ගී ලියා හදවත් සුව කරන වෙදැදුරෝ | සිළුමිණ

ගී ලියා හදවත් සුව කරන වෙදැදුරෝ

වෙදැදුරෙකු ලෙස ගත සුවපත් කරන්නා සේම ගීත රචකයකු ලෙසින් හදවත් සුවපත් කරන්නට ද ඔවුහු එකසේ සමත්කම් දක්වති. මේ කියන්නට යන්නේ ඔවුන්ගේ කතාවයි.

ගීත සාහිත්‍යයට යොමු වූ වෛද්‍ය වෘත්තිකයන් අතර මුලින්ම අපේ මතකයට එන්නේ කලා කීර්ති දේශමාන්‍ය මහාචාර්ය නන්දදාස කෝදාගොඩය. හෙතෙම ගීත රචකයකු, ගායකයකු, වයලීන් වාදකයකු, ලේඛකයකු සහ දක්ෂ සන්නිවේදකයකු ද විය. ඔහු විසින් රචනා කළ ගීත අතරින් බොහෝ දෙනකුගේ තුඩ තුඩ රැව් දෙන්නේ ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් විසින් ගායනා කළ‘අතුල සිනිඳු සුදු වැල්ලේ පතළ සිහිල් සෙවණැල්ලේ’ ගීතයයි. 

නන්දදාස කෝදාගොඩයන් ආරම්භ කළ මඟ යමින් අරුත්බර ගීත දායාද කළ අනෙක් වෙදැදුරා වන්නේ මහාචාර්ය කාලෝ ෆොන්සේකාය. ඔහු අතින් ලියැවුණු ගීත අතරින් ආචාර්ය රෝහණ වීරසිංහ සහ විශාරද නන්දා මාලනී විසින් ගයන ‘රත්තරන් දුවේ’ ගීතයත් සුනිල් එදිරිසිංහයන් විසින් ගයන ‘රුදුරු තුරු වදුලේ’ ගීතයත් බෙහෙවින් ජනප්‍රිය විය. මීට අමතරව ‘සම්බුද්ධ රාජ’, ‘පදාර්ථයට පන කවා’, ‘ආසිරි වන්න ආයුබෝවන්න’, ‘ජීවිත ගමනේ’, ‘පෙම් සිනා’ ඔහු අතින් රචනා වූ ගීතයි. අද ඔවුන් දෙපළම අප අතර නැත. එහෙත් ඔවුන් ඉතිරි කර ගිය නිර්මාණ තවමත් අප සිත් සතන් සනහාලයි. එදා ඔවුන් හෙළි පෙහෙළි කළ මඟ යන වෙදැදුරු පරපුරක්ම අද අපට සිටිති.

ඒ අය අතරින් සිළුමිණට මුලින්ම හමු වූයේ කුරුණෑගල ළය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය යසනාත් ධම්මික බණ්ඩාරය. හෙතෙම කුඩා අවදියේ සිටම ලිවීමට යොමු වූවෙකි. පොතුහැර කනිටු විදුහලෙන් දෙවැනි ශ්‍රේණිය දක්වාද ඉගෙනුම ලැබූ ඔහු කුරුණෑගල මලියදේව විද්‍යාලයේ උසස් පෙළ දක්වා ඉගෙනුම ලැබීය. මේ කාලයේද හෙතෙම කවි ලීවේය. වෛද්‍ය උපාධිය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ගිය ඔහු 1995 දී ‘පතන්බිම’ කාව්‍ය සංග්‍රහය පළ කළේය.

“මම නිර්මාණය කළ පළමු ගීතය සමන් ජයනාත් ජීනදාස ගායනා කරන ‘ගාන තෙල් සඳුන් වරලස ’(1997) ගීතයයි. ඊට පස්සෙ කිඳුරු ගීතය නමින් ගීත 16ක් අඩංගු සංයුක්ත තැටියක් (1998) කළා. ඒ වසරේදීම ‘අඟුටුමිට්ටාගේ ප්‍රේමය’ නමින් මගේ දෙවැනි ගීත රචනා එකතුව පළ වුණා. ‘උයන්පල්ලා සහ සඳවතිය’ ගීත රචනා එකතුව පළ වුණේ 2000 වසරේදීයී.

