ලෝකවාසී හින්දු ජනයාගේ අධ්‍යාත්මික ජීවිත ආලෝකවත් වේවා | සිළුමිණ

ලෝකවාසී හින්දු ජනයාගේ අධ්‍යාත්මික ජීවිත ආලෝකවත් වේවා

මෙවර ශිව රාත්‍රී දිනය වෙනුවෙන් දැල්වෙන පහනින් ලොවම ආලෝක වන්නා සේ ලෝකවාසී හින්දු ජනයාගේ අධ්‍යාත්මික ජීවිතත් ආලෝකවත් වේවා යි මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන්ය.

එකම මිනිස් පවුලක නෑසියන් වන අප දරන විවිධාකාර බාහිර බෙදීම් ඉක්ම වූ කල නැවතත් අධ්‍යාත්මික තලයේ දී එකම මිනිස් පවුලක් බවට පත්වීමට අපට ඇති හැකියාව මිනිසත් කමේ මහිමයයි.ඒ මිනිසත්කම සරසන ප්‍රම්ඛතම ආභරණය වන්නේ අපගේ සංස්කෘතියයි.ඒ අර්ථයෙන් ගත් කල ආගම දහම යනු ඒකී සංස්කෘතියේ පදනම යැ යි කිව හැකිය.

අද්‍යතන අධිවේගී සමාජය විසින් ඇතිකරනු ලබන මානසික ආතතිය නිසා ම අන් කවරදාකටවත් වඩා වත්මන් සමාජය අධ්‍යාත්මික සංහිඳියාව කෙරෙහි යොමුවෙමින් සිටින බව පෙනී යයි.එසේම මිනිසාට ස්වකීය අධ්‍යාත්මය සන්සුන් කරලීමට අතීතයේ සිට ම මඟ පෙන්වන්නේ භාවනාවයි.ලෝකවාසී හින්දු ජනයා තම ප්‍රමුඛතම නිමැවුම්කරුවා ලෙස සලකන ශිව දෙවියන් උදෙසා රැය නිදිවරා,උපවාසය රකිමින් භාවනානුයෝගී ව ස්වකීය ආධ්‍යාත්මික සංවරතාව වෙනුවෙන් කටයුතු කරන ආගමික හා සංස්කෘතික දිනය වශයෙන් මහා ශිවරාත්‍රී දිනය සමරති.

අපගේ මාතෘභූමියේ හා ලොව පුරා වෙසෙන හින්දු භක්තිකයන්ගේ ඒකී ආත්මීය ප්‍රාර්ථනා ඉටු වී, ඔවුන් ගේ ජීවිත ගුණයහපත් වීමෙන්,ඔවුන් හා සමඟ වෙසෙන සෙසු ජනයා ගේ ජීවිතවලට ද එමඟින් ආලෝකයක් එක් කරන බවට සැකයක් නැත.

එසේම එය අන්තර් ආගමික සංහිඳියාවට ද ඉඩ ප්‍රස්ථාව සලසයි.එබැවින් මෙවර ශිව රාත්‍රී දිනය වෙනුවෙන් දැල්වෙන පහනින් ලොවම ආලෝක වන්නා සේ ලෝකවාසී හින්දු ජනයාගේ අධ්‍යාත්මික ජීවිතත් ආලෝකවත් වේවා යි ඉතසිතින් සුභාශිංසනය කරමි.

Comments