ජවිපෙ 2වැනි කැරැ­ල්ලේදී රට හෙල්ලූ සන්නද්ධ බළ­කා­ මෙන්න! | සිළුමිණ

ජවිපෙ 2වැනි කැරැ­ල්ලේදී රට හෙල්ලූ සන්නද්ධ බළ­කා­ මෙන්න!

ජවිපෙ, ඉකුත් දශක පහක් ඇතුළත කැරලි දෙකකට නායකත්වය දුන්නේය.

ප්‍රථම කැරැල්ල 1971 අප්‍රේල් ක්‍රියාත්මක වූ අතර එහිදී ඝාතනයට ලක් වූ සංඛ්‍යාව 5,000කට ආසන්නය.

ජවිපෙ 2වැනි කැරැල්ල 1986න් ඇරඹී 1990 න් අවසන් වූ අතර එහිදී 60,000කට අධික පිරිසක් ඝාතනයට ලක් වූහ. සිළුමිණෙහි පළවන මෙම ලිපි මාලාව එම කැරලි දෙක ඇතුළත ජවිපෙ නායකත්වයේ දෘෂ්ටිමය මඟ පෙන්වීමකට යටත්ව, එහි ප්‍රායෝගිකත්වය ක්‍රියාවට නැඟූ කැරලි නායකයන්ගේ සත්‍ය කතාවයි.
 

17 කොටස
 

(ජවිපෙ 2වැනි  කැරැල්ලේ විශේෂ බළ­කා­ පිළි­බඳ කොටස් 3කින් යුත් 

 

ලිපි­යක ප්‍රථම කොටස)

ජවිපෙ සන්නද්ධ අංශය වන දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය (ඩී.ජේ.වී) මගින් විවිධ දිස්ත්‍රික්කවල සන්නද්ධ අංශයන් නම් කරන ලද්දේ එම දිස්ත්‍රික්කයන්හි 1971 කැරැල්ලේදී හෝ ජවිපෙ 2වැනි කැරැල්ල ක්‍රියාත්මකව පැවති 1986 සිට 1989 කාලය තුළ කැපවීමක් කරමින් ආරක්ෂක අංශ හෝ එයට සෘජු හෝ වක්‍ර සම්බන්ධකම් තිබූ අතුරු හමුදා කණ්ඩායම් මගින් ඝාතනයට ලක්වු හෝ සිය අරමුණ වෙනුවෙන් දිවි පිදූ ජවිපෙ ක්‍රියාකාරිකයන් වෙනුවෙන්ය.

කැරලි නායකයන් සිය ප්‍රචාරක මාධ්‍ය මගින් දැනුම් දුන් පරිදි සන්නද්ධ බළකායන් නම් කර තිබූ ඇතැම් කැරලිකරුවන් ජීවත්ව සිටියදී හිස කඳින් වෙන්කර ඉරා දැමෙද්දීත් ජීවගුණය පෑ අය වෙති. දියේ ගිල්ලවා මරා දමද්දීත් උපේක්ෂාවෙන් එයට මුහුණ දුන් අය වෙති. දූෂණය කොට මරා දමද්දීත් විප්ලවීය සදාචාරය සුරක්ෂිත කළ අය වෙති. ඔවුන්ගෙන් ගලාගිය උණුසුම් ලේ දහරා පිළිබඳව මතකය විනාශ කළ නොහැකි සහ පරාජය කළ නොහැකි අපේක්ෂාවක් බවට පත්කිරීම එසේ කිරීමට හේතුවන්නට ඇත.

මෙහි ආරම්භය සිදුවූයේ 1971 අප්‍රේල් 05 කැරැල්ලේදී කතරගම පුරවරය ‘කරුණාසිරිපුර’ නමින් ජවිපෙ කැරලිකරුවන් 1971 අප්‍රේල් 06 නම් කිරීමත් සමඟය. ඒ කතරගම කැරලිකරුවන් සමඟ එක්ව පොලිසිය යටත්කර ගැනීමේදී මියගිය කරුණාරත්න සහ සිරිරත්න යන දෙදෙනා වෙනුවෙනි.