යසනාත් ධම්මික බණ්ඩාර විසින් රචනා කළ ගීත අතරින් ‘නොනිදා ඉන්න එපා දේවී’ ,‘ගාන තෙල් සඳුන් වරලස ’, ‘අර මෝදු වෙලා සිනහ පුරන’, ‘වලාකුළු පෙළින් බසින්න’, ‘ඉරබටු තරුව වගේ’, ‘සුවඳ මල් රේණු පිස එන’, ‘මේ ආලවන්ත වීදියේ’, ‘රාත්‍රිය උවමනා කර තිබේ’යන ගීත රසිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය විය.

විකිරණවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගයාමන් දිසානායක, සාහිත්‍ය ගුරුවරයකු වී පසුව ගුරු උපදේශකවරයකු වී විෂය අධ්‍යක්ෂක වරයකු, කවියකු මෙන්ම ප්‍රකට ගීත රචකයකු වූ මහින්ද දිසානායකගේ පුතණුවන්ය. මව පුහුණු ගුරුවරියක ලෙස කටයුතු කර ඇති අතර ගයාමන්ගේ උපන්ගම අනුරාධපුරයයි.

අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර පාසලෙන් මූලික අධ්‍යාපනය ලද ඔහු ශිෂ්‍යත්ව විභාගයෙන් දිස්ත්‍රික්කයේ පළමු වැනියා බවට පත් වී කොළඹ රෝයල් කොලීජියට ඇතුළත් විය. 

එහි වසර පහක කාලයක් ඉගෙනුම ලැබූ හෙතෙම නැවතත් පෙරළා අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් විය. උසස් පෙළ ජීව විද්‍යා විෂයන්ගෙන් ඉහළින්ම සමත් වූ ගයාමන් 1997දී කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් විය.

“1995 දී විශ්විද්‍යාලයට තේරුණත් 1997දී තමයි කැම්පස් යන්න ලැබුණේ. ඒ අතර කාලයේ මං ඔරලෝසු හදන තැනක වැඩ කළා.

ඔය කාලය තුළ මං ගීත කිහිපයක් රචනා කර තිබුණා. ඉන් එක ගීතයක් මං ක්‍රිෂාන්ත එරන්දක අයියට දුන්නා. ඒ ‘අව්වේ මුතු ඇට වපුරා ’ කියන ගීතය. ඇත්තටම ඒ මගේ අම්මා අප්පච්චි ගැන ඇතිවුණ හැඟීම. අම්මා ගැන ගොඩක් ගීත තියෙන නිසා මං මේ ගීතය පිය ගුණ ගීතයක් ලෙස රචනා කළා.”

වෛද්‍ය ගයාමන් දිසානායක රචනා කර ඇති ගීත අතර ‘අව්වේ මුතු ඇට වපුරා’,‘මන්දාරම් අඳුර මැදින්’, ‘ඔබ සඳක් වී’, ‘සීතල පිනි’, ‘ඔබ සඳක්’ ආදී ගීත රසික ආදරය වඩාත් දිනූ ගීත ය.

