
ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ වූ කබිනි වාන්නතරය බොහෝ ප්‍රසිද්ධ වී ඇත්තේ එහි වූ කළු කොටියා නිසාය. සංචාරක ආකර්ෂණයෙන් පිරි කබිනි වනාන්තරයේ වූ මේ ජනප්‍රිය කළු කොටියා හඳුන්වන්නේ කුවීන් කබිනි වශයෙනි. කොටියා මෙන්ම කළු කොටියා ද බෙහෙවින් සංචාරක ආකර්ෂණීය සත්ත්වයෙකි. ලංකාවේ ජාතික උද්‍යාන තුළ දිවි ගෙවන කොටියා වනයේ ජීවත්වන විශාලතම විලෝපිකයාය. ලොව රටවල් 26ක කොටි ජීවත්වන අතර කොටි උප විශේෂ නමයෙන් ලංකාවේ ජීවත් වන්නේ ‘ශ්‍රී ලාංකික කොටියා‘ හෙවත් විද්‍යාත්මක නමයෙන් හඳුන්වන Panthera padus kotiya ය. IUCN දත්ත වාර්තාවන්ට අනුව කොටියා රතු දත්ත ලැයිස්තුවට ඇතුළත් වී ඇත්තේ 2008 වසරේදීය. අද වන වසර 15කට ආසන්න වුවද තවමත් මොවුන් වඳ වීමේ දැඩි අවදානමට ලක් වූ (Vulnerable) සත්ත්ව විශේෂයක් වන හෙයිනි.
වන ජීවි දෙපාර්තමේන්තු හා ස්වභාව ආරක්ෂණ සංගම් දත්තයන්ට අනුව 2010 වසරේ සිට මේ දක්වා කොටි 106 දෙනෙක් දිවි හැර ගොස් ඇත්තේ මිනිසුන්ගේ විවිධ ක්‍රියාකාරකම් හේතුවෙනි. ශ්‍රී ලාංකික කොටියා පිළිබඳ දීප ව්‍යාප්ත පර්යේෂණයක් අවසන් වරට සිදුකර ඇත්තේ 2015 දීය. මෙතෙක් විවිධ වන ජීවි කලාප තුළ යම් යම් සංගණනයන් සිදුකර තිබුණ ද මේ දක්වා පුළුල් සංගණනයක් දිප ව්‍යාප්තව සිදු කර නොමැත. 2015 අවසන් සංගණනයට අනුව ලංකාවේ කොටි 700- 950ක් සිටි බවට එදා අනුමාන කළේය. විල්පත්තුවේ කොටි සංගණනයක් සිදු කර ඇත්තේ 2018 වසරේදීය. ලංකාවේ විශාලතම ජාතික වනෝද්‍යානයක් වන වර්ග කිලෝ මීටර 1316ක් වන විල්පත්තුහි කොටි නිජබිම කරගත් ආරක්ෂිත ස්ථාන කිහිපයක් වෙයි. විල්පත්තුව තුළ සිදුකළ සමීක්ෂනයේදි වර්ග කිලෝ මීටර 700ක කොටින් 133කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන ඇති අතර එයින් 17ක් අවුරුදු 2ට අඩු පැටවුන්ය. කොටි ගැහැනු පිරිමි අනුපාතය 2:1කි.