ඉහත දිස්ත්‍රික්ක තුළ කැරලිකරුවන් මෙහෙයවන සියලු ක්‍රියාකාරකම්වල වගකීම ගනු ලැබුවේ මෙම දිස්ත්‍රික්ක සන්නද්ධ බළකායන් සහ විශේෂ බළකායන්ය. දිස්ත්‍රික්කයේ බළකායන් හැඳින්වීමට යොදාගත් නාමය තීරණය කළේ ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කලාප යුද නායකයා ගේ අනුමැතිය ඇතිව දිස්ත්‍රික් කමිටුව විසිනි. සෙසු කැරලිකරුවන්ට උත්තේජනයක් වන අයුරින් දිවිදුන් කැරලිකරුවන් තුළ වූ විශේෂත්වයන් සහ එම සිදුවීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණි. පෙර සඳහන් එම දිස්ත්‍රික් සන්නද්ධ බළකායන් සහ විශේෂ බළකායන් පිළිබඳ විස්තර මෙසේය.

• හම්බන්තොට- ගුණසේන වර්ණපටබැඳි බළකාය :

බෙලිඅත්ත කොටුගොඩැල්ල විද්‍යාලයේ ප්‍රාථමික අධ්‍යාපනය ලත් ගුණසේන වර්ණපටබැඳි 1984 ජවිපෙට එක්වූයේය. සහෝදර සහෝදරින් 4 දෙනෙකු ගෙන් යුත් පවුලක උපන් ඔහු වෘත්තියෙන් බෙලිඅත්ත ජුල්කැටිය දෛනික පොළේ වෙළෙන්දෙකි. හෙතෙම අඩි 5කට වඩා උස අඩු හෙයින් බෙටා යන නමින්ද හැඳින්විණි. ගුණසේනගේ පියා හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුළු නගර සභාවක ක්‍රියාකාරකයකු වශයෙන් 70 දශකයේ කටයුතු කළේය.

ජවිපෙ 2වැනි කැරැල්ලේ හම්බන්තොට දිස්ත්‍රික් සන්නද්ධ ලේකම් වූ ගුණසේන කටුනායක හමුදා කඳවුරට 1987 ජුනි 07 කඩාවැදී ආයුධ පැහැර ගැනීමේ කණ්ඩායමේ ක්‍රියාකාරිකයෙකු ලෙස එක් වූ අතර කහවත්ත පොලිසියට 1987 දෙසැම්බර් 30 ප්‍රහාරයක් එල්ලකර අවි 52ක් පැහැරගත් ජවිපෙ කැරලි කණ්ඩායමේ නායකයාය. එමෙන්ම 1987 දෙසැම්බර් 23 එජාප සභාපති හර්ෂ අබේවර්ධන වැල්ලවත්තේදී වාහනයෙන් ගමන් කරන විට ඔහුට ප්‍රහාරයක් එල්ල කර ආරක්ෂක නිලධාරින් දෙදෙනෙකුද සමඟ ඝාතනය කිරීමද ඔහුගේ නායකත්වයෙන් සිදුවූවකි.

බෙලිඅත්ත ජුල්කැටිය කටුගහතොට පිහිටා තිබූ ජවිපෙ මූල කඳවුරක 1988 ජනවාරි 24 ජවිපෙ සාකච්ඡාවක් පවත්වමින් සිටියදී දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රේමදාස උඩුගම්පොළ ගේ මෙහෙයවීමෙන් පැමිණි විශේෂ කාර්ය බළකායේ කණ්ඩායමක් එම ස්ථානය වටලා ඔවුනට ප්‍රහාරයක් එල්ල කරන ලදී. කැරලිකරුවන්ද යටත් නොවී ප්‍රතිප්‍රහාරයක් එල්ල කළහ. මෙහිදී ගුණසේන වර්ණපටබැඳි සමඟ බෙලිඅත්ත පුවක්දණ්ඩාව ගල්වලේ බන්දුල ගලප්පත්ති (19), බෙලිඅත්ත මංගල පාරේ මහත්ත ගමගේ රංජිත් (19), පුවක්දණ්ඩාව ගල්පල සුනිල් ගලප්පත්ති (20) සහ බෙලිඅත්ත මිහිදු මාවතේ රිචඩ් විජේසූරිය යන සිවුදෙනාද ඝාතනයට පත්විය. ගුණසේන ඇතුළු එම කැරලිකරුවන් පිරිස තමන් වටකළ ආරක්ෂක හමුදාව සමඟ අවසන් වෙඩි උණ්ඩය දක්වා ප්‍රතිප්‍රහාර එල්ලකරන ලද අතර ඉන් ගුණසේන ඇතුළු තිදෙනෙකු මියගියේ අවසන් වෙඩි උණ්ඩවලින් තමා විසින්ම වෙඩි තබාගෙනය.

