පාතාල මර්දනයට මෙහෙයුම් | සිළුමිණ

පාතාල මර්දනයට මෙහෙයුම්

දිවයින පුරා අපරාධ සිද්ධි කීපයක් වාර්තා වීමත් සමඟ ඊට එරෙහිව ජනාධිපතිතුමාගේ සහ රජයේ නියෝග මත ක්ෂණිකවම ගත් ක්‍රියාමාර්ග මත මේ වන විට පාතාල අපරාධකාරයන් රැසක්ම කොටුකර ගැනීමට හැකිවූ බවත් තවදුරටත් විශේෂ මෙහෙයුම් කිහිපයක්ම ක්‍රියාත්මක කරමින් සිටින බව උසස් පොලිස් නිලධාරියෙක් කීය. පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ පාතාල මර්දන ඒකකයන් සහ බුද්ධි අංශ එක්ව රටපුරා මේ මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටින බව එම නිලධාරියා පෙන්වා දුන්නේය.

පසුගිය පළමු වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බන්ධනාගාරවල අභ්‍යන්තර තත්ත්වය විමසීම සඳහා පැවැති සාකච්ඡාවකදීද බන්ධනාගාරයේ රැඳි සිටින අපරාධකාරයන් ජංගම දුරකථන ඔස්සේ සිදු කරන අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඬලීම සඳහා කමිටුවක්ද පත් කරන ලදී.

එම කමිටුව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහත්වරුන්ද ඇතුළත් වෙති.

පසුගිය දින කීපයේ ආන්දෝලනාත්මක වෙඩි තැබීම් කීපයකට අදාළව සැකකරුවන් දහයකට ආසන්න පිරිසක් මේ වන විට අත්අඩංගුවට ගැනීමට පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය සමත්ව ඇත.

 

Comments