කොළඹ ජාතික රෝහලේ අක්මා සහ අන්ත්‍ර ඒකකයේ වෛද්‍ය නිලධාරියකු ලෙස සේවය කරන වෛද්‍ය දුමින්ද හඳපාන්ගොඩ ද අපට සිටින දක්ෂ ගීත රචකයෙකි. රත්නපුර වටාපතදී උපන් හෙතෙම වටාපත මහාවිද්‍යාලයෙන් මුලකුරු කියැවීය. 1980 දී පාදුක්ක ප්‍රදේශයට පදිංචියට යෑමත් සමඟ පාදුක්ක කනිෂ්ට විද්‍යාලයට ඇතුළත් විය. එහිදී ශිෂ්‍යත්ව විභාගයෙන් හොඳින් සමත් වන හෙතෙම කොළඹ නාලන්දා විද්‍යාලයට ඇතුළත් විය. එහිදී සාමාන්‍ය පෙළ හොඳින් සමත්වූ ඔහු උසස් පෙළ ජීවවිද්‍යා විෂයන් හැදෑරීමට කොළඹ රෝයල් කොලීජියට ඇතුළත් වන්නේය. කුඩා කල පටන් ගීත ඇසීමට පුදුමාකාර ආශාවක් දැක් වූ දුමින්දට සාමාන්‍ය පෙළ පාස් වූ විට මව ඔහුට තෑගි දෙන්නේ ඩබල් කැසට් රෙකෝඩ් යන්ත්‍රයකි.

දුමින්දගේ පියා විදුහල්පතිවරයකු වූ අතර මව වාණිජ විෂය උගැන් වූ ගුරුවරියක වූවාය. උසස් පෙළ ජීව විද්‍යා විෂයන් හොඳින් සමත් වූ දුමින්ද 1995 දී කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් විය. උපාධිය ලබා 2000දී විශ්වවිද්‍යාල ජීවිතයට සමුදුන් ඔහු කුඩා කල පටන් පැවති ආශාව මුදුන්පත් වන්නේ කලාකරුවන් සමඟ ඇසුරට පත්වීමත් සමඟය. 

“මට නවරත්ත ගමගේ සහ ආචාර්ය වික්ටර් රත්නායක ළඟින් ඇසුරු කරන්න ලැබුණා. රත්නපුර ජීවත් වූ සුන්දර ග්‍රාමයේ මතක එක්ක ලියා තිබූ කවි පන්තියක් මා සතුව තිබුණා. ඒක දවසක් මං නවා අයියට පෙන්නුවාම, මේක සින්දුවකට මරුනෙ මල්ලී කියලා ඔහු එය ගීතයක් බවට පත් කළා. ඒ අනුව තමයි ‘කටේ කිරි සුවඳ නොගියද’ කියන ගීතය විශාරද සුනිල් එදිරිසිංහයන් ගායනා කළේ. පස්සේ ඒ ආශාවත් එක්ක මං දිගටම ලිවුවා. 2014 දී සින්දු 18ක් ඇතුළත් සිඩී ඇල්බමයක් කරා. 2019දී ‘දුර ගමනක්’ කියන ගීත සංග්‍රය පළ කළා.”

වෛද්‍ය දුමින්ද හඳපාන්ගොඩ රචනා කළ ‘ඇදුරුතුමාණනි’, ‘කවරදාවත් කීවේ නෑ’ , ‘කොහේදෝ ඉඳන් ඇවිදින්’, ‘මලක් නොවේ’ , ‘නොදැනීම අවසන් වුනා’, ‘දුරම ගමනක්’ , ‘කටේ කිරි සුවඳ’, ‘ඉරහඳ තරු ද’ ආදී ගීත බෙහෙවින් ජනාදරයට පත් විය.

මීළඟට සිළුමිණට මුණ ගැසුණේ වෛද්‍යවරියකි. ඈ නමින් සරලා ජීවන්ති ගමගේය. ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලද ඇය කරාපිටිය වෛද්‍ය විද්‍යාලයෙන් 1998 දී වෛද්‍ය උපාධිය හිමි කරගත්තාය. වයස අවුරුදු දොළහේ සිට කවි ගී ලියන්නට සමත්කම් දැක් වූ ඇය එකල ගුවන් විදුලියේ කනිටු සරසවියට ද නිතර ලිවුවාය. 1996 දී දෙවැනි වසරෙ සරසවි සිසුවියකව සිටි කාලයේ ඇය ගීතයක් රචනා කළාය. ඔය කාලයේ ආරියසිරි විතානගේ විසින් මෙහෙය වූ ගුවන් විදුලි වැඩසටහනකදී චරිතා ප්‍රියදර්ශනී පීරිස් තමන්ට නවක ගීත රචනා යොමු කරන ලෙස ඉල්ලීමක් කර තිබුණි. ඊට සවන්දී සිටි සරලා තමන් ලියූ ගීතය තැපෑලෙන් ඇයට ලැබීමට සැලැස්වූවාය.