 

 මාතර දිස්ත්‍රික් සුසිල් වික්‍රම සන්නද්ධ බලකාය මගින් ගාල්ල මහින්ද ආදි සිසු සහ කොළඹ සරසවි නීති උපාධිධාරියෙකු මෙන්ම නීතිඥ සරත් සේපාල රත්නායක ශ්‍රීලනිප මහ මැතිවරණ අපේක්ෂකයෙකු වශයෙන් සිටියදී මාතර බෙංගමුවේදී 1989 ජනවාරි 23 සවස 6.30ට පිහියෙන් ඇන ඝාතනය කර නිවස ඉදිරිපිට අලි පේර ගසේ සිරුර ගැට ගසා තිබුණේ මෙසේය. එහිදී ඔහුගේ ශ්‍රීලනිප ආධාරකරුවන් 5 දෙනෙකුද ඝාතනය කර තිබිණි.

 

පසුව මළසිරුරු 5 හේනකඩුව පන්සල අසළ පුළුස්සා දමා තිබිණි. දෙදරු පියෙකු වූ ගුණසේන හෙවත් බෙටාගේ මරණයෙන් පසු ජවිපෙ විසින් හම්බන්තොට දිස්ත්‍රික් සන්නද්ධ අංශය ගුණසේන වර්ණපටබැඳි බළකාය ලෙස නම් කරන ලදී.

• මාතර- සුසිල් වික්‍රම බළකාය :

සුසිල් වික්‍රමසිංහ හෙවත් පැඟිරිවත්තේ කළු මහත්තයා හෙවත් සුසිල් වික්‍රම යනු 1971 අප්‍රේල් කැරැල්ලේදී මාතර දිස්ත්‍රික් නායකයාය. අප්‍රේල් මහ නඩුවේ 34වැනි විත්තිකරුය. ජවිපෙ ඇරඹූ මුල් කාලයේ පටන්ම පූර්ණකාලීනව ඇපකැප වෙමින් මාතර, හම්බන්තොට සහ මොණරාගල යන දිස්ත්‍රික්කයන්හි දේශපාලන කටයුතුවල නිරතව සිටි සුසිල් වික්‍රම පසුව මාතර දිසා ලේකම් විය. මාතර කොටුවේ තිබූ යුද හමුදාවේ ගැමුණු කඳවුරට පහරදීමට ගිය කණ්ඩායමේ නායකත්වය දැරූ ඔහු එම ප්‍රහාරයේදී අත තිබූ බෝම්බයට හමුදා භටයින් තැබූ වෙඩිල්ලක් වැදී බෝම්බය පිපිරී මරුමුවට පත්විය. එහිදී හමුදා වෙඩි වැදීමෙන් මියගිය තවත් කැරලිකරුවෙකු වූයේ ගිල්බට් විජේසේකරය. ජවිපෙ විසින් මාතර දිස්ත්‍රික් සන්නද්ධ අංශය සුසිල් වික්‍රම බළකාය ලෙස නම් කරන ලද්දේ එබැවිනි.

• ගාල්ල- කමලබන්දු බළකාය :

