මාර්ග අන­තුරු වැළැ­ක්වී­මට ‘ඊ-ට්‍රැෆික් | සිළුමිණ

මාර්ග අන­තුරු වැළැ­ක්වී­මට ‘ඊ-ට්‍රැෆික්

ඊ ට්‍රැෆික් දුරකථන යෙදවුම ජංගම දුරකථනයන්හි දිස්වන ආකාරය

වැය වන්නෙ ඩේටා ගාස්තු පමණි

 

මෙරට තුළ පැවැති තිස් අවුරුදු ත්‍රස්තවාදී යුද්ධය තුළදී මියගිය සංඛ්‍යාව 28619 කි. ආබාධිත සංඛ්‍යාවද 27000කට අධිකය. තිස් වසරක ත්‍රස්තවාදී අරගලයෙන් එවැනි සංඛ්‍යාවක් මරණයට පත්වෙද්දී පසුගිය වසර 10ක පමණ කාලය තුළදී රිය අනතුරුවලින් අකාලයේ මියගිය සංඛ්‍යාව 27500ක් බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර හෙළි කළේය.

 

අමාත්‍යවරයා එම හෙළිදරව්ව සිදු කළේ අමාත්‍යවරුන් වන ගාමිණි ලොකුගේ, දිලුම් අමුණුගම මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස්, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ඇන්ටන් මෙනස් සහ පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් පසුගිය 17 වැනිදා සිය අමාත්‍යාංශයේදීයි. ඒ රථවාහන ක්ෂේත්‍රයේ සිදුවන වැරැදිවලට අදාළ තොරතුරු මහජනයා වෙතින් ශ්‍රී ලංකා පොලිසිය වෙත ලබා ගැනීමට හැකි ආකාරයේ නවීනතම ජංගම දුරකථන යෙදවුමක් (E Traffic Police Sri Lanka - Mobile App) හඳුන්වා දුන් මොහොතේදීය.

ඉකුත් 17 වැනිදායින් ඇරැඹුණු අන්තර්ජාතික රිය අනතුරු නිවාරණ සතියට සමගාමීව එළිදැක්වුණු එම දුරකථන යෙදවුම පොලිස්පති සී. ඩී. වික්‍රමරත්නගේ අදහසක් අනුව ක්‍රියාත්මක වූවකි.

රටේ සියලු මාර්ගයන් හී සෑම තැනෙකටම විසි හතර පැය පුරා පොලිස් නිලධාරින් මාර්ග ආරක්ෂාව සඳහා යෙදවීම ප්‍රායෝගිකව සිදුකළ හැක්කක් නොවේ. එම නිසා මාර්ග අනතුරු අවම කරගැනීම සඳහා රටේ ජනතාවටද වගකීමක් පවතී. එසේ හෙයින් මාර්ග අනතුරු අවම කරගැනීමට ජනතාවද ඍජුවම සම්බන්ධ කරගැනීමට මෙම දුරකථන යෙදවුම ඔස්සෙ පොලිසියට හැකියාව සැලැසේ.

ලොව දියුණු රටවල මේ වන විට භාවිත කරන මෙබදු තාක්ෂණික මෙවලමක් රිය අනතුරු වළකාලීමට සඳහා අපේ රට තුළ භාවිතයට ගැනෙන ප්‍රථම අවස්ථාව මෙය වේ. ජංගම දුරකථන යෙදවුම භාවිත කිරීමේදී මහජනයාගෙන් කිසිඳු මුදලක් අය නොවේ. පොලිස් රථවාහන කොට්ඨාසය බාර අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ සඳහන් කළේ, ඊ ට්‍රැෆික් ජංගම දුරකථන යෙදවුම මඟින් පොලිසියට අවැසි සහාය ලබාදීම සඳහා අන්තර්ජාල සබඳතා සහිත (Data) ස්මාර්ට් ජංගම දුරකථනයක් සහිත සැවොම මෙම ජංගම දුරකථන යෙදවුම සිය ජංගම දුරකථනවලට ඇතුළු කරගන්නා (Download) ලෙසයි.

දුරකථන යෙදවුම ජංගම දුරකථනයට ඇතුළු කරගැනීමෙන් පසු මහමඟ ගමන් කරද්දී සිදුවන අනේකවිධ රිය අනතුරු, මාර්ග නීති උල්ලංඝනය කිරීම් ආදි නොයෙක් මාර්ග අනතුරු මෙන්ම මාර්ග නීති වැරැදි එසැණින් වීඩියෝ ගතකොට හෝ ඡායාරූප ලෙස ලබාගෙන පොලිස් මූලස්ථානය වෙත යොමු කළ හැකි වේ. එලෙස පොලිස් මූලස්ථානයට ලැබුණු වීඩියෝව හෝ ඡායාරූප සැණින් යොමු කරනුයේ සිදුවීමට අදාළ පොලිස් වසමේ පොලිස් ස්ථානය වෙතයි.

