
අපේ රටේ මුදල් සම්බන්ධව පවතින්නේ අමුතුම නීතියකි. මහ බැංකුව අධීක්ෂණයේ පවතින්නේ රාජ්‍ය හා පෞද්ගලික බැංකු ඇතුළු මූල්‍ය සමාගම් ඇතුළු ආයතන කිහිපයක් පමණි.
එහෙත් මෙරට 14,000කට අධික ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් ඇතත් ඒවායින් මහ බැංකුවේ ලියාපදිංචි වී ඇත්තේ 4ක් පමණකි. එසේම ‘හයර් පර්චස්‘ නමින් ණය හෝ භාණ්ඩ ලබා දෙන ආයතන මහ බැංකුවට අයත් නැත. ඒවා අධීක්ෂණය වන්නේ පාරිභෝගික පනතට අනුවය. එහෙත් පාරිභෝගික අධිකාරියේ හා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පාරිභෝගිකයා වෙනුවෙන් කරනු ලබන කාර්යය ගැන විෂ පොල්තෙල් මගඩියේදී හොඳින්ම පෙනුණි.
ලංකාවම මුළා කළ සක්විති මූල්‍ය දඩයම් පටන් ගත්තේ මේ හිඩැස් අතරින් රිංගා යමිනි. අදටත් සමුපකාර සමිති සහ හයර් පර්චස් සමාගම් මහජන මුදල් රිසි සේ ගසා කන අයුරු පෙනේ. ඒ ගැන වගකියන්නට කිසි කෙනෙක් නැත.
ඇති හැකි අය බැංකු හෝ මූල්‍ය ආයතනවල වාර්තා බලා තමන්ගේ ආයෝජන සිදු කරනු ලැබේ. එවැනි අය තවත් එහාට ගොස් තොරතුරු විමසන්නේ නම් කොටස් වෙළෙඳපොළේ කොටසක මිල ඉහළ පහළ යන ආකාරය අනුව අදාළ බැංකුවේ හෝ සමාගමේ ද්‍රවශීලතාව හෙවත් ‘අදාළ කාලයේදී පාරිභෝගික තැන්පතු ආපසු ගෙවීමේ හැකියාව‘ ගැන සොයා බලති.
එහෙත් ගමේ ගොඩේ ඇති සමුපකාර සමිති හෝ සකසුරුවම් සමිති ගැන සොයන්නට අධීක්ෂණය කරන්නට කිසිවෙක් නැත. බොහෝ සමිති මසකට වරක් අධීක්ෂණය කරනු ලබන අතර සියලු සමිති අනිවාර්යෙන්ම වසරකට වරක් විගණනය විය යුතුය. මේ බොහෝ සමිති ශ්‍රී ලංකා සමුපකාර සමිති පනත යටතේ ලියාපදිංචි කර ඇති අතර, සමිති රැසක් බස්‌නාහිර පළාත් සභාවේ සමුපකාර සමිති ප්‍රඥප්තිය මඟින් සහ සමුපකාර සමිති පනතේ නීති රීති මාලාවක් මඟින් පාලනය වේ.
එවන් සමුපකාර සමිති රැසක් මහ බැංකුව යටතේ ලියාපදිංචිය ලබා නැත. බොහෝ සමිති ලියාපදිංචි වී තිබෙන්නේ සණස සංගමයේ පමණි. මුදල් බාර ගැනීමට අවශ්‍ය පරිදි ප්‍රතිපත්ති සකස් කරගෙන ඇති මේ සමිතිවල තැන්පත් කරනු ලබන මුදල්වලට වග කියන්නේ කවුද?
එම මුදල්වලට මහ බැංකුව හෝ සණස වගකීමක් නැත. සමූපකාර දෙපාර්තමේන්තුවද මේ සම්බන්ධ වගකීමක් දරන්නේ නැත. එසේනම් එම සමිති මුදල් එකතු කරන්නේ කෙසේද? එවන් තත්ත්වයක් මත මහජන මුදල් ලබා ගැනීමෙන් පසු අදාළ සමිති සමාගම් ජනතා මුදල් කොල්ල කා එහි අධ්‍යක්ෂ මණ්ඩල පැන ගියහොත් සිදු වන්නේ කුමක්ද?
