
දෙන්නා අතර වයස් පරතරය මෙච්චර වැඩි නොවුණ නම් අපේ බැඳීම මීටත් වැඩිවෙන්න තිබුණා
-දසුන්
අමුතු විදිහට හිතන, හිතන දේ කියන, කියන දේ කරන කැරළි කොණ්ඩයක් තියෙන කැරළිකාර නළුවා දසුන් පතිරණ, මෙවර අයිය-නගෝ විශේෂාංගයට එක්වුණේ එකම නැඟණිය දේශානි පතිරණ සමඟයි. ඔහු පිළිසඳර ඇරඹුවේ අපූරු කතාවකින්.
" මම ශිෂ්‍යත්ව විභාගේ ලියන්නේ 95දී. මම ෆේල් නිසා තාත්තාට හිතෙන්න ඇති මගෙන් වැඩක් නෑ තව ළමයෙක් ඕනෙ කියලා. නංගි ඉපදුණේ 96දී. නංගි මට වඩා අවුරුදු 11ක්ම බාල නිසා චූටිම කාලේ මට නංගි ළඟට යන්නත් පොඩ්ඩක් අවුල්. වෙන අයියලා නංගිලා වගේ බදාගෙන ඉඹින්න, සෙල්ලම් කරන්න, රණ්ඩු කරන්න අපි දෙන්නට හම්බ වුණේම නැහැ. ලොකු වෙනකොට අධ්‍යාපන කටයුතු නිසා වගේම පස්සෙ කාලෙක රඟපෑම නිසාත් මම ගෙදරින් දුරස් වෙනවා. ඒ නිසා අපි දෙන්නා අතර ළඟ සම්බන්ධයක් තිබුණේ නැහැ. හැබැයි එහෙම වුණා කියලා අපි දෙන්නගේ ආදරේ බැඳීම කිසිම වෙනසක් නැහැ. නංගි එක්ක තියෙන ලේ බැඳීම ගොඩක් ගැඹුරුයි."
සිනහවෙන් කවටකමෙන් පටන් ගත් කතාව දසුන් හැඟීම්බරව නිමා කරද්දි දේශානි ඒ මතකය අවදි කළේ මෙහෙමයි.
"මටත් පොඩි කාලේ අයියා ගැන ලොකු මතකයක් නැහැ. මම ඉස්සර අම්මගෙන් අහනවා අයියා පොඩි කාලේ මාව වඩාගෙනවත් නැද්ද කියලා. අම්මා කියනවා අපි දෙන්නා ටිකක් සෙල්ලම් කරලා තියෙනවා. හැබැයි මට ඒවා මතක නෑ කියලා. මට අයියා ගැන හොඳටම මතක මම දෙක වසරේ වගේ ඉන්න කාලේ අයියා බෑග් එකකුත් අරගෙන මහේන්ද්‍ර අයියගේ වර්ක් ෂොප්වලට යනවා. ඒ යන්නෙ කොහෙද? මොකටද කියලා ඒ කාලේ මට තේරුමක් නැහැ.
මම 6 වසරේ ඉන්නකොට යාළුවෝ මගෙ ආසම නළුවා කවුද කියලා ඇහුවම මම කියන්නේ දසුන් පතිරණ කියලා. ඉතින් යාළුවෝ අහනවා ඒ කවුද? අපි දන්නෙ නෑනේ කියලා. මම එතකොට කියනවා ඇයි අර ටීගෝ ඇඩ් එකේ ඉන්නෙ කියලා. මම ඉස්කෝලෙන් අවුට් වෙද්දි අයියා හොඳටම ජනප්‍රියයි. 2017 දී අයියා හොඳම නළුවා සම්මානය ගන්නකොට මට ආපස්සට මතක් වුණේ අවුරුදු ගාණක් අයියා කැපවුණේ ඒකට නේද කියලා. පොඩිකාලේ ඉඳලම අයියා ඒ වෙනුවෙන් කළ කැපවීම, මහන්සිය මම දැක්කා. අම්මයි තාත්තයි මමයි ඒ කාලේ ඉඳලම අයියාගේ හැකියාව විශ්වාස කළා. මේ වෙද්දි අයියා ඒ විශ්වාසයට උපරිම සාධාරණය ඉටු කරලා තිබීම ගැන මට ගොඩක් සතුටුයි"
දේශානි දසුන් ගැන නිහතමානීව එසේ සතුටු වද්දී දසුන් නැඟණිය ගැන මෙහෙම කිව්වා.
