වීරවංශගේ ආර්ථික මොඩලය (ප්‍රශ්න සහ පිළිතුරු) | සිළුමිණ

වීරවංශගේ ආර්ථික මොඩලය (ප්‍රශ්න සහ පිළිතුරු)

නාධිපති රනිල් වික්‍රමසිංහයන් ආණ්ඩුව පිහිටුවීමෙන් පසු එයට එරෙහිව විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ගේ ප්‍රමුඛත්වයෙන් පිහිටුවන ලද උත්තර ලංකා සභාගය මේ වනවිට ප්‍රශ්න ලංකා සභාගයක් බවට පත්වෙමින් පවතී. ඒ මදිවාට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනයන්ගේ උද්‍යෝගය මත ඩලස් අලහප්පෙරුම ඇතුළු දේශපාලන කණ්ඩායමක් විසින් ඇරඹු හෙළිකොප්ටර් ලකුණ දරන දේශපාලන සන්ධානය ද සිග්නල් වැරදුණු හෙළිකොප්ටරයක් මෙන් මේ වන විට බිමට පතබෑවී තිබේ. හෙළිකොප්ටර් සන්ධානය ගැන අද වනවිට කිසිදු ප්‍රවෘත්තියක් අසන්නට නොලැබේ. එම හෙළිකොප්ටරය පාලක මැදිරියේ පාලනයෙන් සම්පූර්ණයෙන්ම ගිලිහී ගොස් ඇත්තේ ඊයේ පෙරේදා ටයිටැනික් නැව බලන්නට මුහුදු පතුලට යද්දී අතුරුදන් වූ ටයිටන් නමැති සබ්මැරීනය මෙනි.

එහෙත් උත්තර ලංකා සභාගය සම්පූර්ණයෙන්ම නන්නත්තාර වී නැති බව පෙනේ. එහි ප්‍රමුඛ සාමාජික විමල් වීරවංශ පසුගියදා පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් මේ දිනවල යාපනේ කඩවල ඉන්දියන් රුපියල් වලින් ගනුදෙනු කිරීම දැඩිව විවේචනය කළේය. වීරවංශ මේ වනවිට පරිණත දේශපාලනඥයකුගේ තත්ත්වයට පත්ව ඇති නමුදු ඔහුගේ ආර්ථික දැක්ම පරිණත බවක් හෝ සංවිධානාත්මක බවක් නොදක්වයි. පුවත්පත් සාකච්ඡාවලදී ඔහු කියූ පරිදි ඉන්දියන් රුපියල මේ රටේ සමාජගත වී දෛනික ගනුදෙනු කරන ඒකකයක් බවට පත්වීමෙන් රටේ ආර්ථිකයට ලොකු හානියක් ඇති වේ. මෙය බූරු කතාවක් සේ සලකා අත්හැර දැමිය හැකි නමුදු විමල් වීරවංශ විසින් කියන ලද්දක් බැවින් කිසිසේත්ම අත්හැර දැමීමට නොහැකිය. යාපනේ ජනයා ඉන්දියන් රුපියල් වලින් ගනුදෙනු කරන්නේ 1970ටත් පෙර සිටය. එසේම ඉන්දියාවේ ජනයා එක්දහස් නවසිය පනස් ගණන් වල සිට ශ්‍රී ලංකාවේ රුපියල් වලින් ගනුදෙනු කරයි. අදටත් තමිල්නාඩුවේ කඩ සාප්පු වැඩි හරියක ලංකාවේ මුදල් භාරගනු ලැබේ. කොළඹ පිටකොටුවේ හෙට්ටිවීදියේදී ද ඉන්දියන් රුපියල්, අමෙරිකන් ඩොලර්, යූරෝ සහ තායි බාත් වලින් ගනුදෙනු කිරීමට පුළුවන. මේ මුදල් අපෙන් ලබා ගන්නා වෙළෙන්දෝ ඒ වෙලාවේ පවතින හුවමාරු අනුපාත අනුව ගණන් හදා අපේ ගනුදෙනු සම්පූර්ණ කර දෙති. ඒ නිසා ඉන්දියානු රුපියල හෝ අමෙරිකානු ඩොලරය හෝ යූරෝ නෝට්ටුව හෝ තායි බාත් මුදල් ඒකකය හෝ මේ රටේ අලුතින් හෝ අමුතුවෙන් බින්න බැස නැත.