මේ වන විට එවන් බරපතළ මූල්‍ය වංචාවන් රැසක්ම සමුපකාර සමිතිවල සිදුව ඇත. අසරණ ජනතාව 2,146 දෙනකුගේ මහා මුදල් වංචාවක් කළ මහරගම වත්තේ ගෙදර සමුපකාර සකසුරුවම් සමිතියේ රුපියල් ලක්ෂ 9,100ක් හෙවත් රුපියල් කෝටි 91ක වංචාවක් කර පලා ගිය පුද්ගලයකු පසුගියදා අත්අඩංගුවට ගත්තේ වසර 4කට පසුවය. මේ මහා මුදල් වංචාව සිදු වූයේ 2017 වසරේදීය.
අදාළ පුද්ගලයා සම්බන්ධව පැමිණිලි ලැබීමෙන් පසුව මහරගම පොලිසිය විසින් මේ සම්බන්ධව පරීක්ෂණ පැවැත්වුද සැකකරු අත්අඩංගුවට ගත නොහැකි විය. පසුව විමර්ශන පැවැත්වීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කරන ලදී. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දිගින් දිගටම පරීක්ෂණ කළද මේ පුද්ගලයා සම්බන්ධ විස්තර සොයා ගැනීමට නොහැකි වූ අතර බොහෝ දෙනා උපකල්පනය කෙළේ ඔහු ව්‍යාජ ගමන් බලපත්‍රයකින් විදෙස් ගතවන්නට ඇති බවය. එසේ වුවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ කටයුතු අත් හැරියේ නැත.
අදාළ පුද්ගලයා ඇසුරු කළ හා ඔහු දුරකථන ඇමතුම් ලබා ගත් පුද්ගලයන් සිටින ප්‍රදේශ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇසට යොමු විය.
ඒ අනුව කළ දීර්ඝ විමර්ශනයකින් පසුව අදාළ පුද්ගලයා වෙනත් නමකින් කූට ලේඛන සකසා ව්‍යාපාරිකයකු ලෙස බිබිල ප්‍රදේශයේ සිටියදී පසුගිය සතියේ අත්අඩංගුවට පත් විය. ඒ වන විට ඔහු භාවිත කළ මෝටර් රථ මෙන්ම ජංගම දුරකථන සිම්පත්ද ලබා ගෙන තිබුණේ ව්‍යාජ නම්වලිනි.
අත් අඩංගුවට ගත් සැකකරුගෙන් මේ වන විට රැඳවුම් නියෝග යටතේ ප්‍රශ්න කරගෙන යයි.
මේ පුද්ගලයා රුපියල් ලක්ෂ 9,100ක මුදලක් රැගෙන යනතුරු අදාළ ආයතනයේ අනෙක් නිලධාරීන් සිදු කෙළේ කුමක්ද? විගණනයේදී රුපියල් ලක්ෂ 9,100ක වංචාවක් අසු නොවූයේ මන්ද?
මෙය එක් පුද්ගලයකුට පමණක් කළ හැකි වංචනික ක්‍රියාවක් නොවේ. එම නිසා හයිකාරකම් ඇති අනෙක් පුද්ගලයන්ද වහාම අත්අඩංගුවට ගෙන ඔවුන්ට විරුද්ධව නීතිය ඉටු කළ යුතුය.
වත්තේගෙදර සණස සමිතියේ, වසර නවයක තරම් ඉතා දීර්ඝ කාලයක් විගණනය සිදු කිරීම පැහැර හැර ඇති බව විමර්ශනයේදී හෙළි විය. එයින් සාමාජික මුදල් සහ සමිති දේපළ, අයථා අන්දමින් සමිති සභාපති, ලේකම් ඇතුළු කාරක සභිකයන්ට රිසිසේ භුක්ති විඳින්නට බස්‌නාහිර පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ඇතුළු විගණන නිලධාරීන් ඉඩහැර තිබූ අයුරු මේ සම්බන්ධව කළ විමර්ශනයේදී හෙළි විය.
