ලොව පුරා වෛද්‍ය උපකරණ හිඟයක් ඇතිවීමේ අවදානමක් | සිළුමිණ

ලොව පුරා වෛද්‍ය උපකරණ හිඟයක් ඇතිවීමේ අවදානමක්

කොරෝනා වෛරසය පැතිරයාම හමුවේ සිරකරුවන් 54,000 කට අධික පිරිසක් තාවකාලිකව මුදාහැරීමට ඉරාන රජය පියවර ගෙන තිබේ.

ඒ, ජනාකීර්ණ සිරමැදිරි තුළ වෛරසය පැතිරයාම වැළැක්වීමේ පියවරක් ලෙසයි.

කෙසේ වෙතත් ආරක්ෂාවට බලපෑම් සිදු කළ 5 වසරකට වැඩි සිරදඬුවම් නියමවූ රැඳවියන් නිදහස් කර නොමැත.

ඉරානයේ කොරෝනා ආසාදනයෙන් මියගිය සංඛ්‍යාව 77 කි.

කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිරයාම හමුවේ ලොව පුරා වෛද්‍ය උපකරණ හිඟයක් ඇතිවීමේ අවදානමක් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

මේ හේතුවෙන් වෛද්‍ය උපකරණ නිෂ්පාදනය 40% ක ප්‍රතිශතයකින් ඉහළනංවන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සමාගම් සහ රජයන්ගෙන් ඉල්ලා සිටියේ ය.

ලෝක සෞඛ්‍ය සංවිධානය මේ බව සඳහන් කළේ, දකුණු කොරියාව, ජපානය, යුරෝපය, ඉරානය සහ අමෙරිකාවේ කොරෝනා වෛරසය පැතිරයාම තවදුරටත් උත්සන්න වී ඇති පසුබිමකදීය.

මේ අතර කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 12 ක ආධාර මුදල් වෙන්කිරීමට ලෝක බැංකුව පියවර ගෙන තිබේ.

මෙයට අඩු පොලී අනුපාත සහිත ණය සහ තාක්ෂණික සහය ද අයත්ය.

ලොව පුරා රටවල නායකයන් කොරෝනා වෛරසයෙන් සිය රටවලට සිදු වූ ආර්ථික හානිය වැළැක්වීමට ප්‍රතිඥාදීමත් සමග ලෝක බැංකුව මෙම පියවර ගෙන ඇත.

මෙම ණය මුදලේ අරමුණ වෛරසයෙන් පෞද්ගලික අංශයට සිදු වූ ආර්ථික හානි අවම කිරීමයි.

 

Comments