අනතුරුව එම පොලිස් ස්ථානය මඟින් එම අනතුරට හෝ මාර්ග නීති උල්ලංඝනයට අදාළව ජංගම දුරකථන යෙදවුම ඔස්සෙ ලැබුණු ඡායාරූප හෝ වීඩියෝ දසුන් උපයෝගීකොට ඉදිරි නීතිමය පියවර ගනු ඇත. එම නිසා පොලිස් නිලධාරින්ගේ නෙත නොගැටුණත් කිසිවකුටත් ඉදිරියේදී මහමඟදී අනතුරක් සිදුකොට පලා යාමට හෝ මාර්ග නීති උල්ලංඝනය කරමින් රිය ධාවනයට දෙවරක් සිතීමට සිදුවන්නෙ මෙකී සැඟවුණු අමුත්තාට හසුවේයැයි යන බිය නිසාය. එසේම මෙම ජංගම දුරකථන යෙදවුම ඕනෑම අයෙකුට පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකි හෙයින් ඉදිරියේදී මෙරට ජනයා තුළ එය ප්‍රචලිත වනවාට සැක නැත.

අව් වැසි නොතකා දිව රෑ වෙහෙසෙමින් මාර්ග ආරක්ෂාවේ යෙදෙමින් විශාල කාර්යභාරයක් සිදුකරන තමනට ඊ ට්‍රැෆික් ජංගම දුරකථන යෙදවුම රාජකාරියට මනා පිටිවහලක් බව පොලිස් නිලධාරින්ගේ අදහසයි.

රුපියල් මිලියන දෙකකට අධික වටිනාකමකින් යුත් ඊ ට්‍රැෆික් ජංගම දුරකථන යෙදවුම ලෝක සෞඛ්‍ය සංවිධානය හා එක්ව ඉෆෙක්ටිව් සොලිෂන් ආයතනය නිර්මාණය කර ඇත්තේ මෙරට මාර්ග ආරක්ෂාව සුරක්ෂිත කිරීමේ ප්‍රමුඛ පරමාර්ථය පෙරදැරිවයි.

නවීන තාක්ෂණයෙන් රිය අනතුරු වළකාලීමට ‘ජංගම දුරකථන යෙදවුම‘ හැකි සෑම අයෙක්ම සිය ජංගම දුරකථනයට බාගත කරගනිමින් මෙරට තුළ දෛනිකව සිදුවන දෛනික රිය අනතුරු වළකාලීමට දායක වීම සැමගේ වගකීමකි. ඉන් මෙරට තුළ දිනකට සිදුවන 10කට ආසන්න මිනිස් ජීවිත රැක ගැනීමටත් පුර්ණ කාලීන මෙන්ම අර්ධ කාලීන ආබාධවලට ලක්වන්නන් අවම කරගැනීමටත් හැකියාව සැලැසේ.

ජාත්‍යන්තර රිය අනතුරු නිවාරණ සතියට සමගාමීව මෙකී ජංගම දුරකථන යෙදවුම මහජනයා අතර ක්‍රියාත්මක වීම ඇරැඹෙද්දී 'දිවි සුරකින මාර්ග පද්ධතියක්' සංකල්පය පදනම්කොට ප්‍රවාහන අමාත්‍යාංශයේ මාර්ග ආරක්ෂාව පිළිබඳව ජාතික සභාව සහ ශ්‍රී ලංකා පොලිසිය එක්ව තවත් පියවරක් ඉදිරියට තබමින් ඉදිරි පස් වසර සඳහා විශේෂ අවබෝධතා ගිවිසුමක්ද අස්සන් කෙරිණි.

ඉන් ඉදිරි පස් වසර සඳහා මාර්ග ආරක්ෂාවට පියවර රැසක් ගැනීමටත් ඒ සඳහා පොලිසියට අවැසි රුපියල් මිලියන 160කට ආසන්න මුදලක සම්පත් සැපයීමටත් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව එකඟ වීම මෙරට තුළ මාර්ග අනතුරු අවම කරගැනීමට ගත් තවත් ඉතාම කාලෝචිත අත්‍යවශ්‍යම ක්‍රියාමාර්ගයක් ලෙස සැලැකිය හැකිය.

ඒ අනුව මෙතෙක් ගංජා, හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය භාවිතකොට රිය ධාවනය කරන්නන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට තිබූ උපකරණ හිඟතාවටද පිළියමක් සැලැසිණි. ඉදිරියේදී මත්ද්‍රව්‍ය භාවිතකොට රිය ධාවනයේ යෙදෙන රියැදුරන් නීතියේ රැහැනට කොටුකර ගැනීම සඳහා වර්තමානයේ ලොව භාවිත නවීනතම පරීක්ෂණ දෙකක් සඳහා අවැසි උපකරණ කට්ටලද ශ්‍රී ලංකා පොලිසියට පිරිනැමීමක් සිදු විණි. ඉන් මත්ද්‍රව්‍ය භාවිත කරමින් රිය ධාවනය කරන්නන් හඳුනා ගැනීමට ඛේටය සහ මුත්‍රා මඟින් සිදුකරන නවීනතම පරීක්ෂණ සඳහා අවැසි ඩ්‍රග් ටෙස්ටින් කිට් (Drug Testing Kit) උපකරණ ශ්‍රී ලංකා පොලිසියට ලබාදීමටද මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව කටයුතු කෙරිණි.

මෙවැනි නවීන තාක්ෂණය මෙන්ම නවීන උපකරණ ඔස්සෙ මාර්ග අනතුරු වළකාලමින් විනයක්, හික්මීමක් සහිත රියැදුරන් පිරිසක් මෙරට මාර්ගවලට යොමු කිරීමට ශ්‍රී ලංකා පොලිසිය සහ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශය ගන්නා වෙහෙස පිළිබඳව සැමගේ ප්‍රශංසා හිමිවිය යුතුය.

 

Comments