ඒ බව දැනගත් පසුව මුදල් වංචාවට අසු වූ වත්තෙගෙදර සණස සමුපකාර සමිතියේ තැන්පත්කරුවෝ අටසීයක පමණ පිරිසක් බස්නාහිර පළාත් සභා කාර්යාලය වටලා මෙම මූල්‍ය වංචාව සම්බන්ධව ක්‍රියාකර එම මුදල් ලබාදෙන ලෙස එවකට මහ ඇමැති ධුරය දැරූ ඉසුරු දේවප්‍රියගෙන් ඉල්ලා සිටියහ.
ඔවුන්ගේ මුදල් තැන්පතු සිදුවූයේ එම පළාත් සභාවේ සමුපකාර අමාත්‍යාංශයේ අනුදැනුම මත බැවින් එම ගැටලුව විසඳා දී මෙම මහා පරිමාණ වංචාවට අදාළ නිසි නීතිමය පියවර ගැනීම සිදුකරන ලෙසද ඉල්ලා සිටියහ.
වත්තේගෙදර මුදල් වංචාව එකක් පමණි
පසුව මහ ඇමැතිවරයා බස්නාහිර පළාත් සභා සමුපකාර අමාත්‍යාංශ නිලධාරින් කැඳවා මෙම ගනුදෙනුකරුවන්ගේ මුදල් වංචා කිරීමට අදාළ සිද්ධිය පිළිබඳව සොයා බලා ඊට නිසි පියවර ගැනීමට කටයුතු කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දුන්නද වසර 4ක් යනතුරු ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට නීතියටද නොහැකි විය. වත්තෙගෙදර සණස සමුපකාර සමිතිය බස්නාහිර පළාත් සභා සමුපකාර දෙපාර්තමේන්තුවට පවරා ගැනීමට කටයුතු කරන ලෙසට මහ ඇමැතිවරයා විසින් සමුපකාර කොමසාරිස්වරයාට උපදෙස් ලබාදුන්නද එයින් ගනුදෙනුකරුවටන්ට විධිමත් සාධාරණයක් ඉටුවූයේ නැත.
මේ හා සමාන වංචාවන් කිහිපයක්ම සණස අනුබද්ධිත සමුපකාර සමිති හා සකසුරුවම් සමිති හරහා පසුගිය කාලයේදී සිදු කෙරිණි. ඒවායින් සිදු කළ වංචා රුපියල් බිලියන 3කට අධිකය එනම් රුපියල් ලක්ෂ 30,000කට වැඩිය.
මෙය කෙතරම් වංචාවක්ද යන්න මෙයින් පැහැදිලිය. එයින් තවත් වංචාවක් සිදුවූයේ ගම්පහ විගොඩ සණස සමිතියේය. එම වංචාව රුපියල් ලක්ෂ 7,500කට අධිකය. ගනුදෙනුකරුවන් 2,400කට අධික පිරිසකට එයින් තැන්පතු මුදල් අහිමිව ඇත. වත්මන් කොරෝනා රෝගය නිසා එම තැන්පත්කරුවන් අද පත්ව ඇත්තේ කෙතරම් ශෝචනීය තත්ත්වයකටද?
