ඉන්දීය සාහිත්‍යයේ කෙටිකතාවට හිමි තැන | සිළුමිණ

ඉන්දීය සාහිත්‍යයේ කෙටිකතාවට හිමි තැන

ලිඛිත ව්‍යවහාර භාෂා 18 ක් සහ කටවහරට පමණක් සීමා වූ භාෂා රාශියකින් ද යුත් ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව භාෂා 14 ක් පිළිගනු ලැබ තිබේ. මෙයට ඉංග්‍රිසි භාෂාව ද ඇතුළත් ය. ලිඛිත අක්‍ෂර මාලා සහිත තවත් භාෂා හතරක් ඉන්දීය සාහිත්‍ය ඇකඩමිය පිළිගෙන ඇත. ප්‍රාන්ත රාජ්‍ය අතර සන්නිවේදන කටයුතු කරනු ලබන්නේ ඉංග්‍රිසි භාෂාවෙනි. ඉන්දියාවේ විවිධ භාෂාවලින් ලියැවී ඇති කෘති රාශියක් දැනට ඉංග්‍රිසි භාෂාවට පරිවර්තනය වී ඇති අතර ඉදිරියටත් පරිවර්තනය වෙමින් පවතියි. එහෙත් ඉන්දීය භාෂාවලින් පළ වන කෘති සංඛ්‍යාත්මක ව ගත් විට ඉංග්‍රිසි සහ වෙනත් විදේශිය භාෂාවලට පරිවර්තන වන්නේ ඉතා සුළු ප්‍රමාණයකි.

අනාදිමත් කාලයක සිට කතා කීමේ සහ ශ්‍රවණය කිරීමේ කලාව ඉන්දීය සමාජය තුළ මුල් බැස තිබිණ. බටහිර බලපෑම නිසා 19 වන ශත වර්ෂයේ අග දශක කීපය තුළ පැරණි කතා කීමේ කලාව නව මාවතකට යොමුවිණ. නුතන ඉන්දීය කෙටිකතාවට පදනම වැටුණේ මේ කාලවකවානුවේදීය. බටහිර ආභාසය තුළින් ඉන්දීය ලේඛකයන් බොහෝ දේ ලබා ගත්ත ද ඊට ප්‍රතිචාර දැක්වුයේ ඉන්දීය සමාජය පසුබිම් කර ගනිමින් කෙටිකතා ලිවීමෙනි.

කාලාන්තරයක් තිස්සේ පැවතෙමින් ආ ගද්‍ය සාහිත්‍යය බටහිර බලපෑමත් සමඟ නව මුහුණුවරක් ගත්තේය. 20 වන සියවසේ මුල් යුගයේ ඉන්දීය කෙටිකතාවේ වර්ධනයට බලපෑවේ වාර සගරා සහ පුවත්පත් විශාල වශයෙන් පළවීමයි. 20 වන සියවසේ අවසානය දක්වාම මේ ලක්‍ෂණය දක්නට ලැබේ.

ඉන්දීය කෙටිකතාව අධ්‍යයනය කිරිමේ පහසුව සඳහා ප්‍රධාන කොටස් දෙකකට වෙන් කර දැක්විය හැකිය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට නතුව පැවති යුගය සහ නිදහස් යුගය වශයෙනි. මෙය පැහැදිලිවම දේශපාලන බෙදීමක් වුවද ශාස්ත්‍රීය අධ්‍යයනයක යෙදෙන්නකුට මෙම දේශපාලන බෙදීම සාහිත්‍ය කෙරෙහි සෘජුව බල පා ඇති බව පෙනී යෑම නොවැළැකවිය හැකිය.