ජවිපෙ 1971 අප්‍රේල් කැරැල්ලේදී බද්දේගම පොලිස් කොට්ඨාස ලේකම්වරයා වූ කොඩිතුවක්කු මද්දගේ කමලබන්දු උපන්නේ බද්දේගම ගිනිමැල්ලගහ ගමේ කුරදූවේදී 1948 ජුනි 05දාය. ගොවියකු වූ පියා හෙන්ද්‍රික් වූ අතර මව හෙට්ටිවත්තගේ කිරිස්තිනා විය. සොයුරු සොයුරියන් 7කි. බද්දේගම තෙලිකඩ මධ්‍ය මහා විද්‍යාලයෙන් විද්‍යා විෂයන් හැදෑරූ ඔහු ජවිපෙට 1966දී එක්වූයේ වත්තලදී හමුවූ සමරරත්න විතාන ආරච්චිගේ පියතිලක හරහාය. බද්දේගමදී කමලබන්දු ගේ සමීපතම සඟයන් වූයේ ගුණපාල ගුරුගේ සහ කේ. කේ ධර්මසේනය. කිරින්දේ ගොවිපොළේ ජවිපෙ පූර්ණකාලීනයකු වූ කමලබන්දු 1971 අප්‍රේල් 5 කැරලි කණ්ඩායමක් සමඟ බද්දේගම පොලිසියට පහරදීමට 11 කණ්ඩායමක් ගියද එය අසාර්ථක විය. පසුව 1971 අප්‍රේල් 10 බද්දේගම ජවිපෙ ක්‍රියාකාරිකයින් සමඟ මීටියාගොඩ පිහිටි බටපොළ කැරලිකරුවන් ගේ කඳවුරට එක්වූ කමලබන්දු හික්කඩුව පොලිසියට පහරදීමට යන අතර මඟදී ගැමියන් සමඟ ඇතිවූ ගැටුමකදී වෙඩි ප්‍රහාරයකට ලක්වීමෙන් කකුලේ උඩ කොටස තුවාල විය. මීටියාගොඩ කඳවුර 1971 අප්‍රේල් 25 විසිරුවා සිංහරාජ වනාන්තරයට පසුබැසීමට එහි නායකයා වූ මීටියාගොඩ පොලිස් කොට්ඨාස ලේකම් නිමල් කොඩිතුවක්කු ඇතුළු ක්‍රියාකාරිකයින් තීරණය කළේය.

පසුව කැරලිකරුවන් පිරිසක් සමඟ සිංහරාජයට පසුබැස ගිය කමලබන්දු ඇතුළු කණ්ඩායමට 1971 අප්‍රේල් 26 අම්බන කැලේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් 7 දෙනෙකු මරණයට පත්වී පිරිසක් තුවාල ලැබූහ. යළි ආරක්ෂිත ස්ථාන කරා යමින් සිටි කමලබන්දු පොලිස් අත්අඩංගුවට පත්වූයේ මාජුවනා සේරසිංහ ගේ ඔත්තුවක් අනුව උඩුගමදීය. පසුව ගාල්ල පොලිසියටත් පසුව බද්දේගම පොලිසියටත් ගෙන ආ කමලබන්දු තිරස්චින වධබන්ධන වලට ලක්වූ අතර එහෙත් කිසිවෙකු පාවානොදීම නිසා අවසානයේ හිස කඳින් වෙන්කරන ලදී. පසුව සිරුර තෙලිකඩ ගඟේ ගසාගෙන යද්දී එය කිහිප දෙනකුට හඳුනාගැනීමට හැකිවිය. ජවිපෙ විසින් ගාල්ල දිස්ත්‍රික් සන්නද්ධ අංශය කමලබන්දු බළකාය ලෙස නම් කරන ලද්දේ එබැවිනි.

• කළුතර- කරුණාරත්න බළකාය :

කළුතර දිස්ත්‍රික්කයේ දෙදියල පදිංචිකරුවකු වූ කරුණාරත්න හෙවත් බණ්ඩාර කලක් හමුදාවේ සේවය කර ඉන් පලාවිත් ජවිපෙ පූර්ණකාලීනයෙක් වූ අයෙකි. කළුතර සන්නද්ධ නායකයා ලෙසින් 1987/88දී කලක් කටයුතු කළ බණ්ඩාර 1987 අප්‍රේල් 12 හොරණ පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවද හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා බන්ධනාගාරයේ සිට ඔවුන් ගෙන යනවිට බොල්ගොඩ පාලම අසළදී පිටත සිටි කැරලිකරුවෝ සංවිධානාත්මකව වාහනයට කඩාවැදී බන්ධනාගාර නිලධාරීන්ට පහරදී ඔහු ඇතුළු කැරලිකරුවන් 5ක් මුදාගත්හ. අවි පැහැර ගැනීම සඳහා කටුනායක ගුවන් හමුදා කඳවුරට 1987 ජුනි 07 සහ නාගොඩ තල්ගස්විල හමුදා කඳවුරට 1987 සැප්තැම්බර් 28 කළ ප්‍රහාර ඇතුළු සන්නද්ධ මෙහෙයුම් රැසකට ක්‍රියාකාරීව ඔහු දායක විය. අනතුරුව අත්අඩංගුවට පත්ව කළුතර පැලවත්ත කඳවුරේ රඳවාගෙන සිටි කරුණාරත්න 1988 ඔක්තෝබර් 29 වැනිදා පැලවත්ත කඳවුරෙන් උමගක් කපා පලාගිය කැරලිකරුවන් 110 අතර විය. පසුව 1989 පයාගලදී වෙඩි වැදීමකින් ඔහු මරුමුවට පත්විය. ජවිපෙ විසින් කළුතර දිස්ත්‍රික් සන්නද්ධ අංශය කරුණාරත්න බළකාය ලෙස නම් කරන ලද්දේ එබැවිනි.