" මම රඟපෑම ජීවිතේම කරගන්නකොට නංගි තමයි අම්මවයි තාත්තවයි බලාගෙන ගෙදර ඉන්නේ. කිසිම දේකට මම නංගිට තහංචි දාන්නෙ නැහැ. මම දන්නවා එයා නිතරම කරන්නෙ හරි දේ කියලා"
ඒ ගැන දේශානිටත් කියන්න දේවල් තිබුණා.
" හැමදේකදීම අයියා මට ඇත්ත තත්ත්වය පෙන්නලා දෙනවා මිසක් ඒ වැඩේ කරන්නේ කොහොමද කියලා කියන්නේ නැහැ. ඒක මම හිතාගන්න ඕන. එහෙම කරපු ගොඩක් දේවල්වලදී මම සාර්ථක වෙලා තියෙනවා. අයියා ගොඩක් අවංකයි සහ විවෘතයි. බොරු මවාපෑම් නැහැ. අයියගේ ඒ ගතිගුණවලට මම හරිම කැමතියි. අයියා ගැන මට තියෙන හොඳම අත්දැකීමට මුහුණ දුන්නේ 2013දී. ඒ කාලේ අපිට රෙස්ටුරන්ට් එකක් තිබුණා. තාත්තා පවුලම බලාගත්තේ ඒකෙන් ලැබුණු ආදායමෙන්. 2013දී ඒක අපිට නැතිවුණාම මට ගොඩක් දුක හිතුණා. ඒ කාලෙත් අයියයි මායි අතර ළඟ සම්බන්ධයක් තිබුණේ නැහැ. ඒත් මම අඬ අඬා ඉන්නකොට අයියා කතාකරලා කිව්වා "නංගා බයවෙන්නෙපා, මම ඔයාට ඉන්නවා" කියලා.
ඒ වචනවලින් මට අලුත් පණක් ලැබුණා. ඒ කිව්වා වගේම 2013 ඉඳන් 2017 වෙනකම් අපේ පවුල සම්පූර්ණයෙන්ම බලාගත්තේ අයියා. 2017දී මම ජොබ් එකට ගියාට ස්ථාවර වුණේ 2018 දී. ඒ වෙනකම් තාත්තා කෙනෙක් වගේ පවුලම බලාගත්තෙ අයියා. අපි අතර තියෙන වයස් පරතරය නිසා මට එයා ගැන අයියා කෙනෙකුට එහා ගිය තාත්තා කෙනකුට සමාන ගෞරවාන්විත බැඳීමක් තියෙන්නේ. ඒ බැඳීම වැඩි වුණේ අර සිදුවීමෙන්. මම හිතන්නේ ඒක අයියවත් නොදන්න දෙයක්"
දේශානි කීවේ හැඟීම්බරවයි. දසුන්ටත් ඒ සෙනෙහස එලෙසම දැනෙනවාට සැක නැහැ. ඒ ගැන ඔහු මෙහෙම කිව්වා.
" නිතරම කතා නොකළට ඕනම දේකට අපිට අපි ඉන්නවා. දෙන්නා අතර වයස් පරතරය මෙච්චර වැඩි නොවුණ නම් අපේ බැඳීම මීටත් වැඩිවෙන්න තිබුණා. ඒ නිසා තමයි මම මගේ දරුවන්ගේ පරතරය අඩු කළේ. මගෙ දුවලා දෙන්නා අතර පරතරය මාස 11යි."