තමන් විසින් පවත්වන ලද පුවත්පත් සාකච්ඡාවේදී විමල් වීරවංශ මතු කරන ඊළඟ ප්‍රශ්නය නම් මේ රට ණය ගෙවා ගැනීමට බැරිව බංකොලොත් වූ රටක් බවට පත්ව තිබියදීත් ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් ආසියානු සංවර්ධන බැංකුවෙන්, ලෝක බැංකුවෙන් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් තවත් ණය ගන්නා බවය. එහෙම කර ණය පොලිය වැඩිකර ගැනීමේ වැඩක් නැති බව වීරවංශ සූරීන්ගේ ආර්ථික මතය වී තිබේ. මෙය මෝඩ කතාවක් ලෙස අපි ප්‍රතික්ෂේප කරමු. මේ පෘථිවිය මත තිබෙන, අන්දමන් දූපතේ ගෝත්‍රික කණ්ඩායම් හා සම නොවන සියලු ශිෂ්ට රටවල් එකිනෙකාගෙන් ණය ගනිති. ඒ අන්තර් ආර්ථික සම්බන්ධතාව නිසා ණය හිමියන් සහ ණය ගැතියන් අතර ජාත්‍යන්තර සම්බන්ධකම් ගොඩනැඟී තිබේ. තමන්ගේ ණය ගැතියා ආර්ථික වශයෙන් ඇද වැටෙන්නට සූදානම් වන විට ණය හිමියා කිසියම් ආර්ථික උදව්වක් කරන්නේ එවැනි සම්බන්ධකම් තිබෙන විටය. අමෙරිකාව සහ ජපානය යනු ලෝකයේ දියුණුම රටවල් අතරින් දෙකකි. මේ රටවල් දෙක වෙනත් රටවල් සහ මූල්‍ය සංවිධානවලට ඩොලර් ට්‍රිලියන ගණනින් ණය ය. ලංකාවේ දියුණුම ව්‍යාපාරිකයා වුවද බැංකුවලින් ණය ගනී. රටේ ආර්ථික චක්‍රය භ්‍රමණය වන්නේ එවිටය.

රනිල් වික්‍රමසිංහයන් හෝ මේ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය සංවිධානවලින් ණය ගත්තේ චූන් එකට නොව රට පවත්වා ගෙන යනු පිණිසය. ණයකාරයකු ණය ගෙවන්නේ ජීවත්ව සිටියොත් පමණි. ඔහු මළොත් ණයත් පොලියත් ලබා ගැනීමට නොහැකිය. ඒ අනුව ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි සංවිධාන ලංකාවට වැඩි වැඩියෙන් සහ දිගින් දිගටම ණය දෙන්නේ ණය ගැතියා ජීවිතක්ෂයට පත් නොකර තබා ගැනීම පිණිසය. එසේ ණය ලබාගන්නා අතර ඒවායින් කොටසක් ප්‍රාග්ධන අරමුදල් සේ යොදවා රට සංවර්ධනය කිරීමට ආණ්ඩුවට පුළුවන. මේ මුදල් රජයේ නිලධාරීන් සහ දේශපාලඥයන් විසින් ගසාකනු ඇතැයි දැන් වීරවංශ මහත්මයා කියනු ඇත. එය වෙනම ප්‍රශ්නයකි. එය නිරාකරණය කරගැනීම සඳහා රාජ්‍යය තුළ වෙනම යන්ත්‍රණයක් තිබිය යුතුය. පසුගියදා පාර්ලිමේන්තුවේදී දෙවන වර කියවන ලද දූෂණ විරෝධී පනත එවැනි යන්ත්‍රණයකි. මෙවැනි අණ පනත් පනවා රටේ දූෂණ නැති කිරීමට හෝ අවම කිරීමට අන් කිසිදු ආණ්ඩුවකට නොතිබූ උණ මේ ආණ්ඩුවට තිබීම භාග්‍යයකි.