යාල ජාතික වනෝද්‍යාද්‍යාන නරඹන්නට බොහෝ දෙනෙක් ප්‍රිය කරන්නේ කොටි නැරඹීමේ අටියෙනි. හෙක්ටයාර් 11,000කට ආසන්න යාල ජාතික වනෝද්‍යානයේ විශාල කොටි ගහනයක් සිටින බවට පර්යේෂණ මඟින් ද සනාථ කර ඇත. සමහරු පවසන්නේ කොටි පාරාදීසයක් වශයෙනි. බොහෝ දෙනා යාල සංචාරයේ යෙදෙන්නේ ද කොටි දැක ගැනීමේ ඒකායන අදිටනෙනි. විශේෂයෙන් යාල කලාප අංක 1 පමණක් කොටි ගහණය 100ක් පමණ ඇති බව පර්යේෂණවලින් ද සොයා ගෙන ඇත. කොටි දක්නට ලැබුණත් කළු කොටියා මින් පෙර යාලදී හමුවූ බවට පැහැදිලි සලකුණක් නොවුණි. එහෙත් පසුගිය 24 වැනිදා යාල ජාතික වනෝද්‍යානයෙන්ද කළු කොටියකු කැමරාවට පැහැදිලිව දිස්වීම මේ වන විට සංචාරක ආකර්ෂණය වැළඳ ගැනීමට හේතු වී තිබේ. සමහරු පවසන්නේ කළු කොටියා කළු දියමන්තියක් මෙන් වටිනා බවය. ඉදිරියේදී ඉන්දියාවේ කබිනි ජාතික උද්‍යානයේ මෙන් දැන් ලංකාවේ ජාතික උද්‍යානයකදී කළු කොටියා දැක ගත හැක.
මින් පෙර කළු කොටියා හමුවී ඇත්තේ සිරිපා අඩවිය අවට තෙත් වනාන්තරයෙනි. කළු කොටි ලංකාවේ ඇති බවට මුල්ම කැමරා කාචයකට හසුව ඇත්තේ වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන් වන මාලක අබේවර්ධන සහ මනෝජ් අකලංක විසින් දුරස්ථ චලන කැමරා සවි කරමින් කරන ලද අධ්‍යයනයක දීය. එහිදී එක් කැමරාවක මෙම කළු කොටියාගේ දර්ශන පටිගත වීම එකල විශාල පෙරළියක් විය. නමුත් අවාසනාවකට මෙන් මේ වන විට එම කළු කොටියා ඇතුළු කළු කොටි සිවු දෙනකු මරණයට පත්වූයේ මදුවලට ජීවිතය පිදීමෙනි. “ ලංකාවේ කොටි සංගණනයක් සිදු කර නැහැ. නමුත් ආසන්න වශයෙන් 1000කට ආසන්න ප්‍රමාණයක් කොටි ජීවත් වෙනවා. එයින් දෙතුන් සියයකට එක් කොටියකු පමණයි, මේ ආකාරයෙන් නිලීන ජාන ඉස්මතුව කළු කොටි බවට පත් වන්නේ. යාල ඇතුළු වනෝද්‍යානවල තවත් එවැනි කළු කොටි ජිවත් විය හැකියි. පසුගිය කාලයේ නල්ලතන්නිය, සිංහරාජ හා දෙනියාය අවට කළු කොටි සිව් දෙනකු මරණයට පත්වුණා. කළු කොටින්ට ජීවත්වීමට, දඩයම් කිරීමට හා විලෝපිකයන්ගෙන් ආරක්ෂා වීමට සුදුසුම පරිසරය තෙත් කලාපීය වනාන්තරයි“ ඒ පශු වෛද්‍ය නිලධාරී මාලක අබේවර්ධනය.
නමුත් මෙවර කළු කොටියා පැහැදිලිව දිස්ව ඇත්තේ වියළි කලාපීය වනෝද්‍යානයක් වූ යාල තුළිනි. මේ නිසා කළු කොටියාට ඇති තර්ජන ද බොහෝය. දැන් යාල සංචාරකයන් අතර බොහෝ ජනප්‍රියව ඇත්තේ කළු කොටියා නිසාය. යාල උද්‍යාන භාරකරු මනෝජ් විද්‍යාරත්න පවසන්නේ ඒ සිදුවීම නිසා සංචාරකයන්ගේ පැමිණීම පාලනය කර ගත නොහැකි මට්ටමකට පත්ව ඇති බවකි.