විගොඩ සණස සමිතියේ සභාපතිවරයා සහ ඔහුගේ බිරිඳ විසින් එම සමිතියේ තැන්පතුකරුවන්ට අයත් රුපියල් ලක්ෂ 4,000ක පමණ මුදලක් සිය පෞද්ගලික භාවිතය සඳහා යොදාගෙන තිබුණි. එසේම සීමාසහිත කොටිකාවත්ත සණස සමිතියද මේ ලෙසින්ම මහා පරිමාණ වංචා කළ සමිතියකි. ශ්‍රී ලංකා සමුපකාර සමිති පනත යටතේ 1992 වර්ෂයේ ලියාපදිංචි කළ එම සමිතිය, වත්තේගෙදර සමිතිය සේම බස්‌නාහිර පළාත් සභාවේ සමුපකාර සමිති ප්‍රඥප්තිය මඟින් සහ සමුපකාර සමිති පනත අනුව පාලනය වූවකි. එහි සිදු කළ වංචා ද මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තවේ විභාග වෙමින් පවතී.
මීට අමතරව ගම්පහ නැඟෙනහිර පළගතුරේ සණස බැංකුවේ රුපියල් ලක්ෂ 300ක මූල්‍ය වංචාවක් ගැනද මේ වන විට විමර්ශන සිදු කෙරේ. මෙම මූල්‍ය වංචාව සිදු වී ඇත්තේ එම බැංකුවේ කළමනාකාරිත්වයක් යටතේ එම ආයතනය පවතිද්දීය. ඇය වැඩ තහනමට ලක් කිරීමෙන් බලධාරීහු අත පිහිදා ගැනීමට කටයුතු කළහ.
මීට අමතරව ගම්පහ නාගරික සණස සමිතියක අතිවිශාල මූල්‍ය වංචාවක් කළ අයකු අත්අඩංගුවට ගෙන මේ වන විටත් විමර්ශනය කෙරේ.
ඔහු විසින් වංචා කළ මුදල් මේ වන විටත් නිසි පරිදි අනාවරණය වී නැත. නිල නොවන ආරංචි මාර්ගවලින් පැවසෙන්නේ ඔහු රුපියල් ලක්ෂ 50,000ක් පමණ වංචා කර ඇති බවයි. මූල්‍ය වංචාවන්ට අමතරව සමිතිය සතු දේපළ ගොඩනැගිලි ද ඔහු විසින් මෙලෙස වංචා කර තිබේ.
අතීතයේ සිට ගැමියාගේ පිහිටට සිටි සමුපකාරයේ ඊළඟ පියවර ලෙස “සමුපකාර ණය ගනුදෙනු සමිතිය” බිහි වුවද වර්තමානයේ එහි සිදුවන මෙවන් වංචා නිසා ඒ පිළිබඳ විශ්වාසය තබන්නට බැරි තරමට ජනතාවට පිළිකුල් වී තිබේ.
එහෙත් අපට තිබෙන ගැටලුව එය නොවේ. රටේ මූල්‍ය පනත් මූල්‍ය කටයුතු ගැන පූර්ණ වගකීම දරන මහ බැංකුව මේ සම්බන්ධව තමන්ට බලයක් නැතැයි පවසා නිහඬ වීමයි.
ජනතා තැන්පතු බාර ගන්නා ආයතන ගැන මහ බැංකුවට වගකීමක් දැරිය නොහැකි නම් එම ආයතනවල තැන්පතු නොකරන ලෙස ජනතාවට දැන්වීමට මහ බැංකුව කටයුතු කළ යුතුය. මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණය කිරීමේ දෙපාර්තමේන්තුවක් වෙනම අධ්‍යක්ෂවරයකු යටතේ ස්ථාපිත කර ඇත. එහෙත් මූල්‍ය ආයතන මෙතරම් ජනතාව හූරා කද්දී ඔවුන් නිහඬය.
එවන් ආයතන අධීක්ෂණය කරන්නට බැරි නම් හා මහ බැංකුවට ඒවාට තැන්පතු භාර ගැනීම නැවැත්වීමටත් බැරි නම් මහජනතාවට හෝ තැන්පතු නොකරන ලෙස දැන්විය යුතුය. කරුමය නම් එවැන්නක් හෝ සිදු කරන්නට තරම්වත් මහ බැංකු නිලධාරීන්ට කොන්ද පණ නැතිව වීමය.