වීරවංශ මතු කරන ඊළඟ කාරණයට අනුව සියල්ල පෞද්ගලීකරණය කිරීම සුදුසු නැත. අපේ දේශීය නිෂ්පාදන බලගන්වන, ආනයන ආදේශන නිෂ්පාදන අරඹන ආර්ථික සංවර්ධන මොඩලයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් අතේ නැති බව වීරවංශ සූරීහු දෙසති. මාස දෙකක් නැව් ගමනාගමනය නතර වුණොත් ජල සම්පාදනයෙන් නිකුත් කරන බොන වතුර ටිකට අවශ්‍ය ක්ලෝරීන් ටිකවත් ගෙන්වා ගැනීමට අපට නොහැකි බව ඔහු තවදුරටත් පෙන්වා දෙයි. මේ ප්‍රශ්නය දෙකට කඩා උත්තර දෙමු.

පළමුකොට, ආණ්ඩුවක් බිස්නස් කළ යුතු නැත. ආණ්ඩුවක් බිස්නස් කරන විට නිලධාරීහුත්, දේශපාලකයෝත් එම බිස්නස් සල්ලි ගසා කති. මෙය ලෝකයේ වඩාත්ම පිරිසිදු ආර්ථික මොඩලයක් සේ කලක් පැවති එක්සත් සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව තුළ ද සිදු විය. ඒ රටේ සියලු බිස්නස් කරන ලද්දේ ආණ්ඩුවය. අන්තිමේදී එම ව්‍යාපාර පාලනය කරන නිලධාරීහු එක්ව පොඩි පොඩි ටැප් ඇර ඒවායින් වැගිරෙන සල්ලි උරා බොන්නට පටන් ගත්හ. මේ බව දුටු දේශපාලනඥයෝ ටැප් එකට බඩු සපයන ප්‍රධාන බටයේ වෑල්ව් එක ඇර එතැනින් කොල්ලකන්නට පටන් ගත්හ. මෙය ලෝක ආර්ථික මොඩලයේ සුපිරිසුදු චර්යාවන් තිබූ සියලුම සමාජවාදී රටවලට සිදු විය. හැබැයි රටක ව්‍යාපාර පුද්ගලික අංශය‍ට දුන්විට ඔවුන් ඒ ආකාරයෙන් මුදල් ගසා කෑමට කාටවත් ඉඩ දෙන්නේ නැත. පුද්ගලික කර්මාන්තවලදී කළ හැකි වැරදි දෙකක් තිබේ. ඉන් පළමුවැන්න නම් නිෂ්පාදන භාණ්ඩවල ගුණාත්මක භාවය අඩු කිරීමය. දෙවැන්න, බදු මගහැරීමය. මේ දෙක ටැකල් කිරීම සඳහා ක්‍රමවේදයක් හදාගැනීම රජයේ වගකීම වෙයි. අප දෙකට කඩා උත්තර දෙන මේ ප්‍රශ්නයේ ඉතිරි පිළිතුර කොටස මෙසේය. මාස දෙකක් නැව් නාවොත් ක්ලෝරීන් ගෙන්වන්නට බැරි වීම මගහැරීමට බැරි තත්ත්වයකි. ලංකාවේ ක්ලෝරීන් නිෂ්පාදනය කරනු නොලැබේ. එංගලන්තයේ තේ වවන්නේ නැත. ක්ලෝරීන් නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලංකාවේ නැත. තේ වැවීම සඳහා අවශ්‍ය කාලගුණික හෝ දේශගුණික තත්ත්වයන් එංගලන්තයේ නැත. ඒ නිසා නැව් ගමනට අවහිරයක් වුණොත් ලංකාවට ක්ලෝරීන් නැත. එංගලන්තයට තේ නැත. මේ සරල තත්ත්වය තේරුම් ගැනීමට නොහැකි පිරිස් ලංකාවේ බහුලය. අප දන්නා තරමින් එවැන්නන් එංගලන්තයේ නැත.

Comments