ජනපති සටනට පොහොට්ටුවේ සිවු කොන් සටනක් | සිළුමිණ

ජනපති සටනට පොහොට්ටුවේ සිවු කොන් සටනක්

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ධුරය සඳහා සිවු කොන් සටනක් මතුව ඇතැයි පක්ෂයට සම්බන්ධ දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි. ඒ් අනුව රාජපක්ෂ පවුලට සම්බන්ධ සිවු දෙනකු අතර තරගයක් බවට එය පත්ව ඇති බවද වාර්තා වේ.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම මේ අතර ප්‍රමුඛව තිබුණද ඔහුගේ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් පවතින යම් යම් මතවාද නිසා තවමත් චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ මහත්වරුන්ගේ නම් මෙන්ම ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්ද යෝජනා වී ඇතැයි වාර්තා වෙයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා වියත් මඟ හරහා ජනාධිපති අපේක්ෂක ධුරය සඳහා ඉදිරිපත් වීමට සැලසුම් කළද මේ වන විට ඔහුට එරෙහිව අධිකරණයේ නඩු විභාග වීමත්, ද්විත්ව පුරවැසිභාවය තවමත් ඉවත්ව නොමැති වීමත් හේතුවෙන් ඔහු ඉදිරිපත් කිරීම සම්බන්ධව පක්ෂය අභ්‍යන්තරයෙන් විවිධ අදහස් සහ මතවාද එල්ල වෙමින් ඇත.

එසේම සුළු ජාතීන්ගේ සහාය ඔහුට නොලැබි යනු ඇතැයි දැන ගන්නට ඇති අතර එම සුළු ජාතික පක්ෂ චමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන්නේ නම් ඔහුට සහාය ලබා දෙන බව පවසා ඇති නිසාත් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් චමල් රාපක්ෂ මහතා ඉදිරිපත් කරන ලෙස යෝජනා කර ඇති හෙයින් ඒ මහතා ඉදිරිපත් කිරීමේ යෝජනාවක්ද කරළියට පැමිණ ඇති අතර බැසිල් රාජපක්ෂ මහතා මේ දෙදෙනාටම වඩා ක්‍රියාකාරීව කටයුතු කළ හැකි අයකු බව පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරන් හා ප්‍රාදේශීය මට්ටමේ දේශපාලකයින් පවසා සිටීම නිසාත් ඔහු අපේක්ෂකත්වය සඳහා කැමැත්තෙන් පසුවීම නිසාත් ඔහුගේ නමද මේ වන විට යොජනා වී ඇත.

මේ අතර මහින්ද රාජපක්ෂ මහතාට ඉතා සමීප පාර්ශ්ව අතර ශිරන්ති රාජපක්ෂ මහත්මිය කරළියට ගෙන ඒමේ වෑයමක් පවතින අතර බව එම දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මේ අර්බුදය නිසා වියත් මඟ සංවිධානය හා පොදු ජන පෙරමුණේ සංවිධායකයින් අතර එළිපිටම මතභේද හට ගෙන ඇතැයිද වාර්තා වේ. කෙසේ වෙතත් ලබන මස වන විට ඉදිරිපත් කරනු ලබන අපේක්ෂකයා තෝරා නම් කිරීමට සිදුවීම නිසා පක්ෂයේ නායක හමු මේ දිනවල නිරතුරුවම පැවැත්වෙන බව වාර්තා වේ.

 

Comments