කල ශ්‍රී ලංකාවේ විවිධ පෙදෙස්වල කොටියන් විශාල වශයෙත් අන් සතුන් සමඟ තම ස්වභාවික වාසස්ථාන බෙදා ගනිමින් ජීවත්වෙති. කොටියා එසේ සහජීවනයෙන් ජීවත් වුව ද දුටු තැන මරා දැමීමට පුරුදු පුහුණු වී ඇති ජනතාව මේ විලෝපිකයාගේ වටිනාකම තේරුම් නොගැනීම ගැටලුවකි. පරිසරවේදීහු පවසන්නේ ලංකාවේ කොටි මරණවලින් 60%ක්ද සිදුවන්නේ මදුවලට හසුවීමෙන් බවකි. ඒවා සෘජුව කොටීන්ට අටවන මදු හෝ වෙනත් සතුන්ට අටවන මදුය.

“පසුගිය වසර 10කට ලංකාවේ වාර්තාගත කොටි මරණ 100කට වඩා වැඩි වුණා. සාමාන්‍යයෙන් කොටියාගේ ජීවන චක්‍රය අනුව මරණ අනුපාතයත් සමඟ කොටින්ගේ ඉපදීම අඩුයි. පැටවුන් තුන් දෙනෙක් බිහි වන්නේ ඉතා කලාතුරකින්. ඒ වගේම කොටි පැටවකුගේ ජීවත් වීමේ සම්භාවිතාව සියයට 50යි. තරඟකාරි ආහාර රටාව, කොටි පැටවු අතර මරා ගැනීම් මෙන්ම දුර්වල සතුන්ගේ බිහිවීම වැඩිවීම හරහා මේ ගහනයේ අඩුවීමක් පවතිනවා. නමුත් කොටි මරණවලට ප්‍රධාන හේතුවක් වන්නේ මදු ඇටවීම. මදු ඇටවීමෙන් සිදුවන කොටි මරණ 60% ක් ඉක්මවා ගොස් තියෙනවා. තවත් පැත්තකින් කොටීන්ගේ අවයව ලබා ගැනීමට වස විස දී හෝ වෙඩි තැබීම් හරහා මරණයට පත් කරන අවස්ථා තියෙනවා. මේ නිසා කොටි සංරක්ෂණය කිරීම ප්‍රමුඛව සිදු කළ යුතු කාර්යයක්” ඒ කොටි පිළිබඳ පර්යේෂණයන්හි නියැළි වනජීවී පර්යේෂක සෙතිල් මුහන්දිරම්ය.

ලංකාවේ වන ජීවීන් සුරැකීමට තවමත් ඇත්තේ අඩු ප්‍රතිපාදනය. නිලධාරි හිඟය මෙන්ම අවශ්‍ය පහසුකම් නොමැති වීම හරහා අදාළ බලධාරීහු පීඩාවට පත්වෙති. ශ්‍රී ලංකා වන සත්ත්ව හා ස්වභාව ආරක්ෂණ සංගමය වැනි ආයතන අද මේ සඳහා සූදානමින් සිටින්නේ ඒ සඳහා ඇවැසි සහය දක්වන්නටය.

“වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ රක්ෂිතවල සිටින කොටි ආරක්ෂිතයි. නමුත් කොටීන්ගෙන් 80% ක් අනාරක්ෂිත වන්නේ රක්ෂිතවලට පිටින් සිටින අයයි. ඒ අනුව මොවුන් ආරක්ෂා කිරීමට දෙවැනි උපලේඛණය යටතේ දැඩිලෙස ආරක්ෂිත සත්ත්වයකු වශයෙන් හඳුන්වා දී තියෙනවා. මේ අය සිටින්නේ මධ්‍ය කඳුකරයේ වන රක්ෂිත ඉඩම්වල හා තේ වතු ආශ්‍රිතව පවතින කුඩා කැළෑ රොදවල්වලයි. සාමාන්‍යයෙන් දෙසැම්බර් සිට අප්‍රේල් මාස අතර කාලයේ කොටි මරණ වැඩියෙන් අසන්නට ලැබෙනවා. ඊට හේතුවුණේ ශ්‍රීපාද වන්දනා සමය හා නුවරඑළි වසන්ත සමය නිසා. මේ කාලයේ මසට සතුන් මැරීමට වැඩි වශයෙන් මදු ඇටවීම් සිදු කෙරෙනවා. මේවාට කඳුකර කොටි වැඩි වශයෙන් හසු වුණා. මේ වන විට වනජීවී දෙපාර්තමේන්තුව එය පාලනයට විවිධ ක්‍රියාමාර්ග ගත්තා. වර්තමානයේ කොටි මරණ ටිකෙන් ටික අඩු වෙමින් යනවා. ඒ වගේම අඹගමුව හා නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කොටි මරණ වැඩි වශයෙන් වූ නිසා අපි ඒ පළාත් ඉලක්ක කර ගනිමින් විශාල වැඩ කොටසක් කළා. වතු ආශ්‍රිත ප්‍රජාව දැනුම්වත් කළා. අපේ නිලධාරීන්ගේ හිඟය නිසා ඒ අය යොදා ගනිමින් වතු ආශ්‍රිතව නිරීක්ෂණ කටයුතු විධිමත් කළා. මේ නිසා කොටියකුට යම් අනතුරක් වීමට පෙර හඳුනාගැනීමට හැකිවෙනවා. මීට අමතරව පැය 24 පුරාම 1992 දුරකතන සේවාව ක්‍රියාත්මක වෙනවා” ඒ සමනල ස්වභාව රක්ෂිතයේ වන සත්ව අඩවි ආරක්ෂක ඩී. පි. සියාසිංහය.

ලංකාව අද සුන්දර සංචාරක ගමනාන්තයක් වී ඇත්තේ අපේ උරුම නිසාය. වනජීවී කලාපයන්හි සුන්දරත්වය අත්විඳින්නටම අපේ රටට පැමිණෙන සංචාරකයන් බොහෝය. හෙට දිනයේ දිනයකට පමණක් වෙන් නොවී දෙවරක් අපේ උරුම රැක ගැන්මට අප කටයුතු නොකළහොත් භයානක ඉරණමකට මුහුණ දෙන්නට අපිට සිදුවනු ඇත.

 

Comments