“ සංචාරක ආකර්ශනය ලබා ගැනීමේදි වැදගත්කමක් උසුලන කළු කොටි වාර්තා වීම් මින් පෙර සිදුවුණේ තෙත් කලාපයේ. වියළි කලාපයේ කළු කොටි වාර්තාවීමක් සිදු වූයේ නැහැ. ඉතිහාසයේ මුල්ම වතාවටයි වියළි කලාපයේ වූ යාල ජාතික වනෝද්‍යානයෙන් කළු කොටියකු ස්ථිරව දැකගත හැකි වුණේ. මාර්තු 24 වැනිදා. ඒ සාමාන්‍ය කොටි මවක් හා කළු කොටි පිරිමි පැටියෙක්. ඔවුන් දෙදෙනාම පාර හරහා මාරුවන දසුනක් තමයි යාල සංචාරකයන්ට දැක ගන්නට හැකි වී ඇත්තේ. ඒ යාල කලාප අංක 1 හි ජබුරාගල පාරේ උදේ වරුවේ 8-9 ත් අතර.
යාල ජාතික වනෝද්‍යානය කොටි රජ දහනක් වුවත් යාල ජාතික වනෝද්‍යානයේ කළු කොටි සිටින බවට අවස්ථා කිහිපයකදී යම් යම් තොරතුරු වාර්තා වුණා. යාල කලාප අංක 3 ගල්ගේ ප්‍රදේශයේදි කළු කොටියකු පිළිබඳ තොරතුරු වාර්තා වුණා. නමුත් සනාථ කර ගැනීම ඡායාරූප සාක්ෂි තිබුණේ නැහැ. ඒ වගේම පසුගිය සැප්තැම්බර් මාසයේදී යාල මහ සීලව වැව ආසන්නයේදී කොටි ධේනුවක් කළු පැටවුන් දෙදෙනෙක් කටේ තියාගෙන මාරු වූ බව නියාමක මහත්තයෙක් දැකලා තියෙනවා. සමහර විට මේ එයින් එක් පැටවකු විය හැකි බවට අනුමාන කරනවා. නමුත් යාල කලාප අංක 1 කළු කොටියකු ඇති බවට මුලින්ම නිශ්චිත නොවූ තොරතුරක් ආසන්නයේම වාර්තා වුණේ මේ වසරේ පෙබරවාරි 24 වැනිදා. ඒ මේ ආසන්නයේම වූ මහ සීලව වැව අසල. සෆාරි ජීප් රථ දෙකක රියදුරෝ දෙදෙනෙක් ඇතුළු සංචාරක පිරිසක් තමයි ඒ නොපැහැදිලි දසුනක් දැක ඇත්තේ. පැහැදිලිව දැක නොතිබුණත් ගල් කුළු අතරින් පෙනි නෙපෙනී ගොස් තිබුණු ඒ සතා කළු කොටි පැටියකු විය හැකි බව ඔවුහු අපට පැවැසුවා. මේ ප්‍රදේශයේ කළු කොටියකු ඇති බවට මුල්ම සාක්ෂිය ලැබෙන්නේ ඒ ආකාරයෙන්. ඊට දින ගණනාවකට පසුයි මේ පැහැදිලි දසුන දකින්නට හැකි වන්නේ. මේ කළු කොටි පැටියාගේ වයස මාස 6-7ක් පමණ ඇති බවට විශ්වාස කරනවා. කොටි අම්මා සෑහෙන කුලෑටි හා හුදකලාවට ප්‍රිය සතෙක්.