• පොලොන්නරුව- නිහාල් බළකාය : පන්නල අප්පුහාමිලාගේ තිලකරත්න හෙවත් නිහාල් තිලකරත්න 1961 ජනවාරි 12 උපන්නේ හිඟුරක්ගොඩ කිඹුලාවල ග්‍රාමයේය. පියා අලව්වේ උපන් පීටර්ය. ගොවි ජනපද පිහිටුවීමත් සමඟම හිඟුරක්ගොඩට ආ පීටර් පසුව හිඟුරක්ගොඩ රජයේ ගොවිපොළේ ආරක්ෂක සේවකයෙකු විය. එහිම සේවය කල නිහාල් ගේ මව හේරත් මුදියන්සේලාගේ ලිලී නෝනා උපන්නේ කෑගල්ලේ දේවාලගමය. නිහාල් පවුලේ 4වැනියාය. ඔහුට සොයුරු සොහොයුරියන් 4කි.

නිහාල් අධ්‍යාපනය ලැබුවේ පොලොන්නරුව මින්නේරිය මධ්‍ය මහා විදුහලෙනි. එම පාසලේ ආදි ශිෂ්‍යයකු වූ ජී. ජී නිමල් හෙවත් ෆොන්සේකා හෙවත් විජේසුන්දර මගින් ජවිපෙට 1977දී එක්විය. ජවිපෙ එම මූලික සාකච්ඡාව හිඟුරක්ගොඩ දුම්රිය නිල නිවසක පැවැත්වූයේ මින්නේරියේ සඳසිරි විසිනි. නිහාල් සමඟ එදින ජවිපෙට එක්වූ පිරිස අතර ලක්ෂ්මන් හෙවත් බින්දු, සෙනෙවිරත්න, ජගත් සහ සිසිර ඇතුළු පිරිසක් විය. අපොස උසස් පෙළද සමත් නිහාල් පාසල් වියේදී මලල ක්‍රීඩා ඉසව් මීටර් 100, 200 සහ 400 න් වසර කිහිපයක්ම පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රථමයාය.

පාසල් අධ්‍යාපනයෙන් පසු පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ක්‍රීඩා නිලධාරියෙකු ලෙස ඔහුගේ සුදුසුකම් අනුව පත්වීමක් ලැබිණි. නිහාල් ගේ දෙමාපියන් ශ්‍රීලනිපයේ රත්න දේශප්‍රිය සේනානායක ගේ ආධාරකරුවන් බැවින් එවකට එජාප ආණ්ඩුවේ ප්‍රාදේශීය නායකයින් විසින් එම පත්වීම අහෝසි කිරීමට කටයුතු කළහ. නිහඬ චරිතයක් වූ නිහාල් ඉන් දැඩි කලකිරීමකට පත්වූ අතර 1985 සිට ජවිපෙ පූර්ණකාලීනයෙකු විය. පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සන්නද්ධ ලේකම්ව සිටි විජයපුර ආර්. ආර්. එම්. වික්‍රමරත්න හෙවත් රාජපක්ෂ 1987 නොවැම්බර් 27වැනිදා පොලොන්නරුවේදී ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්වූ පසු ජවිපෙ විසින් පොලොන්නරුව දිස්ත්‍රික් සන්නද්ධ ලේකම් තනතුරට පත්කලේ නිහාල් තිලකරත්නය. නිහාල් ජවිපෙ කටයුතු පොලොන්නරුවේ ව්‍යාප්ත කිරීමට දායක විය.