"අවුරුද්දකින් විතර පස්සේ එඩ්වඩ් ජයකොඩිගෙන් ලිපියක් ලැබුණා. ඒකෙ තිබුණේ ඔයාගේ සින්දුව මම කිවුවා. මම ඒක කැසට් එකකටත් ඇතුළත් කළා. ඔයා කැසට් එක එළිදක්වන දවසට එන්න කියලා. මම එදා ඒකට ගියා. 

එදා ඒ ගීතය ඔහු විසින් ගායනා කරනවා මං අහගෙන ඉන්නකොට මට පුදුම හිතුණා, මේ ගීතය ලිවුවේ මමද කියලා. ඒ ගීතය තමයි ‘රෝස මලෙක කටු ඇණුනා හද පතුලෙන් ලේ ගැලුවා...’ කියන ගීතය. එය සංගීතවත් කර තිබුණේ ආචාර්ය රෝහණ වීරසිංහ. එදා මට වේදිකාවට කතා කරලා කැසට්පටයක් ප්‍රදානය කළා”.

ඇය ඒ අතීතය සිහි කළේ සතුටිනි. ඉන් අනතුරුව සරලා විභාගයට කාලය වැඩි වශයෙන් මිඩංගු කළ නිසාත් පසුව සේවය සඳහා හම්බන්තොට සහ අම්පාර වැනි දුෂ්කර ප්‍රදේශවලට යෑමට සිදුවීම නිසාත් කලා කටයුතුවලින් ඈත් වූවාය. මේ වනවිට ඈ කොළඹ ජාතික රෝහලේ විකිරණශීලි අංශයේ වෛද්‍යවරියක ලෙස සේවය කරයි. මෙය ඇගේ පළමු ගීතය වුවත් එය අවසන් ගීතය නොවේවා යන්න අපේ පැතුමය.

නිකවැරටිය මූලික රෝහලේ ළමා රෝග අංශයේ කටයුතු කරන වෛද්‍ය ආශා අබේසේකර මීළඟට අපට සම්මුඛ විය. ඇය උපන්නේ ගම්පහදීය. කුඩා කලම ගාල්ලට සංක්‍රමණය වූ නිසා ගාල්ල හපුගල කනිෂ්ඨ විද්‍යාලයෙන් ඈ මුලකුරු කියෙවුවාය. හතර දෙනකුගෙන් යුතු පවුල පියා නොමැතිව සියලු බර දැරුවේ ඇගේ මව වූ අමරා අබේසේකරය. ශිෂ්‍යත්වය සමත් වී ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලයට ඇතුළත්ව උසස් පෙළ විද්‍යා විෂය හදාරා රුහුණ විශ්වවිද්‍යාලයේ කරාපිටිය වෛද්‍ය පීඨයට ඇතුළත් වූවාය. ඉන් උපාධිය සමත් ව 2006 සීමාවාසික පුහුණුව සඳහා කුරුණෑගල මහරෝහලට යොමු වුවාය. කුඩා කල පටන් මව ලියන කවි කියැවීමට ආශා බෙහෙවින් ආශා කළාය. එනිසා කුඩා කල පටන් කවි ලිවීමට ඈ ඇල්මක් දැක්වූවාය. අධ්‍යයන කාලසීමාව තුළ යටපත්ව තිබූ ඇගේ නිසඟ හැකියාව නැවතත් කරළියට එන්නේ මුහුණු පොත හරහාය. ඇගේ පළමු ගීතය එළිදකින්නේ 2020 වසරේදීය. නමුත් ඒ ගීතය මියුසික් වීඩියෝවක් ලෙස ජනගත කර ඇත්තේ 2023 වසරේ ජනවාරි මාසයේදීය. ඒ මේවන විට මිලියන දෙකකට ආසන්න පිරිසක් අසා නරඹා ඇති කසුන් කල්හාර සංගීතවත් කර ගායනා කරන ‘මටත් කවියක් ලියන්න’ ඇගේ පළමු ගීතයයි. ඇය මේ ගීතය රචනා වූ ආකාරය ප්‍රථමවරට මාධ්‍යයට හෙළි කළේ මෙසේය.

