මහල් ගොඩනැඟිලි සඳහා අනිවාර්ය කොන්දේසියක් | සිළුමිණ

මහල් ගොඩනැඟිලි සඳහා අනිවාර්ය කොන්දේසියක්

 කොළඹ හා බස්නාහිර ප්‍රදේශයේ සියලු මහල් ගොඩනැඟිලි ඉදිකිරීම මින් ඉදිරියට මහා නගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශයේ හා වරලත් ඉංජිනේරුවන්ගේ පූර්ණ හා දැඩි අධීක්ෂණය ඇතිව සිදු කිරීමට කටයුතු යොදා ඇතැයි මහ නගර හා බස්නාහිර පළාත් සභා අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු නිහාල් රූපසිංහ මහතා පවසයි.

සාමාන්‍ය නීතිය අනුව මහල් ගොඩනැඟිලි ඉදිකිරීමට පෙර මුල් ගොඩනැඟිලි සැලසුම ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ වරලත් ඉංජිනේරුවකුගේ අනුමැතිය අනුව සකස් කළ යුතු බවත්, වැල්ලවත්තේ දී  කඩා වැටුණු ගොඩනැඟිල්ල එවැනි වරලත් ඉංජිනේරුවරයකුගේ අනුමැති අනුව ඉදිකළ ගොඩනැඟිල්ලක් නොවන බවත් ලේකම්වරයා කියයි.

මේ අතර ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ නියෝජ්‍ය විධායක ලේකම් නීල් අබේසේකර මහතා පැවසුවේ මෙරට මහල් ගොඩනැඟිලි ඉදිකිරීමට ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සාමාජිකත්වය ඇති වරලත් ඉංජිනේරුවකුගේ අනුමැතිය අත්‍යවශ්‍ය බවයි. ඒ අනුව මේ ගොඩනැඟිල්ලට අනුමැතිය දුන් ඉංජිනේරුවරයා පිළිබඳ තොරතුරු කොළඹ නගර සභාවෙන් ඉල්ලා සිටි බවත් ඔහු පවසයි.

එවැනි අයකු සිටී නම් ඔහුට විරුද්ධව විනයානුකූල කටයුතු කරන බවත්, ඊට අමතරව මෙරට ඉංජිනේරු කටයුතු ගොඩනැඟිලි ඉදිකිරීම් කටයුතු අධීක්ෂණයට හා උපදෙස් දීමට ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය ඕනෑම අවස්ථාවකදී සූදානමින් සිටින බවත් ඉංජිනේරු නීල් අබේසේකර මහතා පවසයි. ඉදිරියේදී මෙරට මහල් ගොඩනැඟිලිවල ආරක්ෂාවට නවීන ඉංජිනේරු තාක්ෂණය දැඩිව අනුගමනය කළ යුතු බවද ඔහු පෙන්වා දෙයි. 

Comments