වරෙක අක්කර 70 ගමේ ජවිපෙ ප‍්‍රාදේශීය නායකයෙකු වූ උපාලි සමඟ නිහාල් සාකච්ඡා කරමින් සිටියදී පොලිස් ප්‍රහාරයක් එල්ල වූ අතර ඉන් පැනයෑමට නිහාල් සමත් වූවද උපාලිට වෙඩි වැදීමෙන් පාදයක් ඉවත් කිරීමට සිදුවිය. ජවිපෙ 71 අප්‍රේල් 05 විරු සමරුව නිමිත්තෙන් පොලොන්නරුවේදී වැඩසටහනක් දියත් කිරීමේ සාකච්ඡාවක් ගිරිතලේ සරණසිරි ගමේ 1988 අප්‍රේල් 04 පැවැත්විණි. එය නිමාවීමෙන් පසු ගිරිතලේ වැවෙන් ජලය තඹලවැවට යන ඇළෙන් දිය නෑමට, යාය දෙකේ ගාමිණී, හිඟුරක්ගොඩ සම්පත් ඇතුළු 8 දෙනෙකු සමඟ ගොස් දිය නාමින් සිටියදී පස්වරු 4.30ට පමණ ‘බිල්ලෙක්’ සමඟ පැමිණි හිඟුරක්ගොඩ පොලිසියේ 6ක ගෙන් යුත් කණ්ඩායමක් විසින් වෙඩි ප‍්‍රහාරයක් එල්ල කරන ලදී. එහිදී සියලු දෙනා සුදු කන්දට දිවගිය අතර වෙඩි ප්‍රහාරයෙන් නිහාල් මරුමුවට පත්විය. එහිදී කැරලිකරුවන් විසින් සුදු කන්දේ එරමිණියා ලන්දකට මැදිකර සිරුර මිහිදන් කොට ආචාරය පුදකරන ලදී.

අනතුරුව නිහාල් ගේ නිවසට දැන්වූ අතර මින්නේරිය සහ බකමූණ තැපැල් ස්ථානාධිපති වශයෙන් පසු කලෙක කටයුතු කළ ඔහුගේ සොහොයුරා වන ආරියරත්න විජේසිංහ ඇතුළු පවුලේ අයගේද ඉල්ලීම මත පසුදින පස්වරු 3ට සුදු කන්දේදී මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පවත්වා හිඟුරක්ගොඩ රෝහලේ මෘත ශරීරාගාරයට සිරුර පස්වරු 6ට ගෙන එන ලදී. අනතුරුව නිහාල්ගේ සිරුර 1988 අප්‍රේල් 06 වැනිදා හිඟුරක්ගොඩ දොර 2 සුසාන භූමියේදී භූමදානය විය. ජවිපෙ විසින් පොලොන්නරුව දිස්ත්‍රික් සන්නද්ධ අංශය නිහාල් තිලකරත්න බළකාය ලෙස නම් කරන ලද්දේ එබැවිනි.

• අනුරාධපුර- ගාමිණී පද්මසාර බළකාය : අනුරාධපුර රඹෑව රත්මල්ගහවැව මාර්ගයේ යනවිට හමුවන කල්ලංචිය ආසන්නයේ ඇති මැස්සලාව ග්‍රාමයේ පදිංචිකරුවකු වූ ගාමිණී පද්මසාර කහටගස්දිගිලියේ හෙට්ටියාවේ උපන් ජවිපෙ 2වැනි කැරැල්ලේ කැරලිකරුවෙකි. ජවිපෙ 71 අප්‍රේල් කැරැල්ලේදී මෙන්ම ජවිපෙ 2වැනි කැරැල්ලේද මූල කඳවුරක් ලෙස මැස්සලාව ගම්මානය හැඳින්විය හැකිය. ගාමිණී පද්මසාරගේ පවුලේ අය සහ ඥාතීන් 10ක් පමණ ජවිපෙ 71 සහ 89 කැරලි දෙකේදීම ඝාතනයට ලක්විය.

ජවිපෙ ඇඳිරි නීතිය පැනවූ දිනවල සහ ලංගම සේවකයින් ගේ වැඩවර්ජන පැවති දිනයන්හි ලංකාවේ සෑම ප්‍රදේශයකම වාගේ ලංගම බස්රථ ධාවනය වූයේ හමුදා භටයින් 3ක හෝ 4ක ගේ සන්නද්ධ ආරක්ෂාව යටතේය. කැරලිකරුවන් ගේ විරෝධතා දිනයන්හි ඒවා උල්ලංඝනය කරන බස්රථ ගිනි තැබිම, බෝම්බ ගැසීම සහ රියදුරන් ඝාතනය කිරීම වැනි දෑ කැරලිකරුවන් විසින් සිදුකිරීම එයට හේතුව විය. ජවිපෙද මෙම කාලයේ අවි එකතු කිරීම ප්‍රධාන ඉලක්කයක් බවට පත්කර ගෙන තිබූ හෙයින් මගී ආරක්ෂාවට සන්නද්ධව සිටි හමුදා භටයින්ට ප‍්‍රහාර එල්ලකර ඔවුන්ගේ අවි පැහැර ගෙන පලායෑම බොහෝ විට සිදුවිය.