කළු කොටියාගේ වර්ණය නිසා ඌට අවාසිදායක තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවිය හැකියි. කොටියාගේ ජීවන චක්‍රය අධ්‍යයනය කිරීමේදි පැහැදිලි වන කරුණක් තමයි, කැළෑවේ ඒ ඒ කොටියාට නිශ්චිත වැසුම් ප්‍රදේශ ( Territory) පවතිනවා. තමන්ගේ වැසුම් ප්‍රදේශවලට වෙන කවුරුන් හෝ පැමිණීම ආරවුලකට මුලක්. මේ කළු කොටි පැටියා සිටි ප්‍රදේශයේ මීට මාස දෙකකට පෙර මේ වයසේම පිරිමි කොටි පැටියකු වැඩුණු කොටි මැරුවා. පිරිමි කොටි පැටවුන් විශාල කොටි විසින් මරා දැමීම සාමාන්‍ය ස්වභාවික සංසිද්ධියක්. මේ අවදානම මේ ආසන්නයේ වූ කළු කොටි පිරිමි පැටියාටත් මතුවිය හැකියි.
කළු කොටියා වාර්තා වුණේ යාල කලාප අංක 1 නිසා උගේ ආරක්ෂාව වෙනුවෙන් මේ ප්‍රදේශයට ඇතුළු වීම තාවකාලිකව නතර කර තියෙනවා. කළු කොටි පැටවා හමු වූ දාට පසුවදා විශාල වාහන සංඛ්‍යාවක් මේ ආසන්නයේ දැකිය හැකි වුණා.
කෑම්ප් බිම් පිරී ඉතිරී ගියා. එය පාලනය කර ගැනීමට පවා අපහසු වුණා. මේ නිසා සතාගේ ආරක්ෂාව වෙනුවෙන් හා නිසි ආරක්ෂක ක්‍රියාමාර්ග ගන්නා තෙක් ඒ ප්‍රදේශය තාවකාලිකව වසා තැබීමට කටයුතු කළා. යම් හෙයකින් කොටි මවට මේ ප්‍රදේශය අනාරක්ෂිත යැයි හැඟුණහොත් එයා පැටියා වෙන පැත්තකට ගෙන යාමේ ඉඩකඩ පවතිනවා. මේ කළු කොටි පැටවා හමු වූ උද්‍යාන කලාපය ගම්මානවලට ආසන්නයේම පවතිනවා. ඒවායේ මදු ඇටවීම් කරනවා. යම් හෙයකින් පැටියා ඒ උද්‍යාන මායිමට ගෙන ගියොත් ඌට අනතුරක් වීමේ අවදානම වැඩියි........“ එ් යාල උද්‍යාන භාරකරු මනෝජ් විද්‍යාරත්නය.
වන දිවියේ අත්දැකීම් බහුල වසර 40 කට වැඩි කලක් කොටි පිළිබඳ පර්යේෂණයන්හි නියැළි සංරක්ෂණ ජිව විද්‍යාඥ සමිත හරිස්චන්ද්‍ර පවසන්නේ බිලාල පවුලේ සාමාජිකයන් අතර මෙවැනි ඇළි හෙවත් නිලින ජාන ලක්ෂණ මතුවිය හැකි අතර මෙය කොටි ගහණයට බාධාවක් වන බවත්ය.
“සංචාරක ආකර්ෂණය පැත්තෙන් වාසියක් වුවත් මෙවැනි සතුන් කොටි ගහනය පැත්තෙන් බාධාවක්. කළු කොටියාගේ පැවැත්මට හිතකර වන්නේ තෙත් කලාපීය වනාන්තර. මන්ද තෙත් කලාපයේ ඇති අඳුරු සහගත බව නිසා මේ සතුන්ට පහසුවෙන් දඩයම් කිරීමේ මෙන්ම ආහාර සොයා ගැනීමේ පහසුවක් ඇති වෙනවා.
වියළි කලාපයෙ මෙවැනි කළු කොටියකු දිස් වූ ප්‍රථම අවස්ථාව මෙයයි. වියළි කලාපයේදි මේ සතුන් කැපී පෙනීම වැඩියි. නමුත් කඳුකරයේ යම් යම් අවස්ථාවලදී මෙවැනි කොටි හමු වෙලා තියෙනවා. ලොව කොටි උප විශේෂ 9ක් තියෙනවා. Panthera padus kotiya නම් ලංකාවේ උප විශේෂය එයින් එකක්. ඒ ඒ කොටි උප විශේෂවල මෙවැනි ඇලි හෙවත් කළු කොටි අවස්ථා දකින්නට තියෙනවා.
