තල්පොත ධම්මජෝති හිමියන්ට සංඝනායක ධුරය පිරිනැමීමේ උත්සවය මහ ඉහළින් | සිළුමිණ

තල්පොත ධම්මජෝති හිමියන්ට සංඝනායක ධුරය පිරිනැමීමේ උත්සවය මහ ඉහළින්

 ජාතියේ මුර දේවතාවුන් වන ආර්ය මහා සංඝරත්නය නිර්දය ලෙස විවේචනය කිරීම වහා නවතා දැමිය යුතු යැයි ද එය සාසන යහපත තකා කරන යුතුකමක් මෙන් ම රටේත් ජනතාවගේත් යහපත පිණිස හේතු වන කරුණක් වනු ඇතැයි ද අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන මහා නාහිමියෝ ඓතිහාසික මහනුවර පුරවරයේ දී පැවැසූහ.

උන්වහන්සේ මෙම අනුශාසනාව පැවැත්වූයේ පාතදුම්බර හා මැදදුම්බර දෙපළාතේ ප්‍රධාන සංඝනායක ධූරය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය වාරියපොළ ශ්‍රී සුමංගල භික්ෂු පරපුරේ සිවුවැන්නා හැටියට පිදුම් ලබන තල්පොත ධම්මජෝති හිමියන් වෙත පිරිනැමීම සඳහා මහනුවර උපෝසථාගාර පින්බිමේ පැවැති උත්කර්ෂවත් උලෙළේදීය.

ලංකා සාසන ඉතිහාසයේ ප්‍රථම වරට පිරිනැමුණු මෙම උතුම් පදවිය ප්‍රදානය කිරීමේ උලෙළ වෙනුවෙන් මහනාහිමිවරුන් ප්‍රමුඛ වින්සන් වර්ගික කාරක සංඝ සභාවට අයත් හිමිවරු වැඩම කර සිටියහ. එමෙන් ම කන්ද උඩරට පැවිදි ගිහි ප්‍රභූන් විශාල පිරිසක් ද සිංහල දමිළ මුස්ලිම් ජනතා නියෝජිතයින් වියට්නාම, මියන්මාර්, ලාඕස් සහ ඉන්දියානු භික්ෂු භික්ෂුනීන් වහන්සේ විශාල පිරිසක් ද එක්ව සිටිනු දක්නට ලැබිණි.

රජය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක දේශබන්දු කරු ජයසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, හිටපු මහාධිකරණ විනිසුරු මධ්‍යම පළාත් සභා මන්ත්‍රී පී.බී. වරාවැව මහත්වරු සහභාගි වූහ.

මහනුවර පල්ලේකැලේ යුද හමුදා කඳවුර අසලින් ආරම්භ වූ අලි ඇතුන් සහිත මහ පෙරහරින් පිළිගත් අභිනව මහ නාහිමිපාණන් වහන්සේ පල්ලේකැලේ බලගල්ල බෞද්ධ මධ්‍යස්ථානය වෙත වැඩම කරගෙන එනු ලැබිණි.

අනතුරුව බලගොල්ල බෞද්ධ මධ්‍යස්ථානයේදී පොලොන්නරුව සොලොස්මස්ථානාධිපති ශාස්ත්‍රපති වෙඬරුවේ ශ්‍රී රතනපාල උපාලි අනුනාහිමි, මහනුවර මල්වතු මහා විහාරීය අනුනායක ශාස්ත්‍රපති දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමි දෙනම ගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්කර්ෂවත් උත්සව සභාවකි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක දේශබන්දු කරු ජයසූරිය මහතා අභිනව නාහිමිපාණන් වහන්සේට ශ්‍රී සන්නස් පත්‍රය බහාලූ මංජුසාව සහ දෑසමන් මල් බඳුනක් පුදා ගෞරවය දැක්වීය.

එහිදී වැඩිදුරටත් අනුශාසනාව කළ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන නාහිමියෝ මෙසේ ද පැවැසූහ.

“කහ සිවු‍ෙර් ගෞරවය අසීමිතයි. බෞද්ධ දර්ශනය ලොව පවත්නා තාක් කල් නොනැසී පවතිනවා. බුද්ධ බලය අසීමිත බලවේගයක්.

“ගෞතම සම්බුද්ධ ශාසනය අදට ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් ගෙවා තිබෙනවා. එදා සම්බුදු පියාණන් බුද්ධගයා පුණ්‍ය භූමියේදී පස් දෙනෙකුගෙන් පටන් ගත් සසුන් කෙත අද වනවිට මුළු ලොව පුරාම ව්‍යාප්තව පවතින්නේ එහි ඇති පරම සත්‍යතාව නිසයි....”නා හිමිෙයා් පැවසූහ.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක දේශබන්දු කරු ජයස‍ූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, හිටපු මහාධිකරණ විනිසුරු මධ්‍යම පළාත් සභා මන්ත්‍රී පී.වී. වරාවැව, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් වී. දිසානායක යන මහත්වරු ඇතුළු පැවිදි ගිහි ප්‍රභූහු පිරිසක් මෙම උලෙළට සහභාගි වූහ. 

Comments