මැදවච්චිය සිට රත්මල්ගහවැව දක්වා ධාවනය වන ලංගම බස් රථයක ටී. 56 අවි දෙකක් ඇතිව හමුදා භටයින් 4ක් ගමන් කළ අතර ඔවුන්ගේ අවි පැහැරගත් අවස්ථාවේදී එක් හමුදා සෙබළෙකු ගේ වෙඩි තැබීමකින් පද්මසාර මරුමුවට පත්විය. සෙසු කැරලිකරුවන් අවි දෙකම පැහැර ගනිමින් බසයෙන් ඉවතට පැන ගැනීමට සමත් වුවද පද්මසාරගේ දේහය බසය තුළම දමායෑමට කැරලිකරුවන්ට සිදුවිය. තම අතැති පිහියෙන් හමුදා සෙබළා ඝාතනය කිරිමට පද්මසාරට හැකියාවක් තිබුණද අවසන් මොහොත දක්වා පොර බදා ගිනි අවිය පහසුවෙන් පැහැරගැනීමට හැකියැයි පද්මසාර සිතුවා විය හැකිය.

උතුරු මැද පළාත් දේශපාලන යුද නායක ලලිත් විජේරත්න ගේ ප්‍රධානත්වයෙන් ඉන්පසු පැවති ජවිපෙ අනුරාධපුර දිස්ත්‍රික් කමිටු රැස්වීමේදී ජවිපෙ විසින් අනුරාධපුර දිස්ත්‍රික් සන්නද්ධ අංශය නම් කරන ලද්දේ පද්මසාර බළකාය ලෙසිනි.

• ත්‍රිකුණාමලය- විමලරත්න බළකාය :

ත්‍රි’මලේදී 1946 මැයි 04වැනිදා උපන් පොල්වත්ත රතු බදුගේ විමලරත්න හෙවත් ට්‍රින්කෝ විමල් අභයපුර පදිංචිකරුවෙකි. රජයේ සිසු ගුරුවරයකු ලෙස 1968 හිඟුරක්ගොඩ ගුරු විදුහලට බැදුණු විමලරත්න අභයපුර මහා විදුහලෙන් ගුරුවරයෙකු ලෙස 1971 ජනවාරි එක්විය. ජවිපෙට 1968දී එක්වී 71 කැරුල්ලේ ක්‍රියාකාරිකයෙකු වූ ඔහු සිරගතව සිට 1976 යළි නිදහස්ව මිහිඳුපුර පාසලේ උප ගුරුවරයෙකු විය. අනතුරුව 1978 උප ගුරු රැකියාවට සමුදී ජවිපෙ පූර්ණකාලීනයකු විය. වසර 1971 කැරැල්ලේදි කැරලිකරුවන් වූ ඔහුගේ සොහොයුරන් දෙදෙනෙකුද පසුව 1971 අප්‍රේල් 19 ඔහුගේ පියාද පොලිසිය මගින් ඝාතනය විය.

ජවිපෙ 2වැනි කැරලි සමයේ දේශපාලන මණ්ඩල සභිකයෙකු වූ විමලරත්න එහි සමාජවාදී කම්කරු සංගමයේ නායකයාද විය. බදුල්ලේ සිට බසයකින් කොළඹ බලා පැමිණීමේදී අවිස්සාවේල්ල සාලාව හමුදා ඒකකය මගින් 1989 සැප්තැම්බර් 18 අත්අඩංගුවට ගත් විමලරත්න කිසිදු තොරතුරක් අනාවරණය නොකළ අතර වධබන්ධන වලට මුහුණදී මරුමුවට පත්විය. ඝාතනය වනවිට ඔහු තිදරු පියෙකි. ඔහුගේ බිරිඳ කමනිද ආරක්ෂක අංශ මගින් 1989 ඔක්තෝබර් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඝාතනය විය. ජවිපෙ විසින් ත්‍රිකුණාමල දිස්ත්‍රික් සන්නද්ධ අංශය විමලරත්න බළකාය ලෙස පසුව නම් කරන ලදී.