ඉන්දියාව නිදහස ලැබීමට පෙර අඩ සියවස තුළ කෙටිකතාවේ දියුණුව කෙරෙහි බලපෑ ප්‍රධානතම සාධකය වුයේ වාර සගරා සහ පුවත්පත් වලින් ඇතිවු බලපෑම බව සඳහන් කළ මනාය. මුනිෂි ප්‍රේමචාන්දගේ සංස්කාරකත්වයෙන් හින්දි භාෂාවෙන් පළවු හැන්ස් ලක්‍ෂිමිනාත් බොර්බරාදෝ ගේ සංස්කාරකත්වයෙන් ඇසැම් භාෂාවෙන් පළවු බාහී ඔරියාවේ පළවු මුකුරා සහ සහකාරා :ඵමනමර් කේපී කේසව් මෙනන් ගේ සංස්කාරකත්වයෙන් මලයාලම් භාෂවෙන් පළවු මාතෘභූමි එම් ජී රංගසේකර්ගේ සංස්කාරකත්වයෙන් මරාති භාෂාවෙන් පළවු සත්‍ය කතා එන් එම් වාසන්ගේ සංස්කාරකත්වයෙන් දෙමළ භාෂවොන් පළවු ආනන්ද විකතාන් මෙවැනි වාර සගරා කීපයකි. ආනන්ද විකතාන් සගරාව පසුකලක සංස්කරණය කරනු ලැබුවේ නුතන දෙමළ කෙටිකතාවේ පුරෝගාමියා ලෙස සැලකෙන කල්කි ආර් ක්‍රිෂ්ණමුර්ති විසිනි. මෙම වාර සගරා පොදු ජනතාව අතර බෙහෙවින් ප්‍රචලිත විය. එවකට විසු ලේඛකයෝ මෙම වාර සඟරා එකකට හෝ කීපයකට නිර්මාණ සැපයීමෙන් දායක වුහ. 20 වන සියවසේ මුල් දශක කීපය තුළ මෝපසාං, එඩ්ගා ඇලන් පෝ, චෙකොව්, ගෙගොල් ආදීන්ගේ කෙටිකතාවල පරිවර්තන මෙම වාර සඟරාවල සහ පුවත්පත්වල නිරන්තරයෙන් පළ විය.1922 - 1935 අතර කාලය තුළ සෑම වාර සගරාවකම යුරෝපීය භාෂාවකින් පළවු කෙටිකතාවක් දේශිය භාෂාවකට පරිවර්තනය කොට පළ කරනු ලැබු බව මලයාලම් විචාරකයකු වු ඒ බාලක්‍රීෂ්ණන් පිල්ලෙයි සඳහන් කරයි. ඔහු ඒ බව සඳහන් කරන්නේ මලයාලම් කෙටිකතාවට ඉන් සිදුවු බලපෑම තහවුරු කිරිමටයි.

ඩොග්රි, කොන්කානි, මෛතිලි, රාජස්ථානි සහ කාශ්මීර භාෂාවලින් වාර සගරා පළවුයේ තරමක් ප්‍රමාදවීමෙනි. ඩොග්රි භාෂාවෙන් ප්‍රථම වරට කෙටිකතා සංග්‍රහයක් පළ වුයේ 1947 වර්ෂයේදිය. කාශ්මීර ප්‍රථම කෙටිකතා සංග්‍රහය පළ වුයේ 1955 වර්ෂයේදීය. මෙයින් පැහැදිලිව පෙනී යන්නේ වාර සගරාවල සහ පුවත්පත්වල නිතර කෙටිකතා පළවිම පසුගිය සියවසේ ඉන්දියානු සාහිත්‍යයේ වර්ධනය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් කර ඇති බවයි.

විසිවන සියවසේ මුල් අඩ සියවස ඉන්දීය සාහිත්‍යයේ පමණක් නොව ඉතිහාසයේ ද වැදගත් සන්ධිස්ථානයක් විය. මහත්මා ගාන්ධි විසින් නිදහස් අරගලයට නායකත්වය දෙනු ලැබිමත් සමඟ ඉන්දියානු සමාජයේ විශාල පිබිදිමක් ඇතිවිය. ඉන්දිය ජනතාව තුළ අධිරාජ්‍ය විරෝධි හැගිම් වර්ධනය වන්නට විය. සත්‍යග්‍රහ ව්‍යාපාර, සිවිල් නීති කැඩීම් මුළු මහත් ඉන්දිය සමාජය වෙළාගෙන පැතිර යන්නට විය. ඉන්දියානු ලේඛකයන්ට මේ බලපෑම තදින් දැනෙන්නට විය.

1917 ද රුසියාවේ ඇතිවු විප්ලවය ද ඉන්දීය ලේඛකයන් කෙරෙහි බලපෑමක් ඇති කිරීමට සමත් විය. වරප්‍රසාද නොලත් පන්තියේ මිනිසුන් පිළිබඳ ව කෙටිකතා ලියවෙන්නට පටන් ගත්තේ මේ අවදියේදී ය. සමාජ සත්තා යථාර්ථවාදී රීතිය අනුගමනය කරමින් ලියැවුණ මේ කෙටිකතා පොදු ජනතාවගේ සිත් ඇද බැඳ තබා ගැනීමට සමත් විය. මුනිෂි ප්‍රේමචාන්ද්තේ කෙටිකතා මුල් කාලයේ ප්‍රචාරක ස්වරූපයක් ගත්තද පසුකාලීනව හෙතෙම වරප්‍රසාද නොලත් මිනිසුන්ගේ ජීවිත පිළිබඳ ව ලිවීමට ඉදිරිපත් විය. ඔහුගේ කෙටිකතා පරිණතභාවයට පත්විමට එය හේතු විය.

බෙංගාලි, හින්දි, උර්දු, කන්නඩි, මලයාලම්, මරාති, තෙලිගු සහ දෙමළ භාෂාවලින් විශිෂ්ට කෙටිකතා රාශියක් ම 20 වන සියවසේ මුල් අඩ සියවස තුළ බිහි විය. සුකුමාර් සෙන් නමැති විචාරකයා පවසන පරිදි තාගෝර් බෙංගාලයේ ප්‍රථම වරට කෙටිකතා ලියු ලේඛකයායි. ග්‍රාමීය නාගරික බෙදීම නිසා ඇතිවු ගැටලු, යටත්විජිතවාදයේ මර්දනකාරී ප්‍රතිපත්ති, කාන්තාවන්ට අධ්‍යාපනය ලබා දීමේ අවශ්‍යතාව ආදිය ඔහුගේ කෙටිකතා වලින් පිළිබිඹු විය.