සත්ත්ව විද්‍යාත්මක පැත්තෙන් එහි අපූරුවක් නැහැ. බිලාල පවුගේ සාමාජිකයන් අතරද මෙවැනි කළු හෙවත් ඇළි ලක්ෂණ පවතින්න පුළුවන්. සත්ත්තව අභිජනනයන් එකම කාණ්ඩය තුළ සිදුවීම නිසා මෙවැනි විකෘතිතා ඇති විය හැකියි.
ලංකාවේ කොටි නිශ්චිතව මෙපමණ අගයක් සිටිනවායැයි පැවැසිය නොහැකි වුවත්, ලංකාවේ නම් ලංකාවේ කොටියා 500-1000ක ප්‍රමාණයක් සිටිතැයි විශ්වාස කරනවා. ලංකාවේ මුහුදු මට්ටමේ සිට උස් කඳුකරය දක්වා කොටි හමු වෙනවා.
ඒ වගේම වසර 40කට වැඩි අත්දැකීම් අනුව 1992 සිට මේ දක්වාත්, විශේෂයෙන් 2010න් පසුවත් කොටි ගහනයේ වැඩිවීමක් පෙන්නුම් කළා. එ් පරිසර සංරක්ෂණයට හා වන සතුන්ගේ ආරක්ෂාවට විශේෂ අවධානයක් යොමු කළ නිසා. ඒ ඒ කොටියා තමන්ට අනන්‍ය වූ භූමි ප්‍රමාණයක් වෙන් කරගෙන තියෙනවා. නමුත් දැන් දැන් එම භූමි ප්‍රමාණය අඩුවෙමින් පවතිනවා. උදාහරණයක් ලෙස කුමන කොටින්ගේ මේ භූමි ප්‍රමාණය අඩු වෙමින් පවතිනවා. “ ඒ සංරක්ෂණ ජීව විද්‍යාඥ සමිත හරිස්චන්ද්‍රය.
කාලයක් පුරාවට යාල සිදු කරන ඡායාරූපගත කිරීම්වලදී කළු කොටියකු ඔහුගේ කැමරා කාචයේ සටහන් නොවුණි. එය එතරම්ම දුලබ සිදුවීමකි.
ලංකාවේ කළු කොටි 4දෙනෙක් මින් පෙර මරණයට පත්වී ඇත්තේ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙනි. ඒ නල්ලතන්නි, දෙනියාය ආශ්‍රිතවය. හේතුව මදුවලට හසුවීමෙනි. නල්ලතන්නියේදී මියගිය කළු කොටියාගේ ජාන පරික්ෂාවන් 2020 පේරාදෙණි විශ්වවිද්‍යාලයේ දි සිදු විය. ඒ කළු කොටියාගේ ජාන විද්‍යාත්මක සාක්ෂි සොයා ගැනීමටය.
“අපිට අවශ්‍ය වුණේ කළු කොටියාගේ මෙලනින් වර්ණකය ගැන සොයන්න. මෙහිදි පෙනී ගියේ මේ සත්වයාගේ විකෘතිතාවක් ඇත්තේ AFIP ජානයේ පමණක් බව. සම්පූර්ණ ජාන නිලීන නැහැ. නමුත් ඉන්දියාවේ කළු කොටින්ගේ ඊට වඩා ජාන විකෘතිතා තිබුණා. කළු කොටි මවක් හෝ කළු කොටි පියකුට දාව ඉපදෙන පැටියා කළු කොටියකු වීමේ සම්භාවිතාව 3:1ක්.