“මට ගොඩාක් හිතවත් මිත්‍රයෙක් මාරුවීමක් අරන් ගියා. නමුත් මට කිවුවේ නැහැ. ඒක මට ගොඩාක් හිතට දැනුනා. මෙච්චර ළඟින් ඉඳලත් ඇයි නොකියම ඒ විදියට ගියේ කියලා. එතනදි තමයි ‘යනව නම් නුඹ මටත් නොකියම’ කියන වචන ටික හිතට ආවේ. ඒ වචන ටික තමයි පස්සේ ගීතයක් වුණේ.” ඇගේ ගීත බොහෝමයක සංගීත නිර්මාණකරුවා වන්නේ සංගීතවේදී කරුණාරත්න විජේවර්ධනයන්ය. දීපිකා ප්‍රියදර්ශනී පීරිස් විසින් ගයන ‘ඒ මල් පිපී නැති ගෙමිදුලේ’ ගීතයත් කරුණාරත්න දිවුල්ගනේ ගයන ‘දැනුනාද ප්‍රේමයක්’ ජනාදරයට පත් විය. ‘ඉඳහිට මතුවන’ , ‘දරුවන්ගේ හීන’, ‘යමුද ආයෙත් පටන් ගැන්මට’,‘වරා මලක්’ ඇය විසින් රචනා කළ සෙසු ගීත වේ.

ගී ලියන වෛද්‍යවරුන් අතර මීළඟට සිළුමිණට හමු වූයේ මාතලේ මාතෘ හා ළමා සෞඛ්‍ය නිලධාරී වෛද්‍ය නුවන් තොටවත්ත ය. හෙතෙම ගීත කලාවට අත්පොත් තබන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිටින කාලයේදීය. මුලින්ම කාව්‍ය රචනයට යොමුවන අතර පසුව ගීත රචනයට යොමුව තිබේ. ඔහුගේ පළමු කවි පොත ‘ප්‍රදීපාගාරයක හිඳ’ 2007 වසරේදී පළ වූ අතර අනතුරුව ‘සඳ එළිය සහ දිය සිඳි විල’ 2011දීත් , ‘හිණිපෙත පාමුල’ 2014 දීත්, ‘අකීකරු බිහිදොර’ සහ ‘ග්ලෑසීරයක ප්‍රේමය’ 2019 දීත් පළ විය. මේ කවියා ගීත රචකයකු වූයේ කෙසේ දැයි සිළුමිණ විමසූ විට හෙතෙම පවසා සිටියේ “ කවිය සහ ගීතය එක කුස උපන් සහෝදරයො වගේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. 

කවි ලියන අතරේ ගීත කිහිපයක් මා අතින් ලියැවුණා. නමුත් මගේ පළමු ගීතය ලෙස එළිදක්වන්න ලැබුණේ කසුන් කල්හාර සහ ඉන්ද්‍රචාප ලියනගේ එක්ව ගායනා කළ ‘සඳ එළිය’ ගීතයයි.