කුල, ගෝත්‍ර, පන්ති සහ වාර්ගික භේද නිසා ඉන්දීය සමාජය වැටී ඇති ඛේදජනක තත්ත්වය නිර්දය ලෙස විවේචනය කරමින් ලියැවුණ කෙටිකතා රාශියක් ද මුල් අඩ සියවස තුළ බිහිවිය. ක්වාජ අහමඩ් අබ්බාස් නමැති ලේඛකයා මෙහිදී ඉදිරියෙන්ම සිටියි. ඉන්දීය ප්‍රගතිශිලි ලේඛක ව්‍යාපාරයේ නායකයා වු හෙතෙම අධිරාජ්‍යවාදය සහ යටත්විජිත වාදය හෙළා දකින අතරම ඉන්දීය සමාජය වෙළාගෙන පැවති හින්දු මුස්ලිම් අර්බුදය ඇතුළු විවිධ භේදයන්ට දැඩි ලෙස පහර දුන්නේය.

දේශපාලන නිදහස ලබා ගැනීම සඳහා ගෙන ගිය අරගලය අතර ම අහිමි ව ගිය ආර්ථික අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා වු අරගලය ද මුල් යුගයේ කෙටිකතාවලට පසුබිම් වි තිබේ.

ප්‍රේමචාන්ද්, තාකාෂි ශිවසංකර් පිල්ලේ වැනි ලේඛකයන් ඉඩම් හිමි රදළ පන්තිය සහ පීඩිත ජනතාව අතර පැවති නිර්න්තර අරගලය තම නිර්මාණ තුළින් පිළිබිඹු කළහ. ග්‍රාමීය ජනතාව තුළ පැවති ප්‍රධාන ගැටලුව වුයේ ඉඩම් අයිතිය ලබා ගැනීමයි. ආර්ථික පසුබෑම නිසා මිනිසුන් විඳින මානසික පීඩනය අපුරුවට චිත්‍රණය කිරීමට මුල් යුගයේ විසු ලේඛකයෝ උත්සුක වුහ.

එදිනෙදා ජිවිතය ගෙනයාම සඳහා ගෙනගිය අරගලය ඔවුන්ගේ කතාවල වස්තු විෂයය වී තිබේ. තකාක්‍ෂි ශිවසංකර් පිල්ලෙයි ගේ කෙටිකතා මේ සඳහා නිදසුන් සපයයි. ග්‍රාමීය ජීවිතයේ ශ්‍රෙෂ්ඨත්වය හුවා දැක්විමට ඔහු උත්සාහ නොකළේය. ඒ වෙනුවට නියගය සහ සාගතය නිසා පීඩා විඳින ගම්මුන් ගම හැර පලා යෑමත් ප්‍රථම වැස්ස වැටීමත් සමඟ ඔවුන්ගේ ආපසු පැමිණිමත් ඔහුගේ නිර්මාණවලට වස්තු විෂය විය.

ගංවතුර, නායයාම් වැනි ස්වාභාවික විපත් මෙන්ම වාර්ගික ගැටුම් නිසා පීඩා විඳින දුගි ජනතාව තේමා කොටගෙන අහමඩ් අබ්බාස්, ප්‍රේමචාන්ද්, ශිවසංකර් පිල්ලෙයිගසදාත් හසාන් මාන්තෝ, බෂිර් ආදි ලේඛකයෝ කෙටිකතා රාශියක්ම ලිවුහ.

පදුමෙයි පිතාන් සහ කල්කි වැනි දෙමළ ලේඛකයෝද තම ජනතාවට මුහුණ දීමට සිදුව ඇති සමාජ අසාධාරණකමි නිරූපණය කරමින් කෙටිකතා ලියුහ. ළමා විවාහවලට එරෙහිව සහ කාන්තාවන්ට අධ්‍යාපනය ලබාදීමේ වැදගත්කම ආදිය පෙන්වා දෙමින් කල්කි කෙටිකතා රාශියක් ම ලියනු ලැබ තිබේ.

විසිවන සියවසේ මුල් අඩ සියවස තුළ ඉන්දියවේ නුතන කෙටිකතාවට පදනම වැටුණි. ශෛලිය, වස්තු විෂය, තේමාව, චරිත නිරූපණය ඇතුළු සෑම අංශයකින් ම නව මුහුණවරක් ගැනීම සිදු වුයේ මේ වකවානුවේදීය. බටහිර කෙටිකතාව ඉන්දීය ලේඛකයන් කෙරෙහි බලපෑම් ඇති කළ ද ඔවුහු ඉන්දීය සන්දර්භයක සිට කෙටිකතා නිර්මාණය කළහ.

Comments