කොටි අම්මා හා තාත්තා සාමාන්‍ය කොටියකු වුවහොත් මේ සම්භාවිතාව ඉතා අඩුයි. කළු කොටියකු බිහි වීමට ජාන විකෘති වූ කොටියකු සම්බන්ධ විය යුතුයි. මේ ජාන විකෘතිතා අනුව කළු කොටි බිහිවීමේ ඉඩකඩ පවතින නිසා ඉදිරියේදි කළු කොටි නැතිවී යාමේ අවදානම අඩුයි. මොහු අලුත් උප විශේෂයක් නෙමෙයි. හමේ වර්ණයේ හා ප්‍රමාණයේ වෙනසක් පමණයි ඇත්තේ. ඒ වගේම පරිසරයට හොඳින්ම අනුවර්තනය විය හැකි සතෙක්. ......“ඒ මේ පිළිබඳ ජාන විද්‍යාත්මක පර්යේෂණ කළ කළමණාකරණ සන්නිවේදන පද්ධති නිලධාරිනී ආචාර්ය නිලන්ති රාජපක්ෂය.
වන සත්ත්ව හා ස්වභාව ආරක්ෂණ සංගමයේ සභාපති ස්පෙන්සර් මැනුවල්පිල්ලේ පවසන්නේ මෙම කළු දියමන්තිය ආරක්ෂා කර ගැනීමේ වගකීම ජනතාව සතු වන බවයි.
“ අපේ රටේ ජනතාව කළු කොටි බලන්න විශාල වියදමක් දරාගෙන ඉන්දියාවේ කබිනි වානාන්තරයට යනවා. ඒ ගිහිල්ලත් දින ගණනාවක් සිටියත් දකින්නට වරම් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපේ වනාත්තරයේ වූ මෙවැනි සතුන් අපිට ආශිර්වාදයක්. මේ සතාගේ ආරක්ෂාව වෙනුවෙන් පියවර රාශියක් ගත යුතු වෙනවා.
මේ වන විට ජබුරාගල පාර වැසීමට කටයුතු කිරිම හොඳ දෙයක්. ඒ වගේම මේ පාරේ වාහන තදබදය අවම කිරීමට වාහන තනි අතට ගමන් කිරීමට පමණක් ඉඩ දිය යුතුයි. වාහනවලට ඒ ස්ථානයේ ගැවසීමට නිශ්චිත වේලාවක් ලබා දිය යුතුයි. සෆාරි ජීප් රථ රියදුරන් පවා මනා හික්මීමකින් ඒ ස්ථානයේ ගමන් කළ යුතු වෙනවා.
විදේශීය රටවල මෙවැනි විශේෂිත තත්ත්වයක් ඇති වුවහොත් වාහන පාලනය සඳහා විශේෂිත ක්‍රියාමාර්ග ඇති කරනවා. මන්ද මේ සතාගේ ආරක්ෂාව සැලසිය යුතුයි.
ඌ ඒ ස්ථානයෙන් පලා ගියොත් කාටවත් යළි දැක ගැනීමට නොහැකි වෙන්න පුළුවන්. මන්ද යාල මෙවැනි විශේෂ තත්ත්වයක් මතුවුණේ අවුරුදු 50කට පසුවයි. කෙසේ වෙතත් මෙවැනි දේ වාර්තා කිරීම් මෙන්ම ප්‍රසිද්ධියට පත් කිරීම් මනා සංයමයකින් සිදු කළ යුතුය. ප
ප්‍රවීණ සරිසරවේදි නයනක රන්වැල්ල පවසා ඇත්තේ යාල කළු කොටියාටත් අන් කළු කොටින්ට අත්වු ඉරණම අත් නොවන්නටනම් මේ සතුන්ව වැඩි වැඩියෙන් ආරක්ෂා කිරීමට වග බලාගත යුතු බවයි. මන්ද මේ සතුන් ඉලක්ක කරගත හැකි අනතරු අත ළඟ ඇති බැවිණි.