• කොළඹ - රංජිත් පරාක්‍රම බළකාය : පොල්ගහවෙල උපන් බලපිටියේ ජීවත් වූ හමුදා කෝප‍්‍රල්වරයකු වූ රංජිත් හෙවත් අරවින්ද හමුදාව අතහැර ජවිපෙට එක්වූ අයෙකි. කොළඹ සන්නද්ධ ලේකම් ලෙස සිටියදී සැකකටයුතු රිය අනතුරකින් නුගේගොඩදී 1988 මරුමුවට පත්විය. ඒ පිළිබඳව චෝදනාව එල්ල වූයේ ප්‍රා සංවිධානයටය. බොරැල්ල මැගසින් බන්ධනාගාරයෙන් 1988 දෙසැම්බර් 13 ජවිපෙ කැරලිකරුවන් 221ක් නිදහස්කර ගත්තේ රංජිත් පරාක්‍රමට උපහාර පිණිස එම බළකාය මගින් බව ජවිපෙ නිවේදනය කළේය.

• නුවර- කැප්පෙටිපොල බළකාය : බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට එරෙහිව මෙරට නිදහස් සටනට උරදුන් ඓතිහාසික ඌව වෙල්ලස්ස කැරැල්ලට නායකත්වය දුන් කැප්පෙටිපොල දිසාවේ ඇතුළු රණවිරුවන් 19ට ගෞරවයක් වශයෙන් ජවිපෙ නුවර සන්නද්ධ අංශය නම් කරන ලද්දේ කැප්පෙටිපොල බළකාය වශයෙනි.

බ්‍රිතාන්‍ය රජයට එරෙහිව කැරලි ගැසීමේ චෝදනාව මත 1818 ජනවාරි 10 නිකුත් කළ ගැසට් පත‍්‍රය මගින් කැප්පෙටිපොල දිසාවේ ඇතුළු ජාතික විරුවන් 19 දෙනෙකු එවකට පැවති ඉංග්‍රිසි ආණ්ඩුව විසින් රාජදෝහීන් ලෙස නම්කර තිබිණි. කැප්පෙටිපොල දිසාවේ සමඟ සෙසු දේශහිතෛෂි රණවිරුවන් 18 නම්, ගොඩගෙදර රටේ අධිකාරම්, කෙටකැල මොහොට්ටාලේ, කතරගම මහා බෙත්මරාල, කතරගම කුඩා බෙත්ම රටේ රාලේ, පොල්ගොඩල්ල මොහොට්ටාලේ, වත්තේ කැලේ මොහොට්ටාලේ, පොල්ගහගෙදර රෙහෙන රාලේ, පොස්සාරවත්තේ විදානේ, කිවුලේ ගෙදර මොහොට්ටාලේ, යාලගොම්මේ මෙහොට්ටාලේ, උඩමාදුරේ මොහොට්ටාලේ, කොහුකුඹුරේ රටේ රාලේ, කොහුකුඹුරේ වලව්වේ මොහොට්ටාලේ, බූටාවේ රටේ රාලේ, මගිනිගහවෙල රටේ රාලේ, මහබදුල්ල ගම්මනි රටේ රාලේ, බුළුපිටියේ මොහොට්ටාලේ, පල්ලේ මල්හෙයායේ ගමැති රාලේ වේ. ජවිපෙ රණහඬ ගුවන්විදුලිය ප්‍රකාශ කළේ කැප්පෙටිපොල දිසාවේ ඇතුළු එම රණවිරුවන් මව්බිම වෙනුවෙන් දේශානුරාගයෙන් ජීවිතය කැපකළ වීරයන් ලෙස නම් කරමින් ඔවුන් ගිය මඟ යන්නට සහ උත්තමාචාරය පළකිරීමට එම බළකාය එසේ නම් කළ බවය.

ආරක්ෂක අංශ මගින් 1988 නොවැම්බර් මස 2දා කැප්පෙටිපොළ බළකායේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් සේ ක්‍රියාත්මක වූ මහනුවර ජෝර්ජ් ඊ ද සිල්වා උද්‍යානයේ ටොරින්ටන් බස් නැවතුම්පොල ඉදිරිපිට පවත්වාගෙන ගිය ස්ථානයක් වටලා පුද්ගලයින් 05 සහ ලියකියවිලි තොගයක්ද අත්අඩංගුවට ගන්නා ලදී.

 

ඉතිරි කොටස ලබන සතියේ

Comments