එය තනු නිර්මාණයක් අනුව කළ ගීයක්. මේ කාලයේම සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ සංගීත ගුරුවරියක වන තනූජා ප්‍රියන්ති බන්දුලගේ රනාරා ඇකඩමියත් එක්ක වැඩ කරන්න ලැබෙනවා. එහිදී මා ළමා ගීත ලිවීමට යොමු වෙනවා. ඒ අනුව ‘උල්පත’ ගීත ඇල්බමයට ගීත පහක් පමණ රචනා කරනවා. ඒ ගීත අතරින් ‘සමනල සිත්තරු’ ගීතය 2013 වසරේ හොඳම ළමා ගීතයට හිමි ජනාධිපති සම්මානය සඳහා නිර්දේශ වෙනවා. ඒ අනුව 2018 වසරේ ලෝක ළමා දින රාජ්‍ය උත්සවයේ තේමා ගීත ලියන්න මාව තෝරා ගන්නවා. 2018 දී නාලක ස්වර්ණතිලක නිර්මාණය කළ ‘පොත් ගුල්ලී’ ළමා නාට්‍යයේ ගීත 07ක් ලියනවා. ළමා ගීතවලට තමයි මම වැඩියෙන්ම යොමු වුණේ. ඊට අමතරව දයාන් විතාරණ ගයන ‘පහන් සිල’ ලක්මිණී උදාරි ගයන දුලිත සුභසිංහ මියුසික් කළ ‘අහස් මාලිගා’ සහ ‘වරක් ගිලිහුණු මලක්’, කරුණාරත්න දිවුල්ගනේ ගායනා කරන ‘නන්දා’ගීතයයි.” මේ ගීතය සඳහා මේ වන විට විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබී තිබේ.

ගම්පහ දිස්ත්‍රික් මහරෝහලේ වෛද්‍ය නිලධාරිනී තරංගි සෙනරත් උපන්නේ ගම්පහ මල්ලැහැවේදීය. වේයන්ගොඩ ශාන්ත මරියා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඇය 1990 දී ශිෂ්‍යත්වයෙන් ඉහළින්ම සමත් වී කොළඹ දේවිබාලිකා විද්‍යාලයට ඇතුළත් වූවාය. එහිදී උසස් පෙළ ජීව විද්‍යාව හදාරා කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ රාගම වෛද්‍ය පීඨයට ඇතුළත් වූවාය.

ගීත රචනයට ඇය අත් පොත් තබන්නේ විශ්වවිද්‍යාල ජීවිතයේදීය. ඒ පිළිබඳව ඕ මෙසේ පැවසීය. “මම කැම්පස් ඉන්න කාලේ පාඩම් කරද්දී නිදිමත ආවාම වට පිට බලද්දි දකින දේවල් එක්ක හිතට එන දේවල් ලියන්න ගත්තා. නමුත් ඒවා සින්දු නෙමෙයි පද පේළි විතරයි. පස්සේ මං ෆේස්බුක් එකේ පළවන ඡායාරූප දැක්කහම හිතට එන අදහස් ලියන්න පටන් ගත්තා.

සමහර විට මං දකින ඡායාරූපයේ ඉන්නේ කුරුල්ලෙක් වෙන්න පුළුවන්. ඒ කුරුල්ලත් එක්ක මට වෙන අදහසක් හිතට එනවා; ඒ දේ මං ලියනවා. ඒ විදිහට පේරාදෙණිය ගැන හැමෝම සින්දු ලියනවනෙ මටත් හිතුණා. ඒ ගැන සින්දුවක් ලියන්න. මේක දැක්කහම අනුරාධ අබේසිංහ සින්දුවකට හොඳයි කිවුවා. 2019 දී මගේ පළමු ගීතය ‘මලකි රොබරෝසියා’ නිර්මාණය වෙන්නේ ඒ විදියටයි. මගේ ඊළඟ ගීතය ‘ගැයෙන ගීනද’ එකත් මිය­ුසික් කළේ මගේ සැමියා අනුරාධ අබේසිංහ. මගේ තුන්වැනි ගීතය නිර්මාණය වුණේ දෙවැනි ගීතයෙන් අවුරුද්දකට විතර පස්සේ. ඒ ‘සඳවතක් වී’ මම තවත් සින්දු කිහිපයක් ලිවුවා. ඒ නිර්මාණ ඉදිරියෙදී එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා.”

එසේම ගීත රචනයට යොමු වූ වෙදැදුරන් අතර රනිල් ජයසේන, රවී ප්‍රසාද් කරුණාරත්න, ඉන්දු උඩුගම සහ මනෝරි ගමගේ ද සිටින බව මෙහිදී සිහිපත් කරමු.

Comments